කොළඹ තෙත් බිම්

  👤  3433 readers have read this article !
2018-08-24

කොළඹ අගනගර කලාපයෙහි තෙත් බිම් ගොඩ කිරීම හා විනාශ කිරීම නවතාලීම සඳහා නියෝග පැනවීමේ කැබිනට් පත්‍රිකාවක් සඳහා පසුගිය කැබිනට් මණ්ඩල රැස්වීමේදී අනුමතිය ලබාදී තිබේ. 1987 නව පාර්ලිමේන්තුව ඉදිකිරීමේ සිට මේ දක්වා කොළඹ අග නගරය අවට ප්‍රදේශවල ගොඩ කරමින් පවතින තෙත් බිම් ගැන සලකන විට ප්‍රමාද වී නමුත් තෙත් බිම් ගොඩ කිරීම තහනම් කිරීම ඉතා වැදගත් පියවරකි.

එහෙත් ප්‍රශ්නය වන්නේ මෙය අශ්වයා පැන ගියාට පසුව ඉස්තාලය වසා දැමීමක්ද යනුවෙන් හැඟෙන තරමට පසුගිය කාලය තුළ ඉවක් බවක් නැතිව කොළඹ හා තදාසන්න ප්‍රදේශයන්හි පහත් බිම් ගොඩ කරන ලද බැවිනි. කොළඹ වැනි මහ නගර මිනිසාගේ පැවැත්මට හානි නොවන අයුරින් පවතින්නේ නගරයේ පවතින තෙත් බිම් නිසාය. නගරයේ ජල ර¼දා පැවැත්ම තෙත් බිම් මත පවතී. ගංවතුර වැනි ස්වාභාවික උපද්‍රව වළකින්නේ තෙත් බිම් පද්ධති හේතුවෙනි. ජෛව හා ශාක සම්පත රැක ගැනීමට තෙත් බිම්වලින් ලැබෙන පිටිවහල අසීමිතය.

නාගරීකරණයෙන් ඇති වන පරිසර දූෂණය උරා ගන්නේද තෙත් බිම්වලිනි. නගරයේ උෂ්ණත්වය පාලනය කිරීමටත් ආර්ද්‍රතාව යහපත් මට්ටමක පවත්වා ගැනීමටත් තෙත් බිම් ඉවහල් වේ.

කෝට්ටේ රාජධානි සමයේ සියවස් කිහිපයක්ම ලංකාවේ රාජ්‍ය පාලන මධ්‍යස්ථානය වශයෙන් කෝට්ටේ පැවැතියේ ජල දුර්ගවලින් ආරක්ෂිත භූමියකය. කොළඹ කොටුව දක්වාත් මොරටුව බොල්ගොඩ දක්වාත් විශාල තෙත් බිම් පද්ධතියක් පැතිර පැවතියේය. යටත් විජිත පාලනය පැවැති වකවානුවේත් ආරක්ෂා වූ මෙම තෙත් බිම් විනාශ වූයේ නිදහසින් පසු ගෙවුණු වසර 70 තුළය.

දේශපාලන බල පුළුවන්කාරයනුත් ඔවුන්ගේ සහචරයනුත් පවත්නා නීති කඩා බිඳිමින් පහත් බිම් ගොඩ කර ඉදිකිරීම් සිදු කරන ලැබිණි. එමඟින් සිදුවූ පරිසර විනාශය මැනිය නොහැක.

දියවන්නාවේ 'දියත උයන' ඉදිකර තිබෙන්නේත් 'වෝටර්ස් ඒජ්' හෝටල් සංකීර්ණය ඉදිකර තිබෙන්නේත් අගනගර කලාපයේ විසල් තෙත්බිම් පද්ධතියක් රටට අහිමි කරමින් බව අමතක නොකළ යුතුය. දැනටමත් මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය විසින් මහ නගර සැලැස්ම සඳහා තෙත් බිම් විශාල ප්‍රමාණයක් ඉලක්ක කරගත් සංවර්ධන සැලසුම් ඉදිරිපත් කර තිබෙන බව රහසක් නොවේ.

අවශ්‍ය කැබිනට් අනුමතිය ලබාදී තිබෙන්නේද "ජාතික වශයෙන් වැදගත් අත්‍යවශ්‍ය ඉදිකිරීම් හැර වෙනත් කාර්යයන් සඳහා තෙත් බිම් ගොඩ කිරීම තහනම් කරමිනි. එයද තාවකාලික තහනමකි. එයින් පෙනී යන්නේ මෙම නියෝගය රිංගා යෑමේ ලොකු හිඩැසක් සහිත සද්භාවයෙන් කරන ලද තහනමක් නොවන බවය. තෙත් බිම් ජාතික වශයෙන් වැදගත් යැයි රජය කල්පනා නොකරන බවද මෙයින් ගම්‍ය වේ.

දැනටමත් සංවර්ධන කටයුතු ආරම්භ කර ඇති කිඹුලාඇළ හා දියවන්නා ඔය ආශ්‍රිත භූමි ප්‍රදේශ හැර අනෙකුත් තෙත් බිම් ප්‍රදේශ ආරක්ෂිත ප්‍රදේශ ලෙස නම් කිරීමට මෙම කැබිනට් පත්‍රිකාවෙන් වනජීවී අධ්‍යක්ෂවරයාට නියෝග කර තිබේ. ඒ අනුව පෙනී යන්නේ විශාල තෙත් බිම් පද්ධතියක් නව ඉදිකිරීම් සඳහා අවිධිමත්ව යොදාගැනීමට රාජ්‍ය අංශයට ඉඩ තබා ගනිමින් තැන තැන පුද්ගලයන් විසින් කරනු ලබන තෙත් බිම් ගොඩ කිරීමට තහංචි පැනවීමය.

ජාතික වශයෙන් වැදගත් වන්නේ ස්වාභාවික පරිසර පද්ධති මිස විවිධ දේශපාලන සංකල්ප මත පදනම් වූ ඊනියා සංවර්ධනය නොවේ. ඒ නිසා තෙත් බිම් හා එහි වෙසෙන ජීවීන් රැක ගැනීම සඳහා රජය අවංකව මැදිහත් විය යුතුය. නීති පනවනවා මෙන්ම පැන වූ නීති රැකීමටද රාජ්‍ය නිලධාරීන් වගබලාගත යුතුය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon