මූ ඉන්දියාවේ හිඟන්නන්ට එකතු වී මහ රජ්ජුරුවන්ට ද්‍රෝහිකම් කරනවා

  👤  4748 readers have read this article !
2018-08-26

ශි්‍රයානි අජන්තා විතාන

මේ වර්ෂයේම අවසාන භාගයේදී වේල්ස් කුමාරයා ඉන්දියාවට පැමිණීම නිසා මුළු රට තුළම ඔහු වර්ජනය කිරීම සම්බන්ධව මහා ආන්දෝලනයක් ඇති විය. කලක් තිස්සේ භාරත විමුක්තිය පිණිස සටන්වල යෙදී සිටි භාරතීය ජනතාව ඉන්දියාවේ සෑම පෙදෙසකම ඔහුගේ පැමිණීමට විරුද්ධව වර්ජන ව්‍යාපාර ආරම්භ කළහ. එහෙත් බෞද්ධයන් වෙනුවෙන් වේල්ස් කුමාරයාට පිරිත් දෙසා ආශීර්වාද කිරීමට වංග ජාතික භික්ෂූහු කිහිප නමක් හා එකල කල්කටාවේ සිටි ලාංකික බෞද්ධ භික්ෂූහු කිහිප නමක්ද ඉදිරිපත් වූහ.

මහා ජනයා ඔහු වර්ජනය කළත් හින්දු, මුස්ලිම්, ක්‍රිස්තියානි ආදී පූජකවරුද ඔහුට ආශීර්වාද කිරීමට ඉදිරිපත් වූහ. බෞද්ධයන් වෙනුවෙන් අප ඉහත සඳහන් කළ රාජගුරු ධර්මාධාර, රඹුක්වැල්ලේ ශ්‍රී සිද්ධාර්ථ, කුකුල්නාපේ දේවරක්ඛිත, කුඹල්වැල්ලේ සිරිනිවාස යන හිමිවරු හා තවත් වංග ජාතික භික්ෂුන් වහන්සේලා කිහිප නමක් ද ඉදිරිපත් වූහ. එකල ඒ රටේ සිටි ළාබාල භික්‍ෂුව වූ මටද එයට සම්බන්ධ වන ලෙස මහාබෝධි සමාගමෙන් දන්වා එවූ නමුත් මම එයට එකඟ නොවූයෙමි. ඉන්දියාවේ ලක්ෂ සංඛ්‍යාත ජනයා විසින් වර්ජනය කරනු ලබන වේල්ස් කුමාරයා පිළිගැනීමට අප සහභාගි වන්නේ නම් එය ඉන්දියානුවන්ට විරුද්ධව කරන ක්‍රියාවක් බව කියා මම එයට විරුද්ධ වුණෙමි. මෙහිදී රඹුක්වැල්ලේ හාමුදුරුවන් මට බැන වැදුණේ ළාබාල කාලයේ සිටම තක්කඩිකම් කරන්නට පටන් ගත්තාද? අසමිනි. මා සමඟ අමනාපයට පත් ඒ උගත් මහතෙරුන් වහන්සේ එතැන් සිට මා ඉන්දියාවෙන් එළවා දැමීමට කුමන්ත්‍රණය කළ බව මෙහි සඳහන් කරන්නේ කනගාටුවෙනි. "මූ පුංචි වුණාට මොකද ඉතාම නරක පුද්ගලයෙක්. ඉන්දියාවේ හිඟන්නන්ට එක් වී අප මහ රජ්ජුරුවන්ට පවා විරුද්ධකම් කරන රාජද්‍රෝහියෙක්. මූ හිටියොත් ලාංකික ශිෂ්‍යයෝත් නරක් වෙන්නට පුළුවන්" මෙබඳු වචන රඹුක්වැල්ලේ හාමුදුරුවන්ගේ සිරිමුවින්ද පිට වූ සේක. එදා වේල්ස් කුමාරයා බොම්බායට පැමිණ ගොඩබට දින පටන් ඔහු ගිය සෑම තැනම හර්තාල් පවත්වන්නට වූහ.

මේ වර්ජන ව්‍යාපාරයට නායකත්වය දෙනු ලැබුවේ මහත්මා ගාන්ධිතුමා විසිනි. එදා කුමරා කල්කටාවට පැමිණි දින එහි සියලු වැඩ නවත්වා පාසල්, විද්‍යාල, කඩපළවල් හා වැඩපළවල්ද වසා රාත්‍රි මහා මාර්ගවල විදුලි ආලෝකය පවා නොමැතිව අන්ධකාරව තිබුණේය.

එයින් එහි ජනතාව බලාපොරොත්තු වූයේ බිරිතානි පාලනයට රටවාසීන්ගේ විරුද්ධත්වය සමඟම රටේ විමුක්තියට, ස්වාධීන නිදහසට ජනතාව තුළ පැවැති ආශාව දැක්වීමටයි. එදා ළාබාල වියෙහි සිටි මමද ලංකාව වෙනුවෙන් විමුක්තිකාමී ලාංකික ජනතාව වෙනුවෙන් කුමාරයාට පිරිත් කීමට නොගොස් විරුද්ධත්වය පා ලංකාවේ ගෞරවය රැක ගතිමි.

කෙසේ වුවද ද එතැන් සිට සිද්ධාර්ථ හිමියෝ මට හිතවත්කම් පෙන්වමින් මා ඉදිරියේ ධර්මපාලතුමාගේ අගුණ කියන්නට පටන් ගත්හ. එහෙත් ධර්මපාලතුමා කෙරෙහි මා තුළ පැවැති භක්තිය හීන කිරීමට රඹුක්වැල්ලේ හාමුදුරුවන්ගේ උගත්කම මදි විය.

මේ අතරතුරදී අපට ධර්මපාලතුමාගෙන් ශාන්ති නිතේකනය අතහැර කල්කටාවට පැමිණෙන ලෙස දන්වා ලිපියක් ලැබුණේය. සිරිනිවාස තෙරුන් වහන්සේත්, විමලානන්දත් ධර්මපාලතුමාගේ කීම අනුව කල්කටාව බලා පිටත් විය. එහෙත් මම ශාන්ති නිකේතනයේම නතර වුණෙමි. දින කිහිපයකින් නැවතත් ධර්මපාලතුමාගෙන් ලිපියක් ලැබුණු නිසා මමද කල්කටාව බලා පිටත් වුණෙමි. එහෙත් මා සතු පත පොත ආදී කිසිවක් එහි ගෙන ගියේ නැත. මා එහි ගියේ නැවත ශාන්ති නිකේතනයට එන අදහස ඇතිවයි. ධර්මපාලතුමා මට අවවාද කොට කල්කටාවේ ධර්මරාජික විහාරයේ නැවතී සිටගෙන විහාරය රැක බලා ගන්නා ලෙස අවවාද කළේය. ඉගෙනීම කරගෙන යෑම නවත්වා විහාරය රැක බලා ගන්නට පැමිණීම ඉගෙනීමට බාධාවක් නොවේදැයි මම ඇසීමි. සමාගමට මුදල් නැති නිසා තමාට මේ තීරණයට එළඹෙන්නට සිදුවූ බව ධර්මපාලතුමාගේ පිළිතුර විය.

මා එයට එකඟ වුණේ නැත. දඹදිව නූගත් බමුණන්ගේත්, අපේ රටේ නූගත් භික්ෂූන්ගේත් තත්ත්වය එක සමාන යැයි කී මම ඉගෙන ගැනීමට පිළිවෙළක් නැත්තම් කල්කටාවේ නැවතී සිටීමෙන් මට වැඩක් නැතැයි අවධාරණයෙන්ම කියා සිටියෙමි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon