'චේ' නොමියෙන හදවත

  👤  4666 readers have read this article !
2018-08-26

උදේනි සමන් කුමාර

ලොව එතෙක් මෙතෙක් කිසිදු නළුවකුට අර්නස්ටෝ චේ ගුවේරාට තරම් ප්‍රතාපවත් හැඟීම්බර මුහුණක් තිබුණේ නැතැයි කිවහොත් එය අතිශයෝක්තියක් නොවේ. 'චේ' ගේ මේ ඡායාරූපය නිතර දකින්නට නොලැබුණු දුර්ලභ එකක් බැවින් මෙවර එය පළ කරන්නට තීරණය කළෙමි. බලන්න නළුවකුගේ වෙස් ගැන්වූ මුහුණත් චේගේ ස්වභාවික සැබෑ මුහුණත් අතර වෙනස ලෝකයේ කොතැනක හෝ සිටින සියලු පීඩිත ජනතාවන්ගේ ආදරය දිනූ අසාමාන්‍ය මානව හිතවාදියාගේ, විප්ලවවාදියාගේ මන්දස්මිතිය රැඳුණු මුහුණ කිසිදා සිතින් මකා දැමිය හැකිද?

'චේ' ගැන මොනවා ලියන්නද 'චේ' ගැන හැමෝම දන්නවානේ යැයි පින්තූරයේ කතාවට මේ පින්තූරය ගනිද්දී කෙනෙක් කීය. ඔව් චේ ගුවේරා සම්බන්ධ හැම දෙයක්ම මේ වන විට දහස් වරක් ලියැවී ඇති නිසා මමද එසේ සිතුවෙමි. කෙසේ වුවත් මම 'චේ' ගේ පින්තූරය නව පරපුරේ මාධ්‍යවේදිනියකට පෙන්වා. 'මේ කවුද? දන්නවා දැයි ඇසුවෙමි.' 'හා ඉන්න මං කියන්නම් එයා රතු එක්කෙනෙක් නේ දැයි?' ඇය පෙරළා ප්‍රශ්න කළාය.

චේ ගුවේරා හඳුනන, ඔහුගේ අසාමාන්‍ය ජීවිත පරිත්‍යාගය දන්නා පරම්පරාව මියයමින් සිටිති. අලුත් පරම්පරාවට ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් වැඩක් නැතිවා සේම 'චේ' ගෙන්ද වැඩක් නැත.

ලෝකය මිනිසාට වඩා යහපත් තැනක් බවට පරිවර්තනය කිරීමේ අධිෂ්ඨානයට කැපවුණු චේගුවේරා මෙක්සිකෝවේ ආපන ශාලාවකදී ප්‍රථමයෙන් හමුවන්නේ රාවුල් කැස්තේ‍රා්ටය. කියුබාව බැටිස්ටාගේ පාලනයෙන් නිදහස් කර ගැනීමේ පළමු වෑයම වූ ජූලි 26 ව්‍යාපාරයේ පරාජයෙන් පසු ෆිදෙල්, රාවුල් ඇතුළු පිරිස මෙක්සිකෝවට පලා ගොස් තිබිණි. කියුබානු නායක පිදෙල් කැස්තේ‍රා් පවසා තිබුණේ 'චේ' හමු වී සාකච්ඡා කළ පළමු මිනිත්තුවේදී ඔහු අප සමඟ කියුබන් විප්ලවයේ විජයග්‍රහණය දක්වාම රැඳෙන බව මා ඔහුගේ දෙනෙත් තුළ දුටුවා කියාය.

ඇමෙරිකාවේ එළිපත්තේ පිහිටි කියුබාව සමාජවාදී දේශයක් බවට පත්කරන්නට කියුබන් විප්ලවයට නායකත්වය දුන් 'චේ' ගුවේරා නමැති ආර්ජන්ටිනා වෛද්‍යවරයා එතැනින් නතර වූයේ නැත. ඔහු එක්තරා රාත්‍රියක කියුබාවේ කර්මාන්ත ඇමැති ධුරයට ආයුබෝවන් කියා නික්ම ගියේය. ඔහු කියුබාව හැර ගියේ ඔහුගේ බිරිය සහ දරුවන් කියුබාවේ සිටියදීය. ඔහු කැස්තේ‍රා්ට ලියා තබා ගිය ලිපියේ මෙසේ සඳහන් කර තිබිණි.

'මම මගේ දරුවන් කියුබාවේ තබා යනවා. ඔවුන් රැක බලා ගන්නැයි මා ඔබෙන් ඉල්ලන්නේ නැහැ. කියුබාවේ කොතැන සිටියත් සෑම දරුවකුටම සෑම උදෑසනකම කිරි වීදුරුවක් ලැබෙන පරිදි අපි සමාජවාදී කියුබාව ගොඩනඟපු නිසා එවැන්නක් අවශ්‍ය වන්නේ නැහැ. මගේ දරුවන් කියුබාවේ අනෙක් දරුවන් වගේම නිරෝගීව තරුණ වියට පාතබනු ඇති යන විශ්වාසය මට තිබෙනවා.'

පිදෙල් කැස්තේ‍රා් ප්‍රංශ මාධ්‍යවේදී රමෝනේ සමඟ මෙසේ පවසා තිබිණි.

"වානේ මෙන් ශක්තිමත්, ධෛර්යවත් පුද්ගලයකුට වුණත් ගරිල්ලා භටයකුගේ ජීවිතය විඳ දරාගන්න බැහැ. නමුත් චේ ගේ අධිෂ්ඨානය ඒ සියලු බාධා අබිබවන්නක්. හොඳම උදාහරණය ඇදුම රෝගයෙන් පීඩා විඳි ඔහුට තුන්වරක්ම ඇදුම රෝගයට බොන බෙහෙත අමතක වුණා. කියුබාවට යෑම සඳහා ග්‍රැන්මා බෝට්ටුවට නඟින විට ඔහුට බේත් අමතක වුණා. බොලීවියාවට යන විටත් ඔහු සමඟ බේත් තිබී නැහැ. බොලීවියාවේදී දින 40ක් අසීරු ගමනේදී තුන්වැනි වතාවට බේත් අමතකව තිබෙනවා.

වරක් සියෙරා මහේසත්‍රා කඳුවැටියේ බිහිසුණු සටනකින් පැය තුනකට පසු අප ජයගත්තා. විශාල වශයෙන් අපේ සතුරන් මියගියා. අපටත් අනතුරු සිදුවුණා. විශාල ආයුධ ප්‍රමාණයක් අපට හිමි වුණා. 'චේ' තුවාල වූ අපේ අය වගේම තුවාල ලැබූ සතුරු සිරකාරයනුත් කඳවුරට ගෙනත් හැම දෙනාටම සමානව බේත් කළා. සිරකරුවන් අතර සිටියා පණ අදින තරුණ සොල්දාදුවෙක්. චේට තේරුම් ගියා ඔහුගේ ජීවිතය බේරා ගත නොහැකි බව. 'චේ' මොකද කළේ කියා දන්නවද? ඔහු නැඹුරු වී පණ අදින තරුණ සිරකරුවාගේ හිස දෑතින්ම අල්ලා ආදරෙන් සිප ගත්තා. ඔහුට බොලීවියානු විප්ලවය දිනන්න නොහැකි වුණා. 1967 ඔක්තෝබර් 9දා සතුරන් අතට පත්වූ විට ඔවුන් 'චේ'ට වෙඩි තිබ්බා. ඔවුන් මෙතෙක් ලොව බිහි වූ වඩාත්ම මානවහිතවාදී මිනිසා මරා දැමුවා."

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon