ජනාධිපති ජේ.ආර්. චිත්‍රපට අධ්‍යක්‍ෂ යාපා ටැක්සි රියැදුරකු කළ හැටි

  👤  4746 readers have read this article !
2018-08-26

ඒ 1979 වසරයි. ජේ.ආර්. ජයවර්ධනගේ නායකත්වයෙන් එක්සත් ජාතික පක්‍ෂය ආණ්ඩු බලය ලබාගෙන වසර දෙකක් සපිරුණු වසරයි. එවක ආණ්ඩුවේ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළේ වික්‍රම වීරසූරිය මහතාය.

ඒ මහතාගේ තීරණයක් මත ආණ්ඩුවට දෙවසරක් සපිරීම නිමිත්තෙන් වාර්තා චිත්‍රපටයක් නිර්මාණය කිරීමට රජයේ චිත්‍රපට අංශයට භාර කෙරිණි. එය නිර්මාණය කිරීමේ කටයුත්ත භාර වූයේ එවකට රජයේ චිත්‍රපට අංශයේ අධ්‍යක්‍ෂවරයකුව සිටි සුගතපාල සෙනරත් යාපාටය. රජයේ ලිපිකරු සේවා සංගමයේ තනතුරක් දැරූ යාපා ලංකා සම සමාජ පක්‍ෂයේ මධ්‍යම කාරක සභිකයකුද විය.

ඒ වන විට යාපා "හන්තානේ කතාව" "පෙම්බර මධු" වැනි වෘත්තාන්ත චිත්‍රපට නිර්මාණය කර ජනප්‍රිය හා දක්‍ෂ අධ්‍යක්‍ෂවරයකු ලෙස නමක් දිනා සිටියේය.

ආණ්ඩුවට දෙවසරක් සපිරීම නිමිත්තෙන් තැනීමට සැලසුම් කෙරුණු "අනාගතය උපන් දවස" වාර්තා චිත්‍රපටයට ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනයන්ගේ ප්‍රකාශයක් ඇතුළත් කිරීමටද අවශ්‍ය විය. ඒ බව දන්වා ඔහු ජනාධිපති ලේකම් කාර්යාලයට ලිපියක් මඟින් දැනුම් දුන්නේය.

ඒ අනුව දිනක් පෙරවරුවේ යාපා රජයේ චිත්‍රපට අංශ කාර්යාලයේ සිටියදී ජනාධිපති ලේකම් කාර්යාලයෙන් දුරකථන ඇමතුමක් ලැබිණි. එමඟින් පැවැසුණේ අවශ්‍ය ප්‍රකාශය ජනාධිපතිවරයාගෙන් ලබා ගැනීම සඳහා එදින සවස 4.20ට කොටුවේ ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණෙන ලෙසය.

බොහෝ දෙනා ජනාධිපතිවරයා හමුවට යන්නේ ඉස්තරම් අයුරින් සැරසීගෙන නමුත් යාපා, ජේ.ආර්. හමුවීමට ගියේ සාමාන්‍ය කාර්යාලයීය ඇඳුමිනි. ඔහු සමඟ ප්‍රවීණ කැමරා ශිල්පියකු වූ ලාල් වික්‍රමාරච්චිද විය.

හරියටම සවස 4.20ට විනාඩියක් තිබියදී ජනාධිපතිවරයා රැගත් මෝටර් රථය ජනාධිපති කාර්යාලයේ පෝටිකෝව යට නතර විය. ඔහු මෝටර් රථයෙන් බැස තමා සමීපයට ආ ආරක්‍ෂක නිලධාරියා සමඟ චචන කිහිපයක් හුවමාරු කර ගත්තේය.

ජනාධිපතිවරයා යාපා හඳුනන්නේ නැති බැවින් ඔහු හමුවීමට පැමිණ සිටින යාපා කවුදැයි ජේ.ආර්. තම ආරක්‍ෂක නිලධාරියාගෙන් කාටත් නොදැනෙන්නට අසන්නට ඇත. ඉන්පසු ජනාධිපතිවරයා යාපා සිටි දෙසට එමින් කලක සිටම දැන හඳුනන අයකු ලෙස සිනාසෙමින් "හලෝ යාපා" යි පවසමින් ලේකම් කාර්යාලයේ පියගැටපෙළ නැග්ගේය.

"දැන් මොනවද මගෙන් කෙරෙන්න ඕන මිස්ටර් යාපා" ජේ.ආර්. ඇසුවේය.

"මේ ජූලි මාසේ ඔබතුමාගේ ආණ්ඩුවට අවුරුදු දෙකක් පිරෙනවා. වික්‍රම වීරසූරිය මහත්මයා කීවා ඒ ගැන අපට වාර්තා චිත්‍රපටයක් හදන්න කියලා" යාපා කීවේය.
"ඔව්. ඉතින් මම මොකක්ද කොරන්ඩ ඕනෑ"

"සර්ගේ ආණ්ඩුව මහවැලිය අවුරුදු 6කින් ඉවර කරන්න ලෑස්ති කළා. එතකොට රැකීරක්‍ෂා දෙන්න නිදහස් වෙළෙඳ කලාපය පටන් ගත්තා. ඒත් ඒවා කළත් මිනිස්සුන්ගේ ජීවන වියදම තරමක් වැඩිවෙලා. අපිට පටිගත කරන්න ඒ ගැන සර්ගෙන් ප්‍රකාශයක් ඇතුළත් කරන්නයි වුවමනා" යාපා කීය.

"ජීවන වියදම වැඩියි?. ධඩ... රධභ ඬදධඹ ඡඥබබඥප බඩචද ථඥ. රධභ චපඥ ච ඹ්ඵඵනඥප දධ?" (මටත් වඩා උඹ දන්නවා ඒ ගැන. උඹ සම සමාජ කාරයානේ.)
ජේ.ආර්. එසේ පවසමින් තම මේසය ඉදිරිපිට පුටුවේ වාඩි වී ප්‍රකාශය ලබා දීමට සූදානම් වූයේය. කැමරාවට අවශ්‍ය පරිදි ජනාධිපතිවරයාගේ පසුතලය සකස් කළ පසු මයික්‍රෆෝනය මේසය මත සවි කෙරිණි.

"මගේ කතාවට විනාඩි කීයක් වුවමනාද"
ජේ.ආර්. විමසුවේය.

"සිංහල ප්‍රකාශයට විනාඩි තුනහමාරයි. ඉංගී්‍රසි ප්‍රකාශයට විනාඩි තුනහමාරයි. මම සංඥාව දෙනකොටම සර් කතාව පටන් ගන්න." යාපා පිළිවදන් දුන්නේය. අනතුරුව ජනාධිපතිවරයාගේ ප්‍රකාශය ආරම්භ කෙරිණි.

"මගේ ආණ්ඩුවට අවුරුදු දෙකක් සම්පූර්ණ වෙනවා. මේ අවස්ථාවේ ඒ ගැන ප්‍රකාශයක් කොරන්ඩ ලැබීම ගැන සන්තෝෂ වෙනවා. අපි නිදහස් වෙළෙඳ කලාපයක් ආරම්භ කළා. දැන් ඒකේ තරුණ තරුණියන් පනස් දහසක් රැකියා කොරනවා. අවුරුදු තිහකින් වැඩ ඉවර කොරන්ඩ හදපු මහවැලිය අපි අවුරුදු හයකින් හදලා අවසන් කොරනවා. ඒකේ තවත් විසිපන් දහසක් විතර රැකියා කොරෙනවා. මේ විදිහට අපි ලොකු වැඩපිළිවෙළක් පටන් අරගෙන තියෙනවා. ඒත් මට ළඟදී හමුවුණා ටැක්සි මිත්‍රයෙක්. ඒ කියන්නේ ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක්. ඒ මිත්‍රයා මට කීවා රටේ ජීවන වියදම සැරයි කියලා. ඔව් ඒකේ ඇත්තක් තියෙනවා. මං ඒ ටැක්සි මිත්‍රයාට කීවා සල්ලි භාවිතය වැඩි වුණාම ජීවන වියදම අඩුවෙයි කියලා...."

හරියටම විනාඩි හතකින් ජනාධිපතිවරයාගේ සිංහල ඉංගී්‍රසි ප්‍රකාශ අවසන් විය. කැමරාව නතර කෙරිණි. රජයේ චිත්‍රපට අංශයේ චිත්‍රපට අධ්‍යක්‍ෂවරයකු විනාඩි කිහිපයකින් "ටැක්සි මිත්‍රයකු" බවට පත් කළ ජේ.ආර්.ගේ ප්‍රකාශයෙන් යාපාගේ නළල රැලි ගැන්වී තිබිණි.

ජේ.ආර්. තම සේවයකුට කියා ගෙන්වූ ‍ෙදාඩම් යුෂ වීදුරුව ඉක්මනින් පානය කළ යාපා කැමරා ශිල්පී ලාල් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේ පඩිපෙළ බැස්සේ ජේ.ආර්.ගේ කතාව යළි හාස්‍යයෙන් යුතුව ආවර්ජනය කරමිනි.

කෙසේ වුවත් එ.ජා.ප. ආණ්ඩුවට වසර දෙකක් සම්පූර්ණ වීම නිමිත්තෙන් "අනාගතය උපන් දවස" එසේ වාර්තා චිත්‍රපටයකට නැඟී ප්‍රදර්ශනය කෙරිණි.

බන්ධුල ගුණරත්න

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon