දේශපාලකයන්ට සමච්චල් කළ හොරණ 'ජොනී' උපහාර උළෙල

  👤  4740 readers have read this article !
2018-08-26

ලංකාවේ කලින් කලට විවිධාකාර රැලි මතුවේ. උප සංස්කෘතික අංග වශයෙන් මතුවන රැලි ඇතැම්විට අවසන් වන්නේ ජනතාවට තිත්තවූ පසුය. නොඑසේනම් කවුරුන් හෝ මැදිහත්ව තිත්ත කළ පසුය. හතර දිග් බාගයේ ගම්වල සිටින ගම්වල මිනිසුන්ගේ පිච්චිය සූරා පන්සලේ සාංචි තොරණ බැඳ දේශපාලනඥයකු ගෙන්වා මහ උත්සවයක් පවත්වා විවෘත කිරීම මේ දිනවල පවතින එවැනි රැල්ලකි.

මෙවැනි පුරුදු අතීතයේ සිටම පැවතිණි. මෙයට අවුරුදු 45කට පමණ පෙර 1970 දශකයේ මුල රට පුරා දේශපාලනඥයන්ට උපහාර පවත්වන රැල්ලක් හමා ගියේය. එක් එක් කෂඩ දේශපාලනඥයන්ගේ දේශපාලන ජීවිතයට වසර 25ක් සම්පූර්ණ වී යැයි දිවයිනේ එක් එක් පළාත්වල උපහාර උත්සව පවත්වන්නට වූහ. ඒ වායේ පෙරමුණ ගත්තෝද එම දේශපාලනඥයන්ගේ චක්ගෝලයෝය. ගම්වල දුප්පත් මිනිසුන්ගෙන් ආධාර මුදල් එකතු කොට විශාල උත්සවයක් සංවිධානය කොට දේශපාලනඥයාට මල් මාලා පලඳවා තෑගි භෝග දීම උත්සවයේ ස්වභාවය වූයේය.

අපේ රටේ ඕනෑම රෝගයක් වසූරිය මෙන් වේගයෙන් පැතිරේ. උපහාර උත්සවද දකුණෙන් පටන් ගෙන රජරටටද රට පුරාද පැතිර යන්නට වූයේ පිම්බෙන්නට කැමැති මජර දේශපාලකයන් නිසාය. මේ උපහාර ලෙඩේට නියම බේතක් දුන්නේ එවකට 'දවස' පුවත්පතේ කර්තෘ ගුණදාස ලියනගේ විසිනි. ඔහු දවසේ ඉරිදා පුවත්පත වූ 'රිවිරැස' පෙරට දමා අපූරු උපහාර උත්සවයක් 'හොරණ' නගරයේ සංවිධානය කළේය. උපහාරය හොරණ නගරයේ මුට්ට කරගසන 'ජොනී' වෙනුවෙනි. මේ එම අපූරු ජොනී උපහාර උළෙල ගැන ගුණදාස ලියනගේ සූරීන් විස්තර කළ අන්දමයි.

ජොනී හෙවත් අප්පුසිංඤෝ අප ඉස්කෝලෙ යන කාලේත් හොරණ බස් නැවතුම්පොළේ බඩු මුට්ට කර ගැසූ වයස්ගත කම්කරුවෙකි. එවකට දේශපාලනඥයන්ට උපහාර පැවැත්වූයේ අවුරුදු 25ක් තිස්සේ ජනතාවට කළ සේවය වෙනුවෙන් නමුත් ජොනී ඒ වන විට අවුරුදු 35ක්ම ජනතාවගේ බරට කර ගසා තිබිණි.

'ජොනී උපහාර උළෙල' සංවිධානයට සිටි හොඳම පුද්ගලයා කිත්සිරි සමරනායක නිසා මම ඔහු හොරණට පිටත් කර යැව්වෙමි. ඔහු හොරණ නගරයේ සැලකිය යුතු කීප දෙනකුට කාරණය කියා උපහාරය සංවිධානය කළේය.

ඊළඟ 'රිවිරැසේ' මුල් පිටුවේ මම විශාල තැනක් දී ප්‍රවෘත්තිය පළ කළෙමි. දේශපාලනඥයකු දෑත් එකතු කර ජනතාවට ආයුබෝවන් කියන ආකාරයෙන් ගත් ජොනීගේ පින්තූරයක් ඉහළින් දමා මුට්ටයක් ඔසවාගෙන යන පින්තූරයක් පහළින් පළ කළෙමි. ප්‍රවෘත්තියේ හෙඩිම වූයේ 'අවුරුදු 35ක් බර ඉසිලුවාට ජොනීට උපහාර' යන්නය.

ප්‍රවෘත්තියට පාඨක ප්‍රතිචාරය අප හිතුවාට වඩා විශිෂ්ට විය. රැස්වීමට ආධාර දීමට තවත් විශාල පිරිසක් ඉදිරිපත් වූහ. ජොනීට මුදලින් ආධාර සහ තෑගි බෝග ගලා එන්නට විය. මේ අතර මට තර්ජනාත්මක ටැලිපෝන් ඇමැතුම් දෙක තුනක්ද විය. මා කාර්යාලයෙන් එළියට බසින්නේ කොයි වේලාවටදැයි එයින් සමහරු ඇසූහ. මා කරන්නේ ප්‍රවෘත්තිය පළ කිරීම පමණක් බවත් උපහාර උත්සවයට විරුද්ධ නම් හොරණට ගොස් එහි සංවිධායකයන් අල්ලා ගන්නා ලෙසත් මම කීවෙමි.

මේ අතර දිනක් කිත්සිරි පැමිණ එක්තරා යූ.ඇන්.පී. දේශපාලනඥයකු (අද බලවතෙක්) උපහාර උළෙලේදී පොඩි කතාවක් කිරීමට ඉඩ ඉල්ලා ඇති බව කීය. එම ඉල්ලීමට කොහෙත්තම ඉඩ නොදෙන ලෙස මම කිත්සිරිට කීවෙමි. ජොනී උපහාරය පොදු ජනතාවගේ උත්සවයක් නිසා එයට දේශපාලනඥයන් ගාවා නොගන්නා බව පැහැදිලි කර දෙන ලෙසද මම කීවෙමි.

ඊළඟ දවසේ කිත්සිරි මට වාර්තා කළේ රහස ්පොලිස් කණ්ඩායමක් පැමිණ සංවිධායකන්ගෙන් ප්‍රශ්න කළ බවය. ඔවුන්ට දැන ගන්නට අවශ්‍යව තිබුණේ උපහාර උළෙල පිටුපසින් සිටින්නේ කවුද, දේශපාලනඥයන් ඊට සම්බන්ධද යන කරුණු දෙකය. කිත්සිරි රහස් පොලිසියට කදිමට කරුණු අවබෝධ කරදී තිබිණි.

අන්තිමේදී රහස් පොලිසිය ඉහළට වාර්තා කළේ 'රිවිරැස' කර්තෘ ගුණදාස ලියනගේ පිටුපසින් සිට සංවිධානය කළ එම උත්සවයට කිසිම දේශපාලනයක් නැති 'උපහාර' උත්සවයක් පමණක් බවය.

ඓතිහාසික ජොනී උපහාර උත්සවය 1972 ඔක්තෝබර් 26 වැනි බ්‍රහස්පතින්දා හොරණ පොදු පිට්ටනියේදී පවත්වන ලදී. දිවයිනේ සිවුදෙසින් ජන ගංගාව හොරණට ඇදෙන්නට විය. බස්, ලොරි කුලියට ගත් කණ්ඩායම් වන්දනාවේ යන්නාක් මෙන් හොරණට රොක් වූවෝය. නොයෙකුත් තරාතිරමේ ලොකු ලොක්කෝද තඩි කාර්වලින් පැමිණ අෑතින් සිට විනෝද වූහ. උත්සවයේ වැඩ කෙරෙන අතර කිත්සිරි වරින්වර ටැලිෆෝන් කර තත්ත්වය වාර්තා කළේය. පානදුරේ ටැලිෆෝන් මධ්‍ය ස්ථානයේ සිටි සේවක මහතා උපහාර උත්සවයට කොයි තරම් උනන්දුවක් හා සහයෝගයක් දැක්වූයේද යත් වෙනදාට හොරණ - කොළඹ 'ට්‍රන්ක් කෝල්' එකකට පැය ගණනක් ගත වුවත් එදා තත්පරයෙන් හොරණත් 'දවස' නිවෙසත් සම්බන්ධ කළේය.

සුදු ජාතික ඇඳුමින් සරසවන ලද ජොනී පිට්ටනිය මැද වේදිකාවේ වාඩි කරවා ගුණ ගායනා පවත්වන ලදී. ඊළඟට නිර්නාමික කවියකු විසින් (යසපාල සමරනායක) රචනය කරදී තිබුණු කවිපෙළ තාලයට කියවන විට ජොනී පී්‍රතිය විඳ දරා ගැනීමට බැරිව ඉකි ගස ගසා අඬන විට ජනකායෙන්ද බොහෝ දෙනෙක් ඇඬු­හ.

ජොනීට තෑගි බෝග පිරිනමන අවස්ථාවේදී වේදිකාවට කඩා වැදුණු පිරිස සූදානම් කර තිබුණු තෑගි බෝගවලට අතිරේකව සරොම්, කමිස, තුවා, මුදල් ආදිය ජොනීගේ ඇඟේ ගැසුවෝය.

අන්තිමේදී ජොනී සිය ජීවිතයේ ප්‍රථම වතාවට මයික්‍රපෝනය ඉදිරියේ සිට කතාවක්ද කළේය.

ජොනී උපහාර උත්සවයේ ප්‍රතිඵලයක් වශයෙන් දේශපාලනඥයන් වෙනුවෙන් පවත්වාගෙන ආ උපහාර උත්සව සියල්ල නතර විය. එපමණක් නොව 'උපහාර' යන වචනය පවා මහජනයා සමච්චලයට ලක් කරන්නට පටන් ගත්හ.

හොරණ බන්දුල

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon