පන්හිඳෙන් හටන් කළ රංචාගොඩ ළමයාට 94යි

  👤  4582 readers have read this article !
2018-08-26

අනුරාධා හේරත්

සිරිලාල් කොඩිකාර වියපත් නොවන පත්තරකාරයාගේ 94 වැනි උපන් දිනය හෙට 27දාට යෙදී තිබේ. රංචාගොඩ ළමයා නමින් මාතර යුගයේ කිවිඳියක සිටියාය. නමුත් රංචාගොඩ ළමයා කියූ පමණින් මෑත ඉතිහාසයේ කවුරුත් දන්නේ හීන්දෑරි සුදු මිනිසෙකි. ඔහු නමින් සිරිලාල් කොඩිකාර වන්නේය. සිරිලාල් උපන්නේ 1924 අගෝස්තු 27දාය.

නිදහස් අරගලයේ තියුණු අසිපතක් වූ සිංහල ජාතිය පුවත්පතින් ඔහු ජනමාධ්‍යවේදියකු වන්නට අත්පොත් තබන්නේ 1948 අවුරුද්දේය. ජනතාවට එරෙහි වන්නෝ කවරහුද ඔවුන්ගේ තරාතිරම නොබලා පහර දෙන්නට තරම් තියුණු අභීත පන්හිඳක් සිරිලාල්ගේ ඇඟිලිතුඩු අතර තිබිණි.

වර්තමානයේ අයුක්තියට, අසාධාරණයට, දූෂණයට, විරුද්ධව ලියන අතළොස්සක් මාධ්‍යවේදීන් ගමන් කරන්නේ සිරිලාල්ලා එදා කටුකොහොල් සිඳ එළි පෙහෙළි කළ මාවත් ඔස්සේය. දේශපාලනඥයන්ට ප්‍රශස්ති ලියන පත්තර කලාව උඩුකුරු යටිකුරු කරන ලද්දේ මේ කුඩා මිනිසා විසිනි. ඔහු පත්තර කන්තෝරු 4ක සේවය කොට ග්‍රන්ථ 17ක් පළකොට ඉසිඹුලන විද්වතෙකි.

සිරිලාල් 'ලකුණ' වඩාත් හැඳිනිය හැක්කේ 'ඇත්ත' පුවත්පතේ ඔහු ඉදිරිපත් කළ විශේෂාංග තුළිනි. රංචාගොඩ ළමයා, එහිලා සුවිශේෂී වන්නේය. ඔහුගේ සමකාලීනයෝ අද අප අතර නැත. මේ ඔවුන් පිළිබඳ ලාල් තැබූ සටහනකි.

'මගේ සමකාලීනයෝ බොහෝ දෙනා දැනට ජීවතුන් අතර නැහැ. සිරිල් සී. පෙරේරා මෑතකදී නැතිවුණු බව මතකයි. මාර්ටින් වික්‍රමසිංහ කියන්නේ මගේ බිරියගේ ඥාතියෙක්. මගේ බිරිය ජීවත්ව සිටියදී මාර්ටින් වික්‍රමසිංහට කතා කළේ 'මාමා' කියලා. 'ඇත්තට' මා යන විට එහි කර්තෘ බී.ඒ සිරිවර්ධන. ඔහු මට හොඳට සැලකුවා. මම ඔහුගෙන් බොහෝ දේ ඉගෙන ගත්තා. ඔහු මගේ පෑනට තහංචි නොදමා හිතේ හැටියට ලියන්න ඉඩ හසර දුන්නා.

මේ 'හෙජින් ගිවිසුම' නිසා ආණ්ඩුව කෝටි ගණනින් රටට පාඩු කළ විට රංචාගොඩ ළමයා ලියූ කවියයි.

මගේ හුචක්කුව හුටු හුටු ගා දුවන
වෙනදා වගේ නොව දැන් ලෙඩ දෙනවාය
ටැංකිය සුද්ද කෙරුවෙමි පැට්රල් දාන
හෙජින් ගිවිසුමේ රොඩු බොඩු තිබුණාය
අනේ පනේ අපි දැන් කොහොමද යන්නේ
මගේ සුසානෝ සෝකෙන් අහන කොට
ගසා සරම උස්සා ඇමැතිට පැට්රල්
කරේ නඟින්නට මට හිත නොදේවිද?

ඔහුගේ කවි සිත පන්නරය ලැබුවේ කොමියුනිස්ට් පක්‍ෂය සමඟ ඇතිකර ගත් ඇයි හොඳයිය හේතුවෙනි. ඔහු රුසියානු සාහිත්‍යයෙන් ලැබූ ආභාසය ඔහුගේ පෑන තව තවත් මුවහත් කළ බව පෙනේ. ඔහු සමාජ සත්තා යථාර්ථවාදය මත පදනම්ව නිර්මාණ බිහිකළ ලේඛකයන් අතළොස්ස අතර කැපීපෙනේ. දේශීය ජන කවිය හා සම්භාව්‍ය සාහිත්‍ය තුළින් යථාර්ථවාදී විරෝධාකල්ප මතුකළ බුහුටි කවියා වන්නේද සිරිලාල් කොඩිකාරය.

මෙහෙව් රටේ රංචාගොඩ ඉපදීලා
රුහුණු රටට මංදීලා ඉලව්වේ
දෙමට පොතු කකා කටහම යන්නෝයා
හැම දෙයියෝ මගෙ මිනිහා රකෝරකෝ

රංචාගොඩ ළමයාගේ මේ කවිය ජන කවියේ ඇසුර මොනවට පැහැදිලි කරයි.
කනේරු මල්, කෝසල සිහින, බකවත, නොරජුන්ගේ අන්ත--පුරය වැනි කෘති ඔහු අතින් ලියැවෙන්නේ සිංහල සම්භාව්‍ය සාහිත්‍යය ඇසුරෙනි. ඔහු 'ගැටස් සන්දේශය', 'මඟුල් ගෙදර' වැනි විශේෂාංග තුළින් රාජ්‍ය ප්‍රතිපත්තිවලට පහර දුන්නේ ඒවා ජනතාවට පීඩාකාරී වූ අවස්ථාවන්හිදීය.

සිරිලාල්ගේ කවි උපහාසය මිස වෛරය මත පදනම් නොවීය. ඔහුගේ නිර්මාණ හැම විටෙකම තියුණු උපහාසයෙන් යුතු හාසේ‍යාත්පාදක රචනා වූයේය.

'මට දේශපාලන තර්ජන ගර්ජන ආවා. මම ඒවාට කවියෙන්ම උත්තර දුන්නා'ඔහු උපහාසයෙන් සිනාසෙමින් පවසයි.

සිංහල පුවත්පත් කලාවේ වපසරිය පුළුල් කිරීමට සිරිලාල් ඉටු කළ මෙහෙය පහසුවෙන් අමතක කළ නොහැකිය. නව පරපුරට ඔහුගෙන් ඉගෙන ගන්නට තවත් බොහෝ දේ තිබේ. අනූ හතර විය සපුරන සිරිලාල් දැන් සිතින් වියපත් නොවූ සොඳුරු මිනිසෙකි. එහෙත් වත්මනෙහි බොහෝ ක්‍ෂේත්‍රයන්හි දකින පරිහානිය පිළිබඳව ඔහු තුළ කම්පාවක් නැත. ඔහු පවසන්නේ 'දැන් රට ලෝකය යන අත වෙනස්. ඒ වෙනසට අපි හැඩ ගැහෙන්නට ඕනෑ.

හැම දේම සමාජ සංවර්ධනය සමඟ ඉදිරියට යනවා නොවැ. අපිට එක තැන රැඳෙන්න බැහැ. පවතින තත්ත්වයන් යහපත් කරගන්න පෑන අතේ තියෙන අයට ලොකු වගකීමක් තියෙනවා. අපි අපේ කාලෙ ඒ වගකීම පුළුවන් තරමින් ඉෂ්ට කළා' යනුවෙනි. අපි සිරිලාල් කොඩිකාර නම් අදීන නිර්මාණකරුවාට දීර්ඝායු පතමු.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon