ඇසට ඇස, දතට දත එහෙත් සමාව දීම ඊට වඩා ශේ්‍රෂ්ඨය

  👤  4323 readers have read this article !
2018-08-26

හදිසි කෝපය සෑම විටම විනාශකාරී තීරණ ගනී. ඉරානයෙන් ඇසෙන මේ පුවත ඊට සාක්ෂි සපයනු ඇත. විසි වැනි වියේ පසුවූ බලාල්, අබ්දුල්ලා සමඟ පාපන්දු ක්‍රීඩාවේ නිරත වූවෙකි. එහෙත් කිසියම් මතභේදයකින් ඇති වූ හදිසි කෝපසහගත අවස්ථාවකදී බලාල් පිහියෙන් ඇන අබ්දුල්ලා මරණයට පත් කළේය. අබ්දුල්ලා ඉරානයේ ගෘහණියක වූ සමීරාගේ එකම පුතුය. අත්අඩංගුවට පත් බලාල්ට මරණ දඬුවම හිමි වූ අතර, වසර හයක සිරදඬුවමකින් පසු 2014 අප්‍රේල් 25 දින මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට සියලු විධි විධාන යොදා තිබිණි.

ඉරානයේ දඬුවම් ක්‍රියාත්මක වන්නේ ශරියා නීතියට අනුකූලවය. මරණ දඬුවම දෙන අවස්ථාව එළිමහනේ ජනතාව ඉදිරියේ සිදු කරනු ලැබේ. මරණ දණ්ඩනය හිමි වූ පුද්ගලයා පුටුවක් මත සිටුවා ගෙලට තොණ්ඩුව දමනු ලැබේ. මියගොස් ඇත්තේ පුතකු නම් ඔහුගේ මව විසින් මරණයට නියම වූ තැනැත්තා නංවා සිටින පුටුවට පා පහරක් ගසා පුටුව ඉවත් කිරීම සිදු කළ යුතුය. තම දරුවා මරා දැමූ සතුරාට එරෙහිව සිත තුළ කැකෑරෙන වේදනාව තරමක් හෝ අඩුකර ගැනීමට මවට එම පළිගැනීමට අවස්ථාව සලසා දීම එහි අර්ථය විය යුතුය.

මරණ දඬුවම සිදු කිරීමට නියම කළ දිනයට දින දහයක සිට සමීරා නැවත නැවත එකම සිහිනයක් දුටුවාය. එනම් ඇගේ මියගිය පුතු අබ්දුල්ලා සිහිනයෙන් පැමිණ දැන් තමා යහපත් ස්ථානයක සිටින බැවින් බලාල්ට සමාව දෙන ලෙසය.

මරණ දණ්ඩනයට නියමිත දිනය එළැඹිණි. බලාල් සිරගත කර තිබූ ව්ධභප නම් බන්ධනාගාරය ඉදිරිපිටට මෙය නැරැඹීමට පැමිණ තිබුණේ අති විශාල ජනකායකි. වධකයන් විසින් බලාල් තරුණයාව වධක භූමියට රැගෙන ආවේ බලහත්කාරයෙන් මෙනි. ඊළඟ මොහොතේ මරණය සිදුවන බව දන්නා අයකුගේ හැඟීම් අපට වටහා ගත හැකිද? චූදිතයාට අදාළ පුටුව මත සිට ගැනීමට සලස්වන ලදී. ඔහුගේ දෑත් පිටුපසට කර බැඳ තිබුණු අතර දෑස කළු පටියකින් තදින් ආවරණය කොට තිබිණි. ගෙලට සමාන්තරව සිටින සේ තොණ්ඩුව සකස් කළ ඝනැති කඹයේ අනෙක් කෙළවර පසෙක තිබූ යකඩ වැටක ගැට ගසා තිබිණි.

එදින වාර්තාකරණය සඳහා පැමිණ සිටි ඡායාරූප ශිල්පියා තමාගේ අත්දැකීම විස්තර කළේ මෙසේය.

"ඒ මොහොතේ වටපිටාවේ පැවතුණේ හරිම ආතතියක්. මහා ජනකායක් ඔවුන්ව වෙන් කොට ගසා තිබූ වැට අසල පොරකමින් සිටියේ ඝාතකයාට මරණ දඬුවම හිමි වන අයුරු නැරැඹීමටය. කුරාන පාඨයක් ඔහුට ඇසෙන්නට කියවූ පසු එක් වධකයෙක් තොණ්ඩුව ඔහුගේ ගෙලට දමන විට ඔහු මහ හ¾ඩින් කෑ ගසමින් සමාව අයදින්නට වුණා. පරිසරය පුරා දෝංකාර නැංවුණේ අභය දානය ඉල්ලා බලාල් කෑ ගසන වියරු හඬ"
තවත් මොහොතක් ගෙවී ගියේය. මහ හ¾ඩින් කළ කෑ ගැසීම එක තත්පරයකට නැවතිණි. ඒ එක්කම ඇසුණේ පුටුවට පා පහර දීමට සැරසී සිටි සමීරා විසින් පුටුව ඉවත් කරනු වෙනුවට බලාල්ගේ කම්මුලට ගසන ලද අතුල් පහරේ හඬය. ඒ සමඟම ඇය මහ හ¾ඩින් කියා සිටියේ තමා බලාල්ට සමාව දුන් බවයි. එය ඇසුණු විට රැස්ව සිටියවුන් නැඟූ මහා ඝෝෂාව අතරේ අබ්දුල්ලාගේ පියා විසින් බලාල්ගේ ගෙලට වැටී ඇති තොණ්ඩුව ඉවත් කරන දර්ශනය රැස්ව සිටි ජනතාව නැරැඹුවේ විස්මයට පත් වෙමිනි. තොණ්ඩුව ඉවත් කිරීමට සමීරා ද සහාය වීම එහි පුදුමය තවත් තීව්‍ර කළේය. ඒ සමඟම නරඹන්නන්ට දැකගැනීමට හැකි වූයේ තවත් සංවේදී දසුනකි. රැස්ව සිටි සෙනඟ අතරින් ඉදිරියට දුව ආ බලාල්ගේ මව සමීරාගේ දෙපා අබියස වැඳ වැටෙන්නට තැත් කළ අයුරුත් "පුතකු නැති වීමේ දුක මම දන්නවා" කියමින් ඇයව දෙවුරින් ඔසවා වැලඳ ගන්නා සමීරාත්ය.

රැස්ව සිටි පිරිස ඇමතූ සමීරා පැවැසුවේ ඇයටත් විස්තර කළ නොහැකි අයුරින් ඇය දුන් අතුල් පහරත් සමඟ මම සමාව දුන්නා යැයි පවසා තොණ්ඩුව ඉවත් කළ මොහොතේ සිට වසර ගණනාවක් පුරා ඇගේ හදවතට පීඩා දුන් වෛරය අහෝසි වී මහා සැහැල්ලුවක් දැනුණු බවය.

"ඇයටත් නොදැනීම ඇගේ හෘද අභ්‍යන්තරයේ මේ පිළිබඳ සටනක් පවතින්නට ඇති." ඒ අබ්දුල්ලාගේ පියාගේ අදහසයි.

"තරුණයන් ආයුධ අතැතිව සිටීම භයානකයි. එවිට හදිසි කෝපය නිසා මිනීමැරුම් සිදුවිය හැකියි. මිය යන්නේ ඔවුන් පමණක් නොවේ. ඔවුන්ගේ මවුපියන්ද මිය යනවා." පසුව මාධ්‍ය සාකච්ඡාවකට එක්වූ සමීරා පැවැසුවාය.

"ඇසට ඇස, දතට දත, එහෙත් සමාව දීම ඊට වඩා ශේ්‍රෂ්ඨ වේ." කුරානයේ කියමනක් තිබේ. ඒ අනුව තවත් මවකට පුතකු ලබාදුන් ඒ දෙපොළ ඊළඟට ගියේ තම පුතු වැළලූ සොහොන වෙතය.

වෛද්‍ය ලංකා සිරිවර්ධන

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon