දුක් වෙන්නේ දුකට පත්වෙන දේ කරලා තියෙන නිසයි

  👤  4452 readers have read this article !
2018-08-26

මිනිසකුට තම අතීතය දෙස ආපසු හැරී බලා සතුටු විය හැකි නම් ඒ සැබෑ සාර්ථක ජීවිතයකි.

"මගේ ජීවිතයේ ආපස්සට බලා මට සතුටු වෙන්න පුළුවන්. කවදාවත් දුක් වෙන වැඩක් කරලා නෑ" තම ශිෂ්‍ය පිරිස අමතා එක් දිනක් එසේ පැවැසූහ.

"දුක් වෙන්න නම් දුක් වෙන දේවල් කරලා තියෙන්න ඕනෑ. එහිදී උපේක්ෂා සහගත වීම හරිම වැදගත්. අටලෝදහමින් කම්පා නොවන තාක්කල් කවදාකවත් හිතට දුකක් දැනෙන්නේ නැහැ. මට දහසක් දෙනෙක් ගුණ කිව්ව පමණින් මම සතුටු වෙන්නේ නැහැ.

කිහිපදෙනෙක් හෝ අගුණක් කියන්න ඕනෑ. එයිනුත් මා ගුණ අසා ලබන සතුටම ලබනවා.

එක්කෙනෙක් හරි මෙහෙම අගුණ කියනකොට මට ඒ පෙන්වලා දෙන අගුණය මා තුළ තියෙනවා නම් ඒ අගුණය හදාගන්න පුළුවන්"
වරක් එක්තරා භික්ෂුන් වහන්සේ නමක් පිටු 16ක් පුරා අප ස්වාමීන් වහන්සේට ‍ෙදාස් පවරමින් එවා තිබූ ලිපිය උපේක්ෂාවෙන් යුතුව කියවා බලා එම ස්වාමීන් වහන්සේට ආශීර්වාද කරමින් ලිපියක් යැවූ උන්වහන්සේ එසේ සඳහන් කළහ.

උන්වහන්සේ සාමණේර කාලයේ සිටම කරගත් අධිෂ්ඨානයක් විය. ඒ භික්ෂු ජීවිතය ප්‍රතිපත්ති ගරුකව ගතකරන බවට සපථ කරගත් ස්වයං අධිෂ්ඨානයකි.

ලෝකයේ බොහෝ අයට ඇත්තේ ගිනිගත් සිත්ය. එම ගිනිගත් සිත් නිවන්නට නම් මෛත්‍රිය වැඩිය යුතුය. ප්‍රතිපත්තිගරුකව මෛත්‍රි භාවනාව නිතිපතා වඩන අප මා හිමිපාණන් වහන්සේ එම මෛත්‍රි චින්තාවෙන් දිනපතාම ලෝකයටම ආශීර්වාද කිරීම සිය පැවිදි ජීවිතයේ පුරුද්දක් කරගෙන සිටියහ.

එම මෛත්‍රි භාවනාව තම අනුගාමිකයන් අතර නිර්ලෝභීව බෙදාහදා දුන් උන්වහන්සේ ආරණ්‍ය ප්‍රතිපත්තිවලට එකඟව කටයුතු කරමින් ආරණ්‍යයෙන් ගමට, ගමෙන් නගරයට වැඩම නොකරමින් ආරණ්‍යගත ජීවිතයක්ම ගත කළහ.

අනිත්‍ය වූ ජීවිතය පිළිබඳ මනා අවබෝධයකින් යුතුව කටයුතු කළ අප ස්වාමීන් වහන්සේ අවස්ථා කිහිපයකදීම මරණාසන්න අත්දැකීම් ලැබුවද ඒ බොහෝ අවස්ථාවල වෛද්‍යවරුන්ද විමතියට පත් කරමින් සුවපත් වූහ.

2004 වසරේදී නාඋයන ආරණ්‍ය සේනාසනයේ වැඩ සිටි අවස්ථාවක උන්වහන්සේ එවන් අත්දැකීමකට මුහුණ දුන්හ.

දිනක් උන්වහන්සේගේ මුළු ශරීරයම අසාමාන්‍ය ආකාරයට ගැහෙන්නට විය. "මම දැන් අපවත් වෙයි" උන්වහන්සේට ඒ මොහොතේ සිතිණි. මොහොතකින් උන්වහන්සේගේ දෙපාවල පටන් අප්‍රාණික වන බවක් උන්වහන්සේට දැනුණි. "මට ප්‍රාණජීව ටිකක් දෙන්න" උන්වහන්සේ අසීරුවෙන් පැවසූහ. ඒ මොහොතේ වහා ක්‍රියාත්මක වූ නාග පොකුණේ අරියසීල ස්වාමීන් වහන්සේ අප ස්වාමීන් වහන්සේට "ප්‍රාණජීව" තෙල් හැන්දක් පෙව්වේ දැඩි ආයාසයකිනි.

ගතවූයේ සුළු මොහොතකි. එතෙක් තිබූ ශරීර අපහසුතා ක්‍රමයෙන් අඩුවන්නට විය. හෘදය වස්තුවේ ඇතිවූ ගැස්මක් මෙම අප්‍රාණික තත්ත්වයට හේතුව වී තිබූ අතර ඒ මොහොතේම රෝහල්ගත කළද ඒ වනවිට නැවත ප්‍රතිකාරයක් අවශ්‍ය නොවන තරමට උන්වහන්සේ සුවපත්ව සිටියහ.

හෘදය වස්තුවේ දුර්වලතාව නිසා උන්වහන්සේට හෘදය වස්තුව හොඳින් ක්‍රියා කරවීම සඳහා අවශ්‍ය යන්ත්‍රයක් සවිකිරීමට වෛද්‍යවරු කටයුතු කළේ ඉන්පසුවය. ඒ සඳහා වූ සැත්කම මහනුවර රෝහලේදී කිරීමෙන් අනතුරුව දැඩි සත්කාර ඒකකයට යොමුකළ අප ස්වාමීන් වහන්සේගේ උපස්ථාන කටයුතුවල නිරත වූයේ පූජනීය අරියසීල ස්වාමීන් වහන්සේය.

"ස්වාමීන් වහන්සේ ළඟ නිතර ඉන්න එපා" ඒ වෛද්‍ය උපදේශයයි. නමුත් අරියසීල ස්වාමීන් වහන්සේ අඩුම තරමේ මධ්‍යම රාත්‍රිය වනතුරුවත් කෙසේ හෝ අප ස්වාමීන් වහන්සේ ළඟ වැඩ සිටිති.

හෘද ස්පන්දනය දක්වන මීටරය එක් වරම නවතිනු අරියසීල ස්වාමීන් වහන්සේ දුටුවහ. අප ස්වාමීන් වහන්සේ සිටියේ සිහිසුන්වය. නොපමාව වෛද්‍යවරු දැනුවත් නොකරන්නට අප ස්වාමීන් වහන්සේ අපට අහිමි වන්නේ මෙම සැත්කම කළ දිනයේය.

"කෙනෙක් කරගත්ත කර්ම විපාක තමයි ඒ ඒ අයට වින කරන කොඩිවිනය. ඒවා අපි විඳින්න ඕනෑ. ඒවා ඉවසීමෙන් ජයගන්න ඕනෑ. අපට තියෙන්නෙ අපට තව මොහොතක් හරි ජීවත් වෙන්න පුළුවන් නම් ඒ මොහොතේදී පවා නිවනට අවශ්‍ය වත් පිළිවෙත් පුරන්න ඕනෑ"

මෙසේ අධික ලෙස අසනීප වන අවස්ථාවල පවා උන්වහන්සේ ඉතා සැහැල්ලුවෙන් පැවැසූහ.

දැඩිව අසනීප වූ සමයේ පවා හැකි උපරිමයෙන් තමන් වහන්සේ හුරු පුරුදු කරගත් දින චරියාවම අනුව දවස ගත කිරීම අප මාහිමිපාණන්ගේ පුරුද්දය.

හිමිදිරි පාන්දර තුනට අවදි වී වෙනදා පුරුදු වත්පිළිවෙත් ඉටුකරන්න අපහසුතා උන්වහන්සේට පැනනැඟුණේ එවිට අධික රුධිර පීඩනය මතුවන නිසාය. නමුත් අවදියෙන් සැතපෙන ඇඳේ සිට හෝ එම පිළිවෙත් අඩුපාඩුවක් නැතිව පුරුදු පුහුණු කිරීම නොකඩවා ඉටුකරන්නට උන්වහන්සේ කටයුතු කළහ.

උන්වහන්සේ තුළ තිබූ මෙම උතුම් ගුණයන් පිළිබඳව බොහෝ අභ්‍යාසවෘද්ධ විනයධර භික්ෂූන් වහන්සේ විවිධ අදහස් පළ කළහ.

මීරිගම මිනීඔළුව විද්‍යාවාස පිරිවෙන්පති, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අධිකරණ, සංඝනායක ශාස්ත්‍රපති පණ්ඩිත මකුලෑවේ විමල මා හිමිපාණන් වහන්සේ අප මාහිමිපාණන් වහන්සේ පිළිබඳව කරන ලද සඳහනකින් "අතිපූජ්‍ය නා උයනේ අරියධම්ම නාහිමි මතකවත" මෙම සතියේ සටහන නිමා කරමි.

"මාගේ ශාසනික ජීවිත කාලයේදී මා නෙතින් දුටු ත්‍රිපිටකය විස්තර කරන්නට සමත් සැරියුත් තෙරණුවෝ අටුවා විස්තර කරන්නට සමත් බුද්ධඝෝෂ තෙරණුවෝ ටීකා විස්තර කිරීමට සමත් දිඹුලාගලින් පහළ වූ විනයාචාර්යයන් වහන්සේ ශ්‍රී ලංකා රාමඤ්ඤමහා නිකායේ අනුනායක ධුරය හෙබවූ ශ්‍රී කල්‍යාණ යෝගාශ්‍රම සංස්ථාධිපති, පරම පූජණීය නා උයනේ අරියධම්ම මහ ස්වාමීන් වහන්සේ වෙති."

සටහන - සුනිල් පොරමඬල

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon