මියගිය දියණිය හීනෙන් පෙනිලා කාලි කෝවිලටම යන්ට හිතිලා

  👤  4340 readers have read this article !
2018-08-26

පසුගිය දින දහය තුළ පැවැත්වුණු මහා කාලි කෝවිලේ ඇසළ උත්සවය නිමා වූයේ මේ මස පුන් පොහෝ දිනයේදීය. ඇසළ මස පවත්වන වේල් උත්සවය ආරම්භ වන්නේ දේවාලයේ කපුරාලට වේද මන්ත්‍ර ජප කර දේවාරූඪ කරන ලද නූල බැඳීමෙනි. එතැන් සිට කපුරාල උත්සවය අවසන් වනතුරු දින දහයක් සිල් රකිමින් දේවාලයේ රැඳී සිටිය යුතුය.

උත්සව සමයේ අලුයම 5.00 සිට රාත්‍රි 10.00 දක්වා ස්තම්භ පූජා, කුම්භ පූජා, වේද මන්ත්‍ර ගායනා, මේලම් බෙර වාදන හා බැතිමතුන් වරම් පතා කරන ආයාචනා ආදිය සිදු කෙරේ. පෙරවරු 9.30ට විශේෂ බෙර වාදන හා සංගීත නාද පතුරවමින් කුම්භ පෙරහරේ ගොස් කුම්භ අභිෂේක පවත්වයි. අවසන් දිනය වන දහ වැනි දිනයේ මහේෂ්වර පූජාව පැවැත්වේ.

මෙම උත්සව සමයේ කාලිමාතාව වෙනුවෙන් මුන්නේශ්වරම අයියනායක දේවාල පාරේ
ශ්‍රී ප්‍රත්‍යාන්ගිරා අම්මාන් කෝවිලේද විශේෂ පූජා පැවැත්වේ. කාලි මෑණියන්ගේ ආනුභාවයෙන් බැතිමතුන්ට පිහිට පතා විශේෂ පූජා කර්ම මේ දිනවල සිදුකරන බව හලාවත අයියනායක දේවාල පාරේ ශ්‍රී ප්‍රත්‍යාන්ගිරා අම්මාන් කෝවිලේ ප්‍රධාන පූජක මහේන්ද්‍රසාමි පවසයි.

ශ්‍රී ලංකාවේ අෑත ඉතිහාසයේ සිටම කාලි වන්දනාව පැවැති බවට උගත්තු මත පළ කරති. පණ්ඩුකාභය රජු විසින් අනුරාධපුරයේ සිවිකා ශාලා කරවන ලද බව මහාවංශයේ සඳහන් වෙයි. සිවිකා ශාලා යනු ශිව ලිංගය ස්ථාපනය කර ඉදි කෙරුණු දේවාල යැයි 'වංසත්ථපකාසිනී' නම් අටුවාවේ පැහැදිලි කර ඇත. මේ අනුව අනුරාධපුර මුල් කාලයේ සිටම ශිව දේවාල පිහිටා තිබුණු බවට පිළිගන්නට සිදුවේ. සෑම ශිව දේවාලයක් අසලම කාලි කෝවිලක් ඉදි කිරීම හින්දු සම්ප්‍රදායක් වන නිසා අෑත අතීතයේ සිටම මෙරට කාලි කෝවිල් තිබෙන්නට ඇතැයි සිතිය හැකිය.

ඒ අනුව අෑත අතීතයේ සිටම මෙරට කාලි වන්දනාව පැවැති බවට ඓතිහාසික මූලාශ්‍රවලින් සනාථ වෙයි. එදා සිටම කාලි මෑණියන් තම දුක් ගැටලුවලට විසඳුම් ලබා දෙන බවට ජනතාව අතර විශ්වාසයක් පවතී. අතීතයේ මෙන්ම වර්තමානයේද ජනතාව කාලි කෝවිල්වලට යන්නේ තම දුක්ගැනවිලිවලට විසඳුම් ලබා ගැනීමේ අපේක්ෂාවෙනි.

"වැඩි හරියක් ජනතාව කාලි කෝවිලට එන්නේ තමන්ගේ දුක් ගැනවිලිවලට පිහිට පතාගෙනයි. ඒ එන පිරිස දවසෙන් දවස වැඩිවෙන්නේ තමන් හිතාගෙන ආ කාරණා ඉෂ්ට සිද්ධවෙන නිසායි. කාලිමාතා වන්දනාව අෑත අතීතයේ සිට අද දක්වාම පැවැතෙන්නේ ඒ නිසානෙ" හලාවත මුන්නේශ්වරම අයියනායක දේවාල පාරේ ශ්‍රී ප්‍රත්‍යාන්ගිරා අම්මාන් කෝවිලේ ප්‍රධාන පූජක මහේන්ද්‍රසාමි කීය.

"මේ ළඟදී කට්ටියක් කෝවිලට ආවා. ඒ අය ආවේ කුරුණෑගල සිටයි. මේ අය මට කිව්ව විස්තරය අහලා මටත් පුදුම හිතුණා. මේ අයගෙ දියණියක් බොහෝම අසනීප තත්ත්වයෙන් රෝහල්ගතව ඉඳලා තියෙනවා. දින ගණනාවක් රෝහලේ හිටපු මේ දරුවාගෙ අසනීප තත්ත්වය එන්න එන්නම වැඩි වෙලා. පස්සේ ‍ෙදාස්තරලා තීරණය කර තිබෙනවා මෙයාට ඔපරේෂන් එකක් කරන්න ඕනෙ කියලා. කොහොම වුණත් මේ දරුවා ඔපරේෂන් එකේදී මිය ගිහිල්ලා. මිය යන කොට මේ ළමයගෙ වයස අවුරුදු දහ නවයක්.

මේ මියගිය ළමයාට වැඩිමහල් සහෝදරියක් ඉන්නවා. ඇයට කටයුත්තක් කරදෙන්න මවුපියන් වෑයම් කළත් ඒ එකක්වත් හරි ගිහින් නෑ. මියගිය ළමයාගෙ අක්කා ඇහැට කනට පේන ලස්සන තරුණියක්. ඒත් ඇයට ගෙනෙන කිසිම කටයුත්තක් හරි යන්නේ නැහැ. මේ ගැන මවුපියන් හරිම කනස්සල්ලෙන් හිටියේ.

දවසක් රාත්‍රියේ නින්දෙදි ගෙදර මවට මේ මියගිය දරුවා හීනෙන් පෙනිලා තියෙනවා. එයා අම්මාට පෙනිලා මෙහෙම කියා තියෙනවා. "අම්මේ මම මැරුණට දුක් ගන්න එපා. ඔපරේෂන් එකේ වුණු වැරැද්දක් නිසායි මම මැරුණේ. අක්කාගෙ විවාහ ප්‍රමාදය ගැන මම විමසිල්ලෙන් හිටියේ. අම්මා හලාවත ශ්‍රී ප්‍රත්‍යාන්ගිරා අම්මාන් කෝවිලේ මහේන්ද්‍රසාමි හමුවෙලා සියලු විස්තරේ කියන්න. ඒ ප්‍රශ්න සියල්ල සාර්ථක වෙයි. මම දැන් යනවා. ආයෙත් එන්නේ නෑ" කියලා. ඊට පස්සේ තමයි ගෙදර කට්ටිය මාව හොයාගෙන ඇවිත් විස්තරේ කිව්වෙ. මටත් හරිම පුදුමයි ඒ මියගිය ළමයා අම්මාට හීනෙන් පෙනිලා මගේ නමම කිව්ව එක ගැන. මම මතුරපු දෙහි කපලා, අවු අත්තන කපලා මෑණියන්ට විශේෂ පූජාවක් කළා.

එහෙම කරලා සති දෙකක්වත් ගත වුණේ නෑ අර අක්කා හොඳ යහපත් තැනකින් විවාහ වෙලා තියෙනවා. මෑණියන්ට වෙච්ච බාරය ඔප්පු කරන්න ඒ අය ළඟදීම කෝවිලට එන්නේ අර විවාහ වුණු ජෝඩුවත් එක්කයි.

මට පුදුම මගේ නමම කියලා මා ළඟට යන්න කියාපු එක ගැනයි" මහේන්ද්‍රසාමි කීය.

නන්දන තෙන්නකෝන්

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon