ඓතිහාසික මානාවුළු නුවර පිළිබඳ ප්‍රබල සාක්ෂි රැසක් රම්බා විහාර පරිශ්‍රයෙන් මතුවෙයි

  👤  4402 readers have read this article !
2018-08-26

හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට නෝනාගම හන්දියෙන් හැරී රත්නපුර මාර්ගයේ ගමන් කරද්දී උඩරොවේ නම් ගමක් හමුවෙයි. ඒ ගමෙහි ප්‍රකට වලවේ ගංගාව අසබඩ පිහිටි රම්බා විහාරය පැරැණි රුහුණේ රහස් රැසක්ම සඟවාගත් විහාරස්ථානයකි.

පොළොන්නරු යුගයේ ප්‍රකට ශේ‍ර්ෂ්ඨ රජකු වූ පළමුවැනි විජයබාහු රජතුමා මෙම විහාරය කරවූ බව වාර්තා වෙයි. ඒ නිසා මේ හා සබැඳුණු මහා විජයබාහු රජුගේ මානාවුළු පුරයත් ඓතිහාසික අතින් ඉතා වැදගත් වේ. එය රෝහණ රාජධානියේ අගනුවර වූ මාගම්පුරයට පමණක් දෙවැනි වන්නේය. ලක් ඉතිහාසය සම්බන්ධයෙන් ඉතාමත් තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ මාගම සියවස් ගණනාවක් දක්වා දිවෙන කතා රැසකට හිමිකම් කියන නිසා රම්බා විහාරයද ඒ හා සමාන වැදගත්කමක් ගනී. ඊට හේතුව නම් අනුරාධපුරය ඇද වැටීමෙන් පසු මාගම් රාජ්‍යයද යම් පසුබෑමකට ලක් වෙද්දී 'මහානාගකුල' හෙවත් 'මහානාගහුල' යන නමින් ගැනෙන්නේ මේ කියන රම්බා විහාරය ආශ්‍රිත ප්‍රදේශයයි.

අනුරාධපුර රාජධානිය රැක ගන්නට දුටුගැමුණු රජු මාගම්පුරය අගනුවර කර ගනිමින්, ඉන් පිටත් වී මහා සටනක් කරන්නා සේම පොළොන්නරුවේ අභිෂේක ලබන්නට පෙර සොළීන්ට එරෙහිව මහා විජයබාහු රජතුමා සේනා සංවිධානය කළේ මහානාගහුල සිටය. එය මානාවුළුපුරය ලෙසද හැඳින්වේ. මේ හේතුව නිසාම රෝහණ රාජ්‍යයේ දෙවැනි අගනුවර ලෙස සැලකිය හැක්කේ 'මානාවුළුපුරය'යි.

මේ වෙද්දී ආසියාව පුරා ප්‍රබලව ආධිපත්‍ය පතුරුවා ගෙන සිටි සොළීන්ගේ ග්‍රහණයට ලක්දිව රජරට නතු වී තිබියදී විජයබාහු රජුට එය කඩා වෙනස් කරන්නට සිදුව තිබුණේ බරපතළ සටනක් හා දුෂ්කරතා රැසකට එරෙහිව මුහුණදීමෙන්ය. සේනා සංවිධානයත් පහරදීමත් ඒ අනුව ඉතා රහසිගතව කළ යුතුව තිබිණි. මාගමට වඩා මානාවුළුපුරය විජයබාහු රජුගේ සූක්‍ෂ්ම සේනා සංවිධානයටත් රැකී පහරදීමටත් වැදගත් වූවේය. ඒ නිසා මෙහිදී එම සාධකය මඟහැර යා නොහැකිය.

ඒ අනුව දහවැනි සහ ‍ෙදාළොස්වැනි සියවස්වලදී රෝහණයේ වැදගත්ම ආගමික හා ශාස්ත්‍රීය මධ්‍යස්ථානය වන්නේ මානාවුළුපුරයේ රම්බා විහාරයයි. මානාවුළු සන්දේශයෙන් හෙළිවන තොරතුරුවලට අනුව රම්බා විහාරය මේ වනවිට ප්‍රදේශයේ උගතුන්ගේ මධ්‍යස්ථානයක් බවට පත්ව තිබී ඇත. එසේම ඉතා සමෘද්ධිමත් ජනතාවක් මෙම ප්‍රදේශයේ ජීවත්ව සිට ඇත.

මාගම් රාජධානියේ ග්‍රාම සේනාසනය ලෙස තිස්සමහාරාමයත්, ආරණ්‍ය සේනාසනය ලෙස සිතුල්පව්වත්, වෙන් වෙන් වශයෙන් දියුණුවට පත් වුවත් රම්බා විහාරයේ පවතින්නේ මේ ලක්‍ෂණ දෙකම එක්තැන් වූ ස්වභාවයක් බව විද්වතුන්ගේ පිළිගැනීමය. එක් අතකින් සමෘද්ධිමත් නගරයක සිරි ගත්තේය. අනිත් අතින් විශාල අලි ඇතුන් සැරිසැරූ විවිධ පක්‍ෂී සමූහයාගෙන් ගැවැසී ගත් වනගත පරිසරයක ස්වභාවය ගත්තේය.

රම්බා විහාරය හුදෙකලා විහාරයක් වශයෙන් නොව විහාර කිහිපයක්ම ඒකාබද්ධ වූ අරාම සංකීර්ණයකින් හෙබියේය. මෙම විහාර පරිශ්‍රයේ පිහිටි දේවරාජ නම් විහාරයේ වැඩ විසූ පියදස්සී නම් තෙරනමක විසින් රචනා කරන ලද 'පාදසාධනය' නම් කෘතියක් පිළිබඳ තොරතුරු තිබේ. මානාවුළු සන්දේශය හෙවත් රාමඤ්ඤ සන්දේශය රචනා කළ මහානාගසේන හිමියන් වැඩවිසූයේද රම්බා විහාරය ආශ්‍රිතවය.

'පාදසාධනය' පාලි ව්‍යාකරණය හා සම්බන්ධ පාඨ ග්‍රන්ථයක් ලෙස සම්භාවිත උසස් කෘතියකි. පාලියෙන් රචිත 'මානාවුළු සන්දේශය' මෙරට සන්දේශ සාහිත්‍යයේ දක්නට ලැබෙන පැරැණිතම සන්දේශ කාව්‍යයද වෙයි. පාදසාධනය තුළින් මේ කාලයේ පාලි භාෂා අධ්‍යාපනයේ දියුණුව කොතෙක් වීදැයි දැනගත හැකිය. මානාවුළු සන්දේශයෙන් මෙකල පැවැතියාවූ ජාත්‍යන්තර සබඳතා කොතෙක් වීද, ඒ කොයි ආකාරයෙන් ක්‍රියාත්මක වී දැයි දැනගත හැකිව ඇත.

'මානාවුළු සන්දේශය' රචනා කර ඇත්තේ රම්බා විහාරයේ සිට බුරුමයේ අරිමද්දනනුවර සංඝරක්ඛිත කස්සප නම් තෙරනමක වෙත ඥාන නම් ප්‍රභූවරයකු අත යැවෙන පණිවුඩයක ස්වරූපයෙනි. ගාථා 62කින් යුක්තය. මෙම පාලි කෘතියෙහි විශේෂත්වයක් වන්නේ පාලි ගාථාවල සිංහල කවිවල මෙන් එළිසමය යොදා තිබීමය.

එහෙත් රම්බා විහාරය ආශ්‍රිතව වැඩුණු ශාස්ත්‍රීය සේවනය කොතෙක් දුරට ව්‍යාප්තව ගියේ දැයි නිශ්චිත ලෙස ප්‍රකාශ කරන්නට තොරතුරු නැති වුවත් ග්‍රන්ථ දෙක පාදක කොට ගෙන වැදගත් ග්‍රන්ථ රාශියක් හා උගතුන් රැසක් සිටි බවක්ය. පසු කලෙක මෙම ප්‍රදේශය ආශ්‍රිතව පැවැති යුදමය තත්ත්වයන් නිසා විහාරයද විනාශ වී ගිය බැවින් එම සාක්‍ෂි සියල්ල අහිමි වී යන්නට ඇත.

මහා පරාක්‍රමබාහු රජු ශේ‍ර්ෂ්ඨ පාලකයකු ලෙස සඳහන් කළත් රජුගෙන් රෝහණ රාජ්‍යයට සිදුවූ හානිය විශාලය. රාජ්‍ය බලය තහවුරු කරගනු වස් රුහුණට හානි පැමිණවීම නිසා දළදා වහන්සේත්, පාත්‍රා ධාතුවත් අයත් කර ගැනීමේ අරමුණින් මහානාගහුල විසූ සුගලා දේවිය ප්‍රමුඛතව රුහුණු පාලකයන්ට එරෙහිව සිදුකර කෘෘර පහරදීමත් ම්ලේච්ඡ මිනිස් සංහාරයත් මහාවංස කතුවරයා හොඳින් සඳහන් කර තිබීමෙන් දත හැකිය. සෑම සිංහල නරපතියකුට ද්‍රවිඩ සේනාවට එරෙහිව, ද්‍රවිඩ ආක්‍රමණවලට එරෙහිව සිංහල සේනා යොදා ගත්තද පරාක්‍රමබාහු රජු කාලේ දෙමළ හමුදා යොදවා සිංහල දේශප්‍රේමීන්ට එරෙහිව සටන් කිරීමය. එහි අවසන් ප්‍රතිඵලය වූයේ සමෘද්ධිමත් මානාවුළුපුරය සොහොන් බිමක් බවට පත්වීමය.

එහෙත් කෝට්ටේ යුගයෙන් පසු මානාවුළුපුරය මිනිස් ඇසින් සැඟවී යන්නේය. මෑත කාලයේදී මානාවුළුපුරය කොහි පිහිටියේද යන්න හඳුන්වාදීමක් කළේ එච්.ඩබ්. කොඩ්රින්ටන් විසිනි. එය මෙසේය.

''වලවේ ගංගාවේ දකුණු ඉවුරේ වැටිය නම් ගමට ගිනිකොන දිශාවෙන් සැතපුම් 2ක් පමණ අෑත පිහිටි ඇල්ලේගොඩ 'ගෙඩිය' නම් උස් බිමෙහි මානාවුළුපුර රාජ මාලිගය හෝ බළකොටුව තිබිණි. දැනට උඩරොටේ, පල්ලේරොටේ, මාමඩල හා බැමිණියන්පල යන ගම් එදා මේ නගරයට අයත් ප්‍රදේශයයි. පැරැණි විහාරාරාම, රජමාලිග ආදියේ නටබුන් මේ ප්‍රදේශය පුරා විසිර තිබේ.''

ඉන්පසු මෙම ප්‍රදේශය නිරීක්‍ෂණය කළ ඩී.ඩබ්. නිකලස් ඒ තොරතුරු තහවුරු කරගෙන ඇත. එබැවින් රම්බා විහාරයේ කැණීම් නිසි ලෙස සිදුවුවහොත් රෝහණ රාජ්‍යයේ සැඟවුණු කතාවේ ප්‍රබලම තොරතුරු රැසක් මතුකර ගත හැකි වනු ඇත.

එස්. රණසිංහ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon