අංග සමවාය නොමැති තවත් එක කතාවක්

  👤  3994 readers have read this article !
2018-08-26

ප්‍රේමතිලක පේරුකන්ද

කලාවේ, සාහිත්‍යයේ අඩංගුව පවතින්නා වූ නිසි වටිනාකම ඉස්මතු වීමට නම් අදාළ අංශයේ අංග සමවාය නිසි පරිදි පිහිටුවාලිය යුතු වේ. සලරුවක නම් රූප රචනය, නාට්‍යයක නම් නාටේ‍යා්චිත අවස්ථා ජනනය, සාහිත්‍ය කෘතියක නම් අර්ථ, ශබ්ද, අනුප්‍රාස සම්මිශ්‍රණය, ධ්වනිතාර්ථ නැංවෙන අයුරේ පද ගැළපීම මඟින් පාඨකයාට අත්වන චමත්කාරය, ඥානනය වීම, සමාජ අවබෝධය පුළුල් වීම සහ තවත් බොහෝ දේ දැක්වීමට පුළුවන.

අංග සමවාය නොමැති ඕනෑම සාහිත්‍ය කලා කෘතියක් අතට අසුවූ පමණින් තුනපහ, ලුණු, මිරිස් යෙදූ සුපයක් මෙනි.

එබඳු සුප ආහාරයට ගත නොහැකිවාක් මෙන්ම අංග සමවාය නොමැති සාහිත්‍ය කෘතිවලින් පාඨකයාට අත්වන ප්‍රයෝජනයක්ද නොමැත.

මෑත කාලයේ එබඳු කෘති ගණනාවක් පරිශීලනය කළ බැවින් "තවත් එක කතාවක්" කියැවූ පසු එහි කතුවරිය වන උදානි ඒකනායක පමණක් නොව අනෙක් පිරිසද සිහියේ රඳවාගෙන විමසුමක් කිරීම මැනැවයි හැඟිණි.

එබැවින් 'තවත් එක කතාවක්' නිදර්ශන කෘතිය ලෙස ගෙනහැර පෑම පිළිබඳව උදානි ඒකනායක ලේඛිකාව කලබල විය යුතු නැත.

ඉතා පහසුවෙන් අවබෝධ කරගත හැකි පරිදි නිර්මාණකරණයට යොමු වන්නන් හට දිය යුතු උපදේශය වන්නේ හොඳින් රිය පැදවීම පුහුණු වීමෙන් පසුව මිස රිය පැදවීම නොදැන මාර්ග නීති නොපිළිපැද තමුන්ගේ රිය, මාර්ගයට දැමීමෙන් අනෙක් රියැදුරන් සහ මහ මඟ යන්නන් අමාරුවේ වැටෙන බවයි.

සාහිත්‍ය කෘතියක් නිර්මාණය උදෙසා මූලික වන්නේ භාෂාවය. එය කෘතියට අවශ්‍ය ප්‍රමාණයටවත් පරිහරණය අසීරු නම් පළමුව එම අසීරුතාව ජයගත යුතුය. එය සාර්ථක ලේඛකයකුගේ වගකීමකි.

අනෙක් අතට මනුෂ්‍යයාගේ හා සමාජයේ ප්‍රගතියට එරෙහිව පවත්නා සකලවිධ බාධාවන්ට හේතුකාරක වූ විඥානවාදී අදහස් උදහස්, දෘෂ්ටිවාද යනාදිය යළි යළිත් ඔප දමා අභිරුචියෙන් වර්ණනා කිරීම සාහිත්‍ය ගිණුමට බැර කරන්නට තතනන ලේඛකයා හෝ ලේඛිකාව සාහිත්‍ය පරමාර්ථයන්ට පිටුපාන බව සඳහන් කිරීම වරදක් නොවේ.

ගෙතුමේ පලුදු, විශ්වාසය කඩ වන අවස්ථා, සිංහලත් නොවන ඉංගී්‍රසිත් නොවන සිංගී්‍රසි බස, දහසකුත් එකක් වූ මුද්‍රණ දෝෂ යනාදී සියලු වැරැදිවලට විඳවන්නේ පාඨකයා නම් ලේඛකයා තමන්ගේ සාහිත්‍යමය යුතුකමට පිටුනොපෑවේදැයි ප්‍රශ්න කළ යුතුමය.

සාහිත්‍ය ක්ෂේත්‍රයට අංකුර ලේඛක ලේඛිකාවන්ගේ ආගමනය දිරිමත් කළ යුතුවා සේම ඔවුන්ගේ සාහිත්‍යකරණය 'මොනවා හරි ලියා පළ කිරීම'ක් දක්වා පසුබසින්නේ නම් එයින් සාහිත්‍යයට, සමාජයට හෝ පාඨකයාට කිසිදු ප්‍රයෝජනයක් නැත.

තවත් බොහෝ කෘතිවලටද 'තවත් එක කතාවක්' කෘතියටද මේ සියල්ලම අදාළය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon