ඒ මම මේ නුඹ

  👤  3995 readers have read this article !
2018-08-26

මගේ ලියවිල්ල අරගෙන අද මං වෙනස් තැනකට යන්න හිතුවා. හැමදාම අපි මිනිස් සිතුම් පැතුම් ගැනයි කතා කරන්නෙ. අපි වටේ ඉන්න අපි ආදරේ කරන සත්තු, ගස්වැල් ගැන කොච්චර දේවල් තියනවද ලියන්න. මම අකුරුවලින් දිගේලි කරන්න කියලා හිත කොඳුරනවා ඇහෙනවා.

පරණ මතකය තමයි හැමදාම මගේ හිත කොනිත්තන්නෙ. පරණ දේවල් ලස්සනයි කියන කොට ඔබ මට ‍ෙදාස් කියන බවත් මා දන්නවා. මගේ පාසල් කාලයේ සිදුවීම් තමා මේ. ගස්,වැල්, මල්, අහස, පොළොව, සත්තු එක්ක තනියම කතා බහේ යෙදෙමින් හිටි සුන්දර කාලය.

අයියා අතින් හදිසියේම පරීක්ෂණයට ලක්වෙන මගේ පොත් මේසය තිබුණේ හරිම සුරක්ෂිත තැනක. එතෙන්ට ඉහළින් බිත්තියේ තිබුණේ වා කවුළු කීපයක්. මිදුලට ඇවිත් හුරතල් වෙවී දඟකරන ගේ කුරුලු ජෝඩුවක් අපේ ගේ ඇතුළෙ විපරම් කරන්න අර කවුළු මැදට එන්න පුරුදු වුණේ අපෙන් අවහිරයක් නැති නිසාමයි. ගේ කුරුල්ලො කූඩු හදන්න දන්නෙ නෑ. උන්ට අපි තමයි ගෙවල් හදලා දෙන්න ඕන. සීයා මට කිවූ ඒ කතාව මතක් වෙලායි මං අම්මට කරදර කරන්න පටන් ගත්තෙ. වහලට කිට්ටු නොවී, වා කවුළුවලටත් අවහිර නොවෙන්න මගේ මේසෙට ටිකක් ඉහළින් සුදු තිත් තිත් ඇඳගත්ත කළු මුට්ටිය හයිවුණේ ඉන් පස්සෙ. මුට්ටියේ මැදක හැදූ රවුම් සිදුරෙන් වී කරලක් එල්ලුවේ කුරුල්ලන්ට පදිංචි වෙන්න ආරාධනාවක් විදියටයි. දවසක්වත් ගියේ නෑ. මා ගෙදර ඉන්න සෙනසුරාදා දවසක මංගල සිරියෙන් අලුත් ජෝඩුව අපටත් නොකියාම ගෙයි පදිංචිය තහවුරු කරගෙන. ඉක්මනින් ඉක්මනින් පිදුරු කෑලි, පුළුන් පරඬැල් එහා මෙහා ඉඟිළෙනවා පෙනුණා. ඒ වගේම මගේ සතුටත් ගේ පුරාම එහා මෙහා පාවුණා.

'අගේට පාඩම් කරන්න නම් පුළුවන් වෙයි. පිදුරු කෑලි, රොඩු බොඩු ඔක්කොම මේස උඩ තියෙයි කුණු කූඩයක් වගේ' අයියා තමයි එහෙම කිව්වේ.

'කූඩුව තියෙන්නේ එහේ. මේසෙ තියෙන්නෙ මෙහේ' මං අම්මාට තමයි මගේ අදහස කිව්වේ. කුරුලු ජෝඩුව හරිම හැඩයි. කඩිසරයි. හීන් හඬවල් ගීයක් වගේ හරිම මිහිරියි. ගෙට සිරියාවයි. දැන් ඒ දෙන්නා මගේ නෑයන් වෙලා. පිඟානක තියා මං පිළිගන්වන වී ඇට, හාල්, පොරි වගේ පුංචි පුංචි රසකෑම ගත්ත ඒ දෙන්නා එන්නේ කිසිම බයක් නැතිව. ඒ අයගෙ බොජුන් හලකට එනවා වගේ.

ටික දවසකින් දෙන්ගෙ කිචි බිචිය තුනීවුණා වගේ දැනුණා. දඟකාර පැංචන් දෙන්නා තැන්පත් වෙලා වගේ සද්ද බද්ද අඩුයි. මේ දවස්වල වැඩිපුරම කෑම පිඟානේ රස බැලුවෙ කුරුල්ලා. මේ දෙන්නා වෙන වෙනම හඳුනාගැනීමේ හැඩ මට කියාදී තිබුණේ මගේ සීයා. පිරිමි සතාගේ හිස කළුයි. මූණ දෙපැත්තෙත් රැවුලත් ඇඳලා වගේ. කිරිල්ලී හීනියි හැඩයි. මූණ සිනිඳු පාටයි.

මොකද ඔයා තනියම' උදාසීනව වගේ. කෑම අහුලන කුරුල්ලාගෙන් මං ඇහුවත් උත්තර ලැබුණේ නෑ. උත්තර මංම හදාගෙන. ඒත් විමසිල්ලෙන් හිටි මට පුංචි ලෝකයේ හැබෑ තොරතුරු ලොකුවට පෙනුණා කීවොත් හරියටම හරි. කූඩුවේ ‍ෙදාර ළඟ කෙරෙන රහස් ගනුදෙනුව මට අහුවුණේ අන්න ඒ වගේ වෙලාවකයි. කුරුල්ලා තම තුඩින් කෑම ගෙනැවිත් කූඩුවේ ඉන්න කිරිල්ලියට කවනවා. මා එදා බලා හිටියේ පුදුමෙන්. ඒ වගේම ඉවසිල්ලෙන්. මං අහපු ප්‍රශ්න රාශියටම අම්මා දුන්නේ එක උත්තරයයි. 'කිරිල්ලී අම්මා කෙනෙක් වෙන්න ළඟයි' අපට වගේම කුරුල්ලන්ටත් නරක දසා උදාවෙනවා. එදා මං ගෙට ගොඩවෙද්දී හැමෝගෙම මූණු බෙරිවෙලා. ඉස්සරහ ජනේලෙත් බාගෙට වැහිලා.

‍ෙදාර පියනට ජනෙල් පියනට පැන පැන හිටිය කුරුල්ලා මගේ හිස උඩින් කැරකිලා ලොකු විලාපයක් දීගෙන මොනවදෝ මට කිව්වා. අම්මයි, අක්කයි හිටියේ ගොළුවො දෙන්නෙක් වගේ. ලොකුම දුකක් සිද්ධවෙලා. කුරුලු කූඩුවේ ඇඳලා තිබුණ සුදු තිත් කළුවෙලා වගේ මං දැක්කෙ. මගේ මේසෙ උඩ පුංචි පුංචි පිහාටු කෑලි, පෙඳ කෑලි හැලිලා. කුරුල්ලාගේ විලාපෙ පරද්දන්න මං බෙරිහන්දුන්නා. තටු සිඳී බිඳී ගිය කිරිල්ලී එදා මගේ මේසෙ උඩ වැටී හිටියලු. පුංචි වා කවුළුවකින් ආපු කුරුලු හතුරෙක් කිරිල්ලීට ඒ අනතුර කරන්න ඇති කියලයි අම්මා නම් කිව්වේ. මේසෙ ළඟ අඬන කුරුල්ලත් එක්කම මට මහා පාළු මූසලකමක් දැනුණා.

දවස් දෙකක්වත් පහුවුණාද මට මතකත් නෑ. කූඩුව ඇතුළෙ අලුත් කිරිල්ලක් හිනාවෙනවා. ඉස්සර පුරුදු විදියටම කුරුල්ලා එයාටත් බත් ඇට කවනවා. 'පේනවා නේද පිරිමින්ගෙ හැටි' අම්මා සමච්චලෙන් වගේ කිව්වේ තාත්තා එක්ක. 'පිරිමි එහෙමද?' ඒ කාලෙ ඔය ප්‍රශ්නවලට උත්තර හොයන්න මට වුවමනාවක් තිබුණේ නෑ. ඒත් මැරුණු කිරිල්ලි ගැන අප්‍රමාණ දුකක් හිතේ පිරිලයි තිබුණෙ. අලුත් එකී ගැන පුංචි කේන්තියක් වගේ හැඟීමක්. ඒක ඊර්ෂ්‍යාව වෙන්න ඇත. ඉඳහිට එළියට ඇවිත් තටු ගසා දමා විවේක ගන්න පුරුද්දක් අලුත් කෙනාට තිබුණ නිසා මං කල්බලමින් හිටියෙ. කුරුලු කූඩුවට එබිකම් පාන්න මං හොඳට සැලැස්ම හදලා ඉවරයි. කකුල් තුනේ උස බංකු පුටුව මේසෙ හේත්තුවට තියලා ඒකට නැඟලා ජනේලෙ අල්ලගෙනයි මං කූඩුවට එබිකම් පෑවෙ.

අදත් මට මතක් වෙනවා මගේ අත්දෙක ගැහිලා වැටෙන්න ගිය හැටි. ඒ වෙලාවේ මගේ හිතට ඇතිවුණ හැඟීම හඳුන්වන්න අදත් මට වචන නෑ. මගේ ඇස්දෙකේ කඳුළු පිරුණ බව මතකයි.

'අම්මේ කුරුලු කූඩුව ඇතුළෙ බිත්තර වගයක් තියෙනවා.' මං අම්මට කිව්වේ අඬ අඬා. අපේ ගෙදර අයයි, ගෙදරට එන යන අයයි කතා කෙරුවේ ඉන් පස්සේ හිස් වෙච්ච කූඩුවෙ බිත්තර ගැන.

'බිත්තර රැක රැක ඉඳිද්දී තමා කිරිල්ලිට අනතුර සිද්ධවෙන්න ඇත්තෙ. ඒ බිත්තර රක්කන්න තමයි අලුත් කිරිල්ලි එක්කන් එන්න ඇත්තේ.' ඉන් පස්සෙ එක එක විස්මිත කතා කියැවුණා.

මිනිස් ලෝකයට වඩා හිතවත් ගුණවත් නෑදෑ මිත්‍රයො සත්ත්ව ලෝකයේ ඉන්න බව කියන්නයි අද මේ කතාව මං ලියන්න හිතුවේ.

දයා ද අල්විස්

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon