Arzoo ගැන හද බැඳුණු කතාව

  👤  4058 readers have read this article !
2018-08-26

'සිනෙ-රස' ඇරඹෙන්නේම සිනමාවට කැමැති රසවතුන් රාශියකගේ ඉල්ලීම මතය. රසය ආත්ම කොටගත් නිමැවුම් නොවූයේ නම් ජීවිතය සුන්දරත්වයෙන් බැහැරව ගිය දෙයක් වීම නියතය. එනිසාම රස හඳුනන සහෘදයන්ට සිනෙ රස තිළිණ කරමි.

අද සටහන තබන්නට නිමිත්තක් වූයේ 1965 නිමැවූ, ලක්ෂ ගණනින් රසවතුන් රස ගැන්වූ තවමත් රස මතකයන් අවදි කරවන චිත්‍රපටයක් පිළිබඳවය. ඒ "අර්සු" නම් හින්දි චිත්‍රපටයය. මෙය රාම්නාන්ද් සාගර් නම් සෞන්දර්යවාදී රසවතාගේ අධ්‍යක්ෂණයක් වූ නිසාම රස මතකයන් රැසකින් පිරුණේය. හින්දි චිත්‍රටයක් ලෙස නිමැවූ මෙහි ප්‍රධාන චරිතය රඟපෑවේ රාජේන්ද්‍ර කුමාර් සහ සධානාය.

එය රාජේන්න්ද්‍රගේත් සධානාගේත් සිනමා දිවියේ හොඳම අවධිය විය. ෆෙරෝස් ඛාන් සහ නසිර් හුසේන් සෙසු චරිත නිරූපණය කළහ. චිත්‍රපටය සරල පෙම් කතාවක් වුව එය අතිශය ජනප්‍රිය විය. හින්දි චිත්‍රපට රසිකයන් මත්මන් කළ වැඩිම ආදායමක් ඉපැයූ ඉතා සුන්දර චිත්‍රපටයක් විය. ඒ යුගය පිළිබඳව රස දන්නෝ අදත් චිත්‍රපටය ගැන කතා කරන්නේ මහත් අභිරුචියෙනි. සතුටිනි. ඒ තරමටම චිත්‍රපටය ස්වකීය ජීවිතවලට කි¼දා බැස ගත්තා සේ විය.

හිම මත ලිස්සා දුවන ක්‍රීඩාවෙන් ශූරයකු වූ ගෝපාල් නම් සුන්දර තරුණයාට ගුවන් ගමනකදී හමුවන දඟකාර, මඳක් අහංකාර රුවැත්තියක වූ උෟෂා හා බැඳුණු කතාව සංහාරයෙන් පිරුණේය. ආදරය වෙන්වීම, විරහව, ඉතා සංවේදීව රූප රචනයට හසුකර ගත් නිසාම මෙය සරල පෙම් කතාවක් වුවද වඩාත් ආකර්ෂණීය විය. 1965 තරම් කාලයේ හින්දි චිත්‍රපටවලට පුනරුද කාලයක් උදාවී තිබුණු බැවින් ඊට ගැළපෙන ප්‍රේමයේ සංවේදී බව වඩාත් හිත් ඇදගන්නා ලෙස පෙළ ගස්වන්නට රාම්නාන්ද් සාගර් සමත් විය.

අධ්‍යක්ෂ රාම්නාන්ද් සාගර් හොඳ සිහින දකින්නෙකි. වාණිජමය රූපාවලියක් වුව ඔහු පෙළ ගැස්වූයේ මහත් සංයමයෙන් යුතු කලාත්මක කෝණයකිනි. චිත්‍රපට තිර රචනයට ශූරයකු වූ හෙතෙම අධ්‍යක්ෂවරයකු පමණක් නොව නිෂ්පාදකවරයාද වන්නේය.

රාජේන්ද්‍ර කුමාර්ගේ හා සධානාගේ ගීතමය ජවනිකා රූපගත කිරීමේදී ඔහු ප්‍රකට කළ කලාත්මක ඉදිරිපත් කිරීම් චිත්‍රපටය ජනප්‍රිය ආරේ වාණිජමය සාර්ථකත්වයක් පළ කළ එකක් වුවද ඉතා අගනා රූප කාව්‍යයක් සේ පෙළ ගැස්වූයේය.

චිත්‍රපටයේ පෙම්වතුන් යුවළ වූ රාජේන්ද්‍ර කුමාර් (ගෝපාල්ගේ චරිතය) හා සධානා (උෟෂාගේ චරිතය) ප්‍රේමයෙන් හමුවී ගීයක් ගයන ගංගාවේ දර්ශනය අතිශය චමත්කාරජනකය. කලාත්මකය. ගංගාවේ යාත්‍රාවක පාව යමින් ප්‍රේමය පළ කරන ගෝපාල් උෟෂාගෙන් වෙන්ව දෙපසට යන ආකාරය සිත්ගන්නා සුළුය. එක යාත්‍රාවක හමුවූ දෙදෙනා මළ හිරු බැස යන සැ¼දෑවේ යාත්‍රා දෙකකින් ගංගා මැද වෙන්වීම සංකේතාත්මකව ඉදිරිපත් කරන්නේ කලාත්මකවය. එහිදී ගයන "අජී හම්සෙ බච්කර් කහාන් ජායෙ ගා" ගීතයද ළයාන්විත ප්‍රේමනීය ස්වර හා බැඳුණේය. සංගීතය ශංකර් ජායි කිෂන්ය. සාගර් ආර්. ඉදිරිපත් කිරීමකි.

සුන්දර සිම්ලා ප්‍රදේශය රූපාවලියට හසුකර ගන්නා තවත් මියුරු ගීයක් වන්නේ... "අජී රූත් කර් අබ් කහාන් ජායෙඟා" යන්නය. සාධානා තම ප්‍රේම වියෝව හැඟීම්බරව පළ කරන මෙහි රූප රාමු මනා සංයමයකින් ගළපා ඇත. ඉදිරිපත් කර ඇත. දුර රූපයත්, මධ්‍යම රූපයත්, සමීප රූපයත් මැනවින් ගළපා ගනිමින් මවන රසය හැඟීම්බර රසිකයන් කුල්මත් කරවූවත් එහි පූර්ණ වන්නේ අපූරු කලාත්මක බවකි.

මෙහි රාජේන්ද්‍ර කුමාර්ගේ චරිතාංග රංගන හැකියාව පළ කරන අවස්ථාවක් වන්නේ "චල්ක් තෙරි ආන්කෝන් සේ..." ගීතය ගයන අවස්ථාවයි. වෙස් වළාගත් ඔහු මෙම මෝහනීය ගීතයට බාධාවක් නොකර මුහුණින් හැඟීම් පළ කරමින් අති දක්ෂ රංගනයක නිරත වෙයි.
චිත්‍රපටයට කෙතරම් එදා සමාජය කුල්මත් කළේද, කතා බහට ලක් කළේද කියතොත් එය දහ‍ෙදාළොස් වතාවක් නරඹන තරමේ වූ රසිකයන්ගෙන් පිරුණේ විය.

ඔවුන් පිස්සු වට්ටන්නට සමත් වූයේය. ජනප්‍රසාදය ඉහළ තලයක තිබුණේය. ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලේදී ප්‍රධාන නළුවා වූ රාජේන්ද්‍ර කුමාර්ට හොඳම නළුවාට හිමි සම්මානය හිමි වුණේය. රාමනාන්ද් සාගර්ට හොඳම අධ්‍යක්ෂණයට මෙන්ම හොඳම කතා රචනයට හිමි සම්මානය හිමි වුණේය. "අජි රූත් කර් අබ කහාන් ජායෙගා" ගීතය රචනා කළාට හස්රත් ජායිජුරිට හොඳම ගීත රචකයාට හිමි සම්මානය හිමි වුණේය.

චිත්‍රපටය පිළිබඳ සිනමා විචාර ලියුවත් එහි කලාත්මක අගය ගැන විශේෂ සඳහනක් කරන්නට වීම යහපත් අවස්ථාවක් විය. මෙය ඉතා සරල කතා තේමාවක් බවට නිර්මාණය කර ගත්තේ ඛ්රපචදධ ච්ඥ ඡඥපඨඥපචජ නමැති ප්‍රංශ නාට්‍යයෙන් බවද විචාරකයන් සඳහන් කර තිබුණේය. 1949 බර්සාද් චිත්‍රපයේ කතා රචකයා වෙමින්, දෙබස් රචකයා වෙමින්, තිරනාටක රචකයා වෙමින් ගමන් ඇරඹූ රාමනාන්ද් සාගර් නම් සිහින දකින්නා, සුන්දර මිනිසා 1953දී මෙන්මාන් චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් පියවරක් ඉදිරියට තැබූ සිනමා ජීවිතයේ 1965දී නිම වූ "අර්සු" චිත්‍රපටය මතක සටහන් තබන සන්ධිස්ථානයක් සලකුණු කළේය.

මෙම චිත්‍රපටයේ ඉතා කඩවසම් ගෝපාල්ගේ චරිතය රඟපාන රාජේන්ද්‍ර කුමාර්ට ඒ වෙද්දී වයස 36කි. සධානාට වයස 24කි. එහෙත් රාජේන්ද්‍රට ඒ හැටි වයසක් නොපෙනුනේය.

සධානා එකල කෙල්ලන් පිස්සු වැට්ටූ කොණ්ඩා මෝස්තරය "සධානා කට්" නමින් ප්‍රකට විය. ඊඩඥ ර්ඪඵබඥපර ට්ඪපත නමින් චිත්‍රපට සඟරා ඇය හැඳින්වූයේය. කෙසේ වෙතත් මේ සුන්දර චිත්‍රපටයේ ප්‍රධාන නළුවා වූ රාජේන්ද්‍ර කුමාර් නම් සුන්දර මිනිසා ඔහුට වයස 70 සම්පූර්ණ වෙන්න ආසන්න වෙද්දී 1999 ජූලි 12දා පිළිකා රෝගයකින් මිය ගියේය. ප්‍රධාන නිළිය වූ මෝහනීය රූ සපුවකින් හෙබි සධානාද ඇයට වයස අවු. 74ක්ව තිබියදී පිළිකා රෝගයකින් මිය ගියාය. චිත්‍රපටයේ සුන්දර නිමැවුම්කරු වූ රාම්නාන්ද් සාගර්ද ඔහුට වයස අවුරුදු 87ක් වෙද්දී 2005 දෙසැම්බර් 12දා මිය ගියේය. ගීපද බැඳි හස්රන් ජායිපූරිද මිය ගොස්ය. චිත්‍රපටයට මහත් ජීවයක් දුන් මහා සංගීතවේදීන් වන ශංකර් ජායි කිෂන් දෙපළද මිය ගොසිනි. එහෙත් මේ සුන්දර නිමැවුම, චිත්‍රපටය තවමත් සුරැකිව ඇත.
ඔබ සිනමාව හදාරන කෙනකු නම්, රසවතකු නම් මෙය කියැවූ පසු අන්තර්ජාලයෙන් මේ චිත්‍රපටය සොයාගෙන නරඹන්නට දැන් ඉඩකඩ ඇත.

'සිනෙ රස' ගැන ඔබේ සිතැඟි
ලියා එවන්න.

සජිත් රෝහිත ලියනගේ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon