නෙත රැවටෙන හිත ගැස්සෙන ලොව තැන තැන මැවුණු අමුතුම නිර්මාණ

  👤  4019 readers have read this article !
2018-08-26

රටක, නගරයක, එහෙමත් නැත්නම් ගමක පිළිරුවක් ඉදිකරන්නේ යම් සුවිශේෂී පුද්ගලයෙක් හෝ මොහොතක් ස්මරණය කරන අදහසිනුයි. ඒත් මේ පරමාර්ථවලින් ඔබ්බට ගිහින් ලොව පුරා අමුතුම විදියේ පිළිරූත් නිර්මාණය වෙනවා. මේ එවැනි පිළිරූ 10ක් ගැන තොරතුරු

ද හිපෝස්

පොළොවෙන් මතුවී එන හිපෝ සතුන් කීප දෙනකුගේ මේ නිර්මාණය පිහිටියේ තායිපේ සත්ත්වෝද්‍යාන භූමියේ. ඉන් නිරූපණය කෙරෙන්නේ වන සත්ත්ව සම්පත රැක ගැනීමයි.

සින්කින් බිල්ඕන්

ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න් නගරයේ ජාතික පුස්තකාල භූමියේ ඉදිකොට ඇති මින් දැක්වෙන්නේ පොත්වල බරට පොළොවේ ගිලී ගිය පුස්තකාලයක්. ඉන් අර්ථවත් වන්නේ කියැවීමේ වැදගත්කමයි.

ලපස්සෙ මුරයිලෙ

මාසෙල් අයිම් නම් ලේඛකයා විසින් ලියන ලද බිත්ති හරහා යන මිනිසකු පදනම් කරගත් කතාවක චරිතයක් ඇසුරින් ඉදි කළ මේ පිළිරුව පිහිටා ඇත්තේ ප්‍රංශයේ පැරිස් නගරයේයි.

ද නොටඩ් ගන්

කටට ගැටයක් දැමූ පිස්තෝලයක මූර්තියක් වන මේ අපූරු නිර්මාණය ඇත්තේ ඇමෙරිකාවේ නිව්යෝක් නගරයේ පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථාන භූමියේය. ඉන් නිරූපණය වන්නේ යුද්ධයට වැට බැඳීමයි.

ලේඩි ඔෆ් ද ලේක්

ජර්මනියේ හෑම්ස්ර්ග් නගරයේ ඇල්ස්ටර් විලේ ස්නානය කරන කාන්තාවකගේ පිළිරුවක් සහිත ලේඩි ඔෆ් ද ලේක් ලොව අපූරුතම කලා නිර්මාණයක් ලෙස සැලකෙනවා.

බ්ලැක් ගෝස්ට්

ජලයෙන් උඩට මතුවීමට උත්සාහ දරන අවතාරයක් නිරූපණය වන මෙම පිළිරුව දැකගත හැක්කේ ලිගුවේනියාවේ ක්ලයිපීඩා නගරයේදීය.

ෂූස් ඔන්ද ඩැනියුබ් බෑන්ක්

හංගේරියාවේ අගනගරය වන බුඩාපෙස්ට්හි ඩැනියුබ් ගං ඉවුරේ සපත්තු කිහිපයක් දැක්වෙන මෙම නිර්මාණය ඉදිකොට ඇත්තේ දෙවැනි ලෝක සංග්‍රාමයේදී නාසි ප්‍රහාරවලින් මිය ගිය ජනයා සැමරීම සඳහායි.

මේමන්

මේමන් යනු ප්‍රංශ බසින් මව හැඳින්වීම සඳහා යෙදෙන වදනක්. මෙය දැවැන්ත මකුළුවකුගේ පිළිරුවක්. ලන්ඩනයේ 'ටේට් මොඩර්න්' නූතන කලාගාර භූමියේ ඉදිකොට ඇති මේ පිළිරුවෙන් එය ඉදිකළ ලුවී බෝර්ජියස්ගේ මවගේ ශක්තිය පිළිබිඹු වෙනවා.

මෑන් හැෆිං අවුට්

ගොඩනැඟිල්ලකින් එළියට විහිදුණු ලීයක එල්ලුණු මිනිසකුගේ මේ අපූරු පිළිරුව ඇත්තේ චෙක් ජනරජයේ ප්‍රාග් අගනුවරයි. මෙය සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ මතයක් පිළිබිඹු කරන්නක් බව සඳහන්.

ඩ වැට්කේර්පොඑන්

මෑන් හෝල් එකකින් මතුවුණ පුද්ගලයෙක් පොලිස් නිලධාරියකුගේ කකුලෙන් ඇද බිම වැටීමට සලස්වන මෙම අපූරු පිළිරුව දැකගත හැක්කේ බෙල්ජියමේ බ්‍රසල්ස් අග නගරයේදීය.

ගැමුණු රත්නායක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon