ඛාන්ගෙන් ඉගෙන ගනිමු

  👤  4293 readers have read this article !
2018-08-26

පාකිස්තාන නව අගමැති ඉම්රාන් ඛාන් සිය ධුරයේ වැඩ භාරගනිමින් ජාතිය අමතා කළ කතාව ලෝකය පුරා දැඩි අවධානයක් හිමිව තිබේ. ඉම්රාන් පාකිස්තානය පිළිබඳව ඉදිරිපත් කරන සැලසුම් ආසියාවේ දේශපාලන නායකයකු ජනතා අභිවෘද්ධිය සඳහා එදා මෙදාතුර ඉදිරිපත් කළ හොඳම සැලසුම ලෙස විචාරක ඇගැයීමටද ලක්ව තිබේ.

ක්‍රියාවට නැඟීමේ සම්භාවිතාව කෙසේ වෙතත් ඉම්රාන්ගේ අදහස් විප්ලවකාරීය. සත්‍යය මත පදනම්ව තිබේ. ඔහු පාකිස්තානු ජනයා මුහුණ දී සිටින ප්‍රශ්නවල මධ්‍ය ලක්ෂ්‍යය දෙසට නිර්භයව ඇඟිල්ල දිගු කරයි. ඒ මතු නොව අගමැති තනතුර භාරගනිමින් එඩිතර පියවර රැසක්ද ගෙන තිබේ.

ඉම්රාන් ඛාන් අති දුෂ්කර මාවතක ඉදිරියට පැමිණි අත්දැකීම් බහුල නායකයෙකි. ක්‍රිකට් පිටියට පිවිසි ඔහු වසර 20කට පසු පාකිස්තානයට ක්‍රිකට් ලෝක කුසලානය දිනා දුන්නේය. ස්වේච්ඡා සේවයට පිවිසි ඔහු ඉස්ලාමාබාද් හා පෙෂාවෝර් ප්‍රාන්ත සඳහා පිළිකා රෝහල් දෙකක් ඉදිකළේය. දේශපාලනයට පැමිණ වසර 20කින් අගමැති පුටුව දක්වා පැමිණියේය. ඔහු ප්‍රකාශ කරන්නේ පාකිස්තානයේ පියා වන මොහොමඩ් අලි ජින්නා අනුව යමින් තමා පාකිස්තානය උදෙසා සේවය කරන බවය. පාකිස්තානු ජනතාව දිනකට දෙවේලක් ආහාර ගැනීමට නොහැකිව සිටියදී යටත්විජිත පාලකයන් මෙන් ජීවත්වීමට හුරුවූ ධන කුවේරයන් මෙන් ජීවත් වන පාලකයන් සිටින බව ඉම්රාන් හෙළි කළේය.

පාකිස්තානු අගමැතිවරයාගේ කතාව අපේ රටේ දේශපාලන නායකයන්ට ඇහැට ඇඟිල්ලෙන් ඇන්නා සේ දැනිය යුතුය. එහෙත් ඔවුන් නිරුත්තරය. ඔවුහු නෑසූ කන් ඇතිව සිටිති. මේ රටේ දුප්පත් මිනිසුන් හා පොහොසතුන් ජීවත් වන හැටි ගැන මා කතා කළ යුතු යැයි ඉම්රාන් කීවේය. "අගමැතිට සේවකයන් 524යි. කාර් 80යි. වෙඩි නොවදින කාර් 33ක් සහ ගුවන් යානා සහ හෙලිකොප්ටර් තිබෙනවා. දැවැන්ත බංගලා රාශියක් අගමැතිට වෙන්වෙලා. දුප්පත් ජනතාව වෙනුවෙන් වැය කරන්න රටට සල්ලි නැහැ. මිලියන 25ක් දරුවන් පාසල් අධ්‍යාපනය අවසන් කරන විට ඔවුන්ගේ අනාගතයට වැඩපිළිවෙළක් නැහැ. දරුවන්ගෙන් 45%ක් මන්දපෝෂණයෙන් පෙළෙනවා. අපි ලෝකයේ ළදරු මරණ අනුපාතය ඉහළම රටවල් අතර පස්වැනි ස්ථානයට වැටිලා. ඉහළම මාතෘ මරණ අනුපාතය පවතින රට පාකිස්තානය. අපේ ණය බර ටි්‍රලියන 28ක්. අපි මහා ආර්ථික අර්බුදයක සිර වෙලා" හෙතෙම පැවැසීය.

පාකිස්තාන අගමැති කරන ප්‍රකාශය අපේ කන්වලට හොඳට හුරුපුරුදුය. අපේ රටේ පාලකයොත් විපක්ෂයේ සිට මේ අන්දමින් ප්‍රශ්න කතා කරති. නමුත් බලයට පැමිණි විට රටත් ජනයාත් සූරාකමින් යටත්විජිත පාලකයෝ මෙන් වැජඹෙති. නමුත් ඉම්රාන් කතා කරන්නේ අගමැති තනතුරේ වැඩ භාරගැනීමෙන් පසුව වීම මෙහි ඇති විශේෂත්වයයි. එපමණක් නොවෙයි ඔහු පළමු පැය 24දීම විප්ලවකාරී පියවර රැසක් ගෙන තිබේ. අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩලය දෙදෙනකුට පමණක් සීමා කර ඇත. අගමැති නිල නිවාසය විශ්වවිද්‍යාලයක් සඳහා භාරදී ආරක්ෂක ලේකම්ගේ නිවෙසේ පදිංචියට ගොස් ඇත. වෙඩි නොවදින මෝටර් රථ සියල්ල විකුණා මුදල් භාණ්ඩාගාරයේ තැන්පත් කිරීමට නියෝග කළේය. රජයේ නිල නිවාස, මන්දිර දෙක තුන පාවිච්චි කරන අපේ රටේ මැති ඇමැතිවරුන් මේ සම්බන්ධයෙන් කියන්නේ කුමක්දැයි දැනගැනීමට අපි කැමැත්තෙමු.

ඉම්රාන් ඛාන් අගමැතිවරයා පංච විධ ප්‍රතිපත්ති රට හමුවේ තබා තිබේ. නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම, ධනවතුන්ගෙන් වැඩිපුර බදු අය කිරීම, පුරවැසියන්ට සානුකම්පිතව සැලකීම, විපාක ලැබීම හෙවත් වරදට දඬුවම සහ සැමට අධ්‍යාපනය යන කරුණුවලට ඔහු සිය ප්‍රතිපත්ති කැටි කර ඇත. ලංකාවට මේවා අලුත් ඒවා නොවන්නේ මේ ප්‍රතිපත්ති අපි දශක තුනක් තරම තිස්සේ හෝද හෝදා මඩේ ඔබමින් සිටින නිසාය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon