විරෝධතාකරුවන්ට මැකෝගෙන් තේ පැන් සංග්‍රහයක්

  👤  4969 readers have read this article !
2018-08-26

රුචිර දිලාන් මධුසංඛ

සීමා නිර්ණ වාර්තාවෙන් කරළියට පැමිණි දේශපාලන අවුල

පළාත් සභා මැතිවරණය දිගින් දිගටම කල් යෑම ගැන සියලු දේශපාලන පක්‍ෂ ගතවූ සතියේ විවිධ අරගල දියත් කළේය. පළාත් සභා මැතිවරණයට අදාළ සීමා නිර්ණය වාර්තාව ගැන සිකුරාදා දවස පුරා පාර්ලිමේන්තුවේ විවාද කෙරිණි. ඊට පෙර දින පාර්ලිමේන්තුවේදී ඒකාබද්ධ විපක්‍ෂයේ සහ එජාපයේ පාර්ලිමේන්තු කණ්ඩායම් දෙකම රැස්වී තීරණය කර ඇත්තේ මෙම වාර්තාව ගැන පැවැත්වෙන විවාදයට අදාළ ඡන්දයේදී විරුද්ධව ඡන්දය ලබාදීමටය.

පාර්ලිමේන්තුවේ එක ළඟ පිහිටි කමිටු ශාලා දෙකක මෙම කණ්ඩායම් රැස්වීම් දෙකම පැවැත්වුණු අතර මන්ත්‍රිවරුන් කිහිපදෙනකු හමු දෙක මාරුවී එහාට මෙහාට දිව යෑම විශේෂත්වයකි.

එජාප පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම ආරම්භයේදීම අගමැතිවරයාගෙන් සීමා නිර්ණ කමිටු වාර්තාව ගැන මැති ඇමැතිවරුන් ප්‍රශ්න කළහ. එම වාර්තාවේ පවතින අර්බුදකාරී තත්ත්වය ඇමැති මලික් පැහැදිලි කළේය.

'ඒකෙ ගැටලුවක් තියෙනවා නම් අපි ඒකට විරුද්ධව ඡන්දය දෙමු' ඇමැති කිරිඇල්ල කීවේය.

'කොහොම වුණත් තව තවත් ඡන්දය කල් දැමීමට නම් ජනතාව කැමැති වෙන්නේ නෑ' පසුපෙළ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම අගමැතිවරයාගේ අවධානයට ලක් කළේය.

'සීමා නිර්ණය ගැන ගැටලුවක් තියෙනවා නම් අපි ඒක විසඳගමු. නමුත් ඡන්දය කල් දාන්න පුළුවන්කමක් නෑ. එය කඩිනමින් තියන්න ඕනේ' අගමැතිවරයා කීවේය.

පසුව තීරණය වූයේ සීමා නිර්ණය වාර්තාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමටය. අනතුරුව සාගල රත්නායක ඇමැතිවරයා කණ්ඩායම් රැස්වීමට අලුත් යෝජනාවක් ගෙනාවේය.
මේක ආණ්ඩුවේම ඇමැතිවරයෙක් පාර්ලිමේන්තුවට ගේන්නෙ. එහෙම වුණාම ආණ්ඩුවේම පක්‍ෂයකට විරුද්ධ වෙනවට වඩා ඡන්දය දීමෙන් වැළකී සිටියොත් හොඳයි කියලා මට හිතෙනවා' සාගල කීවේය. ඒ සඳහා කිසිවකුගේ කැමැත්තක් ඇති බව පෙනෙන්නට නොතිබිණි.

ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රි කණ්ඩායම රැස් වුණේ පාර්ලිමේන්තුවේ කමිටු ශාලා අංක 4දීය. එහිදී විශේෂ අවධානය යොමු වුණේ සීමා නිර්ණය කමිටු වාර්තාව ගැනය. දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රිවරයා ඒ ගැන දීර්ඝ පැහැදිලි කිරීමක් කළේය.

මේක දිනේෂ්ගේ කමිටු වාර්තාව කියලා කිව්වට එහෙම එකක් මෙතැන නැහැ. දිනේෂ් ගුණවර්ධන කමිටු වාර්තාවේ තිබුණේ කොට්ඨාස සමානුපාතික අනුපාතය 70:30යි කියලයි. නමුත් මේ ගැන කරපු වාර්තාවෙ තියෙන්නේ 50:50 අනුපාතයයි අවශ්‍යයි කියලා. ඒක නිසා මේකට අපට එකඟ වෙන්න බැහැ' ඩලස් පැහැදිලි කළේය. 'ඕනෑම ක්‍රමයකට අපිට ඡන්දයක් තියා ගන්නයි ඕනෙ' කංචන විජේසේකර කීවේය.

'දැන් මේ ආණ්ඩුවේ ඉන්න සුළු පක්‍ෂත් මේ නව ක්‍රමයට විරුද්ධයි. ඔවුන් දැන් ආණ්ඩුව විවේචනය කරනවා. ආණ්ඩුවේ තුනෙන් දෙකක බලය ටිකෙන් ටික ගැලවෙන්න හොඳටම ආසන්නයි. ඒ ගැනත් අපි අවධානයෙන් ඉන්න ඕන' තාරක බාලසූරිය මන්ත්‍රිවරයා කීවේය.
අනතුරුව ඒකාබද්ධ මන්ත්‍රිවරුන්ද තීරණය කළේ මේ සීමා නිර්ණය කොමිසමේ වාර්තාවට විරුද්ධව ඡන්දය දීමටය. එම වාර්ථාව බහුතර ඡන්දයෙන් පරාජයට පත්විය පාර්ලිමේන්තු ඉතිහාසයේ ආණ්ඩු පක්ෂයත් විපක්‍ෂයත් එක්ව පනතක් පරාජය කළ ප්‍රථම අවස්ථාව මෙයයි.

මෙවර පැවැති ඡන්ද විමසීමෙන් පෙනුණේ අපූරු දේශපාලන සංයෝජනයකි. දීර්ඝ කාලයක් තිස්සේ රහසිගතව පැවැති ගැටුමක අවසානය සනිටුහන් වූයේ ආණ්ඩුවේ සිටින පක්‍ෂ අභ්‍යන්තරයේ ගැටුම් රැසක් එළියට පැමිණීමෙනි. මෙහි අවසන් ප්‍රතිඵලය ඉදිරි පළාත් සභා මැතිවරණය දක්වාම දිව යන බව සත්‍යයකි.

නිමල්ගේ යෝජනාව ජනපති විසි කරයි

ජනපති මෛත්‍රිගේ ප්‍රධානත්වයෙන් සතියේ කැබිනට් හමුව අඟහරුවාදා පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. වයස අවුරුදු 35ට අඩු පුද්ගලයන්ට ත්‍රිරෝද රථ පැදවීම තහනම් කිරීම සඳහා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා යෝජනාවක් ගෙනාවේය. මේ යෝජනාව කැබිනට් හමුවට එන බවට මීට පෙර සිටම විවිධ කතා ඇති වෙමින් තිබිණි. ඇමැති මංගල යෝජනාව කැබිනට් හමුවට පැමිණීමට පෙර සිටම ඊට විරෝධය දැක්වීය. නිමල් සිරිපාල ඇමැතිවරයා යෝජනාව ඉදිරිපත් කරමින් අදහස් දැක්වීය.

''අද රිය අනතුරු බහුල වෙලා රිය අනතුරුවලින් ජීවිත රාශියක් අහිමි වෙනවා. ඒ නිසා තමයි මේ යෝජනාව ගෙනාවේ'' නිමල් කීවේය.

එසේ කියනවාත් සමඟම මීයට පිම්බාක් සේ සිටි කැබිනට්ටුව ඇවිළෙන්නට පටන් ගත්තේය.

මංගල සමරවීර ඇමැතිවරයා එයට එක හෙළාම විරෝධය දැක්වීය.

''මේ වෙලාවේ ඔය යෝජනාව සම්මත කළොත් රටේ ලොකු ප්‍රශ්නයක් ඇති වෙයි. ඒ නිසා මේකට අනුමැතිය දෙන්න පුළුවන්කමක් නෑ. මේ වගේ යෝජනා ඉදිරිපත් කරනකොට රටේ ජනතාවගේ මතයටත් අපට ඇහුම්කන් දෙන්න වෙනවා. ඒ නිසා මින් ඉදිරියට මේ වගේ යෝජනා ගේනවා නම් ජනතාවගේ අදහසුත් විමසලා ගේන්න වෙනවා.'' යැයි පවසමින් ජනපති නිමල් සිරිපාල ඇමැතිවරයා ගෙනා යෝජනාව පසෙකින් තැබුවේය.
අනතුරුව අධීක්‍ෂණ මන්ත්‍රිවරුන්ගේ යෝජනාවක්ද කතාබහට ලක්විය. මීට පෙර එක් වතාවකද අධීක්‍ෂණ මන්ත්‍රිවරුන්ට සහන පැකේජයක් සම්මත කර ගැනීමට අදාළ යෝජනාවක් කැබිනට් හමුවට ඉදිරිපත් වූ අතර ඊටද අනුමැතිය හිමි වූයේ නැත.

මෙවරද එම යෝජනාව තරමක් වෙනස් කරමින් අයිසින් තවරා ගෙන තිබීම ගැන ජනාධිපතිවරයාට පැහැදීමක් තිබුණේ නැත. යෝජනාව දුටු විගස ජනපති ඇමැති මණ්ඩලය දෙස ඕනෑකමින් බැලුවේය. ඇමැතිවරුන්ද මුහුණට මුහුණ බලා ගත්හ.

''අධීක්‍ෂණ මන්ත්‍රි කියලා තනතුරක් තිබුණට මගේ කිසිම විරෝධයක් නෑ. හැබැයි තනතුරක් ඇති කරලා මහජන මුදල්වලින් ඔවුන්ට අනවශ්‍ය සුඛවිහරණ විඳින්න දෙන්න පුළුවන්කමක් නෑ. ඒ නිසා කිසිම අධීක්‍ෂණ මන්ත්‍රිවරයකුට දීමනා කිසිවක් බෑ. ඒ වගේම වාහනත් බෑ. එපමණයි' ජනපති කියූ කතාව ඇමැතිවරු අසාගෙන සිටියේ කිසිදු හැල හොල්මනක් නොමැතිවය.

ජනාධිපතිවරයා එයින්ද නතර වූයේ නැත.

''පසුගිය දවසක නිරෝෂන් පෙරේරා රාජ්‍ය ඇමැතිතුමා පාර්ලිමේන්තුවේ කියලා තියෙනවා මලිත් ජයතිලක මන්ත්‍රිතුමාට මම අධීක්‍ෂණ මන්ත්‍රිකමක් දීලා පඩි ගෙවනවා කියලා. එහෙම කිසිම දීමනාවක් මම ගෙවන්න කියලාත් නෑ. ගෙවන්නෙත් නෑ. එතුමාව පත් කළේ මාස 2ක වගේ පොඩි කාලයකට. එතුමා කිසිම දීමනාවක් අරගෙන නෑ. ''මම කනගාටු වෙනවා රාජ්‍ය ඇමැතිතුමාගේ එම ප්‍රකාශය ගැන'' ජනපති කීවේය.

අනතුරුව වැඩි කතාබහක් ඇති වූයේ කාන්තාවන් විදේශ ගත කිරීමේදී ඔවුන්ගේ පවුල්වල විස්තරයක් ලබා ගැනීම සඳහා එන යෝජනාවකි. ඇතැම් කාන්තාවන් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් විදේශ ගත වීම තුළ විවිධ ගැටලු මතු වන බවට මෙහිදී කතාබහ කෙරිණි. තලතා ඇමැතිවරිය සහ හරින් ඇමැතිවරයා අතර මේ ගැන උණුසුම් කතාබහක් ඇති විය. ඊට ඇමැති නිමල් සිරිපාලද මැදිහත් විය. කතාව තවත් උණුසුම් වූයේ හරින් සහ නිමල් දෙදෙනාම බදුල්ල නියෝජනය කරන ඇමැතිවරු නිසා බව සෙසු ඇමැතිවරු කසුකුසු ගාන්නට වූහ.

''හරි දැන් ඔය තුන්දෙනාම එකතු වෙලා මේ ගැන කතා කරලා තීරණයක් ඉදිරිපත් කරන්න'' යැයි ජනාධිපති කීවේය.

අනතුරුව වෙළෙඳසල්වලින් තනි දුම්වැටි නිකුත් කිරීමේදී ඊට බද්දක් අය කළ යුතු බවට වන යෝජනාවක් ඉදිරිපත් කළේ ඇමැති රාජිත විසිනි. දුම්වැටි භාවිතය අවම කිරීම සඳහා මෙම යෝජනාව ඉදිරිපත් වී තිබිණි. ඒ සඳහා ඇමැති මංගල විරෝධය දැක්වීය. අනතුරුව ඒ ගැන තවදුරටත් සොයා බැලීමට කැබිනට් හමුව තීරණය කළේය.

දුම්රිය වෘත්තීය සමිති ආයෙත් ජනපති හමුවෙයි

එල්ලංගා පද්ධති මඟින් ග්‍රාමීය වැව් 2,400ක් ප්‍රතිසංස්කරණය කිරීමේ වාරි සත්කාරය ඇරැඹීම සහ වයඹ ඇළ ව්‍යාපෘතියේ දෙවැනි අදියරේ කටයුතු ආරම්භ කිරීම ජනපති මෛත්‍රිගේ ප්‍රධානත්වයෙන් සිකුරාදා පෙරවරුවේ පොල්පිතිගම කුඹුකුලාව වැව් පරිශ්‍රයේදී සිදුවිය. වියළි කලාපය තුළ මේ වන විට අක්‍රිය වී ඇති එල්ලංගා වැව් පද්ධතීන් නැවත ප්‍රතිසංස්කරණය කර එම ප්‍රදේශවල ජනතාවට වාරි ජලය සැපයීම වෙනුවෙන් මෙම ව්‍යාපෘතිය ආරම්භ කර ඇත.

මේ අතර බ්‍රහස්පතින්දා පස්වරුවේ දුම්රිය වෘත්තීය සමිති නියෝජිතයන් ජනපති මෛත්‍රි හමුවීමට ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණියහ. පැය දෙකකට ආසන්න කාලයක් පැවැති මෙම හමුවේදී වෘත්තීය සමිති නියෝජිතයන් ඔවුන්ගේ දුක්ගැනවිල්ල ඉදිරිපත් කළේය.

මේ අවස්ථාවට ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් සහ වැටුප් කොමිසමේ නිලධාරීහුද පැමිණ සිටියහ.

'මට ඔයගොල්ලන්ගේ ගැටලුව තේරෙනවා. මම ඒ ගැන බලනවා. මට තව මාස 2ක් කාලය දෙන්න. ඒ අතර අපේ වැටුප් කොමිසම රාජ්‍ය සේවක වැටුප් ගැනත් තීන්දුවක් අරන් තියේවි එතකන් පොඩි කාලයක් දෙන්න' මෛත්‍රි කීවේය.

වැටුප් කොමිසමේ නිලධාරීන්ද රාජ්‍ය සේවක වැටුප් ගැන යම් පැහැදිලි කිරීමක් කළේය.
කෙසේ වෙතත් වෘත්තීය සමිති නියෝජිතයන් ජනපති ලේකම් කාර්යාලයෙන් එළියට පැමිණ මාධ්‍ය ඇමැතුවේය.

'සාකච්ඡාව සාර්ථකත් නෑ. අසාර්ථකත් නෑ' යැයි ඔවුහු කියූහ.

මිරිජ්ජ පෑගුණු හැටි ගැන ජනපති කිව්ව කතාව

ජනපති මෛත්‍රිගේ ආරාධනයෙන් පසුගිය අඟහරුවාදා පස්වරුවේ පුවත්පත් කතුවරුන්, මාධ්‍යවේදීන්, විද්‍යුත් මාධ්‍ය ආයතන ප්‍රධානීන් ඇතුළු පිරිසක් කොටුව ජනාධිපති මන්දිරයට පැමිණියහ. මොරගහකන්ද - කළුගඟ ව්‍යාපෘතිය පිළිබඳව සහ ඉදිරියට සිදුකිරීමට යන වාරි ව්‍යාපෘති පිළිබඳව මෙහිදී මහවැලි හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක විසින් කෙටි දේශනයක් කළේය. දේශනයෙන් පසු සාකච්ඡා මේසයක් පැවැත්වූ අතර ජනපති මෛත්‍රිත් ඊට එක්විය. එහිදී මාධ්‍යවේදීහු මෛත්‍රිගෙන් ප්‍රශ්න ඇසූහ. එක් මාධ්‍යවේදියකු දේශපාලන ප්‍රශ්නයක් ඇසූ විට මෛත්‍රි ඊට දුන්නේ කදිම පිළිතුරකි.

'අද අපි ඔබතුමාලට එන්න කිව්වේ මොරගහකන්ද, කළුගඟ, වයඹ ඇළ ගැන කතා කරන්න. ඔබතුමා දැන් වෙන ප්‍රශ්නයක් අහනවා. මම ඕකට උත්තර දුන්නොත් ඕක තමයි හෙට උදේ පත්තරවල පොල් ගෙඩි අකුරෙන් යන්නේ. ඒ නිසා ඒවට වෙන වෙලාවක් ගත්තොත් හොඳයි' මෛත්‍රි කිවේ සිනා සෙමිනි. පසුව එම මාධ්‍යවේදියාද නිහඬ විය. ජනාධිපතිතුමනි, මේ ව්‍යාපෘතිවල වංචා දූෂණ වෙන ඒවා නතර කරන්න සැලසුමක් තියෙනවාද? තවත් මාධ්‍යවේදියකු ප්‍රශ්න කළේය.

මේ වසර තුනහමාරෙදි ව්‍යාපෘති කරගෙන යද්දී කිසිම පැමිණිල්ලක් ආවේ නෑ. වංචා දූෂණ විමර්ශන සිදුවෙනවා නම් ඒ ගැන දැනුවත් කරන්න මම වෙනම ඒකකයක් හදනවා කියලා කළුගඟ ව්‍යාපෘතිය විවෘත කරද්දී මම කිව්වා. මම කොළඹ ඇවිත් දවස් දෙකෙන් ඒක ස්ථාපනය කළා' ජනපති කිවේය.

වයඹ ඇළ ව්‍යාපෘතිය ගැනද මෙහිදී මාධ්‍යවේදියකු ප්‍රශ්න කළේය.

'මහවැලි ව්‍යාපාරයේ මාස්ටර් ප්ලෑන් එකෙන් දැන් අපි පිට පැනලා තියෙන්නේ. මහවැලි ව්‍යාපෘතියේ මේවා නැහැ. අපි මහ සැලැස්මෙන් පැනලා ජනතාවගේ ප්‍රශ්න සොයාගෙන යනවා' මෛත්‍රි කීවේය.

එයින්ද නතර නොවුණු ජනාධිපතිවරයා ජනාධිපතිවරණයෙන් ජයගත් දිනය ගැනද කතා කළේය. මම ජනාධිපතිවෙලා, දිවුරුම්දීලා පසුවදා මාව ජනාධිපති කරන්න මහන්සි වුණු අය ගෙනැල්ල තිබ්බ සාකච්ඡාවේදි ඒ අය මගෙන් ඇහුවා ආරක්‍ෂක අමාත්‍යාංශය හැරුණහම තව මොනවද ඕනේ කියලා. මම දෙපාරක් හිතන්නේ නැතිව මහවැලි සහ පරිසර විෂයන් ඉල්ලුවා. වරාය, පෙට්‍රෝලියම්, විදුලිබල වැනි ඒවා මට කියන්න තිබුණා. නමුත් මගේ ඇඟේ ඒවා නෑ. කරදිය මිරිදිය ගත්තම මෙතැන ඉන් ගොඩක් අයට කරිජ්ජ පෑගිලා ඇති. මම කරිජ්ජ පෑගුණු කෙනෙක් නොවේ. මිරිජ්ජ පෑගුණු කෙනෙක්. වැව්වල වතුර පෑගුණු කෙනෙක් යැයි ජනාධිපති කීවේ සිනා සෙමිනි.

අනතුරුව පැමිණි සියලු දෙනා වෙනුවෙන් රාත්‍රි භෝජන සංග්‍රහයක්ද සූදානම් වී තිබිණි.

මාලිනී ගැන රවීන්ද්‍ර හෙළි කළ රහස

හෙළ සිනමාවේ නිළි රැජන මාලනී ෆොන්සේකා අභිනන්දන හරසර ප්‍රණාම උළෙල ජනපති මෛත්‍රිගේ ප්‍රධානත්වයෙන් බදාදා පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. ජනපති බිරිය ජයන්ති සිරිසේන, අගමැති රනිල්, කථානායක කරු ඇතුළු මැති ඇමැතිවරු රැසක්ද කලාකරුවන්, මාධ්‍යවේදීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

මාලනී හෙළ සිනමාවට කළ මෙහෙවර ඇගැයීම සහ දශක 5ක කාලයක් සිනමාවට කළ මෙහෙවර වෙනුවෙන් ජනාධිපතිවරයා මෙහිදී විශේෂ සම්මානයක්ද ප්‍රදානය කළේය.
මෙහිදී රංගන ශිල්පී රවීන්ද්‍ර රන්දෙණිය අපූරු කතාවක් කීවේ උත්සවයේ සොඳුරු මතක සැමරුම් දේශනය පවත්වමිනි.

''මම මාලනීව දකින්නේ අපි ඉස්කෝලේ යන කාලයේදී. ඊළඟට අපි හමු වුණේ චිත්‍රපටයක මුහුරත් උළෙලකදී. සුගතපාල සෙනරත් යාපා චිත්‍රපටයක ප්‍රධාන චරිතයකට මට කතා කළා. ප්‍රධාන නිළියට හිටියේ මාලනී. එදා කතා කරන්න වුණේ නැහැ. මොකද එතකොටත් ඇය රැස් විහිදෙන නිළියක්. වසර ගණනාවකට පස්සේ මාලනී කිව්වේ එදා මුහුරත් එකට ගිහින් ගෙදර ගියාම ගෙදර අය ඇහුවලු කවුද ඒකේ නළුවා කියලා. කවුද දන්නේ නෑ උස හීන්දෑරී උස කොල්ලෙක් හිටියා. ලන්සි කොල්ලෙක් වෙන්නැති කියලා. මාලනී කියලා තිබුණා. කොහොම හරි මේ උස කොල්ලා මාලනීගේ ඉතාම හිතෛෂී මිත්‍රයෙක් බවට පත් වුණා. චිත්‍රපටයක වගේම සැබෑ ජීවිතයේ ප්‍රේම වෘත්තන්තවල හෙල්ප් කාරයෙක් ඉන්නවා. කතා නායිකාව මාලනී. ඒත් හංගන්න බෑ. හැබැයි කතානායක කවුද කියලා අහන්න එපා. මැරුවත් කියන්න බෑ යැයි රන්දෙණිය කියද්දී උත්සවය එකම සිනහ සාගරයක් බවට පත්විය. මාලනීද අත්පොඩි ගසමින් සිනාසුණාය. සැවොම එහාට මෙහාට එබි එබී මාලනී කොහේදැයි විපරම් කිරීමද කාගේත් සිත්ගත් අවස්ථාවක් විය.

මෙම උළෙලට සහභාගි වීමට පෙර අරලියගහ මන්දිරයේදී එ.ජා.ප. සංවිධායකවරුන්ගේ විශේෂ හමුවක් පැවැත්වුණේ අගමැති රනිල්ගේ ප්‍රධානත්වයෙනි. උත්සවය අතරතුර අගමැතිවරයා නැඟී සිටියේය.

මාලනී ෆොන්සේකාගේ උත්සවයක් තියෙනවා. බී.එම්.අයි.සී.එච් එකේ. නොගිහින් හිටියොත් හරි නෑනේ. අගමැති එසේ කීවේ සිනාසෙමිනි. සිනාව එතරම් හොඳ එකක් යැයි උත්සවයේ සිටි සංවිධායකයන්ට වැටහී ගියේය.

''සර් ...මාලනීත් පූජා වගේ වෙයිද දන්නේ නෑ'' සංවිධායකයෙක් එසේ කියද්දී අගමැතිවරයාට හොඳටම හිනා ගියේය. උත්සවයේ සිටි සංවිධායකයන්ටද තදටම හිනා ගියේය.
''නැහැ එහෙම වෙන්නේ නැහැ. එයා පූජා වගේ නෙවෙයි දැන් වයසයිනේ'' අගමැතිවරයා එසේ කියමින් යන්නට ගියේය.

ඉන්දියාවයි පාකිස්තානයයි යාළු කළ හැටි කිරිඇල්ල කියයි

බ්‍රහස්පතින්දා අගමැතිවරයා පාර්ලිමේන්තු ගියේ එජාප කණ්ඩායම් රැස්වීමටය. ඊට පෙර සිය කාර්යාලයට පැමිණ සිටි පිරිස සමඟ කතාබහ කිරීමටද ඔහු වගබලා ගත්තේය.
"ලක්ෂ්මන්, වජ්පායිගේ ෆියුනරල් එකට ගිය ගමන කොහොමද?" අගමැතිවරයා සභානායක ලක්ෂ්මන් කිරිඇල්ලගෙන් විමසීය.

"ඒ ගමන රටට හුඟාක් වටිනවා. අගමැති මෝඩි හමුවුණාම මගේ පැමිණීම ගැන ඔහු ස්තුති කළා. එතුමා ලංකාවට ආවාම මම පරිවාර ඇමැති ලෙස හිටපු බවත් එතුමාට මතක් වුණා. වජ්පායි හා අගමැති රනිල් අතර තිබූ කිට්ටුවන්තකම මම මෝඩිට මතක් කළා" කිරිඇල්ල කීය.

"වෙන අයට කතා කරන්න අවස්ථාව ලැබුණේ නැද්ද?" අගමැතිවරයා විමසීය.
"ඉන්දියාවේ විදේශ ඇමැතිනිය එක්ක රටේ වත්මන් තත්ත්වය ගැන පොඩ්ඩක් කතා කළා. ඇෆ්ගනිස්තානේ හිටපු ජනපති කර්සායි එක්කත් කතා කළා"
කිරිඇල්ල කීය.

"සභානායකතුමා අපට ලස්සන කතාවක් කිව්වා සර්. එතුමා චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ නියෝජ්‍ය විදේශ ඇමැති කාලෙ ලංකාවෙ සාක් සමුළුව තිබුණු වෙලාවේ වජ්පායි හා පාකිස්තානයේ නවාෆ් ෂරීෆ් ළඟ පුටු දෙකක වාඩි කරන්න කිරිඇල්ල ඇමැතිතුමාල සෙට් කළේ ඒ දෙරට අතර ඒ වෙලාවේ පොඩි යුද උණුසුමක් තිබුණු නිසා එය සමනය කරන්නලු.

දෙරටේ නායකයො දෙන්න මුලින් අහක බලාගෙන හිටියත් ටික වෙලාවකින් වජ්පායි, ෂෙරිෆ් එක්ක හිනාවෙලා ඔහු ළඟ තිබුණු වතුර බෝතලය හා වීදුරුව ෂෙරිෆ්ගෙ පැත්තට තල්ලු කළාම ෂෙරිෆ් ඒ වතුර බෝතලෙන් උගුරක් බීලා හිනාවෙලා වජ්පායිට කතා කළාලු. ඒ දෙරට යුද උණුසුම නැති කරන්නත් කිරිඇල්ල ඇමැතිතුමාල සෙට් කරපු ඒ කුඩා සිදුවීම ඉවහල් වුණා කියල දවසක් කිරිඇල්ල ඇමැතිතුමා අපට කිව්වා" බදුලු දිස්ත්‍රික් මන්ත්‍රි චමින්ද විජේසිරි කී කතාව අගමැතිවරයා ඇතුළු පිරිස අහගෙන සිටියේ මහත් අවධානයෙනි. මෙහිදී පිරිස ඒකාබද්ධ විපක්ෂයේ කටයුතු ගැනද කතා කළේය.

"පොහොට්ටුව ඇතුළෙ ගිනි කන්දක් ඇතිවෙලා. ගෝඨා-බැසිල් ජනපති අපේක්ෂක ගැටුම නිසා එතැන කල්ලිවලට බෙදිලා. ඒ නිසයි 19 හිලකින් රිංගලා මම එනව කියල දැන් මහින්ද කියන්නේ" සජිත් ප්‍රේමදාස මෙන්ම නවීන් දිසානායකද කීවේ එක සමාන අදහසකි.

"මහින්ද රටේ නීති කඩන්න හදනවා" අගමැති කීවේ සිනාසෙමිනි.

"හිලකින් රිංගන්න ඉඩක් තිබුණෙ ජේ.ආර්.ට විතරයි. මොකද එතුමා ඡන්දයෙන් ජනපති වුණේ එක වරයි. ඒත් මහින්ද හා චන්ද්‍රිකා දෙවරක් ඡන්දයෙන් ජනපති වූ නිසා ඒ දෙන්නට රිංගන්න නම් මොන හිලක්වත් නෑ" නීති විශාරදයකු වන විජයදාස රාජපක්ෂ කීය.
"ඒත් 19 හෝ වෙනත් නීතියක් පැනවීම අතීතයට බලපාන්නෙ නැහැ නේද?" දයා ගමගේ ප්‍රශ්න කළේය.

"නීතියක් අතීතයට බලපාන්නෙ නැතත් යමෙකුගේ අතීත ක්‍රියාකාරකම් බලපානවා. අනෙක දෙවරක් ජනපති වුණේ නැති බවට දිවුරුම් ප්‍රකාශයකුත් නාම යෝජනා දෙනකොට දෙන්න වෙනවා. ඒ හරහා බොරු කිව්වොත් දණ්ඩ නීති සංග්‍රහයේ 190 වැනි වගන්තිය අනුව වසර 3ක් හිරේ යන්න වේවි" විජයදාස රාජපක්ෂ පැහැදිලි කළේය.

"ශේ‍ර්ෂ්ඨාධිකරණ මතය විමසන්නයි මෙයාල බලන්නේ" සජිත් ප්‍රේමදාස කීය.

"ඒ ගැන ශේ‍ර්ෂ්ඨාධිකරණ මතය විමසන්න පුළුවන් ජනපතිට විතරයි. හැම කොල්ලට බල්ලටම ඒක කරන්න බෑ" විජයදාස කීවේ සිනා මැදය.

ඒත් දිසා අධිකරණයට මේ ගැන පෙත්සමක් ඉදිරිපත් කළාම ඔවුන් ලවා ශේ‍ර්ෂ්ඨාධිකණ මතය විමසීමට යම් අවස්ථාවක් තිබෙනවා නේද?" නවීන් කීවේ අගමැති දෙස බලමිනි.
"දෙවරක් ජනපති වූ කෙනකුට යළි බැහැ කියල 19 වැනි සංශෝධනයේ පැහැදිලිවම තිබියදී දිසා අධිකරණයට ගියාම ඒ පෙත්සම විසිවේවි.

ඒ ගැන ශේ්‍රෂ්ඨාධිකරණ මත විමසන්න දිසා අධිකරණවලට ඔල්මාද ඇති කියල මම හිතන්නෙ නෑ" විජයදාස රාජපක්ෂගේ විග්‍රහය එය විය.

"කීත් නොයාර් නිදහස් කළ එක වරදක්ද කියල මහින්ද මහත්තයා අහනවා. නිදහස් කරන්න කලින් පැහැර ගත්තෙ කවුද කියලයි මිනිස්සු අහන්නෙ" චමින්ද විජේසිරි කීවේද සිනා මැදය.

"කීත් නොයාර්ගෙ ඉෂූ එක ලොකුවට උඩට ඇවිත්. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරල ඒ ගැන තවත් කරුණු හොයන්න කියල එජාප මන්ත්‍රිවරු රැසක් මට බලකරනවා" අගමැති කීවේය.

"පළාත් පාලන ඡන්දය පැරැදුණු එක ආණ්ඩුවට ආශීර්වාදයක්. දැන් ඉඩම් බෙදලා පවුල් ලක්ෂ 8කට අලුතින් සමෘද්ධි දීලා උදාගම්, පාසල්, රෝහල් හදලා ගම්පෙරළිය, එන්ටර්ප්‍රයිස් ලංකා, ග්‍රාම ශක්ති ආදිය කළාම ඊළඟ ඡන්දය අපට අමාරු වෙන්නෙ නෑ" ගයන්ත කරුණාතිලක කී දේ අගමැති ඇතුළු සියලු දෙනා අනුමත කළහ.

"මම රට පුරා කොට්ඨාස 3,923ක පාක්ෂිකයො 10ක් බැගින් හමුවෙලා වැඩමුළු 150ක් ජාතික සංවිධායක ලෙස තිබ්බා. 40,000ක් දැනුවත් කළා. ඒ අයට ගමේ ව්‍යාපෘති කරන්න කෘෂි උපකරණ ආදියත් බෙදනවා" නවීන් දිසානායක කීවේ අගමැති ඇතුළු කාගේත් ප්‍රශංසා මැදය.

"ආණ්ඩුවට වසර 3ක් පිරීමට උදාගම් 100කට මුල්ගල් තියනවා. ගම් 1000ක් හදලයි මම පස්ස බලන්නේ" සජිත් ප්‍රේමදාස කී විටද අගමැතිවරයා ඇතුළු කාගේත් ප්‍රශංසාව සජිත්ටද හිමි විය.

"ජපාන ආරක්ෂක ඇමැති ඇවිත් රහස් ආරක්ෂක ගිවිසුමක් ගැහුවා කියල විපක්ෂය කරන චෝදනාව මඩක්ද?" චමින්ද විජේසිරි ඇසුවේ අගමැතිගෙනි.

"අපි කිසිම ගිවිසුමක් හොරාට ගහන්නෙ නෑ. අද ලංකාව වටා ඇති ඉන්දීය සාගර කලාපය නාවික හා ආර්ථික මර්මස්ථානයක්. අපේ වැදගත්කම ලෝකයම දකිනවා. ජාත්‍යන්තරයම දැන් ලංකාව එක්ක වැඩ කරන්න ඉතා උනන්දුයි. ඉස්සර එහෙම තත්ත්වයක් තිබුණෙ නෑ. ජපන් ආරක්ෂක ඇමැති, සින්සො අබේගෙන් පසු ජපන් අගමැති වෙන්නත් ඉඩ ඇති කෙනෙක්. ත්‍රිකුණාමලේ හා හම්බන්තොට දියුණුවට ජපන් උදවු හා ආයෝජන ගේන්න ඔහු එකඟ වුණා. ඒක ලංකාව ලැබූ විශාල ආර්ථික ජයක්" අගමැතිවරයා විග්‍රහ කළේය.

එක්සත් ජාතික පෙරමුණේ වගකීම් රැසක් රාජිතට

අගමැති රනිලගේ් ප්‍රධානත්වයෙන් බ්‍රහස්පතින්දා රාත්‍රියේ එක්සත් ජාතික පෙරමුණේ නායකයන්ගේ රැස්වීමක් පැවැත්විණි. එහිදී අග්‍රාමාත්‍යවරයා රාජිත සේනාරත්න අමාත්‍යවරයාට මෙසේ පැවැසීය. "රාජිත එක්සත් ජාතික පෙරමුණ ගොඩනැඟීම ඔයා කරන්න. ඉන්පසු පක්ෂය ලියාපදිංචි කරන්න. ඉදිරි මැතිවරණවලට හොඳයි" යැයි කියා සිටියේය. 'පක්ෂය ලියාපදිංචි කිරීම පිළිබඳ ලියාපදිංචි දේශපාලන පක්ෂ කිහිපයක් සමඟ සාකච්ඡා කළා. තවදුරටත් මලික් එක්ක සාකච්ඡා කරන්න ඕන' සෞඛ්‍ය අමාත්‍යවරයා පැවැසීය. ඉන්පසු සිකුරාදා දින පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිත පළාත් පාලන සීමා නිර්ණ වාර්තාව පිළිබඳවද සාකච්ඡා කරන ලදී. එහිදී එම සීමා නිර්ණ වාර්තා විවාදයෙන් පසු පැවැත්වෙන ඡන්ද විමසීමේදී එක්සත් ජාතික පක්ෂය විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කිරීම පිළිබඳව සාකච්ඡාවට බඳුන් විය. එවිට අග්‍රාමාත්‍යවරයා පැවැසුවේ "පාර්ලිමේන්තුවේදී ඩලස් අලහප්පෙරුම හා දිනේෂ් ගුණවර්ධන යන මන්ත්‍රිවරුන් ප්‍රකාශ කළේ ඊට විරුද්ධව ඒකාබද්ධ විපක්ෂයත් ඡන්දය ප්‍රකාශ කරන බවයි. එම නිසා එක්සත් ජාතික පක්ෂයත් විරුද්ධව ඡන්දය දෙමු" අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය. ඉන්පසු අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ ජනවාරි මාසයේදී පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නියමිත බවයි.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරු මැදමුලනේ නිදි වැරූ හැටි

ජනබලය කොළඹට උද්ඝෝෂණය මෙහෙයවීම සම්බන්ධයෙන් පත් කෙරුණු මෙහෙයුම් කමිටුව 20 වැනිදා සවස රැස් වූයේ නාමල් රාජපක්ෂගේ ටවුන්හෝල් කාර්යාලයේදීය. එතැනදී ඩලස් අතීතයේ ආණ්ඩු පෙරළීමේ ව්‍යාපාර සම්බන්ධයෙන් මිනිත්තු 20ක කදිම විග්‍රහයක් කළේය.

'සර්ගේ විග්‍රහය නම් අනර්ඝයි' හැබැයි ඕක මෙතන නෙමේ ජනතාව ඉස්සරහයි කියන්න තිබුණේ' නාමල් පැවැසීය.

'ඒක නම් ඇත්ත' මේ කාරණා දැනගන්න ඕනේ ජනතාවයි' ප්‍රසන්නද කීවේය.
අනතුරුව ජනබලය කොළඹට උද්ඝෝෂණයේ ප්‍රගතිය සම්බන්ධයෙන් සාකච්ඡා කෙරිණි. රෝහිත සහ ප්‍රසන්න රට පුරා සංවිධානය කටයුතු සම්බන්ධයෙන් පැහැදිලි කළහ. උද්ඝෝෂණයට ජනතාව සම්බන්ධ කරගැනීමේ කටයුතු සම්බන්ධීකරණය කිරීම ජොන්ස්ටන්ට පැවැරිණි.

මහ නායක හිමිවරුන් සහ මාධ්‍යවේදීන් දැනුවත් කිරීම දිලුම්, ශෙහාන්, කාංචන, කනක හට පැවැරිණි. ඒකාබද්ධයේ රැලි අතරින් වැඩිම ජන සහභාගිත්වයක් තිබුණේ ගෝල්ෆේස් පිටියේ මැයි රැලියටය. එදින ලක්ෂ 18ක ජනතාවක් ගෝල්ෆේස් පිටියට පැමිණි බව සැලකේ. ජන බලය කොළඹට සංවිධායකයන්ගේ අරමුණ වී ඇත්තේ මෙවර එම වාර්තාව බිඳ හෙළීමය.

රාජපක්ෂ පවුලේ සිවුවැන්නා වූ චන්ද්‍රා රාජපක්ෂ පසුගිය 21 වැනිදා අභාවප්‍රාප්ත විය. වැවිලිකරුවකු ලෙස නමක් දිනා සිටි චන්ද්‍රා රාජපක්ෂ මහතා හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ ප්‍රතිකාර ගනිමින් සිටියදී ගමට යෑමට අවශ්‍යයැයි පැවසූ නිසා ඔහුගේ නැගෙනිය ඔහු මැදමුලනට කැදවාගෙන ගියාය. එහි සිටියදී යලිත් අසනීප තත්වය උත්සන්නවී තංගල්ල මූලික රෝහලට ඇතුළත් කෙරුණේ 20 වැනි දාය.

ඒ බව මහින්දට දුරකථනයෙන් දැනුම් දුන්විට මහින්ද කීවේ 'රාජපක්ෂලා සුපිරි රෝහල්වල ප්‍රතිකාර ගන්නේ නැහැ තමයි. ඒ වුණත් මල්ලිව කොළඹ අරගෙන ආවොත් හොඳයි' කියාය. එහෙත් චන්ද්‍රා කොළඹ පැමිණීමට කැමැති වූයේ නැත.

එදින උදෑසන නාමල් සිටියේ වෙල්ගම, වාසු, තිස්ස සමඟ රත්මලාන දුම්රිය අංගණයේ නිරීක්ෂණ චාරිකාවක නියැළෙමිණි. දුම්රිය පෞද්ගලීකරණය කිරීමට ආණ්ඩුව සැරසෙමින් සිටින බැවින් වෘත්තීය සමිති නියෝජිතයන් හමු වී සාකච්ඡා කිරීම එහි අරමුණ වී තිබිණි.
ඒ අතර නාමල්ට දුරකථන ඇමතුමක් ආවේ මහින්දගෙනි. චන්ද්‍රා බාප්පා අසනීප වී තංගල්ල රෝහලට ඇතුළත් කර ඇති බැවින් හැකි ඉක්මනින් තංගල්ල බලා යන්නැයි මහින්ද නාමල්ට උපදෙස් දුන්නේය.

ඒ අනුව සාකච්ඡාව අවසන් වූ වහාම නාමල් තංගල්ල බලා පිටත්ව ගියේය. ඒ යන අතරමඟදී දැනගන්නට ලැබුණේ චන්ද්‍රා බාප්පා අභාවප්‍රාප්ත වූ බවය. වහාම නාමල් දුරකථනයෙන් මහින්දට ඒ බව දැනුම් දුන්නේය.

නාමල්ගේ ඇමතුම ලැබීමත් සමඟ මහින්ද දැඩි සංවේදී වූ අතර හැඬ­ කඳුළින් මඳ වේලාවක් ශෝකජනකව සිටියේය. අනතුරුව ඇමෙරිකාවට දුරකථන ඇමතුම් ගෙන ගෝඨාභයට සහ බැසිල්ට එම සංවේගජනක ආරංචිය දුන්නේය. ඒ දෙදෙනාම මේ වනවිට සිටින්නේ ඇමෙරිකාවේය.

පසුව නාමල් ඇමතූ මහින්ද තමන් හැකි ඉක්මනින් එන බවත් මැදමුලන නිවෙසේ අවමඟුල පැවැත්වීමට කටයුතු සූදානම් කරන ලෙසත් දැනුම් දුන්නේය. මහින්ද කෙළින්ම ගියේ සිය සොයුරාගේ දේහය ඒ වනවිට තබා තිබුණු මල් ශාලාවටය.

මහින්ද යනවිටත් චමල් එහි පැමිණ සිටියේය. සිය වැඩිමල් සොහොයුරා වැලඳ ගත් මහින්ද සංවේගය බෙදා ගත්තේය. දේහය සූදානම් කෙරෙනතුරුම මහින්ද එතැන රැඳී සිටියේ පැමිණ සිටි පිරිස සමඟ සොහොයුරාගේ බාල කාලය සිහිපත් කරමිනි.

සුභ්‍රමනියම් සාමි මැදමුලනට යති

මේ අතර ඉන්දියාවේ ප්‍රකට දේශපාලනඥයකු වන සුබ්‍රමනියම් ස්වාමි මහින්ද මුණගැසීමට සූදානමින් මෙරටට පැමිණියේය. සුබ්‍රමනියම් ස්වාමි පැමිණ සිටියේ සැප්තැම්බර් මස 11 වැනි දින ඉන්දියාවේ පැවැත්වෙන සමුළුවකට මහින්දට ආරාධනා කිරීමටය. එම හමුව පැවැත්වීමට නියමිතව තිබුණේ 22 වැනිදා කොළඹදීය.

එහෙත් එදින උදෑසන මහින්ද සුබ්‍රමනියම් ස්වාමිට දැනුම් දුන්නේ සිය සොයුරාගේ අභාවය නිසා තමන්ට එදින කොළඹ පැමිණීමට නොහැකි බවය. එම නිසා මැදමුලනට පැමිණෙන්නැයි මහින්ද සුබ්‍රමනියම් ස්වාමි හට ආරාධනා කළේය.

එම ආරාධනය පිළිගත් සුබ්‍රමනියම් ස්වාමි අධිවේගී මාර්ගය ඔස්සේ මැදමුලනට ආවේය. ප්‍රථමයෙන් චන්ද්‍රා රාජපක්ෂගේ දේහයට අවසන් ගෞරව දැක් වූ ඔහු මහින්ද සමඟ මැදමුලන නිවෙසේ ඇතුළු කාමරයක සාකච්ඡාවක නිරත විය.

තමන් අධිවේගී මාර්ගයේ එනවිට දුටු දසුන් සිහිපත් කරමින් සුබ්‍රමනියම් ස්වාමි කීවේ ලංකාව ශීඝ්‍රයෙන් දියුණු වී ඇති බවය. එම දියුණුවේ පුරෝගාමියා වශයෙන් හෙතෙම මහින්දට ප්‍රශංසා කළේය.

අනතුරුව සුබ්‍රමනියම් ස්වාමි ඉන්දීය දේශපාලන තත්ත්වය ගැන අදහස් පළ කළේය. මහින්ද ලංකාවේ දේශපාලනය ගැන පැහැදිලි කළේය. මහින්ද කීවේ ජාතික සම්පත් විකුණමින් ආණ්ඩුව වැරැදි ගමනක යන බවය. පළිගැනීම හැර වෙන අරමුණක් ආණ්ඩුවට නැති බවත් කීවේය.

'ඉන්දියාවේ අපේ මිනිස්සු මේ රටේ දන්නේ පුද්ගලයෝ දෙන්නයි. එක්කෙනෙක් තමයි ඔබතුමා. අනෙක් කෙනා සනත් ජයසූරිය' සුබ්‍රමනියම් ස්වාමි පැවැසීය. ඔහු නික්ම ගියේ මැදමුලන නිවෙසෙන් දිවා ආහාරයද රැගෙනය.

එදින රාත්‍රියේ මහින්ද යාපා, ජොන්ස්ටන්, පවිත්‍රා, ප්‍රසන්න, කෙහෙළිය, ඉන්දික, ෂෙහාන් යන ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් නිදහස් පක්ෂයේ 16 කණ්ඩායමේ සුසිල්, එස්.බී., තිලංග, ජෝන් සෙනෙවිරත්න මන්ත්‍රිවරුනුත් රැය පහන් කළේ මැදමුලන නිවෙසේය.
ප්‍රසන්නත් ඉන්දික අනුරුද්ධත් මළ ගෙදරට ආවේ එකම වාහනයෙනි. දෙදෙනා එක වාහනයෙන් පැමිණෙනු දුටු ලොහාන් දෙදෙනාට විහිළු කළේය.

'දෙන්න අයියයි මල්ලියි වගේ එකටම එනවා නේද? ලොහාන් ඇසුවේය.

'අපි ඉතින් එහෙම තමයි' ප්‍රසන්න පැවැසීය.

'මල්ලි උඹට තියෙන්නේ මෙයාගේ පස්සෙන් යන එක නෙවෙයි. මෙයා මළ ගෙදරට යනකම් ඉඳලා ආසනේ ඇවිදලා මනාප ටික එකතු කරගන්න එකනේ. උඹට ඒක කරන්න පුළුවන්' ලොහාන් කීවේය.

'අපෝ මට නම් ඕවා කරන්න බැහැ. ලොක්කට විරුද්ධව යන්න හිතන්නෙවත් නැහැ' ඉන්දික පැවැසීය.

'ඒ මොකද බං?' ලොහාන් ඇසුවේය.

'මෙතැන තියෙන්නේ අයියා මල්ලි සම්බන්ධයක් නෙමේ ගුරු ගෝල සම්බන්ධයක්' ඉන්දික කීවේය.

'පිස්සුද බං ගුරුවරයටත් කෙළින ගෝලයෝ ඉන්න රටක් මේක' ලොහාන් කීවේ සිනාසෙමිනි.

මළ ගෙදර සිටි මන්ත්‍රිවරුන් කතා බහ කළේ 05 වැනිදා උද්ඝෝෂණය සාර්ථක කර ගන්නා ආකාරය සම්බන්ධයෙනි. ආණ්ඩුව උද්ඝෝෂණයට එරෙහි මර්දනයක් ක්‍රියාවට නැංවුවහොත් කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන්ද මෙහිදී කතාබහට ලක්විණි.

'ඒකාබද්ධ විපක්ෂයේ ආණ්ඩු විරෝධී සටන ගැන ජනතාවගේ ලොකු කැමැත්තක්
තියෙනවා. අපි ඉදිරියේදී නිදහස් පක්ෂයෙන් තවත් මන්ත්‍රිවරුන් කණ්ඩායමක් මේ පැත්තට දිනාගන්න කටයුතු කරනවා' 16 කණ්ඩායමේ සාමාජිකයකු පැවැසීය.

'එක්සත් ජාතික පක්ෂයත් අද ඉන්නේ බරපතළ අර්බුදයක. ඒ පක්ෂයේ පසුපෙළ මන්ත්‍රිවරුන් බොරුවට එළියට ඇවිත් කෑගැහුවට ඉන්නේ ලොකු විරෝධයකින්' ජොන්ස්ටන් පැවැසීය.

'ආණ්ඩුව මේ උද්ඝෝෂණය නතර කරන්න ඕනෙම දෙයක් කරයි. ඒ හින්ද අපි ඒවටත් ලැහැස්ති වෙන්න ඕනේ' නාමල් පෙන්වා දුන්නේය.

'ඒක ඇත්ත. ආණ්ඩුවට දැන් තියෙන ලොකුම අභියෝගය ඒකාබද්ධ විපක්ෂයයි. අපේ කණ්ඩායම හිටියේ නැත්නම් රට විකුණන් කන එක නිදහසේ කරන්න ආණ්ඩුවට පුළුවන්. හැබැයි දැන් අපෙන් බේරිලා කිසිම දෙයක් කරන්න බැහැ' කෙහෙළිය පැවැසීය.

'ආණ්ඩුවේ ඉන්නේ මර්දන ඔස්තාර්ලා ටිකක්. උද්ඝෝෂණ, පෙළපාළි, වැඩ වර්ජන පේන්න බැරි අමුතුම කොට්ඨාසයක් තමයි මේ ආණ්ඩුවේ ඉන්නේ. අපි ආණ්ඩුවේ ඉන්න කොටත් මේවා ගැන කතා කළා. හැබැයි වැඩක් වුණේ නැහැ' එස්.බී. කීවේය.

නිමල් සිරිපාල ද සිල්වා ඇමැතිවරයා මළ ගෙදර පැමිණියේ පිරිස මෙසේ කතාබහ කරමින් සිටින අතරතුරය. මහින්දට නිමල් පෙන්වමින් එතැන සිටි 16 කණ්ඩායමේ මන්ත්‍රිවරයකු කීවේ 'සර් ඔන්න අපි නිමල් ඇමැතිතුමාවත් ගෙන්න ගත්තා' කියාය.

'නිමල්ට ඉතින් මේවා නුපුරුදු තැන් නෙවෙයිනේ. එයාට ඕනේ වෙලාවක එන්න පුළුවන්' කී මහින්ද 'මොකක්ද නිමල් පළාත් සභා සීමා නිර්ණ වාර්තාව එන දවසට කරන්න ඉන්නේ? යැයි ඇසුවේය.

'සර් අපි ඒකට පක්ෂව ඡන්දය දෙනවා' නිමල් පැවැසීය.

'ආණ්ඩුව හදන්නේ පනතට මුවා වෙලා පළාත් සභා ඡන්දය කල් දාන්නනේ' කෙහෙළිය කීවේය.

'අපි පනතට පක්ෂ වෙන්නේ ඡන්දය ඉක්මනට තියන්න තමයි' නිමල් පැවැසීය.
'මොන ක්‍රමයකට හරි ඉක්මනට ඡන්දය තියන්න ඕනේ. ඡන්ද කල් දාන එක හොඳ වැඩක් නෙවෙයි. ඉතිහාසයේ ඕනේ තරම් තියෙනවා ඡන්ද කල්දාපු ආණ්ඩුවලට වෙච්ච දේවල්. එදා මැතිනි 1975 තියන්න තිබ්බ ඡන්දය 1977 වෙනකම් කල්දාලා උඩින් පැරැදුණා. පහුගිය පළාත් පාලන මැතිවරණයේදී මේ ආණ්ඩුවට වුණෙත් ඒකමයි. මැතිවරණ කල් දැම්මා කියලා පරාජයෙන් ගැලවෙන්න බැහැ. ආණ්ඩුවත් මේවා තේරුම් ගන්න ඕනේ' මහින්ද පැවැසීය.

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම බ්‍රහස්පතින්දා උදෑසන පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක හතරේදී රැස් වූයේ දිනේෂ්ගේ ප්‍රධානත්වයෙනි. මෙහිදී විශේෂයෙන් අවධානය යොමු වූයේ පසුවදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණු පළාත් සභා සීමා නිර්ණ කොමිෂන් වාර්තාව සම්බන්ධයෙනි.

'මේක විකෘති පනතක්. අපි මුලින් මේ පනතට විරුද්ධ වුණා. සියයට 70 _ 30 නියෝජනයක් අවශ්‍යයි කියලා තමයි අපි එදා කිව්වේ. දැන් අපිට මේකට පක්ෂ වෙන්න බැහැ. අපි මේ පනතට පක්ෂ වුණත් විපක්ෂ වුණත් ආණ්ඩුව හදන්නේ ඡන්දය කල්දාන්නයි' නාමල් පැවැසීය.

'රටේ සාමාන්‍ය ජනතාව මනාප ක්‍රමයට විරුද්ධයි. අපි මේ පනතට විරුද්ධ වුණොත් ආණ්ඩුව මතයක් හදයි අපි ඡන්දය කල්දාගන්න හදනවා කියලා. ඒ නිසා අපි මේකට පක්ෂ වෙලා කොහොම හරි ඉක්මනට ඡන්දය ගන්න බලමු' තාරනාත් පැවැසීය.

'අලුත් ක්‍රමයට පක්ෂ මෛත්‍රි පාර්ශ්වයයි ජනතා විමුක්ති පෙරමුණයි විතරයි. ඒ නිසා අපි පසුගිය වතාවේ වගේ මේ වතාවෙත් විරුද්ධ වෙන්න ඕනේ. මේක විකෘතියක්' ලන්සා පැවැසීය.

'මම නම් මේකට සම්පූර්ණයෙන් විරුද්ධයි. මේකෙන් සැබෑ මහජන මතය නිරූපණය වෙන්නේ නැහැ. පළාත් පාලන ආයතනවල සියයට 60-40 අනුපාතයටත් බැරි වෙච්ච එකේ 50-50 කොහොමද මහජන මතයක් නිරූපණය වෙන්නේ? ආණ්ඩුව ඕනේ නම් අපිට සතියක් ගහයි. අපි ඒවට උත්තර දෙමු' සනත් නිශාන්ත කීවේය.

'අපේ අරමුණ කොහොම හරි මැතිවරණයක් ගන්න එකයි. පනත පරාජය වුණොත් අපිට පුළුවන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා හමුවෙලා පරණ ක්‍රමයට මැතිවරණය තියන්න කියලා ඉල්ලා හිටින්න. උසාවි ගිහින් හරි අපේ මැතිවරණය ගම්මු' ඩලස් කීවේය.

'සමහරු කියනවා මේක මම හදපු මැතිවරණ ක්‍රමයක් කියලා. මම හැදුව ක්‍රමයේ තිබුණේ සියයට 70-30 නියෝජනයක්. මගේ මතයත් මේ ක්‍රමයෙන් මහජනතාවගේ මතය නිසි ලෙස නිරූපණය වෙන්නේ නැහැ කියන එකයි' දිනේෂ් පැවැසීය.

'අද ජනතාව ඉන්නේ කලකිරිලා. ඡන්දයක් එනකම් තමයි ඒ අය බලා ඉන්නේ. මොනම ක්‍රමයකට හරි ඡන්දයකුයි ඕනේ. මුලින් විරුද්ධ වෙලා දැන් පක්ෂ වෙන්න බැහැ. ඒ නිසා අපි මේකට විරුද්ධ වෙමු' ප්‍රසන්න කීවේය.

ඒ අනුව තීන්දු කෙරුණේ පසුදින පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේම මෙම පනතට විරෝධය පළ කිරීමටය.

පලාත් සභා මන්ත්‍රිවරුන් මැතිවරණ කොමිසමට කඩාවදිති

ඒකාබද්ධ විපක්ෂයේ පළාත් සභා මන්ත්‍රි සංසදයේ මන්ත්‍රිවරුන් සිකුරාදා මැතිවරණ කොමිසම වෙත උද්ඝෝෂණයක් පැවැත්විය. එම සංසදයේ සභාපති සබරගමු පළාත් සභාවේ සභාපති කංචන ජයරත්නගේ මැදිහත් වීමෙන් පිරිස කොමිෂන් සභා කාර්යාලය අසලට පැමිණියහ. ඊට පෙර දින කංචන කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රියට දුරකථන ඇමතුමක් ලබා දුන්නේය.

"සභාපතිතුමනි අපි හෙට විරෝධතාවක් සඳහා එනවා. ලිඛිත යෝජනාවකුත් භාරදෙනවා" කංචන කීවේය. "ඒක ගැටලුවක් නෑ. ඕන වෙලාවක එන්න. මම ඉන්නවා" සභාපතිවරයා කීවේය.

අනතුරුව පෙරවරුවේ පිරිස රාජගිරිය කොමිෂන් සභා කාර්යාලය අසලට රැස්වූහ. පළාත් සභා 08ම නියෝජනය කරමින් මන්ත්‍රිවරු සහභාගි වූහ. පිරිස විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් සටන් පාඨ කියමින් විරෝධයේ නිරත වූහ.

"මල්ලි මම ඇතුළෙ ඉන්නෙ. ඔතෙන්ට එන්නම්" මහින්ද දේශප්‍රිය දුරකථනයෙන් කංචන අමතා කීවේය.

මිනිත්තු කිහිපයක් ගතවෙද්දි සභාපතිවරයා කොමිෂන් සභා කාර්යාලය ඉදිරිපිට මාර්ගයේ රැඳී සිට මන්ත්‍රිවරුන් අසලට ගියේය. සභාපතිවරයා දුටු විට මන්ත්‍රිවරුන්ගේ හඬ තවත් වැඩි විය.

"බොහොම ස්තුතියි. අපට පාරේ සාකච්ඡා කරන්න බෑ. මන්ත්‍රිවරු ටික එන්න ඇතුළට. අපි කතා කරමු" සභාපතිවරයා කීවේය.

අනතුරුව සභාපතිවරයාද පෙරටු කර ගනිමින් මන්ත්‍රි පිරිස සටන් පාඨ කියමින් කාර්යාලය අසලට ගියහ.

"කංචන මට කිව්වා. ඔයාලා මෙහෙම වැඩක් කරනවා කියලා. ඡන්දය ප්‍රමාද කරන්න අපට ඕනෙ නෑ. සීමානිර්ණය තුනෙන් දෙකකින් සම්මත නොවුණොත් කථානායකට බලය පැවරෙනවා. පසුව ඇමැති කමිටුවක් දාලා වාර්තාවක් ඉදිරිපත් කරන්න වෙනවා" සභාපතිවරයා පැහැදිලි කළේය.

එම සාකච්ඡාවෙන් පසුව පළාත් 8ම නියෝජනය කරමින් ඡන්දය පවත්වන ලෙස ඉල්ලා ලිඛිත යෝජනා 9ක් සභාපතිවරයා වෙත ලබාදුන්නේය.

තවත් විශේෂත්වයක් තිබිණි. මන්ත්‍රි පිරිසගේ සාකච්ඡාවෙන් පසුව කොමිෂන් සභා කාර්යාලයේ විශාල තේ මේසයක් සූදානම් කර තිබිණි. විරෝධතාකරුවන්ට තේ පැන් සංග්‍රහයක්ද සූදානම් කිරීම ගැන මන්ත්‍රි පිරිස සභාපතිවරයාට ස්තුති කළේය.

"ලෝකේ කොහෙද මෙහෙම වෙන්නෙ. විරෝධතාකරුවන්ට කන්න බොන්නත් දෙනවා' යැයි මන්ත්‍රි පිරිස සිනාසෙමින් කීහ.

විපක්ෂයේ මන්ත්‍රිවරුන්ට මඩ ගහන වෙබ් මාස්ටර්ට "ඇමැති ආරක්ෂාව

විපක්ෂයේ මන්ත්‍රිවරුන්ට මඩ ගසමින් ලන්ඩනයේ සිට මෙරට වෙබ් අඩවි කිහිපයක් මෙහෙයවන ප්‍රසිද්ධ පුද්ගලයකු සති දෙකක කාලයකට ලංකාවට පැමිණ තිබේ. විශේෂත්වය වන්නේ එම පුද්ගලයා මෙරට සිටින කාලය පුරාවට ඔහුගේ ආරක්ෂාවට ඇමැති ආරක්ෂක අංශයේ (එම්.එස්.ඩී.) නිලධාරීන් සිවුදෙනෙකුගේ ආරක්ෂාවක් ලබාදීමට කටයුතු කිරීමයි. මෙම පුද්ගලයා මෙහෙයවන වෙබ් අඩවිවලින් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් පිරිසක් ඉලක්ක කර ගනිමින් මඩ පුවත් පළකරමින් සිටියි.

අභිවිරුගම කතාව

අම්පාර දිස්ත්‍රික්කයේ දුෂ්කරම ප්‍රදේශයක් වූ පදියතලාව, කෙහෙල්උල්ලේ ඉදිවුණු 'අභිවිරුගම' 109 වැනි උදා ගම්මානය මෙන්ම එම දිස්ත්‍රික්කයේ ජනතා අයිතියට පත්කළ 6 වැනි උදාගම්මානයයි. 'අභිවිරුගම' ජනතා අයිතියට පත් කිරීමේ උත්සවය සඳහා ගිය සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා සිරිත් පරිදි පිළිගනු ලැබුවේ අනෝමා ගමගේ _ නියෝජ්‍ය ඇමැතිනිය, චන්ද්‍රදාස ගලප්පත්ති _ නැඟෙනහිර පළාත් සභාවේ සභාපතිවරයා ඇතුළු පිරිස විසිනි.

ගම්මානයේ ගෙයින් ගෙට යද්දී සජිත් දුටුවේ නිවැසියන්ගේ ප්‍රීතිමත් මුහුණුය. ඔවුන් සමඟ කතා බහ කරද්දී සජිත්ට දැනුණේ ඔවුන් සිය නව නිවස්නය පිළිබඳව බෙහෙවින්ම තෘප්තියට පත්ව සිටින බවකි. 'අපිට කියල බිම් අඟලක් තිබ්බේ නෑ ආයුබෝවන් - ගෙයක් ‍ෙදාරක් තිබ්බෙ නෑ' ඔවුහු කීහ. 'අපි පදිංචි වෙලා උන්නෙ අම්මලත් එක්ක අම්මලැයි මහ ගෙදර' සමහරු කීහ. 'අපි උන්නෙ කුලියට' තවත් සමහරු කීහ. 'අපිට මෙහෙම ලයිට්, වතුර එක්ක ගෙවල් හම්බ වුණාම අපේ වටිනාකම පොඩිත්තක් හරි ඉහළ ගියා වගේ දැනුණා. ප්‍රේමදාස ජනාධිපතිතුමාගෙන් පස්සෙ අපිට ආයෙමත් දෙයියො බැලුවා' ඔවුන්ගේ වදන්වල දුක හා සතුට හරි හරියට මුසුව තිබුණේය. අනෝමා ඇසුවේ 'සජිත් ඔයා මේ යන්නෙ බොහෝමත්ම අමාරු ගමනක් නේද? උදා ගම්මාන වැඩපිළිවෙළටත් එක එක්කෙනා ප්‍රශ්න දානවා නේද?' කියාය. සජිත් කීවේ 'ඔව් එක එක ප්‍රශ්න දාන, කකුලෙන් අදින අය ඉන්නවා. ඒවා ඉතින් ඊර්ෂ්‍යාවත්, කුහකකමත් ඉහවහා ගිය මිනිස්සුන්ගෙ වැඩනේ. නමුත් ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත්, මුදල් ඇමැතිතුමාත් කොන්දේසි විරහිතව ලබා දෙන සහයෝගය නිසා අපි අපේ ජනතා හිතවාදී ගෙවල් හදන ගමන ඉදිරියටම යනවා' කියාය.

පව් - පින් ගැන කරු රාජ්‍ය සේවකයන්ට කියයි

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය පිළිබඳ අර්බුදය මේ වනවිට සමහන්ව ගොස් යළිත් ආර්. සම්පන්දන් මහතා විපක්ෂ නායක අසුනේ ස්ථාවර වූ බව පෙනුණද පසුගිය සති අන්ත පුවත්පත්වල මේ පිළිබඳ පක්ෂ - විපක්ෂ අදහස් රැසක් පළව තිබිණි. ඒකාබද්ධ විපක්ෂ පාර්ශ්වයෙන් පළ කර තිබූ අදහස් රැසක කථානායකවරයා ඉලක්ක කර දැඩි ප්‍රකාශ කර තිබිණි. ප්‍රධාන පෙළේ නායක හිමිවරු බොහෝ දෙනෙක් මේ පිළිබඳ කරුගෙන් විමසූහ.
ගාල්ල, පින්නදුව ශ්‍රී විජයාරාම විහාරස්ථානයේ සහ කළුතර, බෝඹුවල ශ්‍රී බෝධිරාජාරාමයේ කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සව දෙකකදීද භික්ෂුන් වහන්සේ මේ පිළිබඳ විමසූහ.

"ආගම දහම සමඟ සැමවිටම ජීවත් වන තමාට සුපුරුදු ආත්ම සංයමයෙන් යුතුව මෙම තත්ත්වයන්ට මුහුණ දීමට හැකියාව ඇති බවත් ඒ සඳහා භික්ෂුන් වහන්සේගෙන් හැමවිට ලැබෙන මඟපෙන්වීම අතිශයින් වැදගත්" යැයි කරු කීවේය.

මේ අතර පාර්ලිමේන්තු ක්‍රියාදාමයත්, රජයේ නිලධාරීන් පාර්ලිමේන්තුව සමඟ කටයුතු කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රියා පිළිවෙත් මෙන්ම රාජ්‍ය ආයතන අධීක්ෂණය කරන රාජ්‍ය ගිණුම් කාරක සභාව, උසස් නිලතල පිළිබඳ කාරක සභාව, පොදු ව්‍යාපාර පිළිබඳ කාර සභාව යන කාරක සභා ත්‍රිත්වයේ ක්‍රියාකාරිත්වය ආදිය ගැනද දැනුවත් කෙරුණු විශේෂ වැඩමුළුවක් පසුගිය සතියේ කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. මේ සඳහා අමාත්‍යාංශ ලේකම්වරු මෙන්ම සියලුම සංස්ථා සභාපතිවරුන්ද එක්ව සිටියහ.

"රාජ්‍ය ආයතනයන්හි ගිණුම් සෑම වසරකම ඔක්තෝබර් මාසය නිම වීමට පෙර පාර්ලිමේන්තුවේ අධීක්ෂණය සඳහා යොමු කිරීමට කටයුතු කරන්න ඒක තමයි ඔබතුමාලගෙන් වෙන්න ඕන" කරු කීවේය.

රට ඉදිරියට ගෙනයෑමේදී දේශපාලකයන්ට නොදෙවැනි වගකීමක් රාජ්‍ය ආයතනයන්හි ප්‍රධානීන්ටද හිමිවන බව අවධාරණය කළ කථානායකවරයා පැවැසුවේ රාජ්‍ය සේවය තුළින් බොහෝ පින් රැස්කර ගැනීමට හැකි ලෙසම පාපී අරමුණ වෙතට යොමු වෙන්නේ නම් බොහෝ පව්ද රැස්කර ගත හැකි බවයි. එබැවින් හෘද සාක්ෂියට එකඟව රට වෙනුවෙන් වගකීම ඉටු කරන ලෙස ද කථානායකවරයා මෙහිදී කීවේය.

ආණ්ඩුව මේ අවුරුදු 03ට කළේ ආණ්ඩුව නොකරන එක විතරයි
ජවිපෙ නායකයෝ හෙළි කරති

ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ නායකයන්ගේ සහභාගිත්වයෙන් 'රට හදන, රට රකින, ජනතාවාදී පාලනයක්' මැයෙන් රට පුරා ජනහමු දස දහසක වැඩසටහනක් මේ දිනවල ක්‍රියාත්මක වෙමින් තිබේ. මෙහි අරමුණ වී ඇත්තේ රට ගොඩනැඟීම වෙනුවෙන් ජාතික වැඩපිළිවෙළක අවශ්‍යතාව ජනතාව සමඟ සමීපව සාකච්ඡා කිරීමයි. මෙම ජනහමු මාලාවේ එක වැඩසටහනක් ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත්ගේ සහභාගිත්වයෙන් කෑගල්ලේදී පැවැත්විය. ජනහමුවේදී මන්ත්‍රිවරයාගේ අදහස් දැක්වීමෙන් අනතුරුව ජනතාව සමඟ අදහස් හුවමාරු කර ගැනීමද සිදුවිය. 'ඇත්තටම මන්ත්‍රිතුමා අපිට තියෙන ප්‍රශ්නය ආණ්ඩුවක් තියෙනවද කියන එකයි.' ජනහමුවට පැමිණ සිටි ව්‍යාපාරිකයෙක් විමසා සිටියේය.

'ඒක ඇත්ත ප්‍රශ්නයක්. මේ ආණ්ඩුව යන්නේ හවුල් ආණ්ඩුව කියන ලේබලය ගහගෙන. නමුත් වැඩක් කරන්න ගියාම අගමැතියි, ජනාධිපතියි ගැටුම්; ජනාධිපතියි කැබිනට් එකයි ගැටුම්; කැබිනට් එකයි මුදල් ඇමැතියි ගැටුම්. ඉතින් කොහොමද ආණ්ඩුවක් කරන්නේ. අපේ රටේ ආණ්ඩුවක් නැහැ. හැමෝම එකතු වෙලා තමන්ගෙ වැඩ ටිකක් කරගත්තා. ඒ තමයි කැබිනට් මණ්ඩලය හතර පස් වතාවක් වෙනස් කරගත්තා. ඉන්ධන මිල මාසෙන් මාසෙට වැඩි කරන්න මිල සූත්‍රයක් හදාගත්තා. බදු වැඩි කළා. බඩු මිල වැඩි කළා. ආණ්ඩුවේ මන්ත්‍රිවරුන්ට දීමනා වැඩි කරගත්තා. අය - වැයෙන් වෙන් කරගත්ත සල්ලි මදි වුණාම පරිපූරක දාලා සල්ලි වෙන්කර ගත්තා. කලා නිර්මාණ වාරණය කරන්න පටන් ගත්තා. ජනතාවගේ ප්‍රශ්නවලට උත්තරයක් නැහැ. අවුරුදු 03ක් එකම ප්‍රශ්න පල්වෙනවා. හොරු, මංකොල්ලකාරයෝ සතුටින් ඉන්නවා. ඒ අතරේ ආණ්ඩුව බැංකු කැඩුවා. එච්චරයි.' විජිත හේරත් කියා සිටියේ.

මහින්දට පුළුවන් කියන කතාව ඇතුළේ අර්බුදය වහන්න ගෙනාපු එකක්..

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට නැවත ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට හැකි යැයි ඇතැම් පිරිස් නීතිමය තර්ක ඉදිරිපත් කරමින් සිටිති. මේ සම්බන්ධයෙන් ජවිපෙ නායකයන්ගේද අවධානය යොමු විය. 'මේ තර්ක ගේන්නේ ජී.එල්. පීරිස් වගේම අය. මේ කට්ටිය නීතිය නොදන්නවා නෙවෙයිනේ. දැන් ඇතුළේ විශාල අර්බුදයක් පැන නැඟිලා තියෙනවා රාජපක්ෂ කණ්ඩායමේ ජනාධිපති අපේක්ෂකයා ගැන. ඒ අර්බුදය එළියට එන්න නොදී යට ගහගන්න ක්‍රමයක් තමයි මේ ආයෙත් මහින්දට එන්න පුළුවන් කියලා මාධ්‍ය සන්දර්ශනයක් උඩට ගන්න එක. අනෙක් කාරණය තමයි එයාලට තමන්ගෙ ඡන්ද දායකයො පිනවන්න ක්‍රමයකුත් ඕනෑ. මොකද ඒ කණ්ඩායම ගෙනාපු හැම දේශපාලන තර්කයක්ම පහුගිය කාලේ පරාජය වුණා.' ටිල්වින් සිල්වා කියා සිටියේය. 'අනෙක් කෙනා තමයි සරත් එන්. සිල්වා. එතුමා අපේ රටේ අගවිනිසුරු වෙලා හිටියට එතුමාම හෑල්ලුවට ලක්වෙලා තියෙන්නේ. 78 ව්‍යවස්ථාවේ ඉඳලා තමයි දෙවරක් පත්වුණු පුද්ගලයකුට නැවත ජනාධිපතිවරණයට එන්න බැහැ කියලා තියෙන්නේ. නමුත් මහින්ද රාජපක්ෂ ඒක වෙනස් කරලා 18 සම්මත කරගත්තා. නමුත් 19 වැනි සංශෝධනයෙන් 18 බල රහිත කළා. ඒ අනුව දැන් 1978 තිබුණු ප්‍රතිපාදන ඒ විදියට බලාත්මක වෙනවා. ඒ කියන්නේ දෙවරක් ජනාධිපති ලෙස තේරී පත්වුණු කෙනකුට ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න බැහැ.' විජිත හේරත් ව්‍යවස්ථාමය තත්ත්වය පැහැදිලි කළේය. 'මහින්ද රාජපක්ෂ කණ්ඩායමේ ඇත්තම ප්‍රශ්නය දැන් කවුද ඊළඟ නායකයා කියන එක. රාජපක්ෂ පවුලේ කෙනෙක් නැත්නම් ඔවුන්ට පැවැත්මක් නැහැ. මොකක් හරි විදියකට රාජපක්ෂ කෙනෙක් තමන්ගේ නායකයා කරගන්නම වෙනවා. නමුත් ඒ ප්‍රොජෙක්ට් එක අවුල් වෙමින් යන්නේ. ඒ නිසාම පුහු තර්ක ඉදිරිපත් කර කර කාලය ගෙවා ගන්න හදන්නේ. රාජ්‍ය දේපළ, මුදල් කොල්ල කාලා, ඝාතන කරලා මේ රටේ භීෂණයක් ඇති කරපු අයට ආයෙත් මේ රටේ ජනාධිපති වෙන්න සිහින දකින්න පුළුවන් වෙලා තියෙන්නේ මේ ආණ්ඩුවේ බැරි බැරියාව නිසයි. නීතිය හරියට ක්‍රියාත්මක නොවෙන නිසයි." ලාල්කාන්ත කියා සිටියේය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon