උන්මත්තකයන්ගේ පාරාදීසය

  👤  3875 readers have read this article !
2018-08-27

පළාත් සභා මැතිවරණය නව ඡන්ද ක්‍රමයට පැවැත්වීම සඳහා අවශ්‍ය සීමා නිර්ණ වාර්තා ඉකුත් 24 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු අතර තුනෙන් දෙකකින් සම්මත විය යුතුව තිබූ වාර්තාවට පක්‍ෂව කිසිදු මන්ත්‍රිවරයකු ඡන්දය පාවිච්චි නොකිරීම නිසා අදාළ වාර්තාව ඡන්ද 139කින් පරාජයට පත්විය. සභාවේ සිටි ආණ්ඩු පක්‍ෂයේ හා විපක්‍ෂයේ මන්ත්‍රිවරුන් 139 දෙනාම විරුද්ධව ඡන්දය පාවිච්චි කළ අතර ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රිවරුන් කිසිවකු සභාවේ සිටියේ නැත.


කැපී පෙනෙන කාරණය වූයේ අදාළ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ඇමැති ෆයිසර් මුස්තාපාද විරුද්ධව ඡන්දය පාවිච්චි කිරීමය. සාමාන්‍යයෙන් කෙටුම්පත්, යෝජනා සභාවට ඉදිරිපත් කරනු ලබන්නේ ආණ්ඩු පක්‍ෂය විසිනි. ආණ්ඩු පක්‍ෂයේ අරමුණ වන්නේ අදාළ කෙටුම්පත හෝ යෝජනාව සම්මත කර ගැනීමයි. එහෙත් වර්තමාන පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්‍ෂය වැන්නක් මේ තුන්ලෝකයේවත් නැත. ඔවුහු ඊට පක්‍ෂ වෙනවා වෙනුවට විරුද්ධ වෙති. විපක්‍ෂය සමඟ එකතුව වාර්තාවක්, යෝජනාවක් හෝ කෙටුම්පතක් පරාජය කළ ලෝකයේ එකම ආණ්ඩු පක්‍ෂය ලෙස එජාප, ශ්‍රී ලනිප හවුල ඉතිහාසගත වීමට ඉඩ ඇත.


ලෝකයේ කෙසේ වෙතත් ලංකාවේ පාර්ලිමේන්තුවේ මෙවැන්නක් සිදුවූයේ ප්‍රථම වතාවට. ආණ්ඩු පක්‍ෂයේ යෝජනාවකට, වාර්තාවකට හෝ කෙටුම්පතකට ආණ්ඩු පක්‍ෂයේ මන්ත්‍රිවරුන් පිරිසක් විරුද්ධව ඡන්දය දුන් අවස්ථා ඉතිහාසයේ තිබේ. එහෙත් ආණ්ඩු පක්‍ෂයේ කිසිවකු: අඩුම ගණනේ විෂය භාර ඇමැතිවරයා පවා පක්‍ෂව ඡන්දය නොදුන් අවස්ථාවක් ගැන වාර්තා වී නැත. මෛත්‍රි - රනිල් ආණ්ඩුව එදා මෙදා තුර කිසිදු ආණ්ඩුවක් නොතැබූ වාර්තාවන් තැබීමට සමත් වී ඇත.


දැඩි අවුල්සහගත තත්ත්වයක් පවතින වර්තමාන පාර්ලිමේන්තුවේ එජාප, ශ්‍රී ලනිප හවුල් ආණ්ඩු පක්‍ෂය ශ්‍රී ලනිපයේ කොටසක්ද එකතු වී සිටින විපක්‍ෂ කණ්ඩායම, දෙමළ ජාතික සන්ධානය මේ අවුරුදු තුන ඇතුළත පාර්ලිමේන්තුවේදී පනතක්, යෝජනාවක් හෝ වාර්තාවක් සඳහා පක්‍ෂව හෝ විරුද්ධව එක්ව ඡන්දය ප්‍රකාශ කළ ප්‍රථම අවස්ථාව ලෙසද මෙය සැලකිය හැකිය. සීමා නිර්ණ වාර්තාවට පක්‍ෂව අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රිවරුන් ඡන්දය විමසන අවස්ථාවේ සභා ගර්භයේ රැඳී නොසිටීම නිසා වාර්තාවට පක්‍ෂව ඡන්දය වැටීමට තිබූ අවස්ථාවද ගිලිහී ගියේය.


දෙමළ - මුස්ලිම් ජාතික නායකයන් වන රාවුෆ් හකීම්, මනෝ ගනේෂන් හා පී. දිගම්බරන් යන ඇමැතිවරු පවා වාර්තාවට විරුද්ධ වූහ. ඇත්තටම ඉකුත් සිකුරාදා පාර්ලිමේන්තුව විහිළුවක් බවට පත්විය.


සීමා නිර්ණය වාර්තාවේ හොඳ, නරක, ගුණ - අගුණ ගැන තවමත් අප විශ්ලේෂණයක් කර නැත. වඩාත් වැදගත් කාරණය වන්නේ අදාළ වාර්තාවට විරෝධය පළ කරද්දී ආණ්ඩු පක්‍ෂයද ඊට විරුද්ධ වීමය. මෙහිදී මතුවන ප්‍රශ්නය වන්නේ සියලු දෙනා විරුද්ධ නම් මොන එකකට මේ වාර්තාව පාර්ලිමේන්තු විවාදයට යොමු කළාද යන්නය. ඊට පිළිතුරු දීමට ඇමැති ෆයිසර්ට තබා සක්කරයාටවත් හැකිවේ යැයි සිතිය නොහැකිය. එපමණකටම මේ ආණ්ඩුවේ පාලනය අවුල්ය. "අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතා පජා" යැයි කියන්නේ මෙන්න මේ වගේ වෙලාවටය.


රට පමණක් නොව පාර්ලිමේන්තුවද උන්මත්තකයන්ගේ පාරාදීසයක් බවට පත්වෙමින් තිබේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon