ඉම්රාන් ඛාන්ගෙන්වත් ඉගෙන ගනිමුද?

  👤  3619 readers have read this article !
2018-08-28

බලයට පැමිණීමට පෙර දේශපාලනඥයෝ ඡන්දදායක ජනතාවට විවිධ පොරොන්දු දෙති. මෙරටේ නොව ලෝකයේ කුමන රටේ වුවද එහි වෙනසක් නැත. බලයට පැමිණි පසු බොහෝ දෙනා ඒ පොරොන්දු අමතක කර දමති. එහෙත් එසේ නොවන අවංක, සත්‍යගරුක දේශපාලනඥයෝද ලෝකයේ සිටිති. ලංකාවේද නැත්තේ නොවේ.

අපේ රටේ දේශපාලනඥයන් ශූරයන් වන්නේ පොරොන්දු ඉටු කිරීමට වඩා කඩ කිරීමටය. හඳෙන් හාල් ගෙන ඒම, ඇට අට ලබාදීම, සපත්තු නැති කකුල්වලට සපත්තු දැමීම, විවෘත ආර්ථිකයට මානුෂික මුහුණුවරක් ලබාදීම, ආසියාවේ ආශ්චර්ය කරා රට රැගෙන යෑම, යහපාලනය ඇති කිරීම මෙරට ඉහළම දේශපාලනඥයන් ජනතාවට වරින් වර ලබාදුන් පොරොන්දු අතර විය. ඔවුන් මේවා ප්‍රසිද්ධියේ කියා සිටියේ අවශ්‍ය නම් ඉටු නොකර සිටිය හැකි බව දන්නා නිසාය.

හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අසලට ගොස් දස වැදෑරුම් ප්‍රතිඥාවක් දුන්නද චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ප්‍රමුඛ පොදුජන එක්සත් පෙරමුණ ආණ්ඩුවේ උදවිය කල් නොයවා එය අමතක කර දැමීය. අනතුරුව ඒ පුටුවලට පත්වූ පිරිස්ද ඊට වෙනස් වූයේ නැත. මහින්ද හිමිගේ පාඨ උපුටා දක්වා වැඩ පටන් ගත් කට්ටියද, අලුත් රටක් හදමු කියූ කට්ටියද හැසිරුණේ බලයෙන් මත් වීය. 'රටකට ඕනෑ අපමණ අගයක්' යැයි කියා සියල්ල වෙනස් කිරීමට පැමිණි කට්ටියද මහ දවාලේ බැංකු කොල්ල කෑහ.

එහෙත් ලෝකයේ රටවල් කිහිපයක මෑතකදී බලයට පැමිණි නායකයෝ සිතුවාටත් වඩා හොඳින් පොරොන්දු ප්‍රකාරව වැඩ කළේය. මැලේසියාවේ යළි බලයට පත්වූ මහතීර් මොහොමඩ් දූෂණ චෝදනා එල්ල වූ හිටපු අගමැතිවරයා පැය 48ක් ඇතුළත අත්අඩංගුවට ගත්තේය. අදාළ චෝදනා ගැන විමර්ශන කටයුතු ඇරැඹීමට නියෝග කළහ. පිටරටක් සමඟ අස්සන් කර තිබූ විශාල සංවර්ධන ව්‍යාපෘතියක් වහාම නතර කළේය. රාජ්‍ය වියදම් කපා හැරීම ඇතුළු ප්‍රතිසංවිධාන රැසක් ඇරැඹීමට මහතීර් පියවර ගත්තේය.

අපේ සමීපතම රටක් වන පාකිස්තානයේ අගමැති ධුරයට පත් දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයකු වන ඉම්රාන් ඛාන් යෝජනා කර ඇති වෙනස්කම් සුවිශේෂීය.

අගමැති ඉම්රාන් ඛාන් සුළුතර ආණ්ඩුවක් පිහිටුවා තිබුණද රැඩිකල් තීරණ රැසක් පළමු වටයේදීම ගෙන ඇත. 20 දෙනකුගෙන් සමන්විත කුඩා කැබිනට් මණ්ඩලයක් පත්කරගත් අගමැතිවරයා අගමැති නිල නිවාසයේ පදිංචි වීම ප්‍රතික්ෂේප කළේය.

නිල රථ සමූහයෙන් ඔහු තෝරාගත්තේ දෙකක් පමණි. විශාල පිරිසක් සිටින අගමැති කාර්ය මණ්ඩලය දෙක දක්වා අඩු කිරීමටද හෙතෙම තීරණය කළේය. කැබිනට් මණ්ඩලය රැස් කළ අගමැතිවරයා දේශපාලන නායකයන්ට හා නිලධාරීන්ට සිය අභිමතය පරිදි රාජ්‍ය මුදල් පරිහරණය කිරීම තහනම් කර ඇත. අගමැති, ජනාධිපති ඇතුළු ආණ්ඩුවේ මැති - ඇමැතිවරුන්ටත් සියලුම රාජ්‍ය නිලධාරීන්ටත් ගුවන් ගමන්වලදී පළමුවැනි පන්තියේ ගමන් කිරීම තහනම් කර තිබේ.


පාකිස්තානයේ රාජ්‍ය වියදම් සීමා කර අනවශ්‍ය වියදම් කපා හරින ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට අගමැතිවරයා තීරණය කර ඇත. ඉම්රාන් ඛාන් අගමැතිවරයා ලෙස කළ මංගල කතාවේදී පාකිස්තානය දැඩි ආර්ථික අර්බුදයකට මුහුණදී සිටින බවත් ණය උගුලක සිරවී සිටින බවත්, මේ අසරණ තත්ත්වයෙන් රට මුදා ගත යුතු බවත් කියා සිටියේය. ආණ්ඩුව මුහුණදී සිටින යථාර්ථය අගමැතිවරයා රටට නොවහා කියා සිටියේය.


එහෙත් අපේ 'ඛාන්ලා' බලයට පත්වූ පසු පවසන්නේ කිසිදු ප්‍රශ්නයක් නැති බවය. ඕනෑ තරම් සල්ලි අතේ තිබෙන නිසා බිය විය යුතු නැතැයි කියුවද ජනතාව මත බදු බර පටවමින් 'මුදල්' රැස් කිරීමට දන්නා සෙල්ලං සියල්ල දමන්නේ බහුතරයකට ජීවත් වීම වධයක් කරමිනි.

හිටපු මුදල් ඇමැති රවි කරුණානායකගේ මංගල අය වැය සරදියෙල් අය වැයක් නිසා රජයේ සේවක වැටුප් වැඩි කර පස්ස බිම ඇනගත්තේය. මන්ත්‍රිවරුන්ගේ පස්ස තැබීමට බෙල්ජියමෙන් 'පුටු' ඇණවුම් කළ බස්නාහිර පළාත් මහ ඇමැති කියන්නේද පළාත් සභාව පොහොසත් බවය. කතාව දෝලාවෙන්ය. ගමන පයින්ය. කියනකොට එහෙමය.

කරනකොට මෙහෙමය. ප්‍රශ්නය වන්නේ ඇත්තයුත්ත බොහෝ දෙනාට අවබෝධ වන්නේ යක්ෂයාගේ බොක්කේදී වීමය. පාලකයන්ගේ හක්කේ බුදු රැස්වලට ඔවුහු අවුරුදු 70ක් තිස්සේ රැවටෙමින් සිටිති.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon