දෙවිනුවර දේවාලයේ ‘කලණ’

  👤  3550 readers have read this article !
2018-08-29

අලි - ඇතුන් ගැන නිතර නිතර කතා කිරීමට සිදුවී ඇත්තේ විශේෂයෙන් අලි - මිනිස් ගැටුම නිසාය. එහෙත් වන අලින්ටත් වඩා ප්‍රශ්න හීලෑ අලි - ඇතුන් සම්බන්ධයෙන් පැන නැඟී ඇත.


පන්සලක අමතක වීමකින් දමාගිය අලි පැටවකු රැක බලා ගැනීම නිසා හිමිනමකට අධිකරණයට යෑමට පසුගිය කාලයේ සිදුවූ අතර පන්සල් කිහිපයක ඇති දැඩි කළ අලි පැටව් ගැනද ඒ අතර වාර්තා විය. ඒ අලි පැටව් අමතක වීමෙන් දමා ගිය අලින්ද යන්න ගැන පැහැදිලි කිරීමක් සිදුවූයේ නැත. ලියාපදිංචි නොකළ අලි පැටව් මෙන්ම අලි - ඇතුන් ළඟ තබාගත් ගිහි - පැවිදි පිරිස් පිළිබඳ ආණ්ඩුව සොයා බලද්දී හීලෑ අලි - ඇතුන්ගේ සංගමය චෝදනා කළේ පෙරහරකටවත් ගෙන යෑමට අලි - ඇතුන් නොමැති වීමට ඉඩ ඇති බවයි. හීලෑ අලි - ඇතුන් සම්බන්ධයෙන් අනුගමනය කරන ආණ්ඩුවේ පිළිවෙත බෞද්ධ විරෝධී බවද ගිහි - පැවිදි පිරිසක් චෝදනා කළහ.


දිවයිනේ ප්‍රසිද්ධ පන්සලක සිටි ඇතකු ආතරයිටීස් රෝගය වැලඳී මීට කලකට පෙර මියගියේ හරිහැටි බලා කියා නොගැනීම නිසා බවට එකල චෝදනා එල්ල විය. සංචාරකයන්ගේ විනෝදය සඳහා යොදා ගැනීමට සංචාරක හෝටලවලට ලබා දෙන අලි - ඇතුන් පිළිබඳව ඔවුන්ට හෝටලයෙන් මාසිකව ලැබෙන 'චෙක්පත' ගැන තරම්වත් සොයා නොබලන බව දැනගන්නට ඇත. දේවාලවල පන්සල්වල සිටින අලි - ඇතුන්ටද පෞද්ගලික හිමිකරුවන් ළඟ සිටින අලි - ඇතුන්ට නොසලකන බව අපි නොකියමු. එහෙත් සැලකිය යුතු අලි - ඇතුන් සංඛ්‍යාවක් නොසැලකිල්ලට බඳුන් වී ඇති බවද අවධාරණය කරමු.


ඉකුත් 27 වැනිදා 'මව්බිම' මුල් පුවතින් හෙළි කළ දෙවිනුවර විෂ්ණු දේවාලයේ 'කලණ' එවැනි ඉරණමකට බඳුන් වූ සතෙකි. හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස 1989 දී තෑග්ගක් ලෙස දේවාලයට ලබාදී ඇති 'කලණ'ට බලධාරීන් දක්වා ඇත්තේ කුඩම්මාගේ සැලකිලි බව පැහැදිලිය.


වැස්සට තෙමෙමින් අව්වට වේළෙමින් වසර තුනක් තිස්සේ අපිරිසුදු ස්ථානයක ගස් බැඳ සිටින 'කලණ' ගැට ගසා ඇති දම්වැල මස් තුළට කාවැදී එක් කකුලකට හාවී ඇති බව අදාළ වාර්තාවේ සඳහන් වී තිබිණි. අලියාගේ යකඩ දම්වැල නිසි පරිදි මාරු නොකිරීමත් සතාට අවශ්‍ය පහසුකම් නිසි පරිදි ලබානොදීම නිසාත් මේ අවාසනාවන්ත තත්ත්වය උද්ගත වී ඇත. අලියාගේ මල අපද්‍රව්‍ය දේවාලය අසල පොදු කානුවකට මුදාහැර තිබෙන බවද මාධ්‍ය හෙළි කර තිබිණි.


දෙවියන් වෙනුවෙන් කැප කර ඇති දෙවිනුවර ශ්‍රී විෂ්ණු උපුල්වන් දේවාලයට මුදල්වලින් අඩුවක් නැත. එහෙත් දේවාලයට ජනාධිපතිවරයකු තෑගි කළ අලියාට මෙලෙස සැලකීම දේවධර්මයට බෞද්ධ ධර්මයට පමණක් නොව සොබාධර්මයටත් පටහැනිය. අලියා බැලීමට දේවාල භූමියට ගිය වනජීවී සංරක්ෂණ නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම ප්‍රකාශ කර ඇත්තේ මේ අලියාට මෙලෙස සැලැකුවද දේවාලයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ තෑගි කර ඇති අලියාට හොඳින් සලකන බව ප්‍රදේශවාසී ජනතාවගෙන් දැනගන්නට ලැබුණු බවය. ඒ කතාව කෙසේ වෙතත් නියෝජ්‍ය ඇමැතිවරයා වහාම අදාළ ස්ථානයට ගොස් අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කිරීම ප්‍රශංසා කළ යුතුය. ඇමැතිවරයාගේ වගකීම වන්නේ එයයි. එහෙත් දේවාලයේ බලධාරීන් සිය වගකීම පැහැර ඇති බව පෙනේ.


බීබීසී (ඕඕඛ්) ගුවන් විදුලිය 'කලණ' ගැන මීට සති කිහිපයකට පෙර වාර්තා කර තිබුණේ මෙරට මුද්‍රිත මාධ්‍ය වාර්තා කිරීමට පෙරය. කෙසේ හෝ කලණට සාධාරණය ඉටුවේ නම් එය සතුටකි. දේවාලයේ බලධාරීන්ට අනුව නම් කලණ ලියාපදිංචි කර ඇත්තේ මෑතකදීය. සතාට සිටීමට තැනක් ඉදිකෙරෙමින්ද පවතී. අඩුපාඩු හදාගෙන කලණ රැකබලා ගන්නා බව දේවාලයේ බස්නායක නිලමේගේ ලේකම් කියා ඇත්තේ පෙරහර ගිය පසුවය. 'කලණ' ගැන මාධ්‍ය වාර්තා කළ පසු දේවාලයේ බලධාරීන්ට උෟට සැලකීමට මතක් වුවද සත්ත්ව හිංසා පනත යටතේ ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුය. ඊනියා සංගම්කාරයන් කුමක් කීවද අලි - ඇතුන් හොරට ළඟ තබාගෙන සිටින, සතුන්ට හරිහැටි නොසලකන සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු කිරීම අවශ්‍යය. බෞද්ධාගමට මුවාවීමට වෙරදරන සත්ත්ව හිංසක නරුමයන්ට කිසිදු බුරුලක් දිය යුතු නැත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon