පොදු අපේක්ෂක සිහිනය

  👤  5367 readers have read this article !
2018-08-30

මේඝනාද

"ඉතින් මම මේ දවස්වල බොක්සිං වළල්ලට වෙලා ෂැඩෝ බොක්සිං ගහ ගහ ඉන්නවා. තවම බොක්සිං වළල්ලට නම් කවුරුවත් ආවෙ නැහැ. මම හිතනවා අදින් පස්සෙවත් තමුන්නාන්සෙලට දැනගන්න පුළුවන් හොඳම පරාජිතයා කවුද කියලා. එයා එළියට එනකන් අපි බලාගෙන ඉන්නවා. මං දන්නෑ තවම අපිටත් රහසක් ඒක. අපි විතරක් නෙවෙයි. ඒ අයවත් දන්නෙ නැහැ තවම කවුද එන්නේ කියලා. මම අහන්නෙ ඔවුන්ට තමන්ගෙ නායකයා තෝරා ගන්න බැරි නම් රටේ ජනතාව කොහොමද විශ්වාසය තියලා ඔවුන්ට බලය දෙන්නේ. මම ඒ ගැන ඊට වඩා කතා කරන්න යන්නේ නැහැ."

පොදු අපේක්ෂකයා කරළියට එන්න හරියටම දවස් තුනකට කලින්, ජනපතිවරණය ප්‍රකාශයට පත් කරන දවසේ උදේ අරලියගහ මන්දිරයේදී මහින්ද කීවේ එහෙම ය. කතාව ඇත්ත ය. 2014දී මහින්ද තුන්වැනි වරටත් ජනපති වීමේ අපේක්ෂාවෙන් ජනපතිවරණය ප්‍රකාශයට පත් කරන මොහොත වනතෙක්ම ප්‍රතිවාදී අපේක්ෂකයා කවුදැයි කිසිම කෙනෙක් හරියටම දැන සිටියේ නැත. මහින්දගේ වචනවලින්ම කියනවා නම් අවුරුද්දකටත් කලින් ජනපතිවරණය ඉඟි කරලත් ජනපති අපේක්ෂකයකු තෝරන්න විපක්ෂයේ තිබුණේ සංගීත පුටු තරගයකි. "එක පුටුවක් වටේ කට්ටියම කැරකෙනවා. නොපෙනෙන කෙනකුත් දුවනවා. අපේ හාමුදුරුවෝ කෙනකුත් විනෝද වෙවී පුටුව වටේ යනවා. සමහර විට එයා පුටුවේ වාඩි වෙන්නත් බැරි නැහැ" මහින්ද කීවේ ය.

කතාව ඇත්ත ය. ජනපති අපේක්ෂකයෙක් නැතිව විපක්ෂය නන්නත්තාර වී සිටියේ ය. කට්ටියක් සෝභිත හිමි ගේන්න දැඟලුවේ ය. කට්ටියක් චන්ද්‍රිකා යළි ගේන්න දැඟලුවේ ය. කට්ටියක් හිටපු අගවිනිසුරුවරිය ගේන්න දැඟලුවේ ය. යූඑන්පියට තිබුණේ සන්ධානයෙන් මහින්ද ආයෙත් ඉල්ලනවාද කියන ප්‍රශ්නය නොවේ ය. සන්ධානයෙන් කවුරු ඉල්ලුවත් යූඑන්පියෙන් දාන්නේ කවුද කියන ප්‍රශ්නය ය. මැතිවරණ පරාජයන්ගෙන් කප් ගැසූ රනිල් ඒ වෙනකොට කුජීත වී සිටියේ ය. යූඑන්පී කාරයෝ රනිල්ව පක්ෂ නායකත්වයෙන් ‍ෙදාට්ට දාන දවස ඇඟිලි ගණිද්දී... රනිල් සිටියේ ජනාධිපති අපේක්ෂකකම පැත්තක තියා පක්ෂ නායකත්වය බේරා ගැනීමේ සටනක ය. සජිත්වාදියොයි, කරුවාදියොයි නායකත්වය ඉල්ලා කෑ ගහද්දී රනිල් හිටියේ ඇහුන්නෑ වගේ ය. අන්තිමට සෝභිත හිමිගේ සාධාරණ සමාජයයි, රතන හිමිගේ පිවිතුරු හෙටයි, මහින්ද එළවන්න කඳවුරු බඳිද්දී ජනපති සිහිනය අත්හැරි රනිල්, අගමැති වෙන්න හිත හදාගත්තේ ය. ගොඩ යන්න ක්‍රමයක් හොයමින් සිටි රනිල්ට දෙයියෝම බැලුවේ ය. රනිල්ට පොදු අපේක්ෂක මෛත්‍රිව පෙනුණේ දේව දූතයෙක් ලෙස ය. පොදු අපේක්ෂක දේව දූතයාගෙ පිහිටෙන් රනිල් යන්තම් අගමැති පුටුවේ වාඩි වුණේ ය.

යූඑන්පීකාරයන් හමුවේ නීච වී සිටි රනිල්ට තිබූ එකම ගොඩ යෑම අගමැතිකම අරන් වැඩ පෙන්වීම පමණකි. හැබැයි වසර තුනක් ගෙවෙලත් ජනතාවට මතක හිටින වැඩක් නම් තාම පෙන්නුවේ නැත. මහ බැංකු බැඳුම්කර කොල්ලය නම් ජනතා මතකයේ නොමැකෙන සටහනක් තබා ඇත. දැන් තිත්තයාගේ වාරය ඉවර වෙමින් යන්නේ ය. වැඩ පෙන්වන්න එක කොකෙක් මදිවට කොක්කු ගොඩක් විපක්ෂයට වී බලා සිටිති. යූඑන්පිය නැවතත් බරපතළ ගැටලුවකට මුහුණදී සිටින්නේ ය. ඔවුන් ඊළඟ පොදු අපේක්ෂකයා සොයමින් අඳුරේ අතපතගාමින් සිටින්නේ ය. ශේ‍ර්ෂ්ඨ නායකයන් පොකුරු පිටින් බිහි වූ දැවැන්ත පක්ෂය දැන් බෙහෙතකටවත් නායකයෙක් සොයාගන්න බැරි තත්ත්වයට පත් වෙලා ය. ඉන්නේ රනිල්ට එරෙහිව කටමැත ‍ෙදාඩවන නායකයන් පමණ ය. විශ්වාසභංගයෙන් රනිල් පරාද වෙන්න යද්දී... නායකත්වය අතට අරගෙන යූඑන්පිය ගොඩ දාන්න තරම් කොන්දක් කාටවත් තිබුණේ නැත.

පොදු අපේක්ෂක මාතෘකාවත් ජනතාවට දැන් තිත්ත වෙලා ය. ඒ නිසා රනිල්ගේ පොදු අපේක්ෂකයාගේ කරේ එල්ලී ගොඩ යෑමේ සිහිනයත් බොඳවෙමින් යන්නේ ය. යහපාලන බැටෑලියන් එක දැන් විසිරී ගිහින් ය. මෛත්‍රි ශ්‍රී ලනිපයෙන් තරග වදින්නට නියමිත ය. පාඨලීලා, විජයදාසලා, නවීන්ලා තනි තනිවම සිහින දකිති. ඊළඟ ජනපති තරගයට දිනන අපේක්ෂකයෙක් නැතිව යූඑන්පිය ළතවෙද්දී... පොහොට්ටුවෙන් රාජපක්ෂවරු තිදෙනෙක්ම ශක්තිමත් ස්ථාවරයක සිටිති. කට්ටියක් බැසිල්ට කැමැතිය. කට්ටියක් ගෝඨාට කැමැතිය. හැබැයි සියල්ලෝම මහින්දට කැමැතිය. කවුරු කොහොම කිව්වත් මහින්දගේ තීරණයට කවුරුත් යටත් ය. මහින්ද ගෝඨාව නම් කළොත් ගෝඨා එන්නේ ය. බැසිල්ව නම් කළොත් බැසිල් එන්නේ ය.

'රාජපක්ෂ කෙනෙක් බලයට ආවොත් රට ආයෙත් පවුල් පාලනයකට යටත් වේවි' සමහරුන්ට එහෙම හිතෙන්නට පුළුවන. දකුණු ආසියාතික රටවල කවදත් ඒක එහෙම ය. ලංකාවේ සේනානායකලා - බණ්ඩාරනායකලා ය. මැලේසියාවේ රසාක්ලා-අහමඩ්ලා ය. මාලදිවයිනේ ගයුම්ලාය. පාකිස්තිනයේ බූතෝලා - සර්දාරිලා ය. ඉන්දියාවේ ගාන්ධිලා ය.
රටට වැදගත් වන්නේ නැවතත් පවුල් පාලනයකට නතු නොවී සිටීම ද? ශක්තිමත් නායකත්වයක්ද? කියා ජනතාව තීරණය කරනු ඇත. සේනානායක පරම්පරාවට ඒ ශක්තිමත් නායකත්වය තිබුණේ ය. බණ්ඩාරනායක පරම්පරාවට ඒ ශක්තිමත් නායකත්වය තිබුණේ ය. රකින්න පරම්පරාවක් නෑ කියූ ජේ.ආර්. යූඑන්පිය ඇතුළේ දෙවැනි පෙළ නායකයන්ට පූදින්නට ඉඩ දුන්නේ ය. සුදුසුම වෙලාවේදී ප්‍රේමදාස අතට බලය දුන්නේ ය. රනිල් බෑනා ජේ.ආර්. මාමාගේ ඒ ආදර්ශය නම් හිතට ගත්තේ නැත.

ඊළඟ ජනපතිවරණයට තව ඇත්තේ අවුරුද්දකුත් මාස කිහිපයක් පමණ ය. 2014දී වුණු එකේ අනිත් පැත්ත ය. යූඑන්පිය මහින්ද ජනපති කාලෙත් අපේක්ෂකයෙක් නැතිව වටේ කැරකුණේ ය. යූඑන්පිය දැන් මහින්ද විපක්ෂයේ ඉන්න කාලෙත් ඒකම කරන්නේ ය. ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන් එල්ලෙන්න පිදුරු ගස් සොයමින් සිටින්නේ ය. ඒ අල්ලපනල්ලේ රාජපක්ෂලා බොක්සිං වළල්ලට බැහැලත් ඉවර ය. දේව දූතයන් හැමදාම එන්නේ නැත. මේ සැරේ රනිල් ගොඩ දාන පොදු අපේක්ෂකයෙක් හොයාගැන්ම නම් සිහිනයක් වෙන හැඩ ය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon