ගලහ සිට මින්නේරියට...

  👤  3606 readers have read this article !
2018-08-31

ගලහ රෝහල තාවකාලිකව වසා දැමීමට රජයට සිදුව ඇත. රෝහලට ඇතුළු කිරීමෙන් පසුව බිලිඳු දරුවකු මරුමුවට පත්වීමෙන් කුපිත වූ ප්‍රදේශවාසීන් පිරිසක් පහරදීම නිසා ගොඩනැඟිලිවලට අලාභහානි සිදුවීමත් රෝහලේ සිටි වෛද්‍යවරුන් දෙදෙනා මාරුකර යැවීමත් මේ තීරණයට හේතුවිය.

රෝහල්වලට ඇතුළත් කළ රෝගීන් මියයෑම සාමාන්‍ය කාරණයකි. ඒ නිසා තමන්ගේ ඥාතියා මියගිය බව කියමින් වෛද්‍යවරුන්ට හෝ රෝහල්වලට පහරදීමට යමකු ඉදිරිපත් වන්නේ නැත. එහෙත් ගලහ සිද්ධියේදී මෙවැනි ප්‍රතිචාරයක් ලැබීම තුළ සැලකිය යුතු හේතුවක් තිබිය යුතුය. එහෙත් වෛද්‍යවරුන්ට, කාර්ය මණ්ඩලයට හෝ රෝහලට පහරදීමේ කිසිදු අයිතියක් ජනතාවට නැත. පොලිසිය ඇතුළු අදාළ අංශ ඇත්තේ අසාධාරණයක් සිදුවී ඇත්නම් සාධාරණය ඉටුකර ගැනීමටය.

මියගිය බිලිඳු දරුවාගේ ඥාතීන් එල්ල කරන චෝදනා සත්‍ය නම් එය වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ නොසැලකිලිමත්කමය. එලෙස නොසැලකිලිමත් වී ඇත්නම් අනිවාර්යයෙන් වගකිවයුත්තන්ට දඬුවම් දිය යුතුය. සිද්ධිය ගැන පරීක්ෂණයක් පැවැත්වීමට සෞඛ්‍ය ඇමැතිවරයා නියෝග කර ඇති අතර පළාත් රෝහලක් නිසා මධ්‍යම පළාත් සභාවටද මේ පිළිබඳව සොයා බැලීමේ වගකීම පැවැරේ. එහෙත් උෟව පළාත් මහ ඇමැති, ගුරුවරියක දණ ගැස්සීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරයා පැවැත්වූ ආකාරයේ පරීක්ෂණයකින් පලක් නැත.

ඊනියා පරීක්ෂණවලින් සිදුවන්නේ වැරැදි නිවැරැදි වීම නොව හිටගෙන කළවුන් දුව දුව කරන්නට පටන් ගැනීමය. ගලහ
පරීක්ෂණය ගැන අවධානයෙන් සිටිය යුත්තේ ඒ නිසාය.

මින්නේරිය වනෝද්‍යානය දින තුනක් පුරා වසා තැබිණි. ඒ සමස්ත ලංකා වන සත්ත්ව නියාමකවරුන්ගේ සංගමය ඇරැඹූ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ඊට හේතුව විය. මේ අකුරට වැඩ කිරීමට මුල් වූයේ මින්නේරිය ජාතික උද්‍යානයේ සේවයේ නිරතව සිටි වනජීවී නිලධාරීන්ට පිරිසක් පැමිණ පහරදීමේ සිද්ධියකි.

මින්නේරිය ජාතික උද්‍යානයට පසුගිය 26දා අනවසරයෙන් ඇතුළු වූ ධීවරයකු අත්අඩංගුවට ගැනීම නිසා උරණ වූ පිරිසක් පැමිණ නිලධාරීන්ට පහරදී තර්ජනය කර තිබිණි. පහර දුන් මේ පිරිස ධීවරයන් බව පොලිසිය පවසා තිබුණු අතර සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබුණේය.

එහෙත් වෘත්තීය සමිති නියෝජිතයන් ප්‍රකාශ කර තිබුණේ දෙදෙනකු පමණක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් සෑහීමකට පත්විය නොහැකි බවය. හබරණ පොලිසිය ඉකුත් 28දා රාත්‍රියේ සැකකරුවන් දසදෙනකු අත්අඩංගුවට ගැනීම නිසා වෘත්තීය ක්‍රියාමාර්ගය නතර කර දැමීමට පියවර ගෙන තිබිණි.

පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති දස දෙනා අතර හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රිවරයකුද සිටින බව වාර්තා වී ඇත. මේ වන විට අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් 12 දෙනා සැප්තැම්බර් 11දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ඒ අනුව වනජීවී නිලධාරීන්ට යුක්තිය ඉටුවී ඇත.
නීතිය ක්‍රියාත්මක කළ නිලධාරීන්ට රංචු ගැසී පැමිණ පහරදී අත්අඩංගුවේ සිටි සැකකරුවකු මුදා ගෙන යෑම වැනි 'කැලෑ' වැඩවලට කිසිදු බුරුලක් දිය යුතු නැත

කැපීපෙනෙන කාරණය වන්නේ ඊනියා මහජන නියෝජිතයන් මැදිහත් වන්නේ යුක්තිය ඉටු කිරීමට නොව අයුක්තිය රජ කරවීමටය. අවශ්‍ය තැන්වල මහජන නියෝජිතයන් නැත. ඔවුන් සිටින්නේම අනවශ්‍ය තැන්වලය. වැරැදි වැඩක කොනක ඊනියා දේශපාලනඥයකුගේ හෙංචයියකුවත් නොසිටියොත් එය පුදුමයකි.

ගලහ සිද්ධියේදී පොලිස් විශේෂ කාර්ය බළකාය (ඉඊජ්) ගෙන්වීමට තරම් තත්ත්වය දරුණු වන තුරුත් කිසිදු මහජන නියෝජිතයකු එතැනට පැමිණ තිබූ බවක් වාර්තා වූයේ නැත. එහෙත් මින්නේරිය සිද්ධියේදී නීති විරෝධී වැඩකට මහජන නියෝජිතයකුගේ සහභාගිත්වය ලැබී ඇත.
"අනේ කාලේ වනේ වාසේ" කියන්නේ මෙන්න මෙව්වාටය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon