වෙස්ට් මිනිස්ටර් පැටියා ජාතිකත්වයන් අතර සතුරුභාවය වැඩි කළා

  👤  3762 readers have read this article !
2018-09-02

උදේනි සමන් කුමාර

ඉංගී්‍රසි අධිරාජ්‍යවාදීන් ලංකාවේ ලන්දේසි යටත්විජිතවලට පහර දුන්නේ, ප්‍රංශ විප්ලවයට එරෙහිව සිය ජගත් ප්‍රතිවිප්ලවීය ප්‍රහාරයේදී එවකට ප්‍රංශ විප්ලවයේ මිත්‍ර පාක්ෂිකයකු වී සිටි ඕලන්දයේ බතාවියානු සමූහාණ්ඩුව සතු යටත්විජිත අල්ලා ගැනීමේ පරමාර්ථයෙනි. 1795 අගෝස්තුවේදී ත්‍රිකුණාමලයට පහරදී එය යටත් කළ ඔවුහු 1795 සැප්තැම්බර්යේදී මඩකළපුව හා යාපනය යටත් කළහ. ඊට පසු මීගමුවත්, 1796 පෙබරවාරි 16 වැනිදා කොළඹත් යටත් කළහ. යුරෝපීය භටයන් 2,700ක් ඇතුළු 5,500ක හමුදාවක් මෙහෙයවා රන් පවුම් 12,000ක් වියදම් කර ලන්දේසි ප්‍රදේශ අල්ලා ගත් මොවුන්ට 1815 මාර්තු 2 වැනිදා එකදු සෙබළකු හෝ නැති කර නොගෙන එකදු වෙඩිල්ලක් හෝ පත්තු නොකර උඩරට රාජධානිය මුළුමනින්ම අල්ලා ගන්නට හැකි වූයේද නායක්කර් වංශික ශ්‍රී වික්‍රම රාජසිංහ දෙමළ රජු හා ඔහුගේ ඇමැතියන් වූ උඩරට සිංහල රදලයන් අතර ජාතිකත්වය මත පැනනැඟුණු ප්‍රතිවිරුද්ධතාව උඩ රාජ්‍ය බලය සඳහා වූ අරගලය නිසාය.

1815 ජනවාරි 11 වැනිදා බි්‍රතාන්‍ය සෙබළුන් 3,744ක් යොදවා පටන් ගැනුණු ආක්‍රමණයේදී රජුගේ මහා අදිකාරම් පෙබරවාරි 8 වැනිදාම යටත් වී ආක්‍රමණික හමුදාවේ පැත්ත ගත් අතර පෙබරවාරි 13 මහනුවර යටත් විය. පෙබරවාරි 18 වැනිදා මැද මහනුවර සැඟවී සිටි ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අල්ලා පාවා දෙන ලදී. ඒ අනුව 1815 මාර්තු 2 වැනිදා ඉංගී්‍රසින් විසින් උඩරට රාජ්‍යයද අෑ¼දා ගන්නා ලදී. මෙලෙස 6 වැනි පරාක්‍රමබාහුගෙන් පසු යළිත් වතාවක් මුළු ලංකාවම එකම ධජයක් යටතට ගෙනාවේ බි්‍රතාන්‍ය අධිරාජ්‍යයේ යුනියන් ජැක් කොඩිය යටතේය.

වික්ටෝරියානු මහා අතරමඟ සමාදානය සිදුවූ 1832ට වසරකට පසුව එනම්, 1833දී "භෞතික හා සදාචාරාත්මක විශේෂිත තත්ත්වයන් සැලකූ විට යුරෝපීය ශිෂ්ටාචාරයේ බීජයන් රෝපණය කිරීමට උචිතම ස්ථානය ලෙස" සඳහන් කළ ලංකාවේ කෝල්බෘෘක් - කැමරන් ප්‍රතිසංස්කරණ යෝජනා, යටත්විජිත භාර රාජ්‍ය ලේකම් ගෝඩ්ච්රි හා ඉංගී්‍රසි අධිරාජ්‍යවාදී ආණ්ඩුව විසින් අනුමත කරනු ලැබීම නිසා සමාජ හා ශ්‍රම සංචලතාවට තිබූ බාධක ඉවත් කරමින් මුළු රටම එකම ආණ්ඩුවක් යටතේ එකම පාලන ක්‍රමයක් තුළ ජාතිකව බෙදීම්වලින් තොරව උතුර, නැඟෙනහිර, බටහිර, දකුණ හා මධ්‍යම යනුවෙන් පළාත් 5කට බෙදා එකම නීතියක් යටතේ එකට එකතු කරන ලදී. මෙය ඇත්ත වශයෙන්ම බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදය තම යටත් විජිත වුවමනාවන් සපුරා ගැනීමට යෑමේදී 'අචේතනිකව' ඉටු කළ ප්‍රගතිශීලී ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී කර්තව්‍යයකි. එදා බි්‍රතාන්‍යය අධිරාජ්‍යවාදයේ පාලනය හෙබවූ වෙස්ට්මිනිස්ටර්හි හා වයිට් හෝල්හි පාලකයන් මෙමඟින් බහු ජාතික රාජ්‍යයකට අත්තිවාරම් දැමීමේ දේශපාලන කර්තව්‍යයකට මුලපිරූ බව පෙනේ. එදා පටන් අද දක්වා සියවස් එකහමාරක් මුළුල්ලේ ආර්ථික හා දේශපාලන වශයෙන් මධ්‍යගත බහු ජාතික ජාතික රාජ්‍යයක් වර්ධනය විය.

කොල්බෘෘක්-කැමරන් ප්‍රතිසංස්කරණ යෝජනා ක්‍රියාත්මක කිරීම මඟින් එනම්, මුළු රට එකම පාලනයක් හා එකම නීතියක්ද එකම අධිකරණයක්ද යටතට ගෙන ඒමත් (යාපනයේ තේසවලාමෙයි නීතියත්, උඩරට විවාහ නීතියත්, මුස්ලිම් නීතියත් තවදුරටත් පවතින්නට හැරීම මෙහිදී සඳහන් කළ යුතු විශේෂත්වයකි.) ඉඩම් වෙළෙඳ භාණ්ඩයක් බවට පත් කිරීමත් (විහාරගම්, දේවාලගම් හා නින්දගම් ඉතුරු වන්නට හැරීම විශේෂත්වයකි.) රාජකාරි අහෝසි කර නිදහස් ශ්‍රම වෙළෙඳපොළක් බිහි කිරීමත් (විහාර දේවාලගම් සඳහා වූ රාජකාරිය ඉතුරු කිරීම මෙහිදී සඳහන් කළ යුතු විශේෂත්වයකි.).

ජාතික වෙළෙඳපොළක් බිහි කිරීමත් එය ජාත්‍යන්තර වෙළෙඳපොළ හා ගැටගැසීමත් වෙස්ට්මිනිස්ටර් ක්‍රමයේ බීජයන් රෝපණය කිරීමත් මඟින් ධනේශ්වර ක්‍රමයේ වර්ධනය සඳහා අත්‍යවශ්‍ය ව්‍යුහාත්මක වෙනස්කම් සිදුකරන ලදී. මේ පදනම මත කෝපි වගාවත් සමඟ ඇරැඹි ගෙවුණු සියවස් එකහමාර තුළ ලංකාවේ ධනේශ්වර ක්‍රමය සංවර්ධනය විය.
බි්‍රතාන්‍ය අධිරාජ්‍යයේ යටත් විජිත පාලනයේ එක් තනි ඒකකයක් වූ ලංකාව නම් වූ මේ බහුජාතික රාජ්‍යයේ දේශපාලන බලය අත්පත් කරගෙන සිටි ඉංගී්‍රසීන්ගේ භාෂාව එකල රාජ්‍ය භාෂාව විය. එම භාෂාව දැන සිටියේ අධිරාජ්‍යවාදීන් සමඟ ළඟ සබඳකම් පැවැත්වූ සමාජ පන්තිවල හා තට්ටුවල සුළු පිරිසක් පමණි. යටත් විජිතය පවත්වාගෙන යෑම සඳහා අධිරාජ්‍යවාදයට අවශ්‍ය වූ උපයෝගී සේවාවල නියුතු වූ නිලධරයන් ඇතුළු සුළු පිරිස රාජ්‍ය භාෂාව වූ ඉංගී්‍රසි බසින් ක්‍රියා කළ අතර එය දැන ගැනීමම සමාජ වරප්‍රසාදයක් විය.

ඉංගී්‍රසීහු පරංගීන් මෙන් ස්වදේශික භාෂා තම භාෂාව මඟින් මුළුමනින්ම පලවා හැරීමට උනන්දුවක් දැක්වූ බවක් පෙනෙන්නට නැත. ඉංගී්‍රසීහු තම භාෂාව යොදා ගත්තේ තම යටත්විජිත අවශ්‍යතාවන් සඳහා පමණි. එබැවින් ඉංගී්‍රසීන් රට හැර යන විට ලංකාවේ ඉංගී්‍රසි දත් ජනයා සිටියේ 10%කට අඩුවෙනි. ඉංගී්‍රසි භාෂාව ව්‍යාප්ත කර ජාතිකත්වයන් එකමුතු වන්නට ඉඩ හරිනවාට වඩා විවිධ ජාතිකත්වයන් අතර එනම්, සිංහල, දෙමළ හා මුස්ලිම් ජාතිකත්වයන් අතර විවිධත්වයත්, වෙනස්කමුත් ආරක්ෂා කර යටත් විජිත අවශ්‍යතාවන් සඳහා ජාතිකත්වයන්ගේ වෙස්කම් හා සතුරුභාවයන් යොදා ගැනීම හෙවත් බෙදා වෙන් කර පාලනය කිරීම බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ උපාය මාර්ගය විය.

මෙලෙස අධිරාජ්‍යවාදී පාලන සමය තුළ ජාතිකත්වයන් අතර ස්වීකරණයක් සිදුනොවීය. ජාතිකත්වයන් අතර මිත්‍රත්වය, සමඟිය ස්වීකරණය යටත් විජිත ආණ්ඩුවට එහි අඛණ්ඩ පැවැත්ම සඳහා අහිතකර දෙයක් වීම නිසා එක් පැත්තකින් ජාතික වෙළෙඳපොළක් නිර්මාණය කරමින් ජාතික රාජ්‍යයට අත්තිවාරම දමමින් මුළුමහත් දිවයිනම එකම ධජයක්, එකම නීතියක්, එකම පාලනයක් යටතට ගෙනා අධිරාජ්‍ය ධනපති පන්තිය අනෙක් අතට ජාතිකත්වයන් ස්වීකරණය නොවන තැනටත්, ජාතිකත්වයන් අතර වෙනස්කම්, අසමඟිය හා සතුරුභාවයන් රැකෙන හා වැඩෙන අයුරිනුත් ක්‍රියා කළහ. මේ දෙබිඩි ස්වරූපය අධිරාජ්‍යවාදයේ ලක්ෂණයකි. එය අධිරාජ්‍යවාදයේ අවශ්‍යතාවකි.

1833 සැප්තැම්බර් 28 වැනිදා බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ නියෝගයක් මඟින් පනවනු ලැබූ 1833 ව්‍යවස්ථාව අනුව පිහිටුවනු ලැබූ ව්‍යවස්ථාදායකය සහ විධායකය යන මණ්ඩලවලින් ඉංගී්‍රසි ආණ්ඩුකාරයා විධායකයේ සභාපති වූ අතර එහි සෙසු සාමාජිකයන් හතර දෙනා වූයේ අණ දෙන නිලධාරි තැන, යටත් විජිත ලේකම්, රාජ නීතිඥ හා මධ්‍යම පළාතේ ආණ්ඩුවේ ඒජන්තය. ව්‍යවස්ථාදායකයට නිලධාරීන් නව දෙනකු වූ අතර නිල නොලත් සාමාජිකයෝ හය දෙනෙක් වූහ. මේ හය දෙනා පත් කළේ ජන වර්ග පදනමිනි. මින් තුන් දෙනෙක් යුරෝපීයයන් සඳහාත්, එක් කෙනෙක් ලංසින් හෙවත් බර්ගර්වරුන් සඳහාත්, තව කෙනෙක් සිංහලයන් සඳහාත්, ඉතිරි එක්කෙනා දෙමළ ජනයා සඳහාත්ය. මෙය මුල පටන්ම ලාංකේය ජනතාව අතර ජාතිභේදවාදී ප්‍රවණතාවන් ඉස්මතු කිරීමේ පදනම ලෙස ක්‍රියාත්මක විය. 1889දී මෙම නිල නොලත් සාමාජිකයන් ගණනට උඩරට සිංහලයන් වෙනුවෙන් කෙනෙක් හා මුස්ලිම්වරුන් වෙනුවෙන් කෙනෙක් එකතු කරන ලදහ. තවදුරටත් මෙසේ ජන වර්ග පදනම තහවුරු කරමින් ජාතිවාදී හැඟීම් හා අභිලාෂ වර්ධනය කරන ලදී.

ජන වර්ග පදනමින් නියෝජනය සහ නම් කර පත් කිරීම අවලංගු කර ප්‍රදේශ පදනමින් මහජන ඡන්දයෙන් නියෝජිතයන් තෝරන ලෙස ඉල්ලා යටත් විජිත සඳහා සහකාර රාජ්‍ය ලේකම්වරයා වෙත සන්දේශයක් සර් ජේම්ස් පීරිස් විසින් 1908 දෙසැම්බර් 12 වැනිදා ඉදිරිපත් කරන ලදී. එහෙත් එය ඉටු වූයේ නැත. 1910 නොවැම්බර් 24 වැනිදා රාජකීය උපදෙස් පරිදි ප්‍රතිසංස්කරණය කරනු ලැබූ 1910 ව්‍යවස්ථාවෙන්ද අඛණ්ඩව ජන වර්ග පදනම සුරක්ෂිත කරනු ලැබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon