කිසිදා අමතක නොවන මානව හිතවාදී මිනිසා නීතිඥ ප්‍රින්ස් ගුණසේකර

  👤  3965 readers have read this article !
2018-09-02

1989 අගෝස්තු 30 වැනිදා හෝ 31 වැනිදා රාත්‍රියේ ලංකාවේ බි්‍රතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයට සහ ඇමෙරිකන් තානාපති කාර්යලයට අයත් වාහන දෙකක් කටුනායක ගුවන්තොටුපොළට හදිසියේම පිවිසිණි. එක් වාහනයකින් තොටුපොළට පිවිසියේ නීති ක්‍ෂේත්‍රයේ ඉතා ජනප්‍රිය ආන්දෝලනාත්මක චිරප්‍රසිද්ධ වමේ දේශපාලන කඳවුරකට අයත් හිටපු මන්ත්‍රිවරයෙකි. ලන්ඩන් බලා යන ගුවන් යානයට අදාළ සුවිශේෂී මිනිසා නැංවූ තානාපති වාහන පරිශ්‍රයෙන් නික්මුණහ.

ඒ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස උතුමාණන්ගේ පාලන සමයයි. දේශප්‍රේමී සන්නද්ධ ව්‍යාපාරයත් රජයේ ආරක්‍ෂක හමුදාවනුත් අතර විවිධාකාර ඝාතන රැල්ලක් ක්‍රියාත්මක වූ අවධියයි. ජේ.වී.පී. සහ අනෙකුත් ආණ්ඩු විරෝධී සංවිධාන සහ පුද්ගලයන් විනාශ කර දැමීම පිණිස යූ.එන්.පී. ආණ්ඩුව විසින් ඒ වන විට කළු බළල්ලු, කහ බළල්ලු, කොළ කොටි, ප්‍රා. උකුස්සෝ සහ ගෝනුස්සෝ යන විවිධ නම්වලින් යුත් මිනීමරු කණ්ඩායම් ක්‍රියාත්මක කර තිබිණි.

එහි ප්‍රතිඵල වශයෙන් සිය දහස් ගණනක් විශේෂයෙන් තරුණ තරුණියන් අතුරුදන් වීම් සහ මහමඟ අබිරහස් ලෙස ඝාතන කිරීම් නිසා මුළු ජන සමාජයම වචනයෙන් කිව නොහැකි අවිනිශ්චිත අඳුරු කාල පරාසයකට තල්ලු වී තිබිණි.

අතුරුදන් වූ මරා දමනු ලැබූ පිරිස්වල මූලික මිනිස් අයිතිවාසිකම් උදෙසා කතා කරන්නට, සටන් කරන්නට, නීතියේ සරණ පතන්නට ඉදිරිපත් වූ නීතිඥයන්ට ද විවිධාකාර මරණ තර්ජන එල්ල විය.

ඒ රාත්‍රියේ විදේශීය තානාපතිවරුන්ගේ පිහිටෙන් ගුවන් ගත කළ නීතිඥ ක්‍ෂේත්‍රයේ ජනාදරයට පත් හිටපු මන්ත්‍රි මූලික මිනිස් අයිතිවාසිකම් වෙනුවෙන් අනෙක් නීතිඥ සගයන් සමඟ ජීවිත පරදුවට තබා මහ මෙහෙවරක නියුක්තව සිටියේය.

1989 අගෝස්තු මස 29 වැනිදා මහ දහවල් නාරාහේන්පිට ඇන්ඩර්සන් මහල් නිවාස සංකීර්ණයේ අංක 215/ජී2/5 දරන නිවෙස තුළින් මුළු ප්‍රදේශයම කම්පිත කරමින් මහ වෙඩි හඬක් නිකුත් විය. රාජකීය මිනීමරුවකු විසින් තබන ලද වෙඩි පහරකින් ඝාතනයට ලක්වූයේ නීතිඥ කාංචන අභයපාල යැයි වාර්තා විය.

ඇඟ කිලිපොළා යන මෙබඳු මිනිස් ඝාතනයක් සැණෙකින් ප්‍රචාරය වන මාධ්‍ය මෙහෙයුම් එකල නොතිබිණි. මාධ්‍ය සන්දර්ශන නොතිබිණි. රාජ්‍ය මාධ්‍ය සේවා පමණක් ක්‍රියාත්මක විණි. තාක්‍ෂණික සේවාවන් අද තරම් සමාජගතව නොතිබිණි.

කවුද මේ නීතිඥ කාංචන අභයපාල? කාංචනගේ මව වූයේ මානව හිමිකම් නඩු සඳහා පෙනී සිටි නීතිඥ ප්‍රින්ස් ගුණසේකරගේ නංගී වන මාග්‍රට් ගුණසේකරය. පියා වූයේ පල්ලගේ දයානන්ද අභයපාලය. ඔවුන් පදිංචිව සිටියේ අංක 215/ජී2/5 දරන නිවෙසේය. මහ දවල් ජනේලයකින් එල්ල කළ වෙඩි පහරකින් කාංචන මරා දමා සැකකරු පලා ගියේය.
ඊළඟ ඉලක්කය නීතිඥ ප්‍රින්ස් ගුණසේකරය. ඊට පළමුව බි්‍රතාන්‍ය සහ ඇමෙරිකන් ලංකා තානාපතිවරු ඉක්මන් වූහ. එදින රාත්‍රියේ රහසේ ලන්ඩන් බලා ගියේ ප්‍රින්ස්ය.

ඉතාමත් අසරණ තත්ත්වයක් යටතේ ප්‍රින්ස් ගුණසේකර ලන්ඩන් ගුවන්තොටුපොළට ළඟා විය. සැලසුම්ගත ආකාරයට ප්‍රින්ස් පිළිගැනීම පිණිස ලෝක ප්‍රකට මානව හිතවාදියකු වූ ඇවරිබරි සාමිවරයා පැමිණ සිටියේය. මූලික මිනිස් අයිතිවාසිකම් සුරැකීමේ ව්‍යාපාරයේ ප්‍රබලතම නායකයෙක් වූ ඇවරිබරි සාමිවරයා ප්‍රින්ස් සාදරයෙන් පිළිගෙන ඔහුගේ නිවෙස වෙත කඳවාගෙන ගියේය.

මහාචාර්ය වල්පොළ රාහුල හිමියන්ගෙන් අපි ඇවරිබරි සාමිවරයා ගැන දැනුවත් වෙමු.
එකල්හි බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ සිටි එකම බෞද්ධ මන්ත්‍රිවරයා ඇවරිබරි සාමිය. බෞද්ධ දර්ශනය ගැන ඉතා ගැඹුරු දැනුමකින් යුතු ඇවරිබරි සාමිවරයාගේ ඥාන සම්භාරය ලන්ඩන් බෞද්ධ සංගමයේ ආරම්භක ක්‍රිස්මස් හම්ප්‍රිගේ දැනුමටත් වඩා ඉහළ බැව් රාහුල හිමියෝ සඳහන් කළහ.

රාජ්‍ය අනුග්‍රහය ලැබූ අවිගත් පිරිස් ගුණසේකර පවුල වෙතද අවධානය යොමු කර තිබිණි. එකල සමහර ස්ථානවලදී ජවිපෙ ක්‍රියාකාරීන්ගේ පවුල් පිටින් වනසා දමනු ලැබීය. මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ මැදිහත්වීම මධ්‍යයේ ගුණසේකර මහත්මිය සහ දියණියන් තිදෙනාද ලන්ඩනයට ගියහ. මානව හිතවාදී ගුණාංගයෙන් සපිරි ඇවරිබරි සාමිවරයා තමන්ටත් බිරියටත් එක කාමරයක් ඉතිරි කරගෙන මුළු නිවෙසම ගුණසේකර පවුලට ලබා දෙන්නට පියවර ගෙන ඇත.

ඒ පමණක් නොවේ. මූලික මිනිස් අයිතිවාසිකම් සුරැකීමේ ව්‍යාපාරයේ ඉල්ලීම පරිදි ගුණසේකර පවුල බලාකියා ගැනීමේ වගකීම බි්‍රතාන්‍ය රජය විසින් භාර ගන්නා ලදී. ඔවුන් දේශපාලන අනාථයන් හැටියට වර්ග කරනු ලැබීය. වෛද්‍යවරියක් වන ගුණසේකර මහත්මියට රෝහලක වෘත්තියක් ලැබිණි. ළාබාල දියණියන් දෙදෙනාගේ අධ්‍යාපනය ලබාදීම රජයේ වියදමින් සිදුවිය. ප්‍රින්ස් ගුණසේකරට රජයේ විශේෂ දීමනාවක් හිමිවිය.

ප්‍රින්ස් වැඩිදුරටත් නීතිය හදාරා බැරිස්ටර්වරයකු බවට පත්ව ලන්ඩන් අධිකරණයේ නීතිඥයකු ලෙස සේවය කරන අතරම මිනිස් අයිතිවාසිකම් සුරැකීමේ ව්‍යාපාරයේ පුරෝගාමී මෙහෙයුමක නියුක්ත විය.

අනාථයකු හැටියට ජීවත් වුවත් ලෝකයේ ඕනෑම රටකට යෑමට (විශේෂයෙන් මිනිස් අයිතිවාසිකම් ගැටලු ගැන) බි්‍රතාන්‍ය රජයෙන් ඔහුට වීසා ලබාදී ඇත. එහෙත් එක් දිනකට හෝ තමන්ගේ මාතෘ භූමියට පැමිණීමට අවසර නැත. එසේ පැමිණියහොත් අනාථ භාවය වෙනුවෙන් බි්‍රතාන්‍ය රජය විසින් ලබාදෙන සියලු වරප්‍රසාද ඔහුට අහිමි වේ.
වාර්තා වන අන්දමට ප්‍රින්ස් ලන්ඩනයේ සුඛෝපභෝගී මන්දිරයක් මිලට ගෙන පදිංචි වී සිටින බැව් පැවැසේ.

චිරප්‍රසිද්ධ ගමක් වූ අහංගම, කතළුවේ මධ්‍යම පන්තියේ පවුලකට අයත්ව උපන් සාම්ප්‍රදායික ගුණසේකර පෙළපතට අයත් වූ ප්‍රින්ස් හතළිහේ දශකයේදී විද්‍යාලංකාර පිරිවෙනට අනුබද්ධිත කැලණියේ ධර්මාලෝක විදුහලෙන් ගුරු වෘත්තියට පිවිසියේය. එවකට එහි විදුහල්පතිවරයා වූයේ පසුකාලීනව සුප්‍රකට පත්‍රකලාවේදියෙක් වූ ඩී.බී. ධනපාලය.
සුප්‍රකට විද්‍යාලංකාර අර්බුදයේදී විද්‍යාලංකාර භික්‍ෂුන්ගේ පාර්ශ්වය ගත් ඩී.බී. විදුහල්පති පදවියෙන් ඉල්ලා අස්වෙද්දී ප්‍රින්ස් ගුණසේකර රත්න දේශප්‍රිය කණ්ඩායමේ තිස් ගණනක් වූ ආචාර්ය මණ්ඩලයම ඉල්ලා අස්වූහ. 1947දී ටයිම්ස් මන්දිරයෙන් ධනපාල ලංකාදීප පුවත්පත ආරම්භ වෙද්දී ප්‍රින්ස්ද කර්තෘ මණ්ඩලයට එක් විය. ලංකාදීපයෙහි සේවය කරන අතරතුර ප්‍රින්ස් නීති විද්‍යාලයට ගොස් නීතිඥ වෘත්තියට පිවිසියේය. ලංකාදීපය සමඟ දැඩි සම්බන්ධයක් දැක්වූ ප්‍රින්ස්, පිලිප් ගුණවර්ධනගේ දේශපාලන ගමන් මඟට සමීපව 1956 ආණ්ඩු පෙරළිය උදෙසා ඉදිරි පෙළ ක්‍රියාකාරිකයකු විය. මහජන එක්සත් පෙරමුණේ සම ලේකම් ධුරයටද පත්වූයේය.

1960 මාර්තු මහ මැතිවරණයට ම.එ.පෙ. අපේක්‍ෂකයකු වශයෙන් ඉදිරිපත්ව තිබුණු සටනින් ජය ගත්තේය. එහෙත් රාජාසන කතා විවාදයේදී නායකත්වය (පිලිප් ගුණවර්ධන) ගත් ස්ථාවරයට එරෙහිව ජයග්‍රාහී තීන්දුවක් ගත් ප්‍රින්ස් 1960 ජූලි මැතිවරණයේදී පරාජයට පත්විය. 1965දී ස්වාධීන අපේක්‍ෂකයකු වශයෙන් ඉතා තියුණු සටනකින් ජය ගත්තේ ඉතාම සුළු ඡන්ද ප්‍රමාණයකිනි.

1970 මහ මැතිවරණයේදී ශ්‍රී ල.නි.ප.ය නියෝජනය කරමින් විශිෂ්ට ජයග්‍රහණයක් හිමිකර ගත්තේය. 1971 ජ.වි.පෙ. කැරැල්ලට ක්‍රියාකාරි වූ තරුණයන්ගේ පාර්ශ්වය ගත් ප්‍රින්ස් එම පිරිසට නීතිමය ආධාර ලබාදීමට එඩිතර තීරණයක් ගත්තේය. ප්‍රින්ස් 1977 මහ මැතිවරණයට ඉදිරිපත් නොවීය.

1983 කළු ජූලියේදී ජේ.ආර්. ජයවර්ධන රජය මඟින් අත්අඩංගුවට ගෙන කොළඹ මහ ලේකම් කාර්යාලයේ 1 වැනි මහලේ අඳුරු කුටියක කලක් හිරකරගෙන සිටියේය. කිසිදු චෝදනාවක් නොමැතිව පසුව නිදහස් කරන ලදී. නිදහස ලබා එළියට පැමිණි ප්‍රින්ස් ජේ.ආර්. රජයට එරෙහිව අභීත ලෙස සටන් පෙරමුණු ශක්තිමත් කළේය. ඔහු තරුණ පරපුරේ සදාකාලීන අයිතීන් වෙනුවෙන් තවමත් පෙනී සිටී.

හොරණ බන්දුල

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon