ස්ටීව් නන් කෙන්ටකි ප්‍රාන්තයේ සිහින කුමරා ඝාතකයකු වෙයි

  👤  3874 readers have read this article !
2018-09-02

ඇමෙරිකාවේ කෙන්ටකි ප්‍රාන්තයේ, එක්තරා උණුසුම් ගිම්හාන සමයේ දිනයක 56 හැවිරිදි පුතෙක් තම මවුපියන්ගේ සොහොන වෙත ගොස්, පිහි තලයක් ගෙන දෑතම කපාගෙන, රුධිර ධාරා ගලා යන්නට සලස්වා එතැනම වැතිර ගත්තේ මරණය හැර වෙන කිසිවක් බලාපොරොත්තු විය නොහැකි තත්ත්වයකට ඔහු පත්ව සිටි බැවිනි. ඒ සිදුවීම පසුපස දිග හැරෙන කතාව ප්‍රේමයත් වෛරයත් අතර වෙනස කෙස් ගසක් බව අපට පසක් කර දෙයි. පළිගැනීමේ චේතනාව කොතරම් අභාග්‍යයකට මිනිසුන් ගෙන යනවාදැයි අපට වටහා දෙයි.

සරු පස නිසා 'නිල් තණ රාජධානිය' ලෙසද හඳුන්වන කෙන්ටකි ප්‍රාන්තය පිහිටා ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයේ නැඟෙනහිරට වන්නටය. එය අශ්වයන් ඇති කිරීමටත් ගල් අඟුරුවලටත් විස්කිවලටත් ප්‍රසිද්ධය. එදින සොහොන් පිටියට පැමිණියේ වෙන කිසිවකු නොව කෙන්ටකි ප්‍රාන්ත ආණ්ඩුකාරවරයාව සිටි ලුවීනන්ගේ එකම පුතු වූත්, තරුණ කල ජනතාවගේ සිහින කුමරා වීත් සිටි ස්ටීව්ය. මෙය නවීන කෙන්ටකි ඉතිහාසයේ අරුම පුදුම දෙයක් ලෙස මාධ්‍යය විසින් අර්ථ දැක්වූයේ 'ඔහුට සියල්ල තිබුණා. සියල්ල නැති වුණා' යනුවෙනි.

1967දී ස්ටීව්ගේ පියා ලුවී මැතිවරණය දිනා කෙන්ටකි ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා ලෙස පත්වන විට ස්ටීව්ගේ වයස අවුරුදු පහළොවකි. තම මවුපියන් සෙවණේ අතිසුඛෝපභෝගී ළමාවියක් ගෙවීමේ වාසනාව ඔහුට උරුම විය.

'ඔහුගේ පරම අභිලාෂය වූයේ තම පියා සතුටු කිරීමයි. ඔහු ගියේ පියාගේ අඩි පාරේ. පියා අඳින පලඳින ආකාරය පවා ඔහු අනුකරණය කළා. ඒ වගේම ඔහුගේ පියාත් ඔහු ගැන විශාල බලාපොරොත්තුවකින් සිටියේ' ඒ ඔහුගේ පියා සමඟ වැඩ කළ සෙනෙට් සභිකයකුගේ අදහසයි.

ස්ටීව් තම පියා මෙන් නීතිය හැදෑරීමට ගියද එය සම්පූර්ණ කළේ නැත. ස්ටීව් ප්‍රාන්ත නියෝජිත මණ්ඩල සාමාජිකයකු ලෙස පත් වන්නේ 1990දීය. එහෙත් දේශපාලනමය වශයෙන් ඔවුන් අතර වෙනස්කම් තිබිණි. ජනතාව සමඟ කුලුපගව කටයුතු කළ ස්ටීව්ට තම පියා පවත්වාගත් ඉහළ ප්‍රතිරූපයට ළඟා වීමට අපහසු විය.

බලයත් වත්පොහොසත්කමත් ඇති තැන හිස පොවන කාන්තා සමාගමයෙන් ගැලවීමක් නොවීය. ආණ්ඩුකාර භවනේ විසල් ගේට්ටු පිටුපස අශෝභන රඟ දැක්වීම් ආරම්භ විය. තුරඟ තරග, රූමත් කාන්තාවන්, විසිතුරු තොප්පි අතර ජීවිතය දෝලනය වන්නට විය. එහි ප්‍රතිඵලය වූයේ ස්ටීව්ගේ පියා සහ මව දික්කසාද වීමය. එයින් වසර කිහිපයකට පසු ස්ටීව්ගේ පියාගේ මිය යෑම ඔහුට දරා ගත නොහෙන පහරක් වූයේ පියාගෙන් තොර ජීවිතයක් ඔහුට නොතිබුණු බැවිනි. සෑම අතින්ම මානසිකව කඩා වැටෙන ස්ටීව් එයින් ගොඩ එනු වස් අමන්දා රොස් නම් සුරූපිනිය වෙත ළං වූයේ වසර දහයක් සාර්ථක යුග දිවියක් ගත කරමින් සිටි තම බිරියද අමතක කරමිනි. අලුතින් ඔහු වෙත ළඟා වූ කාන්තාව නැවත බලය පිළිබඳ බලාපොරොත්තු දැල්වූවාය. අමන්දා ස්වභාවයෙන්ම දේශපාලනික කාන්තාවක් වූවාය. ඔවුන් අතර 27ක වයස් පරතරයක් තිබුණද බිරිය දික්කසාද කළ ඔහු 2008දී අමන්දා සමඟ විවාහ ගිවිස ගත්තේය.

මේ ස්ටීව්ගේ ආදරණීය බිරියව සිටි ඩැම්රොන්ගේ අදහස්ය. 'මම වසර දහයක ප්‍රීතිමත් යුග දිවියක සිට එක රැයකින් බියකරු සිහිනයකට අවදි වුණා. අමන්දා ඔහුට ළං වී තිබුණේ තමාද දේශපාලනික වශයෙන් ඔහු අබිබවා ඉදිරියට යන අදහස ඇතිව. ඇයට තමාගේ ජීවිතය වෙනම ගොඩ නැඟීමට අවශ්‍ය වූවා. ඔවුන් කිසිදා එක් නොවිය යුතු දෙදෙනෙක්. ඔවුන් අතර නිතර මතභේද ඇති වුණා. ස්ටීව් ගෘහස්ථ හිංසනය පිටු දැකීමට නීති සම්පාදනය කළ කෙනෙක්. ජනතාව වෙනුවෙන් මානුෂික මෙහෙවරක යෙදුණු කෙනෙක්. අමන්දා ඒ හේතුවම ඔහුගෙන් පළිගැනීමට යොදා ගත්තා. ඔහුට විරුද්ධව තමාට පහර දුන් බවට ස්ටීව්ට එරෙහිව චෝදනා ගොනු කළා. ඒ නිසා ඔහුට නියෝජිත මන්ත්‍රි මණ්ඩලයෙන් ඉල්ලා අස්වන්නට සිදු වුණා. මෙතෙක් සිටි 'රත්රන් පුතා' දැන් මහජනතා නින්දාවට පත් වූවෙක් වුණා. ලජ්ජාව, බලාපොරොත්තු කඩවීම, පළිගැනීම අඳුරට ගමන් කළ ජීවන චාරිකාවේ ගමන් සගයා වුණා.'

ස්ටීව් තම සොහොන නිර්මාණය කිරීමට සැප්. 9 දින පුද්ගලයකුට භාර දුන්නේ එහි විපත යන තැන 2009 සැප්. 11 සටහන් කරන ලෙස දන්වමින්ය.

සැප්. 11 උදෑසන ඔහු කෙළින්ම අමන්දා සිටි නිවෙසට ගොස් ඇය වැඩට යෑමට පිටතට පැමිණෙනවාත් සමඟම ඔහුගේ පෙම්වතිය වූ අමන්දා රොස් වෙත වෙඩි පහර එල්ල කොට ඇයව එතැනම ජීවිතක්ෂයට පත් කළේය. එයින් පසු තම මවුපියන්ගේ සොහොන වෙත යන ඔහු දෑත් කපාගෙන වැතිරෙන්නේ මරණය තමා වෙත පැමිණෙන තුරුය.

එහෙත් වහාම එතැනට පැමිණෙන පොලිසිය විසින් ඔහු බේරා ගනු ලැබීය. මනුෂ්‍ය ඝාතන චෝදනාවට වරදකරුවකු ලෙස අත්අඩංගුවට පත් වන ඔහුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් හිමි විය. උසස් ලෙස ගත වන්නට තිබූ ජීවිත, ආදරණීය බවෙන් ආරම්භ වී පළිගැනීම්වලින් අවසන්ව ඛේදවාචකයකින් කෙළවර විය. තමා විසින්ම නීති සම්පාදනය කොට අනුමත කරගත් ගෘහස්ථ හිංසන නීතියට ඔහුටම මුහුණ දීමට සිදුවීම දෛවයේ සරදමක් නොවන්නේද?

වෛද්‍ය ලංකා සිරිවර්ධන

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon