කෙදිනක හෝ බුදුබව ලබන්නට පාරමී දම් පුරන්නෙමි

  👤  3878 readers have read this article !
2018-09-02

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ජීවන චරිතය පුරාම බොහෝ අසිරිමත් සිදුවීම් දක්නට තිබූ නිසාම බොහෝ අය අප ස්වාමීන් වහන්සේ රහත් භාවයට පත් උතුම් සංඝ පීතෘෘන් වහන්සේ නමක් ලෙස දකින්නට විය.

නමුත් උන්වහන්සේ එවන් තත්ත්වයකට පත්වූ බවක් කිසිදු අවස්ථාවක ප්‍රකාශ කර නැත. රට පුරා තැනින් තැන රහතුන් මතුවන කලෙක අප මාහිමිපාණන් වහන්සේ අප අතර නොමැති අඩුව අපට දැනෙන්නේ ඒ නිසාය.

උන්වහන්සේ කිසිදා ආරණ්‍ය සේනාසන ප්‍රතිපත්තීන්ට පටහැනිව කටයුතු නොකළ සේක. තමන් ලද මහා ධර්මාවබෝධය තමන් වහන්සේගේ බැබළවීම සඳහා භාවිත නොකළ සේක. ඒ වෙනුවට තමන් වහන්සේ ලද ධර්මාවබෝධය බුදු සසුන බැබළවීම සඳහා භාවිත කළ සේක.

"කෙදිනක හෝ මමත් ලොව්තුරු සම්බුද්ධත්වයට පත්වෙමි" යන වීර්යයෙන් යුතුව සංසාරයේ සැරිසරන අතරවාරයේ මෙලොව ඉපදී ලෝ සතට අප්‍රමාණ යහපත සිදුකරන බුද්ධාංකුරයන් වහන්සේ නමක් සතු ගුණාංගයන්ගෙන් පිරිපුන් වෙමින් සිය ජීවිතය කාලය ගත කළ සේක.

අප මාහිමිපාණන් වහන්සේ ශ්‍රී සම්බුද්ධත්වය පිණිස වූ බුද්ධකාරක ධර්මයන් ප්‍රගුණ කරමින් මීට පෙර ලොව පහළ වූ බුදුවරයාණන් වහන්සේලාගෙන් නියත විවරණ ලබමින් දැඩිව භාවනා ඥානය ප්‍රගුණ කරමින් ආ මේ බෝසත් ගමන් මඟ තුළ මතු පරපුර සඳහා දායාද කළ උතුම් ශ්‍රී සද්ධර්මය එම අනාගත පරපුර වෙනුවෙන් රැකගෙන පෝෂණය කරමින් ඉදිරියට ගෙන ගිය එම "අසිරිමත් බුදුමඟ පිය සටහන්" අතර නා උයන ආරණ්‍ය සේනාසනය වර්තමානයේ පවතින තත්ත්වයට වැඩි දියුණු කිරීමද විශේෂිතය.

අප ගෞරවනීය මාහිමිපාණන් වහන්සේගේ "මතක වත" පිළිබඳව කරුණු සොයා යද්දී අපට හමුවූ නා උයන ආරණ්‍ය සේනාසනය ආශි්‍රතව රාජකාරි කටයුතුවල නිරත වූ අදටත් නිරත වන "මඩහපොළකන්ද" වසමේ ග්‍රාම නිලධාරි වශයෙන් සේවය කොට දැනට නා උයන ආශි්‍රත "පොල්ගහන්ගොඩ" වසමේ ග්‍රාම නිලධාරි එස්.එම්. අශෝක කරුණාරත්න මහතා අප හා පැවැසූ තොරතුරු අතිශයින්ම වැදගත්ය.

"අපේ මාහිමිපාණන් වහන්සේගේ කම්මට්ටානා චාර්යයන් වහන්සේ නමක් හැටියට කටයුතු කළ පණ්ඩුපලාස දසසිල් සමයේ සිට උන්වහන්සේට මූලික අධ්‍යාපනය ලබාදුන් පූජනීය විගොඩ බෝධි රක්ඛිත ස්වාමීන් වහන්සේ තමයි නා උයන ආරණ්‍ය සේනාසනයේ වැඩසිටියේ. අපේ පූජනීය අරියධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේ නාථගනේ ගල්දුව වැනි ආරණ්‍ය සේනාසනවල වැඩහිඳිමින් ධර්මය ප්‍රගුණ කළා. මා ග්‍රාම නිලධාරිවරයා වශයෙන් පත්වූ කාලයේ නා උයන ආරණ්‍ය සේනාසනයේ වැඩ සිටියේ පූජනීය බෝධිරක්ඛිත ස්වාමීන් වහන්සේ ඇතුළු ස්වාමීන් වහන්සේලා කිහිප නමක් පමණයි.

ඒ කාලයේ සිට මා නිතර ආරණ්‍යයට යනවා. එනවා. ඒ කාලෙ එතැනට යන්න එන්න මාර්ග පහසුකම්වත් තිබුණෙ නැහැ. නා ගස් පිරුණු අක්කර 35ක මහා කැලයක් ඇතුළු ඉතා වටිනා ගහකොළ, ඒ වාගෙම සතා සිවුපාවුන් සිටි මේ සුන්දර පුණ්‍ය භූමිය සමහරු නීති විරෝධී මත්වතුර පෙරීම වැනි කටයුතුවලටත් යොදාගෙන තිබුණා. දැඩි පරිසර විනාශයක් වන විනාශයක් වෙමින් තිබුණා. මේවාට එරෙහිව ගම් ප්‍රදේශයේ යහපත් තරුණ පිරිස එක්ක එකතු වෙලා අපි පරිසර සංවිධානයක් පිහිටුවාගෙන මේ තත්ත්වයෙන් මේ සුන්දර පුණ්‍යභූමිය විනාශ කිරීම වළකාලන්නට කටයුතු කළා. මේ කටයුතු අපි කළේ අතිපූජනීය නා උයනේ අරියධම්ම අපේ ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ අවවාද අනුශාසනා ලබමින්.

අපේ ලොකු විශ්වාසයක් තිබුණා මේ පුණ්‍ය භූමිය රැකගෙන වැඩි දියුණු කරන්න නම් අපේ පූජනීය ස්වාමීන් වහන්සේ නා උයනට වැඩම කරවිය යුතු බවට. ඒ අනුව අපි අපේ ස්වාමීන් වහන්සේට ආරාධනය කරලා නා උයනට වැඩම කරවා ගත්තා.

උන්වහන්සේගේ මඟපෙන්වීම අවවාද, අනුශාසනා වාගෙම අප්‍රතිහත ධෛර්යය, වීර්යය තුළින් තමයි නා උයන ආරණ්‍ය සේනාසනය දෙස් විදෙස් සැදැහැවතුන්ගේ ගෞරවයට පාත්‍ර වූ මහා පින්බිමක් බවට පත්වන්නේ.

පළමුවෙන් ස්වාමීන් වහන්සේලා දහනමයි වැඩම කළේ. පසුව ටිකෙන් - ටික දියුණු වුණා. හැබැයි කිසිදාක ආරණ්‍යගත භික්ෂු ප්‍රතිපත්තිවලට පටහැනි වන ආකාරයට එම සංවර්ධනය ඉටු කරන්න උන්වහන්සේ කටයුතු කටයුතු කළේ නැහැ.

ඒ විදියට කටයුතු නොකරන්න මේ අපූරු පාරිසරික සම්පත රටට අහිමි වෙන්න ඉඩ තිබුණා. අදටත් ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවට අයත් ආරණ්‍ය සේනාසනවල පවතින ආරණ්‍ය භික්ෂු ප්‍රතිපත්ති නා උයනේ වාගෙම රට පුරාම තියෙන අනෙකුත් ආරණ්‍ය සේනාසනවල පවතින්නේ අපේ මාහිමිපාණන් වහන්සේ ඇතුළු උදාර සංඝපීතෘෘන් වහන්සේලා විසින් ඉටුකරන ලද උතුම් ශාසනික මෙහෙවර නිසා"
එම මෙහෙවරෙහි ඵලය අදටත් නා උයන ආරණ්‍ය සේනාසන පුණ්‍ය භූමියේදී අපට අත්විඳිය හැකිය.

පිණ්ඩපාතය සඳහා වැඩම කරවන අවස්ථාවන්හිදී හැර අන් කිසිදු මොහොතක තැන - තැන වැඩ සිටින ස්වාමීන් වහන්සේලා එම භූමිය තුළ දක්නට නැත. එදා නා උයනේ අරියධම්ම අපේ පූජනීය මා හිමිපාණන් වහන්සේ අනුගමනය කළ දෛනික දින චරියාව කිසිදු අඩුවකින් තොරව අදටත් ක්‍රියාත්මක වේ. ගසකින් කොළයක් බිමට පතිත වන ශබ්දයද ඇසෙන තරමට පරිසරය අතිශයින් නිශ්ශබ්දය. දානය සඳහා පිණ්ඩපාතයේ වැඩම කරන ස්වාමීන් වහන්සේලා තමන් වහන්සේලාගේ පාත්‍රවලට බෙදාගත් දානයද රැගෙන ආපසු තම කුටිවලට වැඩම කරවන ශාන්ත, සුන්දර දසුන සිත් සමාධියට පත්කරවයි.

දෛනිකව දානමය කටයුතු සඳහා දායක දායිකාවන් දෙතුන් සියයක් බස් රථ පුරවාගෙන පැමිණියද ස්වයං විනයකට හුරුපුරුදු වූ එම පින්වත් පිරිස් ස්ථානයේ ගෞරවයට හානිකර අයුරින් හැසිරෙනු කිසිදා දැකගත නොහැකිය. ශබ්ද නඟා කතාබහ කිරීමෙන් පවා වැළකී ධර්මය කෙරේම පමණක් සිත යොමු කරගෙන කටයුතු කරන එම දායක පින්වතුන් පින්වතියන් එම කාලය ගත කරන්නේ අතිශයින් විනීතව විනයගරුකව සහ ධර්මානුකූලවය.
ආරණ්‍ය සේනාසන බිමේ ඇති ධර්ම ශාලාවේ පිවිසුම් ‍ෙදාරටුවට යාබදව ආසනයක වැඩ සිටින අතිපූජනීය නා උයනේ අරියධම්ම අපේ මාහිමිපාණන් වහන්සේගේ පිළිරුවකි.
වරක් දෙවරක් නොව කිහිපවරක් එම පිළිරුව දෙස බැලුවද ඒ ධර්ම ශාලාවේ ශාන්ත ඉරියව්වෙන් වැඩ සිටින ජීවමාන අපේ මාහිමිපාණන් වහන්සේම යැයි සිතෙන තරමට එම පිළිරුව සජීවීව නිර්මාණය වී ඇත.

මේ පිළිරුව වෙතට වැඩම කර ඒ දෙස මොහොතක් බලා සිට බුදුගුණ සිහිකරන ආරණ්‍යයේ වැඩවසන ස්වාමීන් වහන්සේලාද එහි පැමිණෙන සැදැහැබර පින්වතුන්ද අප මාහිමිපාණන් වහන්සේ ජීවමානවම වැඩ සිටින බව සලකා උන්වහන්සේගේ අපරිමිත ගුණයට නමස්කාර කරමින් ධර්භය මෙනෙහි කරති. උන්වහන්සේට මතු බුදු බව ලැබේවා! යි ප්‍රාර්ථනය කරති. මේ මහා අසිරිය දකින්නට, සැබෑ බුදු දහමේ හරය පිළිබඳ දකින්නට ධර්මය දැක බුදුන් දකින්නට මේ පින්බිමට යන සැමට අවස්ථාව සැලසේ.

සටහන - සුනිල් පොරමඬල

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon