කතරගම දේවාලයත් සමඟ බැඳුණු අතීතයෙන් එන අප්‍රකට කතා

  👤  3896 readers have read this article !
2018-09-02

පසුගිය ඇසළ පොහොයත් සමඟම කතරගම 2018 ඇසළ මහා මංගල්‍යය නිමාවට පත්වුණා. එහි විශේෂතම කාරණාව වන්නේ කතරගම ඇසළ මහා පෙරහර.එය කතරගම මහා දේවාලය මුල්කොටගෙන පැවත එන්නක්. දුටුගැමුණු රජුගෙන් ආරම්භ වූවා යැයි සැලකෙන මේ මහා පෙරහර සම්බන්ධයෙන් ජනප්‍රවාදයේ පැවත එන විශ්වාසයන් රාශියකි.

දුටුගැමුණු රජතුමන් රජ වීමට පෙර එයාගේ මලණුවන් සමඟ යුද වදින්නට වුණා. මේ සඳහා මේ අය තෝරාගෙන තිබුණේ කතරගමට නුදුරින් පිහිටි බුත්තල යුදගනාව. ඇත්තටම කඩොල් ඇතා දුටුගැමුණු රජතුමාගේ නෙවෙයි. කඩොල් ඇතා සද්ධාතිස්සගෙ. නමුත් දුටුගැමුණු රජතුමන් ඔහු සමඟ යුද්ධ කිරීමට යුදඟනාවට පැමිණියේ අශ්ව වෙලඹක් පිටින්. මේ අශ්ව වෙලඹ කඩොල් ඇතාගේ පිටට උඩින් පන්නා ශිල්ප පෙන්නලා තියෙනවා.

එහෙම කඩොල් ඇතාගේ පිටට උඩින් අශ්ව වෙලඹ යද්දී දුටුගැමුණුට තිබුණා සද්ධාතිස්සට කඩු පහරක් එල්ල කරන්න. නමුත් එහෙම කළේ නැහැ. හැබැයි කණ්ඩුල ඇතාට මේ ගැන ලැජ්ජා හිතුණා. අශ්වයෙක් ඇත් රාජයකුගේ පිට උඩින් පැනපු එක ගැන. ඒ නිසාම කණ්ඩුල සද්ධාතිස්සව ඇතාගේ පිටින් බිමට දාලා දුටුගැමුණු ළඟට ගොස් වැඳ නමස්කාර කරලා තියෙනවා. මේ සිදුවීම දැකපු සියලුම යුද සෙබළුන් ජය ඝෝෂා නංවලා දුටුගැමුණු කුමරුට ජය පතලා තියෙනවා. දුටුගැමුණු කුමරු රජ වුණා කියලා කියන්නෙත් එදා.

දුටුගැමුණු රජතුමා රුවන්වැලි සෑය හදද්දී අසනීප වෙලා මියයන තෙක්ම කඩොල් ඇතා එතුමා සමඟ තමයි හිටියේ. නමුත් රජතුමා මියගිය දුකට කඩොල් ඇතත් අසනීප වුණා. ඊට පස්සේ රෝගාතුර වූ ඇතා කතරගමට ඇවිත් තියෙනවා. ඇවිත් බුත්තල ගෝනගංආර මායිමේ තියෙන දියකිරිත්ත නම් ස්ථානයේ දිය නාලා තියෙනවා. දිය නාලා කතරගමට එන්න තමයි ඉඳලා තියෙන්නේ. නමුත් කණ්ඩුල ඇත් රාජයා එතැනදී ජීවිතයෙන් සමුගන්නවා. එවකට කතරගම හිටපු නිලමේවරු ගිහින් තමයි ඇතාගේ දළ යුගල දේවාලයට ගේන්නේ. ඉතින් මේ වටිනා ඇත් යුගල තවමත් කතරගම දේවාලයේ පූජනීය වස්තුවක් විදියට තැම්පත් කරලා තියෙනවා. හැම අවුරුද්දකම ඇසළ පෙරහරේ හයවැනි දවසට දේවාල මාලිගාවෙන් පිටත මණ්ඩපයට ගෙනැල්ලා ප්‍රදර්ශනය කරනවා.

1602 ඕලන්දකාරයන් උෟව වෙල්ලස්ස අල්ල ගත්තයින් පස්සේ ඔවුන් මුළු වෙල්ලස්සම විනාශ කරනවා. හිටපු කපු මහත්තයෙක් සුද්දන්ගෙන් මේ දළ දෙක බේරගන්න වනාන්තරයේ හංගනවා. හැංගුවායින් පස්සේ ඒ කපු මහත්තයා මියැදෙනවා. කාටවත් මේ දළ දෙක හොයාගන්න බැරි වෙනවා. ඊට පස්සේ 1890 විතර කතරගම දේවාලයේ පාරම්පරික කපු මහතකුට කතරගම දෙවියන් හීනෙන් ඇවිත් දළ දෙක තියෙන තැන කියනවා. ඊට පස්සේ ඒ සිහිනෙන් කියූ මඟ ඔස්සේ ගිහින් කතරගම දේවාලයට නැඟෙනහිර දිශාවට වන්නට තියෙන යාල අංක 2 කලාපයේ ගල් පර්වතයක් හාරලා තමයි මේ දළ දෙක ආයෙමත් හොයාගත්තේ. තවමත් යාල අභය භූමියේ අංක 2 කලාපයේ ඒ ගල් පර්වතය තියෙනවා. දුටුගැමුණු රජතුමන් විසින් පනවපු සම්ප්‍රදායන් තවමත් ඒ විදියටම ක්‍රියාත්මක කරනවා.

දිල්රුවන් රාජපක්ෂ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon