කිර්ගීස් තණ බිම් ඔස්සේ සැබෑම ආර්ය ලේ සොයාගිය ඓතිහාසික ගමන

  👤  3758 readers have read this article !
2018-09-02

'ආර්ය' වර්ගයට අයත් මිනිසුන් ගැන සොයා බැලීම් තවමත් සිදුවෙමින් පවතී. පර්යේෂණාත්මක තොරතුරුවලට අනුව ආර්යයන් කවුදැයි අර්ථ නිරූපණයන් කිහිපයක්ම ඇත. එබැවින් ආර්යයන් සෙවීමේ කතාව ඉන්දියාවෙන් ඔබ්බට ගිහින් විවිධ පැතිකඩ ඔස්සේ කරුණු මතු කරයි.

'ආර්ය'යන් පූර්ව ඓතිහාසික ජනකොට්ඨාසයකි. ඔවුන්ගේ බස් වහරද ආර්ය වෙයි. එය සැබැවින්ම ඉන්දු - යුරෝපීය භාෂා පවුලේ වඳ වී ගිය විශේෂයක් කීවොත් නිවැරැදිය. ආර්යයන්ගේ ඉන්දියානු උප අර්ධද්වීපයේ ඉන්දු - ආර්ය භාෂාවන් ආවේ මේ කියන ආර්ය භාෂාවෙන් බව කියැවේ. ඉතිහාස ගවේෂණයේදී මානව වර්ගයාගේ විකාශනය ගැන හැදෑරූ විද්වතුන්ගේ උපකල්පනයට අනුව ඉන්දු - යුරෝපීය, ඉන්දු - ඉරානීය, හෝ ඉන්දු - ආර්ය භාෂා කතාකරන අය මෙම ජන වර්ගයට අයත් වූවෝ වෙති.

බොහෝ දෙනාගේ මතය වන්නේ ඉන්දියාවෙන් යුරෝපය දෙසට සංක්‍රමණය වූවන් ආර්යයන් හැටියටය. එසේ නම් ඉන්දියානු ප්‍රදේශයේ සිටි අය මුල් ආර්යයන් විය යුතුය. මධ්‍යම ආසියාවේ සිටි මුල් පදිංචිකාරයන් ඒ අනුව ආර්යයන් ලෙස පිළිගැනෙයි. නමුත් මේ තර්ක විතර්ක, මතවාදයනට අනුව දැනට පිළිගත හැකි යැයි කියැවෙන මතය නම්... අසියානු කලාපයේ කිසියම් ස්ථානයක කේන්ද්‍රගතව විකාශනය වී සිටි මනුෂ්‍ය වර්ගයක් යුරෝපයටත්, උතුරු ඉන්දියාවටත් සංක්‍රමණය වූ බවය.

ඒ අනුව දැන් තදින් පිළිගන්නා මතය වී ඇත්තේ ක්‍රි.පූ. දෙවැනි ශතවර්ෂයේදී ඉන්දු වැනි - ආර්ය ජනයා උතුරු ඉන්දියාවේ පදිංචි වූ බවය. ඔවුහු මුලදී ගෝත්‍ර වශයෙන් එක්ව ගෝත්‍රික ගොපලු දිවියක් ගතකර පසුව ඒ ඒ ප්‍රදේශයනට අනුව හැඩගැසී ගොවිතැනට හුරු වූ අය වෙති. ඔවුන්ගේ මුල් බිම කොතැනද යන්න ගැනද ගැඹුරු විමර්ශන සිදු කෙරිණි. එහිදී හඳුනාගත් දෙයක් නම් කිර්ගීස් තණ බිම් ප්‍රදේශයේ මුලින්ම ජනාවාස වී තිබෙන්නේ ක්‍රි.පූ. 3500දී පමණ බවය.

ආර්යයන් පිළිබඳව ඉන්දියාවේ පැරැණි වේද ග්‍රන්ථවල ඔවුන්ගේ දේව, ස්තෝත්‍ර ආදියෙන් ආර්ය වත්පිළිවෙත් පිළිබඳ කිසියම් අවබෝධයක් ලබා ගැනීමට හැකිය. ආර්යයන් කිර්ගීිස් තණ භූමියෙන් ක්‍රම ක්‍රමයෙන් වරින්වර විහිදී විසිරී දස අතට යන්නට වීම නිසා මුල් ආර්ය ගෝත්‍රවල විවිධ විකාශනයන් හා පරිසරයන්ට අනුව වෙනස්කම් සහිතව වර්ධනය වී තිබෙන බව පෙනෙයි.

තණ භූමියෙන් එසේ පිටතට පියමං කරන්නට හේතුවන්නට ඇතැයි සිතිය හැක්කේ එකම තැන සිටිද්දී ආහාර හිඟවීම නිසා, ආහාර ඇති වෙනත් ස්ථාන කරා යන්නට සිදුවීම නිසාය. නියඟයත් ගොවිතැනත් පාළුවට යෑමත් මීට තවත් හේතු වන්නට පුළුවන. ඇතැම් විද්වතුන්ගේ මතයට අනුව විවිධ ගෝත්‍ර අතර ගැටුම් හේතුවෙන් යුදමය වශයෙන් පරාජයට පත්වීමත් එක් හේතුවක් වූ බවය. ඊට හේතුවක් දක්වන කඩඉම් වර්ෂයක් විද්වතුන්ගේ සැලකිල්ලට ලක්ව ඇත. එනම් ආර්යයෝ ක්‍රි.පූ. 2200දී පමණ ඉරානය හා ඉන්දියාව දෙසට සංක්‍රමණය වී එම ප්‍රදේශවල ලැගුම් ගත් බවය.

ඔබ අප අද හොඳින් හඳුනාගන්නා ගී්‍රකයෝ බිහිව ඇත්තේ මුල්ම ආර්ය සංක්‍රමණිකයන්ගේ ජනපද හරහාය. ඒ ක්‍රි.පූ. 2200දී පමණ සිටය. ගී්‍රක පමණක් නොව රෝම ජනතාවද ගොඩනැඟුණේ එලෙසය.

ආදි ආර්යයන් අඩක් එ‍ෙ¾ඩ්ර ජීවිත ගත කළ අතර තවත් කොටසක් ඔවුන්ගේ ජීවිතය ගොවිතැනට යොමු විය. කලින් කල තැනින් තැන ගොස් ලැගුම් ගත් ඔවුන් පසුව ස්ථිර තැනක ජීවත්වීමට පුරුදු වී ඇත. එම ආර්ය ජන සමාජයේ අධිපතිවාදී සමාජ පන්තියක්, පොදු ජනයා සහ වහලුන් වශයෙන් සමාජ ස්තර තුනක් ක්‍රියාත්මකව ඇත. ඔවුනට රජකු නොසිටියත් ගෝත්‍රික නායකයකු සිටියේය.

එම සමාජය පියා මුල් කරගත් පීතෘ මූලික සමාජයක් විය. පීතෘ මූලික පරම්පරා ක්‍රමය විකාශනය වී ගොස් පවුල් කිහිපයක් එක් වීමෙන් ආර්ය ගෝත්‍රයක් සෑදුණේය. ගෘහණිය, බිරිය, දරුවෝ වශයෙන් සිටියහ. ගෘහයේ නායකයාගේ සොයුරු සොයුරියෝද මේ ගණයට එක්වී සිටියහ.

ආර්යයන්ගේ ගෙවල් ඔවුන් ලැගුම්ගත් ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වූ බවක් පෙනෙයි. විශාල ශාලාවක් සහිත ප්‍රධාන ගොඩනැඟිල්ලක් විය. ඒ වටා ගෙවල් කිහිපයක් විය. ප්‍රධාන ශාලාවෙහි ගෝත්‍ර ප්‍රධානියා හා පවුලේ අය ජීවත් වූහ. කෑම් බීම්, ඉඳුම් හිටුම් හා නිදා ගැනීමත් කළේ මේ ප්‍රධාන ශාලාවේය. වහලුන් වූ සේවකයෝ යාබද කුඩා කාමරවල විසූහ. අවට පිහිටි කුඩා ගෙවල්, යවගාල්, කම්හල්, ගබඩා ආදියෙන් නිර්මාණය වී තිබිණි.

මෙම ගොඩනැඟිලි සාදා තිබුණේ දැවයෙනි. ලොම්වලින් සකසාගත් ඇඳුම් භාවිත කළහ. වේද ග්‍රන්ථවල එන විස්තරවලට අනුව ඔවුන් ඒවා ඉතා හොඳින් සකසාගෙන ඇඳ ගත් අතර රනින් කළ පලඳනාද ඊට එක්කර ගෙන තිබිණි.

ආර්යයන් කර්මාන්ත කිහිපයක් දැනසිටි බව දැක්වෙන තොරතුරු වේද ග්‍රන්ථවල සඳහන් වේ. ලෝහ කර්මාන්තය ඉන් ප්‍රධානය. කෙසේ වෙතත් කර්මාන්තකරුවාට සමාජයේ ඉහළ තැනක් හිමිවී තිබිණි.

ඔවුන් යකඩ පිළිබඳව දැනගත්තේ වුවද එය භාවිතයට ගත්තේ ක්‍රි.පූ. 1500 දී පමණය. ආයුධ හා මෙවලම් තැනීමටත් සකපෝරුවෙන් මැටි බඳුන් තැනීමටත් කටයුතු කළහ.

ස්වභාවධර්මයා හා සමීප බැඳීමක් ඇති ජීවිතයක් තිබුණු නිසා වැස්ස, අව්ව, ඉර, හඳ, ගහ, කොළ දේවත්වයෙන් සලකන තැනට ඔවුහු ඊට ගරු සත්කාර කරන්නට වූහ. අදහන්නට පෙලඹුණහ. හිරු දෙවියන් යැයි සිතුයේත් ගින්න ගිනි දෙවියන් වූයේත් එලෙසය. කෙසේ වෙතත් කිර්ගීස් තණ බිම් ඔස්සේ මේ සා විශාල මානව විද්‍යාත්මක පරිවර්තනයක් සිදු වීමත් බරපතළ ඓතිහාසික පරිවර්තනයකි. එය ආර්ය වර්ගය මෙන්ම ආර්ය ගෝත්‍රික ලේ සොයාගෙන පර්යේෂණයේ යෙදෙන්නවුනට තවමත් අලුත් මාතෘකා සපයා දෙන්නක් වීමද සුවිශේෂය.

සුලක්ෂණ ජයවර්ධන

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon