මම කවුද කියලා තෝරා ගත්තේ මේ පොත කියවලා - මහාචාර්ය කුලතිලක කුමාරසිංහ

  👤  3801 readers have read this article !
2018-09-02

සංලාපය - දිලංකා පුබුදු

කෙටිකතා නිර්මාණ සාහිත්‍යයට සමගාමීව විචාර සාහිත්‍යයක් මෙරට පෝෂණය කිරීමෙහිලා පුරෝගාමී මෙහෙවරක් ඉටුකළ විද්වතුන් අතර ප්‍රමුඛ පෙළේ විචාරකයකු වන මහාචාර්ය කුලතිලක කුමාරසිංහ මෙරට සාහිත්‍ය ක්‍ෂේත්‍රයේ විශ්වවිද්‍යාල මහාචාර්යවරයකු වශයෙන් විශාල මෙහෙවරක් විශ්වවිද්‍යාල ක්‍ෂේත්‍රයට මෙන්ම රටටත් ඉටුකළ විද්වතෙකි. පර්යේෂකයෙකි. භාෂා කිහිපයක විශාරදයෙකි.

සිංහල කෙටිකතාවේ ප්‍රභවය හා එහි හැඩතල පිළිබඳව පර්යේෂණවල නියැළුණු මහාචාර්ය කුලතිලක කුමාරසිංහ කෙටිකතා විචාර ග්‍රන්ථ රැසක කතුවරයෙකි. කැලණිය විශ්වවිද්‍යාලයේ අවුරුදු හතළිහක් සේවය කළ මහාචාර්ය කුලතිලක කුමාරසිංහ සාහිත්‍ය අනුමණ්ඩලයේ හිටපු සභාපතිවරයෙකි. මේ වන විට ඔහු විශ්වකෝෂයේ ප්‍රධාන කර්තෘ ලෙස සේවය කරයි. ලබන 7 වැනිදා ජන්ම දිනය සමරන මහාචාර්ය කුලතිලක කුමාරසිංහගේ නිර්මාණ ජීවිතය අලළා මහේෂ් ක්‍රිශාන්ත ලියූ 'අමරණීය ගුරුවරයා' කෘතිය නිකුත් වීම නිමිති කරගෙන මහාචාර්යවරයා සමඟ කළ සංලාපයකි මේ.

'අමරණීය ගුරුවරයා' වර්තමාන ගුරු සිසු දෙපිරිසට වැදගත් කෘතියක් යැයි ඔබ සිතනවාද?
මහේෂ් ක්‍රිශාන්ත කියන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේදී මට හමු වූ ඉතාම දක්ෂ ශිෂ්‍යයෙක්. ඔහු ගුරුවරුන්ට ඉමහත් ගෞරවයක්, සෙනෙහසක් දක්වන කෙනෙක්. ඔහු ගුරුවරුන් වෙනුවෙන් ප්‍රකට කරන ගෞරවය මට පමණක් සීමා වූවක් නොවේ. මම මගේ දක්ෂ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඔවුන් පසුපස හඹා යමින් උදවු කරනවා. විශේෂයෙන් ඔවුන්ගේ අධ්‍යාපන ජීවිතය පෝෂණය කිරීමට මට කළ හැකි හැම දෙයක්ම මම කරනවා. ඇතැම් විට ප්‍රථම උපාධියෙන් පසු පශ්චාත් උපාධි ලබා ගැනීමට මා ඔවුන්ට මඟ පෙන්වනවා. මට ගුරු භූමිකාව පිළිබඳ යථා අවබෝධයක් තිබෙනවා. මම මගේ කිසිම ශිෂ්‍යයකුගෙන් ඔවුන්ගේ ඇතැම් අකටයුතුකම් නිසා හෝ අකෘතඥතා නිසා පළිගැනීමට පෙලඹෙන්නේ නෑ. කෝප වෙන්නෙත් නෑ. මම උගන්වපු ගොඩක් ශිෂ්‍යයෝ ර්ථීඩ.ච්. කරලා මහාචාර්වයරුන් වෙලා ඉන්නවා.

ඇතැම් පශ්චාත් උපාධි ශිෂ්‍යයන් පර්යේෂණාත්මක නිබන්ධන ලිවීමේදී මගෙන් තදින්ම බැනුම් අහනවා. අද බොහෝ උපාධිධාරීන්ට සිංහල හරිහැටි ලියන්න බෑ. අක්ෂර වින්‍යාස වැරැදි බහුලයි. උක්තාඛ්‍යාත පද සම්බන්ධය වරද්දනවා. ඉතාම නිවැරැදි හා පැහැදිලි අදහසක් ප්‍රකාශ වන පරිදි ලියන්න හැකියාවක් නෑ. මා ඔවුන්ගේ වැරැදි පෙන්වා දෙමින් ඒවා නිවැරැදි කරනවා. හැබැයි ඒ වැරැද්ද නැවත ඔවුන් විසින් සිදු කරනු ලැබුවහොත් මගෙන් ඔවුන්ට කිසිම සමාවක් නෑ. මං බොහොම කාරුණික කෙනෙක්. එහෙත් පශ්චාත් උපාධි නිබන්ධන පරීක්ෂා කිරීමේදී මා දැඩිව ක්‍රියා කරනවා. මහේෂ් ක්‍රිශාන්ත පවා උපාධි නිබන්ධන ලියාගෙන ආවාම මගෙන් ගොඩක් බැනුම් අහලා තියෙනවා. එහෙත් ඔහු කවදාවත් එකම වරද දෙපාරක් කරලා නෑ.

මේ කෘතිය ඔබගේ ප්‍රතිරූපය
නැංවීමට ලියූවක්ද?

'අමරණීය ගුරුවරයා' කෘතිය මා පිළිබඳ ලියූ ප්‍රශස්තියක් නෙවේ. ඔහු මගේ සාහිත්‍ය කලා පොතපත හා ලිපි ලේඛන ගැඹුරින් හදාරා එකී සාහිත්‍ය හා ශාස්ත්‍රීය කටයුතු ඇසුරින් මා පිළිබඳ විශ්ලේෂණයක යෙදී තියෙනවා. එලෙස නිරීක්ෂණයෙන් උකහාගත් අවබෝධය මත පිහිටා මේ පොත ලියා තිබෙනවා. මෙකල ශිෂ්‍යයන් පොදුවේ ආත්මාර්ථකාමීයි. තමන්ගේ වැඩේ කරගන්නකම් ඔවුන් අපේ පසුපස එනවා. වැඩේ කෙරුණට පසු පිටුපානවා. මහේෂ් ක්‍රිශාන්ත එහෙම කෙනෙක් නෙවේ. ඔහු දුකේදී සැපේදී ගුරුවරුන් ළඟ ඉන්නවා. ගුරුවරුන්ට ඔහු ගෞරව කරනවා. ආදරය කරනවා. පිහිට වෙනවා. ඒ වගේ ශිෂ්‍යයෝ අද හුඟක් විරලයි. මහේෂ් ක්‍රිශාන්ත වගේ හොඳ ශිෂ්‍යයෝ මට ගොඩක් හමුවෙලා තියෙනවා. ඉමේෂා සපුතන්ත්‍රි, එරංග කෞශල්‍ය ගොඩකන්ද ආරච්චි, සුභාෂිණී වේරගොඩ, ආදී හොඳ ශිෂ්‍ය පිරිසක් අදත් මට ඉන්නවා.

මම මගේ ගුරුවරුන්ට ගෞරව කරනවා. සෙනෙහස දක්වනවා. ඔවුන්ට කෘතගුණ පූර්වකව මගෙන් ඉටුවිය යුතු යුතුකම් ඉටු කරනවා. ඒ නිසා මගේ ශිෂ්‍යයනුත් මට එහෙම සලකනවා වෙන්නත් පුළුවන්. ගුරුවරුන් කරන හොඳ නරක දේවල් ශිෂ්‍යයන් අනුකරණය කරනවා. මහේෂ් ක්‍රිශාන්තගේ 'අමරණීය ගුරුවරයා' කෘතිය ඉතාම හරබර ප්‍රියමනාප නිවැරැදි බස්වහරකින් ලියා තිබෙනවා. පොත කියවන රසිකයන්ට අත් නොහැර එක දිගට කියවාගෙන යා හැකියි. ඇත්තටම මේ කෘතිය ගුරු සිසු දෙපිරිසටම ඉතාම වැදගත් හරවත් දැනුමෙන් සන්නද්ධ විය හැකි නිර්මාණයක් යැයි මට හිතෙනවා.

ගුරු- ගෝල සම්බන්ධතාව ගැන ලියැවුණු 'අමරණීය ගුරුවරුයා' ශෛලියේ අලුත් බවක් තිබෙනවා.

ඔව්. මෙය නව ආරකින් ලියන ලද ග්‍රන්ථයක්. මෙය චරිතාපදානයක් නෙවෙයි. චරිතාලේඛනයක්ද නෙවෙයි. මේක මා පිළිබඳ ලියපු ගුරු ගුණ ස්මරණය කරමින්, ගුරුවරයාගේ සාහිත්‍ය පොත්පත් ලිපි ලේඛන ආශ්‍රයෙන් කරන ලද හරිම අපූරු පොතක්. ගුරු - ගෝල සම්බන්ධතාව අවලෝකනය කරමින් ලියන ලද මෙවැනි පොතක් ලංකාවේ වගේම ජගත් සාහිත්‍ය තුළ වුණත් විරලයි. මා පවා මම කෙබඳු පුද්ගලයෙක් දැයි තේරුම් ගත්තේ මේ හරිම අපූරු කෘතිය කියැවීමෙන් පසුවයි. මෙය විවිධ සන්දර්භ රටා ඔස්සේ ලියන ලද ග්‍රන්ථයක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන්.

කර්තෘ පුන පුනා සඳහන් කරනවා ගුරුවරුන්ට සලකන හැටි ඔබෙන් ඉගෙන ගත්තා කියලා. ඒ ගැන කතා කළොත්?

ඔව් මම දැක්කා මහේෂ් ක්‍රිශාන්ත එහෙම ලියලා තියෙනවා. මම මගේ සැබෑ ගුරුවරුන්ගේ දුකේදීත්, සැපේදීත් ඔවුන් සමඟ තවමත් එකට ඉන්නවා. ඔවුන් සමරමින් උපහාර කලාප පවා සංස්කරණය කරලා තියෙනවා. 1998දී මහාචර්ය මිණිවන්් පී. තිලකරත්න හා සාහිත්‍ය ලෝකයත්, 2009දී මහාචාර්ය විමල් දිසානායක හා සන්නිවේදන ලෝකයත්, 2011දී මහාචාර්ය ආනන්ද අබේසිරිවර්ධන උපහාර කලාපය (ආනන්දාභිනන්දන) මහාචාර්ය එම්.එම්.ජේ. මාරසිංහ වෙනුවෙන් 'නීරක්ෂණ' උපහාර කලාපත් කළා.

මෙරට තවමත් ජීවත් වන ප්‍රකට සාහිත්‍යධරයකු වන ටෙනිසන් පෙරේරා වෙනුවෙන් 'පරිකල්පන' උපහාර කලාපයත්, මහාචාර්ය ආනන්ද විජේරත්න වෙනුවෙන් 'ප්‍රතිභා' උපහාර කලාපයත්, එසේම වසර දෙකකට පෙර පිළිකා රෝගයකින් අකාලයේ මියගිය මගේ ශිෂ්‍යයකු වූ මහාචාර්ය සුසන්ත මහඋල්පත මහතාට ගෞරව දැක්වීම සඳහා 'සංකල්පනා' ආදී වශයෙන් උපහාර කලාප විශාල සංඛ්‍යාවක්ම සංස්කරණය කරලා තියෙනවා. එසේම මගේ පොත්වල මට ඉගැන්වූ සෑම ගුරුවරයකුටම කෘතගුණ දැක්වීම සඳහා පොත් පිළිගන්වා තිබෙනවා. ඇතැම් විට මට වඩාත් ළෙන්ගතු වූ ආචාර්යවරුන්ට පොත් දෙක තුනම පිළිගන්වා තියෙනවා. ඇතැම් විට සමහර සරසවි ආචාර්යවරුන්ට සාහිත්‍ය චක්‍රවර්ති උපාධි ලබාදීමට අවශ්‍ය කටයුතු කර තිබෙනවා.

'අමරණීය ගුරුවරයා' පොත චරිතාලේඛනයක් නොව, සාහිත්‍ය ලෝකයකැයි මත පළවෙනවා

ඔව්. ඔහු මා ඇසුරින් ගොඩනඟා ගත් සාහිත්‍ය ලෝකය තමයි ඒ පොත මඟින් හෙළි කරන්නේ. ලංකාවේ විතරක් නෙවෙයි, මුළු ලෝකෙම විශිෂ්ට සාහිත්‍ය නිර්මාණ පිළිබඳ ඔහු කතා කරනවා. මා ඒ පොතේ එක් චරිතයක් විතරයි. කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ ඔහුට ඉගැන්වූ හැම ගුරුවරයකුගේම සාහිත්‍ය කලා ජීවිතය දෙස ඔහු හෙළන දෘෂ්ටිය ඉතා ගැඹුරුයි. මහාචාර්ය සුසන්ත මහඋල්පතගේ, මහාචාර්ය දර්ශන රත්නායකගේ ආදී වශයෙන් බොහෝ ගුරුවරුන්ගේ විශිෂ්ට සාහිත්‍ය කලා නිර්මාණ පිළිබඳ ඔහු අරුමැසි සිතුවිලි පිට කරලා තියෙනවා. කැලණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාසය, වර්තමානය ගැඹුරින් කතා කරනවා. ඔහුගේ විශ්වවිද්‍යාල ජීවිත අත්දැකීම් හරිම අපූරුවට පෙළගස්වා තියෙනවා.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon