මට අවශ්‍ය වුණේ අපි ගැන ලියන්නයි - කුසුම් අරන්දර

  👤  3710 readers have read this article !
2018-09-02

 

කුසුම් අරන්දර ඇඟලුම් ක්‍ෂේත්‍රයේ රැකියාවක නිරතවන්නියකි. එහෙත් ඕ සාහිත්‍ය කලාවට ප්‍රියය. කවිය, ගීතයට ඇය වැඩි ඇල්මක් දක්වයි. කුසුම්ගේ පදමාලාවක් ප්‍රථම වරට ගීතයක් බවට පත්වී ඇත. විශේෂත්වය වන්නේ එය ඇඟලුම් කර්මාන්තයේ නියැළෙන්නියන් ගැන ලියවුණු ගීතයක් වීමය. මේ කුසුම් අරන්දර සමඟ කළ කෙටි සංලාපයකි.

පාසල් කාලයේ ඉඳලම
කවි සින්දුවලට ප්‍රිය කළාද?

අවිස්සාවේල්ල, මානියම්ගම කනිටු විදුහලේ තමයි මම මුලින්ම ඉගෙන ගත්තේ. ඇහැලියගොඩ මධ්‍ය මහා විද්‍යාලයේදී උසස් පෙළට කළේ කලා විෂයන්. ඒ නිසා කලාවට, සාහිත්‍යයට පුංචි කාලේ ඉඳලම තිබුණු ඇල්ම වැඩිවුණා. මොනව කළත් දිගටම පොත්පත් කියෙව්වා. ගුවන් විදුලියේ සින්දු ඇහැව්වා. වැඩසටහන්වලට සවන් දුන්නා. රූපවාහිනියේ සංගීත වැඩසටහන් නිසා තමයි ගීතයට හිත ගියේ.

කලාවට ඇලුම් කළ ඔබ තෝරාගත්ත රැකියාව ගැන තෘප්තිමත්ද?

විවාහයෙන් පසුව කාලයක් ගෘහණියක ලෙස ජීවිත ගෙවිල ගියා. එහෙත් විනෝදාංශ අතහැරියේ නෑ. මගේ පුතා අකිල සිතාර ටිකක් ලොකු නිසා රැකියාවකට යන්න සිතුවා. මේ රැකියාවේ ගෙවිල ගිය අවුරුදු 13 කාලය තුළදී තමයි මගේ කලාවට ඇති ඇල්ම වැඩි වුණේ. මගේ හැකියාවට තැනක් ලැබුණේ.

ඒ කොහොමද?

මම වැඩකරන ඇඟලුම් කර්මාන්ත ශාලාවේ 'බ්බ්' කියලා රේඩියෝ එකක් පටන් ගත්තා. එතුළින් මගේ නිර්මාණවලට හොඳ ඉඩක් ලැබුණා.

අපේ ආයතනයේ පවත්වන සාහිත්‍ය තරගාවලියේදී වසර කිහිපයක්ම මගේ ගීත රචනාවලට මුල්තැන හිමිවුණා.

ඔබ පවසන ආකාරයට ඇඟලුම් කම්හල් කියන්නේ අද නිදහසේ වැඩ කළ හැකි තැනක්?

ඔව්. මම හිතන්නේ වහල් කඳවුරුවල වගේ සේවකයන්ගෙන් වැඩ ගත්ත කාලේ ඉවරයි. අද රටේ සෑම තැනකම පිහිටුවා ඇති ඇඟලුම් කම්හල්වල සේවකයන්ට හොඳින් සලකනවා. වෘත්තීය අයිතිවාසිකම් ලැබෙනවා. ඉස්සර නම් ඇඟලුම් ආයතනයක වැඩ කරනවා කිව්වාම කවුරුවත් ගණන් ගත්තේ නෑ. දැන් තත්ත්වය ඊට ගොඩක් වෙනස්. සාමාන්‍යයෙන් රජයේ සේවකයකුගේ වැටුපට සමාන වැටුපක් අපට ලැබෙනවා. අපේ ආයතනයේ නම් අපිට ප්‍රවාහන පහසුකම්, නොමිලේ උදෑසන ආහාරය, අඩු මුදලට දිවා ආහාරය, උදේ සවස තේ, වෛද්‍ය පහසුකම්, නවාතැන් පහසුකම්, සාහිත්‍ය තරග, විනෝද චාරිකා, සංගීත සන්දර්ශන වැනි පහසුකම් වරප්‍රසාද හා අවස්ථා ලබාදෙනවා.

ඇඟලුම් සේවිකාවන් ගැන ගීතයක් ලියන්න හිතුවේ ඔබත් එවැන්නියක් නිසාද?

ඇත්තටම ඔව්. මම හිතුවා ඒක මගේ යුතුකමක් කියලා. සාමාන්‍යයෙන් දුක්විඳින ඇඟලුම් සේවිකාවන් ගැන තමයි වැඩිපුර ගීත ලියවිලා තියෙන්නේ. මම ලිව්වේ ඇයගේ වටිනාකම ගැනයි. රටට ඔවුන්ගෙන් ලැබෙන දායකත්වය ගැන ලියන්නයි මට අවශ්‍ය වුණේ. මගේ ගීතය යූ ටියුබ් එකෙන් අහන්න පුළුවන්.

ඔබට කවුද අතහිත දුන්නේ?

මගේ පදමාලාව තෝරා ගෙන එය ගීතයක් බවට පත් කරන්න 'බ්බ්' රේඩියෝ ප්‍රධානි ලක්මාල් කස්තුරිරත්න තමයි මැදිහත් වුණේ. ඒ මහත්තයා 'හෙලෝ' නමින් වෙබ් රේඩියෝවක්ද පවත්වාගෙන යනවා.

ලක්මාල් මහත්තයා තමයි මේ ගීතයේ තනුව දැම්මෙත්. සංගීතය අධ්‍යක්‍ෂණය කළ දුෂාන් ජයතිලකටත් ගීතය ගායනා කළ ලහිරු ප්‍රභාන්ටත් මම ගොඩක් ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම මම සේවය කරන 'බ්බ්' මිල්ස් ලංකා පෞද්ගලික සමාගමේ සභාපතිතුමා ඇතුළු ඉහළ කළමනාකාරීත්වයට ස්තුතිය පළ කරනවා. මගේ නිර්මාණ අගය කරන සහෝදර සේවක සේවිකාවන් මේ වෙලාවේ මම ආදරයෙන් මතක් කරනවා. මගේ ආයතනය නොවන්න අද මගේ නිර්මාණවලට මෙවැනි ඉඩක් නොලැබෙන්න ඉඩ තිබුණා.

සංලාපය: කමල් බණ්ඩාර

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon