භාරත සිනමාවේ රුවැති සොඳුරු මාලා වෛජයන්ති මාලා

  👤  3403 readers have read this article !
2018-09-02

හින්දි සිනමාවේ කලක් 'ගිනිසිළුව' ලෙස නම් දැරූ වෛජයන්තිමාලා තරම් රූපශ්‍රී යෙන් අනූන නිළියක් සිටියාද යන්න විමසන තරමට ඇය එකල කතාබහට ලක්වූවාය. ඇය නිසාම චිත්‍රපට බලන්නට උන්මාදයෙන් ගලා ආ ප්‍රේක්‍ෂක ජන ගංගාව පිළිබඳ එකල සිනමා පුවත්පත්වල පිටු ගණන් රස කතාවන් පිරුණේය. ඇය රඟපෑවේ කුමන චිත්‍රපටයක් වුවද ඇයගේ අතිශය රූමත් බව නිසාම කලක් පෙම්වතාගේ චරිතය රඟපෑ ඕනෑම අයකුට වැඩි වටිනාකමක්, ජනාදරයක්ද එකතු විය. තවමත් ජීවතුන් අතර සිටින පැරැණි නිළියන්ගෙන් අතීතය පිළිබඳ රස තොරතුරු කිවහැකි මානසිකත්වයෙන් සිටින අය අතර වෛජයන්තිමාලා ප්‍රමුඛය.

1936 අගෝස්තු 13දා ඉන්දියාවේ මදුරාසියේ ටි්‍රප්‍රිලිකේන් හි උපත ලද ඇයට දැන් වයස අවුරුදු 82කි. තවමත් සිහියෙන් යුතුව එදා පෑ මඳහසින්ම, ප්‍රිය උපදවන ගෞරවනීය පිළිගැනීමෙන් යුතුව ඕ ඕනෑම ජනමාධ්‍යකට කිසිවෙක් නොදන්නා රස මතකයන් බෙදා දෙන්නීය. තමිල්නාඩුවේ චෙන්නායිහි නිරෝගී සුවයෙන් ගත කරන වෛජයන්තිමාලා යුගයක් මූර්තිමත් කළ වාසනාවන්ත නිළියකි. ඇය පිළිබඳව වරක් ජ්ඪතථ ජ්චපඥ සඟරාව සටහන් තැබූවක් මෙසේය.

ඇගේ ප්‍රතිභාව විවිධ ක්‍ෂේත්‍ර කරා විහිදුවා දැනෙන යමක් කරන්නට සමත් වූවා. රංගන ශිල්පිනියක්, සාම්ප්‍රදායික නර්තන ශිල්පිනියක්, කර්නාටක ගායිකාවක්, ගොල්ෆ් ක්‍රීඩාවට දක්‍ෂ තැනැත්තියක් මෙන්ම දේශපාලනයටද බට ඇයගේ ප්‍රතිභාව හින්දි සිනමා ඉතිහාසය ලියැවෙද්දීද නොමැකෙන සටහන් රැසකින් පුරවන්නට සමත් වීම වළක්වන්නට බැරිය. ඇය සක්‍රියව නිළියක ලෙස රංගන ප්‍රතිභාව විදහා පෑ යුගය 1948-1968 තෙක් වුවද තවමත් ඇය පිළිබඳ කතා වෙන්නේ, ඇගයෙන්නේ ඕ පළ කළ ප්‍රතිභාව නිසාමය. වෛජයන්තිමාලා කිසිදු දිනයෙක ලෝක සිනමාවේ වංශකතාව ලියද්දී එහි හින්දි සිනමා පරිච්ඡේදයේද නොමැකෙන සටහන් තබා හමාරය.

(ජ්ඪතථ ජ්චපඥ)
ඇයගේ ප්‍රථම රංගනය 1949 තිරගතවූ දමිළ චිත්‍රපටයකි. 'වාසිකායි' නම් වූ එහි ඇය නිරූපණය කළේ 'මෝහනා'ගේ චරිතයයි. එයම සිනමා කැමරාවට, සිනමා රූප කෝණයට, රචනයට ඉතාම සුදුසු, සිත්ගන්නා රූපශ්‍රී යක්, හැඩයක් ඇතැයි යන්න සිනමාවේදීන් තුළ බලාපොරොත්තු ඇති කළ නිර්මාණයක් විය. 'ජීවිතම්' නම් තෙළිඟු චිත්‍රපටයට 1950 පණ පොවන ඇය 1951දී 'බනාර්' නම් චිත්‍රපටයට තෝරා ගැනෙන්නේ 'ලතා'ගේ චරිතයටය. ලතාවක් මෙන් හින්දි සිනමාවේ එතෙන්නේ එතැන් පටන්ය.

1955දී 'නැගින්' චිත්‍රපටයේ 'මාලා'ගේ චරිතයට පණ පෙවීම උදෙසා ඇය පළමු වරට හින්දි සිනමා අඹරේ තාරකාවක් වන බවට අනාවැකි පළ කරමින් ෆිල්ම් ෆෙයාර් සම්මානය, හොඳම සහාය නිළියට හිමි සම්මානය දිනා ගත්තාය. 1956 'නිව්දිල්ලි'හි ජානකීට පණ පොවන ඇය එම වසරේම 'නයාදෝර්' හි 'රජිනි'ට ජීවය දුන්නාය. තතිප්‍රටි, ආශා යන චිත්‍රපටවල රඟපෑ ඇය පළමු වරට 1957දී සාධානා' චිත්‍රපටයේ 'චම්පාබායි' නම් චරිතය රඟපෑම වෙනුවෙන් හොඳම නිළියට හිමි ෆිල්ම් ෆෙයාර් සම්මානය දිනා ගත්තාය. එය ඉතා වේගයෙන් වුව හොඳ හැරවුමක් සහිතව ඇය හින්දි සිනමාව තුළ ස්ථාපිත වීමට මඟ සැලසුවේය.

ඇගේ රංගනයේ මතක සිටින තැනක් නම් 'මධුමතී' චිත්‍රපටයය. භාරත සිනමාවේ වඩාත් ආකර්ෂණීය චරිතයකට එසේ පණ පෙවීම නිසා යළිත් වරක් ඇය ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලකදී හොඳම නිළියට තෝරා ගැනෙන නාමාවලියේ සටහන් වන්නේය. 1961දී යළිත් 'ගංගා ජමුනා' හි 'දානු'ගේ චරිතයට පණ පෙවීම නිසා හොඳම නිළියට හිමි ෆිල්ම් ෆෙයාර් ඕජ්බ්ඒ සම්මානයෙන් පිදුම් ලැබුවාය. යළිත් 1968දී 'ශන්ගුර්' චිත්‍රපටයේ 'මුන්නි, ලයිලාර් අශ්මාන්' චරිත සඳහා හොඳම නිළියට හිමි ඕජ්බ්ඒ සම්මානය දිනා ගත්තාය. ඇය සිනමාවෙන් සමුගන්නට ඔන්න මෙන්න කියා තිබියදී එනම් 1968දී 'සාති' නම් අතිශය ජනප්‍රිය චිත්‍රපටයේ ශාන්ති හා සාරධා යන ද්විත්ව නාමයන් යටතේ ඉතා සාර්ථක රංගනයක නිරත වූවාය. වෛජයන්තිමාලා හා රාජේන්ද්‍රකුමාර්ගේ සොඳුරුතම මෝහනීය රංගනයෙන් චිත්‍රපටය අති විශාල ජයප්‍රියතාවකට හා ආදායම් වාර්තාවකට හිමිකම් ලැබුවේය. ඇයගේ සමුගැන්ම සිදුවන අවසාන රංගනය 1969දී විය. එනම් 'ප්‍රින්ස්' හි අම්රිතාගේ චරිතයය.

වෛජයන්තිමාලාගේ අතිශය සුරූපී බව නිසාම මෙන්ම අපූරු නර්තන හැකියාව නිසා ඇය වෙත වැඩි ඉල්ලුමක් ඇති වන්නට විය. දිලිප් කුමාර් හා රංගනයේ යෙදුණු නිසාම ඇය ඔහු හා පෙමින් වෙළීගිය බවට විශ්වාස කළ හැකි කතාවන්ගෙන් එකල සඟරා, පුවත්පත් පිරුණේය. එහි යම් ඇත්තක් තිබුණු බවට අදටත් කතාවෙන්නේය. එහෙත් රාජ්කපූර් ඇයට විශාල බලාපොරොත්තු දී ඇය හා එක්වී ඇය ඔහු සතු කරගන්නා බව කියා වෛජයන්තිමාලා අත්හැර දැමුවේය. එය ඇයගේ ජීවිතයේ හොඳම තරුණ කාලයේ වූ කාලය කා දැමූ අනවශ්‍ය බැඳීමක් වූ බවත් කියැවේ. සිනමාවේ අතිශය ජනප්‍රිය දිලිප් කුමාර්, රාජ්කපූර්, දේව් ආනන්ද්, රාජේන්ද්‍ර කුමාර් වැනි ප්‍රමුඛයන් හා කරට කර රංගනයේ යෙදුණු ඇය සිනමාවට සමුදෙන්නේ ඇයට සැබෑවටම ආදරය කරන මිනිසකු හමුවීම නිසාය. යම් කලකිරීමක් සහිතව සිනමාවට සමුදෙන ඇය පතිකුලයට පිවිසෙන්නේ චාමන්ලාල් බාලි සමඟය. මේ විවාහයෙන් පුතකු ලද ඇය ඔහුට නම තැබුවේ සචින්ද්‍රබාලි යන නමිනි.

කෙසේ වෙතත් රූපයෙන් ඇයට හොඳින්ම ගැළපුණු නළුවා වූයේ රාජේන්ද්‍ර කුමාර්ය. ඔහුත් ඇයත් රඟපෑ චිත්‍රපට නිසා රසිකයන් සිතා උන්නේ මේ දෙදෙනා පෙම්වතුන් ලෙසටය. එහෙත් රාජේන්ද්‍ර ඇයගේ ඉතා හොඳ සමීප මිතුරකු විය. ඇයද රාජේන්ද්‍ර නම් ගෞරවනීය නළුවා ඉතා හොඳ අවංක මිතුරකු ලෙස විශ්වාස කළාය. තවමත් රාජේන්ද්‍ර කුමාර් හා ඇය රඟපෑ චිත්‍රපට අතර සංගම්' චිත්‍රපටයත්, 'සූරජ්' චිත්‍රපටයත්" 'සාති' චිත්‍රපටයත් කිසිදා අමතක නොවන සොඳුරු අත්දැකීමක්, රසයක් ලැබ දෙන්නට සමත්ය.

ජීවිතයේ සැ¼දෑ සුව විඳින වෛජයන්තිමාලා හින්දි සිනමාවේ රස මතකයන් ගොන්නක් දෝතින් දරා සැහැල්ලුවෙන් ගත කරන්නීය. මේ ඇය ඉතා මෑතකදී පළකළ අදහසකි.

'ජීවිතය හරි පුදුමය. සිනමා ජීවිතයේ වඩාත් දිගුම කාලයක් නොඉඳ ටික කාලයක් සිටි නිසාදෝ කළ දේ ගැන රසවත් මතකයන් තවමත් ඉතිරිවෙලා. හැරී බැලුවාම ඒ ගැන සතුටු වෙන්න පුළුවන් අතීතයක්. ඒ සොඳුරු අතීතය සිහිපත් කරගෙන මැරෙන තුරුම සතුටින් ඉන්න මට පුළුවන්.'

සජිත් රෝහිත ලියනගේ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon