අරලිය ගහ මැඳුරේ රජ මගුලට හපුතලෙන් මල් ලොරි තුනක්

  👤  5564 readers have read this article !
2018-09-02

රුචිර දිලාන් මධුසංඛ

කොඩිකාරගෙන් ජනපතිට දුක් ගැනවිල්ලක්

සෙනසුරාදා පෙරවරුවේම ජනපති මෛත්‍රි මැදමුලනට ගියේ හිටපු ජනපති මහින්දගේ අභාවප්‍රාප්ත සොහොයුරා වූ චන්ද්‍රා රාජපක්ෂගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහාය. මෛත්‍රි සමඟ එම ගමනට ඇමැති විජයදාස, නියෝජ්‍ය ඇමැති ලසන්ත, බස්නාහිර මහ ඇමැති ඉසුරද එක් වූහ. ඔවුන් රැගත් හෙලිකොප්ටරය වීරකැටිය ඩී.ඒ. රාජපක්‍ෂ විද්‍යාලයේ ක්‍රීඩාංගණය වෙත ගොඩබැස්සවීය. මැදමුලන නිවෙසට එන ඇතුලත ගේට්ටුව අසලට හිටපු කථානායක චමල් ගියේ මෛත්‍රි පිළිගැනීමටය. අනතුරුව හිටපු ජනපති මහින්දද ‍ෙදාරකඩටම පැමිණ මෛත්‍රි පිළිගෙන දේහය අසලට ගියහ. දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් පසු මහින්ද නිවෙසේ වෙනම ස්ථානයකට මෛත්‍රි ඇතුළු පිරිස කැටුව ගොස් කතාබහ කළේය. මහින්ද හා මෛත්‍රි එකතැන අසුන් දෙකක හිඳිමින් ආගිය තොරතුරු කතාබහ කරද්දී චමල්ද එම ස්ථානයට පැමිණියේය.

''එන්න චමල් අයියා'' කියමින් මහින්ද පුටුවෙන් නැඟිට තරමක් පසෙක පුටුවක හිඳගත්තේය.
'අවුරුදු 4කට පස්සේ මම මේ මැදමුලනට ආවේ' මෛත්‍රි සිනාසෙමින් කීවේය.
'ඔව් ඉතින් ඉස්සර ඔබතුමා මෙහෙ නිතරම එනවානේ' චමල් කීවේය.

'ඔව්, චමල් අයියට මතක ඇති මුල්කිරිගල අතුරු මැතිවරණය වෙලාවේ යූ.එන්.පී. කට්ටිය අපිට ගහන්න ඇවිල්ලා කැලේ පැනලා මෙහෙ ඇවිල්ලා අනූනවයෙන් බේරුණේ. ගාමිණී අතුකෝරලයි, ජයවික්‍රම පෙරේරාගෙයි සෙට් එකක් අපට වටකරගෙන ගහන්න තමයි ගියේ' මෛත්‍රි අතීතාවර්ජනයක යෙදුණේය.

පිරිස කතාබහ කරමින් සිටින අතරතුර මෛත්‍රිට තේ පැන් සංග්‍රහයක් සූදානම් කරන ලද්දේ ජනාධිපති ආරක්ෂකයන්ගේ නිරීක්ෂණය යටතේය.

තේ කෝප්පයක් පිළියෙල කෙරුණු පසු එතැන සිටි එක් ආරක්ෂකයකු නිවෙසේ අයකු අමතා කීවේ එය ජනාධිපතිතුමාට පිළිගන්වන ලෙසය. තේ කෝප්පය රැගෙන ගිය පුද්ගලයා එය පිළිගැන්වූයේ මහින්දටය. මහින්ද කෝප්පය දෙස බලා එය පැත්තකින් තැබුවේ සුපුරුදු කෝප්පය නොවන නිසාය. එහෙත් එය මෛත්‍රිට සකස් කළ තේ කෝප්පය බව මහින්ද දැන සිටියේ නැත.

ඒ බව දුටු ජනාධිපති ආරක්ෂකයන්ට සිදුවූයේ මෛත්‍රිට තවත් තේ කෝප්පයක් සකස් කිරීමටය. "මොකද අර තේ කෝප්පේ ජනාධිපතිතුමාට දුන්නේ නැත්තේ?" ආරක්ෂකයෝ අර පුද්ගලයාගෙන් ඇසූහ. "මං දුන්නේ ජනාධිපතිතුමාට තමයි ඉතින් අපේ ජනාධිපතිවරුන් දෙතුන් දෙනෙක් නැහැනේ. අපේ ජනාධිපතිතුමා මහින්ද මහත්තයම තමයි" ඒ පුද්ගලයා කීවේය.

අනතුරුව එහි සිටි උපාලි කොඩිකාර මන්ත්‍රිවරයා හෙමින් සීරුවේ එම ස්ථානයට ළංවීය.
'සර් අපේ පර්මිට් එක නම් තවම ලැබිලා නෑ' කොඩිකාර මෛත්‍රි දෙස බලමින් කීවේය.
'මගේ නම් ප්‍රශ්නයක් නෑ. මේ ඉන්නේ මහ ඇමැතිතුමා, විසඳගන්න. හැබැයි දැන් එතුමාට මේ ටිකේ තියෙන්නේ පුටු ප්‍රශ්න. ඕවා ගැන බලන්න වෙලාවක් තියෙවිද දන්නෑ' මෛත්‍රි කීවේ සිනාසෙමිනි. කතාබහෙන් පසුව මෛත්‍රි යෑමට සූදානම් විය.

'ගෝඨාභයත් මඟ එන ගමන් දැන් කිට්ටුව ඉන්නේ' මහින්ද කීවේය.

'ආ.. එහෙමද එහෙනම් මම ඉඳලම යන්නම්' මෛත්‍රි යළිත් අසුන් ගත්තේය. මඳ වේලාවක් යනවිට ගෝඨාද පැමිණ මෛත්‍රිට කතා කළේය. උපාලි කොඩිකාර අනෙක් පිරිස අතරට ළංවිය.

'ජනාධිපතිතුමනි.. ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයාව වැඩක් නැති ප්‍රශ්නයකට අත්අඩංගුවට ගන්න හදනවා. එහෙම කරන්න දෙන්න එපා. ඩී.ඒ. රාජපක්‍ෂ කෞතුකාගාරය හැදුවා කියලා අත්අඩංගුවට ගන්න හදන්නේ. ඔබතුමාටත් ඕනෙ නම් දැන් යන ගමන් ඒක බලාගෙන යන්න පුළුවන්. ඒක දැක්කාම තේරෙයි බොරුවට තමයි අත්අඩංගුවට ගන්න හදන්නේ කියලා' කොඩිකාර කීවේය.
'හරි, හරි, මම බලාගෙන යන්නම්' මෛත්‍රි සිනාසෙමින් කීවේය.

ඉන්දීය අගමැති මෛත්‍රිට කිව්ව කතාව

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහර නැරැඹීම සඳහා ජනපති මෛත්‍රි සෙනසුරාදා රාත්‍රි ක්වීන් හෝටලයට ගියේය. සිය බිරිය ජයන්ති සහ පුත් දහම් ඇතුළු පවුලේ සියලු දෙනාද එක්ව සිටියහ. පසුදින මෛත්‍රි තවත් විෂය කාරණා කිහිපයකටම එක්විය. අස්ගිරි පාර්ශ්වයේ අනුනායක, සොළොස්මස්ථානාධිපති පූජ්‍ය වෙඬරුවේ උපාලි හිමියන් විසින් රචිත 'ගල්පිළිමය' ග්‍රන්ථය ‍ෙදාරට වැඩීම මෛත්‍රිගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. මේ සඳහා ඇමැති විජයදාස, මහ ඇමැති සරත් ඒකනායක ඇතුළු පිරිසක් එක්ව සිටියහ. අනතුරුව ජනාධිපතිවරයා දළදා මාලිගාවට ගියේ ජනාධිපති අරමුදලේ ප්‍රතිපාදන මත අභිනවයෙන් ඉදිකළ රන් වියන විවෘත කිරීමටය. ඉන්පසුව මහනුවර ජනාධිපති මන්දිරයට නව විවාහ යුවළක් පැමිණ සිටියහ. ඊට දින කිහිපයකට පෙර ඔවුන්ගේ විවාහ මංගල උත්සවය පැවැතුනද මේ සඳහා ජනපති මෛත්‍රිට පැමිණීමට නොහැකි වූයේ තරමක් අසනීප තත්ත්වයේ සිටීම හේතුවෙනි. එම නිසා ජනාධිපතිවරයා වෙනුවට එම විවාහයට ගියේ මහ ඇමැති සරත්ය.

විවාහ මංගල උත්සවයට සහභාගි වීමට නොහැකි වූ නිසා ඔවුන්ට සුබපැතීමට මහනුවර ජනපති මන්දිරයට කැඳවා ගැනීමට මෛත්‍රි තීරණය කළේය. අනතුරුව ඔවුන් සමඟ දිවා ආහාරය ගත් ජනපති නව යුවළ සමඟ ඡායාරූපයක් ගත්තේය.

'සර්.. අපි මෙතැන තව ෆොටෝ ටිකක් ගහන්නද?' නව යුවළ විමසීය.

'ගන්න ගන්න ඒක අවුලක් නෑ. තව හොඳ තැන් තියෙනවා පරණ කට්ටිය හදපු එන්නකෝ යන්න. එතැන ගන්න පුළුවන් ෆොටෝ' ජනපති මෛත්‍රි එසේ කියමින් නව යුවළ මහනුවර ජනාධිපති මන්දිරයේ තිබූ පිහිනුම් තටාකය සහ ශරීර සුවතා ව්‍යායාම් සිදු කරන කාමරය අසලට කැඳවාගෙන ගියේය. ඒ අතරවාරයේ විශේෂ අමුත්තන් දෙදෙනකු මහනුවර මන්දිරයට ආවේය. ඒ එස්.බී. සහ ඩිලාන්ය. ඔවුන් ජනපති මෛත්‍රි සමඟ විශේෂ කතාබහක නියැළුණු අතර එය රහසිගත හමුවක් වීමද විශේෂත්වයකි.

අනතුරුව ජනපති මෛත්‍රි බදාදා පෙරවරුවේ බිම්ස්ටෙක් සමුළුවට සහභාගි වීම සඳහා මියන්මාරය බලා පිටත්ව ගියේය. මෙවර සමුළුවේ විශේෂත්වය වන්නේ වසර දෙකක් සඳහා ජනාධිපතිවරයාට එහි සභාපතිත්වය හිමිවීමයි. ඉදිරියේදී පවත්වන සමුළුව මෙරට පැවැත්වීමද විශේෂත්වයකි. සමුළුව අතරතුර ජනාධිපතිවරයා ඉන්දීය අගමැති, මියන්මාර් ජනාධිපති ඇතුළු රාජ්‍ය නායකයන් කිහිපදෙනකු හමුවී සාකච්ඡා පැවැත්වූහ.

'ඔබතුමා මෙහි සභාපති වීම අපට සතුටක්. ඉදිරි වසර දෙක තුළ සභාපතිතුමා හැටියට ඔබතුමා ගන්නා ඕනම තීරණයක් ක්‍රියාත්මක කරන්න අපි කටයුතු කරනවා' ඉන්දීය අගමැතිවරයා ජනපති මෛත්‍රිට කීවේය.

නෙදර්ලන්ත තානාපතිට තිබ්බටු මාළුවක්

වයඹ ඇළ ව්‍යාපෘතිය විවෘත කිරීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පොල්පිතිගමදී පැවැත්විණි. උත්සවය අවසානයේ ජනපති ඇතුළු පිරිසට දිවා ආහාරය සූදානම් කර තිබුණේ ඒකානායක නිවෙසේය. ජනාධිපතිවරයා සමඟ ඒකනායක නිවෙසට යෑමට ඇමැතිවරුන් වන මහින්ද සමරසිංහ, වීරකුමාර දිසානායක, නෙදර්ලන්ත තානාපතිවරයා ඇතුළු මැතිඇමැතිවරු පිරිසක් සූදානම් වූහ. එහෙත් මැති ඇමැතිවරුන්ට ගැටලුවක් වූයේ ඒකානායක නිවෙසට යෑමටය. එය සැලවූ විට ආණ්ඩුවේ මැති ඇමැතිවරු හෙමින් සීරුවේ දහවල් කෑම මඟහරින්නට කල්පනා කළහ.

'කවුද ඒකනායක කියන්නේ. ටී.බී.ද?' ඇමැතිවරු උත්සව සංවිධායකයකුගෙන් විමසුවේ ඔහුගේ කනට ළං වෙමිනි.

'අයියෝ නෑ සර්.. අපේ ජනාධිපති මාධ්‍ය අධ්‍යක්‍ෂතුමා ධර්ම ශ්‍රී ඒකනායක මහත්තයලාගේ ගෙදර' සංවිධායකයා සිනාසෙමින් කීවේය.

''ආ.....ඒක මිසක්. අපි බැලුවේ අරහෙ නම් කඩෙන් කාලා කොළඹ යන්න'' ඇමැතිවරයා කීවේ සිනාසෙමිනි. පසුව ජනාධිපති ඇතුළු මැති ඇමැති පිරිස පොල්පිතිගම නිකවැහැර පිහිටි ධර්මශ්‍රී ඒකනායකගේ නිවෙසට ගියහ. ජනපති එහි යනවිටත් ගම්වැසියන් තුන්සියයකට ආසන්න පිරිසක් එහි පැමිණ සිටියහ.

''ආ...කොහොමද කට්ටිය? මොනවද ඉතින් විස්තර එන්න එන්න ඇතුළට ගිහින් කතා කරමු'' ජනපති ධර්මශ්‍රී ගේ නිවෙසට ඇතුළු වූයේ රැස්ව සිටි පිරිසට එසේ කියමිනි. ඔවුන් සමඟ කතාබහ කිරීමෙන් පසු මෛත්‍රි ඇතුළු පිරිස ගියේ කෑම මේසයටය. තිබ්බටු, කොහිල සහ වැව්මාළු සහිතව ගමේ කෑම වේලකින් එය සමන්විත විය. නෙදර්ලන්ත තානාපතිවරයාද 'වෙරි නයිස්' කියමින් දේශීය ආහාර වේල රස බැලූ අයුරු කාගේත් සිත් ගත්තේය.

මංගල _ දුමින්දට බෑ කියයි

ජනපති මෛත්‍රිගේ ප්‍රධානත්වයෙන් සතියේ කැබිනට් හමුව අඟහරුවාදා පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. වෙනදාට වඩා එදින ඇමැතිවරුන්ගේ අඩුවක් දක්නට ලැබුණේ එදින මොනරාගලදී පැවැත්වෙන එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනයේ වැඩ කටයුතු යෙදීම හේතුවෙනි. එම නිසා එදින කැබිනට් හමුවද පැයකුත් මිනිත්තු 15කට පමණ සීමා වීමද විශේෂත්වයකි.

මෙහිදී ජනාධිපතිවරයා ප්‍රාථමික පාසල් දරුවන්ට දියර කිරි වීදුරුවක් ලබාදීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කළ අතර ඊට අනුමැතිය හිමි විය. අධ්‍යාපන අමාත්‍යාංශය, ධීවර හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය එක්ව මෙම කටයුතු සංවිධානය කිරීමටද එහිදී යෝජනා විය. ඇමැති සජිත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ වුවද එදින කැබිනට් හමුවේදී ඔහු ත්‍රිකුණාමලය ගැන කතා කළේය.

'ජනාධිපතිතුමනි ත්‍රිකුණාමලේ රජයේ සංවර්ධනය ගැන බලන්න කැබිනට් ඇමැතිවරයෙක් හෝ නියෝජ්‍ය ඇමැතිවරයෙක් නෑ. ඒ නිසා එම දිස්ත්‍රික්කයේ වැඩ කරන්න ගියාම ටිකක් අමාරුයි' සජිත් කීවේය.

'හොඳයි ඒ ගැන මම බලන්නම්. අපි වෙනත් දිස්ත්‍රික්කයක හරි ඇමැතිවරයෙක් ඒකට පත් කරමු' මෛත්‍රි කීවේය.

අනතුරුව ඇමැති දුමින්ද වැව් ප්‍රතිසංස්කරණය ගැන අදහස් දැක්වීය.

'ආපදා තත්ත්වය හේතුවෙන් වැව් විශාල ප්‍රමාණයක් කඩාගෙන ගිහිල්ලා තියෙනවා. ඒවා හදන්න මුදල් නෑ' දුමින්ද කීවේය. එක්වරම ඇමැති මංගල - දුමින්ද දෙස බැලුවේය.
'මේ අවුරුද්දෙ ඒවට වෙන් කරපු සල්ලි තියෙනවනෙ. ඒවා ගන්න' මංගල කීවේය.
'ඒවායෙන් කරන්න බෑ. මේව අතිරේක වියදම්නෙ. ඒ නිසා මුදල් දෙන්න වෙනවා' දුමින්ද තරමක් කේන්තියෙන් කියාගෙන ගියේය.

'එහෙම කරන්න පුළුවන්කමක් නෑ. තියෙන සල්ලි පරිස්සම් කරගෙන ඒ ටික කරන්න' මංගල කීවේය.

කැබිනට් මණ්ඩල රැස්වීම අවසන් වීමෙන් පසු සෞඛ්‍ය අමාත්‍යවරයා ජනාධිපතිවරයා හමුවිය. "ජනාධිපතිතුමනි ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය සහ රන් භාණ්ඩ අලෙවිකරුවන් මා සමඟ සාකච්ඡාවක් පැවැත්වූවා. එහිදී මැණික් සහ ස්වර්ණාභරණ සංගමයේ නිලධාරින් ප්‍රකාශ කළේ එන්.එම්. පෙරේරා මහතා මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ මැණික් කර්මාන්තය සඳහා බදු සහන ලබාදී තිබෙනවා. එමඟින් විදේශ විනිමය ලංකාවට ලැබී තිබෙනවා. නමුත් අපේ රජය විසින් මැණික් කර්මාන්තය සඳහා බදු පැනවීම නිසා ඔවුන් දැඩි අසීරුතාවට පත්ව සිටිනවා. මැණික් සහ ස්වර්ණාභරණ අපනයනයෙන් උපයන ලාභය ආදායම් බද්දෙන් නිදහස් කිරීමේ තීරණය ඉවත් කිරීම, මැණික් සහ ස්වර්ණාභරණ අපනයනයේදී අධිකාරිය විසින් පනවන ලද 0.5% අපනයන සේවා ගාස්තුව, දුෂ්කරතා ඇති කරන අපනයන පටිපාටි සහ ප්‍රතිපත්ති හේතුවෙන් එම කර්මාන්තකරුවන් දැඩි අසීරුතාවට පත්ව සිටිනවා. කර්මාන්තකරුවන් මැඩගස්කරයේ ගොස් මැණික් වෙළෙඳාම සිදු කිරීම නිසා ලංකාවට විදේශ විනිමය ලැබෙන්නේ නැහැ. මගේ මැතිවරණ බල ප්‍රදේශය වන බේරුවල ආසනයේ මැණික් වෙළෙඳ ව්‍යාපාරිකයනුත් මේ ප්‍රශ්නයට මුහුණ දී සිටිනවා" යැයි සෞඛ්‍ය අමාත්‍යවරයා පැවැසීය. "මෙම ප්‍රශ්නය පිළිබඳව මීට කලිනුත් කතා කළා. මුදල් අමාත්‍යාංශය බදු අඩු කිරීමේ ක්‍රමවේදයක් සකස් කරන බව ප්‍රකාශ කළත් මෙතෙක් එය ඉටු වී නැහැ." යැයි ජනාධිපතිවරයා සඳහන් කළේය. "මේ පිළිබඳව අපි ජාතික ආර්ථික සභාවේ දී කතා කරමු. මම සභාවේ මහ ලේකම් ආචාර්ය ලලිත් සමරකෝන් මහතාට කියන්නම්" යැයිද මෛත්‍රි කීවේය. එවිට සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසුවේ "මුදල් අමාත්‍යාංශය සහ මහ බැංකු නිලධාරීන් ද ඉන්න නිසා එතන දී කතා කරන එක හොඳයි" යනුවෙනි. "ඔබ තුමා අදාළ ගැටලු ටික සකස් කර ජාතික ආර්ථික සභාවට යොමු කරන්න." ජනාධිපතිවරයා සෞඛ්‍ය අමාත්‍යවරයාට යෝජනා කළේය. ඉන් පසු සෞඛ්‍ය අමාත්‍යවරයා තවත් ගැටලුවක් මතු කළේය. "විශ්වවිද්‍යාලවල ආචාර්ය සහ මහාචාර්යවරුන්ගේ හිඟයක් මතුව තිබෙනවා. විදේශ රටවල ආචාර්ය මණ්ඩල වයසට යනතුරු පර්යේෂණ සහ අධ්‍යයන කටයුතු සිදු කරනවා. එම නිසා අපේ රටේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ හිඟය නැති කරන තුරු විශ්‍රාම යෑමේ වයස අවුරුදු 65 සිට 70 දක්වා වැඩි කරන්න." යැයි ඉල්ලා සිටියේය. අපි "මේ පිළිබඳවත් ජාතික ආර්ථික සභාවේ දී කතා කරමු" යැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේය. ඉන් පසු සෞඛ්‍ය අමාත්‍යවරයා ජාතික ආර්ථික සභාවේ මහ ලේකම් ආචාර්ය ලලිත් සමරකෝන් මහතාට දුරකථනය ඔස්සේ කතා කරමින් ජනාධිපතිවරයා දැනුම් දුන් පණිවුඩය සැළ කර සිටියේය.

අරලියගහ මන්දිරය වෙඩින් හෝල් එකක් වෙයි

ඉන්දීය සාගර සමුළුවේ ප්‍රධාන දේශනය කිරීමට වියට්නාමයට ගිය අගමැතිවරයා එහිදී කළ දේශනය චීනය, ජපානය, ඉන්දියාව, සිංගප්පූරුව ඇතුළු කලාපයේ සියලු රටවල දැඩි අවධානයට යොමුවිය. එහිදී කලාපයේ බලවත් රටවල නියෝජිතයන් හා විශේෂ සාකච්ඡා ඔහු නිමා කළේ ලංකාවට ආර්ථික අතින් වාසි රැසක්ද හිමිකර ගනිමිනි.

"මේ ඔක්තෝබර්වල ඉන්දීය සාගරයේ නිදහස් නාවික සම්මුතිය ලංකාව, ඉන්දියාව හා සිංගප්පූරුව අතර ඇතිවෙනවා. ඒ තුළ ලංකාව නාවික කේන්ද්‍රයක් බවට පත් කිරීමේ පදනම වැටෙනවා." අගමැතිවරයා ප්‍රකාශ කළේය.

ජනපති මෛත්‍රි නේපාලයේ බිම්ස්ටෙක් සමුළුවට එක් වීමට යෑම හා මොනරාගල එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා තෙදින ප්‍රදර්ශනය විවෘත කිරීමට තිබූ නිසා අගමැති රනිල් වියට්නාමයේ සිට යළි දිවයිනට පැමිණ පැයක් තුළ මොනරාගල බලා පිටත්විය. මංගල සමරවීර රංජිත් මද්දුමබණ්ඩාර, මලික් සමරවික්‍රම ඇතුළු මැති ඇමැතිවරු රැසක් සමඟ ඔහු කුටි 500ක ප්‍රදර්ශනය විවෘත කළේ උණුසුම් පිළිගැනීම් මධ්‍යයේය.

"ගම්පෙරළිය, එන්ටප්‍රයිස් ලංකා කියන්නේ රාජපක්ෂ සමයේ දැයට කිරුළ, දිවි නැඟුම ආදිය කොපි කිරීමක් බව නාමල් කියලා නිකං සවුත්තු වෙනවා" මංගල සමරවීර කීවේ අගමැතිටය.

"එජාපය ගම් උදාව, මහපොළ, යොවුන් පුරය ඇතුළු මේ රටේ විශාල ප්‍රදර්ශන හා ව්‍යාපෘති කරපු පක්ෂයයි. අපි කාගෙවත් දේවල් කොපි කරන්න තරම් බංකොලොත් නෑ. එයාලයි අපෙන් මේවා ඉගෙන ගත්තේ." අගමැති කීවේද උපහාසාත්මකවය.

"පසුගිය කාලේ මේ වගේ ප්‍රදර්ශන තිබ්බේ ඒ හෙංචයියන්ට හම්බ කරන්න හා බොරු සෝබනයටයි. ප්‍රතිරූප පුම්බන්නයි. දැයට කිරුළ නිසා වෛද්‍ය ශිෂ්‍යාවක් සදාකාලික ආබාධිත වුණා. ඒ තරම් අනාරක්ෂිතවයි එයාලා ඒවා කළේ. අපේ අරමුණ ඊට වඩා පළල් දැක්මක් සහිත ජනතාවාදී එකක්". රංජිත් මද්දුම බණ්ඩාර කීය.

මොනරාගල උත්සවය අති සාර්ථක වූ නිසා එහි දිගටම රැඳුණු අගමැතිවරයා එදින රාත්‍රිය එම ප්‍රදේශයේම ගතකොට යළි කොළඹ ආවේ බ්‍රහස්පතින්දා උදයේය. කෙළින්ම අරලියගහ මැඳුරට පැමිණි ඔහු සමීප මාධ්‍යවේදීන් දෙදෙනකු හා කතා කොට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවට ගියේ ආරක්ෂක අංශ සමුළුවට එක් වීමටය. ජනපති විදෙස් ගතව සිටි නිසා එම සම්මන්ත්‍රණයේ පූර්ණ වගකීම දරා සිටියේ ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජේවර්ධනය.

"රණවිරුවන් දිවි හිමියෙන් රකිනවා. ඒ අයගේ සුබසාධනය උපරිමව කරනවා. ඒත් රණවිරුවන් ලෙස එක එක්කෙනා දීපු පහත් කොන්ත්‍රාත් මත වැරැදි කළ සුළුතරයට නීතිය ක්‍රියාත්මක වීම වළක්වන්න කාටවත් බෑ. අද නීතිය කාටත් සමානයි." අගමැතිවරයා එම සමුළුවට යෑමට පෙර අරලියගහ මන්දිරයේදී ප්‍රකාශ කළේ හිතවතුන් හමුවේය.

ආරක්ෂක සමුළුව නිමකළ අගමැතිවරයා යළි අරලියගහ මැඳුරට ආවේ ඇමැති රාජිතගේ පුත් මන්ත්‍රි චතුරගේ විවාහයට එක්වීමටය.

"අද වැඩ අධිකයි. ඉක්මනට අරලියගහ මැඳුරට එන්න චතුරගේ වෙඩින් එකට යමු" අගමැති කීවේ බිරිය මෛත්‍රිට ඇමතුමක් ලබා දෙමිනි. අනතුරුව ඇයද අරලියගහ මන්දිරයට ආවාය.

"අරලියගහ මැඳුරේ ලොකු හෝල් එක වැඩිපුර දිනවල වහලා තියෙන්නේ. ඒක විශ්වාසය තහවුරු කළ හැකි අයගේ උත්සවවලට දීලා ආදායම් ගන්න තීන්දු කළා. එතකොට ඒ සල්ලි ඒකේ එදිනෙදා වියදම් පියවා ගන්න පාවිච්චි කළ හැකියි." ඉහළ නිලධාරියෙක් කීවේ අරලියගහ මැඳුර විවාහ මංගල්‍යයන් සඳහා දෙන්නේ කවර පදනමකින් දැයි එහි සිටි ඇමැතිවරයෙක් විමසූ විටය.

"පළාත් සභා සීමා නිර්ණය පනත පාර්ලිමේන්තුවේ පරාද කිරීම අපේ ගේම් එකක් බව විපක්ෂය රටට කියාගෙන යනවා" සභානායක කිරිඇල්ල කීය.

"පනත සම්මත වෙන්නම ඕනේ නෑ. ඒ වාර්තාව ගැන පක්ෂ එකඟ නෑ. පාර්ලිමේන්තුවේදී ප්‍රතික්ෂේප වුණේ ඒකයි. දැන් මගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළා. කමිටුවත් පක්ෂ නායක මතය විමසනවා. දැනට පවතින නීතිය යටතේ ඡන්ද තියන්නත් බෑ. උපලේඛන හදලා නෑ. සංශෝධන 02ක් එන්න ඕනෑ. කල් දදා ඉන්නවට වඩා පවතින නීතියට සංශෝධිත ගෙනැත් ඡන්දය තියමු කියලයි අපි කියන්නේ" අගමැතිගේ විග්‍රහය එය විය.

"ඡන්ද කල්යෑම හා නොපැවැත්වීම ආණ්ඩුවට හොඳ නැහැ. ඒ නිසා හැකි ඉක්මනින් ඡන්ද තියන්න අපි ක්‍රියා කරමු" නවීන් දිසානායක කීය.

"පනත පාර්ලිමේන්තුවේදී හිරවූ නිසා ජනපති නොවෙයි අගමැතිට අස්වෙන්න කියලා මහින්ද කිව්වා." දයා ගමගේ කීවේය.

"පක්ෂ නායකයෝ කතා කරල මේක පාර්ලිමේන්තුවට ගෙනාවේ ශ්‍රී ලනිප ඇමැති කෙනෙක්. බහු ආසන ගැන ප්‍රශ්න තිබුණා. ජවිපෙ හා ශ්‍රී ලනිපයයි එකතු වුණේ මේ පනතට. පස්සෙ ශ්‍රී ලනිපයත් බෑ කීවා. ජවිපෙ ඡන්ද වෙලාවෙ ගියා." ලක්‍ෂමන් කිරිඇල්ල කීය.

"අර්ජුන මහේන්ද්‍රන්ගේ නීතිඥ පිරිස ඔහුට ඇති චෝදනා හා වෙනත් විස්තර ලංකාවෙන් නිල ලෙස ඉල්ලුවා. ඒත් මහින්ද ගේනවා කියපු උදයංග හා පැනල ගියපු ජාලිය වික්‍රමසූරිය තාම එහෙමවත් කරලා නෑ."චමින්ද විජේසිරි කතාබහට එක්විය.

"සැප්තැම්බර් 05දා සෙනඟ ගේන්න අමාරු බව දන්න ඒකාබද්ධය මිනිස්සු බය කරලා එදාට පාරවල් බ්ලොක් කියල වැඩට එන එක වළක්වන්න යෑම විහිළුවක්." විජයදාස රාජපක්ෂ කීවේ එවැන්නකි.

"එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා එකේ සෙනඟ දැකපු අය නම් ඒකාබද්ධෙ බංකොලොත් උද්ඝෝෂණවලට කොළඹ එන එකක් නෑ." වජිර අබේවර්ධන කීය.

"මහින්ද අගමැති කරන්න ජනාධිපති සූදානම්ලු. ඒත් මහින්ද තාම එකඟ වෙලා නෑ කියලා වාසුදේව කිව්වා. රාජිත ඇමැතිතුමා ඒකට හොඳ උත්තරයක් දුන්නා. සීතල කාලෙට හීන පෙනුණත් රස්නෙ කාලේ වාසුට හීන පේන එකයි පුදුමෙ කියලයා ඇමැති රාජිත කිව්වා."

"05 දා කොළඹ ඇවිත් සිවිල් නීති කඩ කළොත් දැඩි නීති ක්‍රියාමාර්ග ගන්න ආරක්ෂක අංශ තීරණය කරලා. ඒ කාලෙ වංචා කළ මුදල්වලින් මිනිසුන්ට කන්න බොන්න දීලා කොළඹ පෙන්නල ගෙනියන එක අපට ප්‍රශ්නයක් නෑ" ගයන්ත කරුණාතිලක කීවේ සිනා මැදය.

"2001 එජාප කාලෙ ඇමෙරිකාව ලංකාවට යුද නැවක් දුන්නා. යුද්ධයට ඒකෙන් විශාල ශක්තියක් ලැබුණා. දැන් තවත් නැවක් දීලා. ජපානෙනුත් වෙස්ල් කුඩා නැව් 02ක් අපට තෑගි ලැබිලා මේ ඔක්කොම එජාප කාලෙ ලැබීමයි පුදුමෙ" විජයදාස රාජපක්ෂ කීවේය.

"කිරිඇල්ල ඇමැතිතුමා සිංහල, දෙමළ වතු කම්කරුවන්ට පර්චස් 07ක් බෙදන එක වළක්වන්න මහින්දානන්ද අලුත්ගමගේ ගේමක් ගැහුවලු නේද ." චමින්ද විජේසිරි විමසීය.

"ජනවසම හා රාජ්‍ය වැවිලි නිලධාරීන් කෝප් කමිටුවට කැඳවල මහින්දානන්ද අහල තියෙනවා ඉඩම් කොමිසමේ අනුමැතිය නැතිව මේ ඉඩම් දෙන්න ඔයාලට ඇති අයිතිය මොකක්ද කියලා. ඒ සියලු ඉඩම් අයිති ජනවසම හා රාජ්‍ය වැවිලි එකට බවටත් මහින්දානන්ද දන්නේ නෑ. අපි ආවාම පර්චස් 07ක් නෙවෙයි 10ක් දෙනවා කියලා මහින්දානන්ද දැන් ලැජ්ජා නැතිව වතුවලට ගිහිං කියනවලු. මම ඉඩම් කට්ටි 5000ක් බෙදුවා. මේ වසර ඉවර වෙනකොට 10,000ක් බෙදනවා. දයාගේ අපනයන ගම්මාන 5500ක වැඩපිළිවෙළත් හුඟක් වටිනවා" කිරිඇල්ල කීය.

"ඔව්. කුරුඳු, ගම්මිරිස්, කරාබුනැටි ඇතුළු අපේ සාම්ප්‍රදායික කුළු බඩු හා වැවිලි භෝගවලට ලෝකයේ ඉහළ මිලක් ලැබෙන නිසා ඒවා වවන ගම් 5500ක් බිහිකරනවා. ඒක ඒ ජනතාවට හා රටට විදේශ විනිමය ලොකු ක්‍රියාවක් වෙනවා ඒකාන්තයි." දයා ගමගේ විස්තර කළේය.

"හමුදා මාණ්ඩලික ප්‍රධානියා නාවික හමුදාපති කාලෙ නේවි සම්පත් කියන අර ළමයි 11 මරපු බවට චෝදනා ඇති අයට රැකවරණ දීම ගැන සොයලා එයාව අත්අඩංගුවට ගන්නැයි උසාවිය නියෝග දීලා නේද" විජයදාස රාජපක්ෂ විමසුවේ අගමැතිගෙනි.

"උසාවි නියෝගයක් ආවාම ඕනම කෙනකුට ඊට මුහුණ දෙන්න වෙනවා. වැරැදි කළා නම් ඒ කිසි කෙනෙක් රකින්න හෝ උසාවියට අත පොවන්න ආණ්ඩුවට බෑනේ." එජාප නීති අංශ ප්‍රධානියෙක් කීය. එහිදී එහි සිටි සියලු දෙනාගේ නළල රැලි ගැන් වුණේ පවතින තත්ත්වය බැරෑරුම් බව තේරුම් ගත් නිසා විය යුතුය.

කිරිඇල්ල රාජ්‍ය බැංකු ගමට ගෙනියයි

එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය මොනරාගලදී ආරම්භ වූයේ අගමැති රනිල්ගේ ප්‍රධානත්වයෙනි. ඇමැතිවරුන් වන මංගල, රංජිත්, මලික්, විජිතමුණි සොයිසා, හැරිසන් ඇතුළු මැතිඇමැතිවරුන් පිරිසක්ද මේ සඳහා එක්ව සිටියහ. ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ලගේ ප්‍රධානත්වයෙන්ද මෙහි එක් දිනයක් විවෘත වූ අතර එහිදී ඇමැතිවරයා කීවේ රාජ්‍ය බැංකු ගමේ ජනතාව අතරට ගෙන ඒමට ලැබීම වටිනා ක්‍රියාවක් බවය. මෙම වැඩසටහන තුළින් එය ලබාගන්නා ජනතාවට සහන රැසක් පිරිනැමෙන බවද ඇමැතිවරයා කීවේය. ප්‍රදර්ශනයේ සමාප්ති උත්සවය සිකුරාදා ඇමැති සජිත්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ඒකාබද්ධ විපක්ෂයේ විරෝධතාවයෙන් පාර්ලිමේන්තුව වටලනවාදැයි සැකයක්

කතානායක කරුගේ ප්‍රධානත්වයෙන් සිකුරාදා දහවල් 21 නායක හමුවක් පැවැත්විණි.
මෙම අවස්ථාවට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් දිනේෂ් සහභාගි වී සිටියේය. එහිදී කථානායකවරයා කීවේ සැප්තැම්බර් මස 05 සහ 06 දිනවල පාර්ලිමේන්තුව රැස් නොවිය යුතු බවට තමන්ට ඉහළින් උපදෙස් ලැබී ඇති බවය.

"මට ඉහළින් උපදෙසක් ලැබිලා තියෙනවා සැප්තැම්බර් 05,06 පාර්ලිමේන්තුව කල් දාන්න කියලා" කථානායක කීවේය.

"ඒ මොකද..?" දිනේෂ් ඇසුවේය.

"ඒකාබද්ධ විපක්ෂයේ කට්ටිය 05 වැනිදා පාර්ලිමේන්තුව වටලන්න එනවා කියලා දැනගන්න ලැබිලා තියෙනවා. ඒ හින්දා පාර්ලිමේන්තුව කල් දාන්න කියලයි මට උපදෙස් දුන්නේ" කථානායක පිළිතුරු දුන්නේය.

"අපි එන්නේ කොළඹට. තවම අපි එන තැනක්වත් තීන්දු කරලා නැහැ. ආණ්ඩුව අපේ උද්ඝෝෂණයට දැන්ම බයවෙලා. පාර්ලිමේන්තුව කල් දාන එකට නම් අපි සම්පූර්ණයෙන් විරුද්ධයි" දිනේෂ් කීවේය.

කෙසේ වෙතත් පාර්ලිමේන්තුව කල් දැමීම සම්බන්ධයෙන් එදින පක්ෂ නායක රැස්වීමේදී තීන්දුවක් ගත්තේ නැත.

ඉරිදා නාමල් සිටියේ ගම්පහය. ඒ ප්‍රසන්න විසින් සංවිධාන කර තිබූ රැස්වීම් කිහිපයක් අමතන්නට තිබුණු නිසාය. ප්‍රසන්න එම රැස්වීම සංවිධාන කර තිබුණේ සැප්තැම්බර් 05 වැනිදා පැවැත්වෙන ජනබලය කොළඹට උද්ඝෝෂණය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරන්නටය. එදින දිවා ආහාර සකස් කර තිබුණේ මරඳගහමුල ප්‍රසිද්ධ සහල් ව්‍යාපාරිකයකු වන කැකුළු රංජිගේ නිවෙසේය. රණවීර, ඉන්දික, ඩුලිප්, ලන්සා යන මන්ත්‍රිවරු ද එහි වූහ. දිවා ආහාරය ගන්නා අතරතුර පිරිස කතා කළේ මෛත්‍රි අවමඟුලට සහභාගි වන්නට ආ එකය.

"තමන්ගේ සහෝදරයාගේ මළ ගෙදරටවත් ගිය නැති ජනාධිපතිවරයා මහින්ද මහත්තයාගේ සහෝදරයාගේ මළ ගෙදරට ආපු එක තමයි පුදුම" රණවීර පැවැසීය.
"සිරිසේන මහත්තයට ඕනෑකමක් තිබුණා නම් මහින්ද මහත්තයාගේ නංගි නැති වුණු වෙලාවේ මිරිහානේ මළ ගෙදරට එන්න තිබ්බනේ" ඩුලිප් කීවේය.

"ඒක ඇත්ත. මිනිස්සු කතා වෙන්නෙත් ඕක ගැනම තමයි" ලන්සා කීවේය.
"මළ ගෙදරදී මොකක්ද තේ එකක ප්‍රශ්නයකුත් වුණාලු නේද..?" ප්‍රසන්න ඇසුවේය.
"ඔව්නේ ජනාධිපතිතුමාට දෙන්න කියලා දීපු තේක අපේ කෙනෙක් ගිහින් අපේ ජනාධිපතිතුමාට දීලනේ. පස්සේ ඇහුවම කිව්වලු අපිට ජනාධිපතිවරු තුන් හතර දෙනෙක් නැහැ කියලා" නාමල් කීවේය.

"මිනිස්සු ඉතින් විශ්වාස කරන විදිය තමයි. අපේ මිනිසුන්ට මහින්ද මහත්තයා හැර වෙන ජනාධිපති කෙනෙක් නැහැ" ප්‍රසන්න පැවැසීය.

දැන් අර මාමා ජනාධිපතිතුමා එක්ක යාළුද?

එදිනම නාමල් මැදමුලන බලා ආවේය. ඉරිදා රාත්‍රියේ මහින්දගේ සොහොයුරාගේ සත් දින බණ පැවැත්වුණේ ද මැදමුලනේමය. හත් දවසේ දානමය පින්කම පැවැත්වූවෙන් සඳුදා දහවල්ය. ධර්ම දේශනය සඳහා වැඩම කළේ මහාචාර්ය මැදගොඩ අභය තිස්ස හිමියන්ය. ධර්ම දේශනය අවසන් වීමෙන් පසුව රාත්‍රි 9.00ට පමණ ඇමැති මංගල ද මැදමුලනට පැමිණියේය. ඒ සිය සොහොයුරිය සහ පෞද්ගලික ලේකම්වරියද සමඟිනි.

මංගල සහ මහින්ද කතාබහ කිරීම ගැන කසුකුසවක් මැදමුලන නිවෙසේ පැවැතුනි. ඔය අතරවාරයේ ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ හිටපු ප්‍රධාන විධායක නිලධාරියා ගාමිණී රාසපුත්‍ර සහ ඔහුගේ කුඩා පුත් ඇසළ රාසපුත්‍ර ඒ දෙස බලමින් අපූරු කතාවක් කීවේය.
'තාත්තේ දැන් අර අංකල් ජනාධිපතිතුමා එක්ක යාළුද?' ඇසල ගාමිණීට කීවේය. කීප වතාවක්ම ඇසළ එය කියනවා මහින්දට ඇසිණි.

'මොකක්ද ගාමිණී, පුතා කියන්නේ' මහින්ද ගාමිණීගෙන් විමසීය. ගාමිණී ඒ මොහොතේ කිසිවක් නොකීවේ ඇමැති මංගලද සිටි නිසාය. මංගල ගිය පසු ගාමිණී මහින්ද අසලට ගියේය.

'නෑ සර්... අර වෙලේ මම ඒක කිව්වේ නෑ. මංගල ඇමැතිතුමා හිටපු නිසා දැන් පුතා ඇහුවේ දැන් අර අංකල් ජනාධිපතිතුමා එක්ක යාළුද කියලා' ගාමිණී මහින්දට කීවේය. මහින්දට හොඳටම හිනා ගියේය.

'මාර ඒවනෙ කොල්ලා අහන්නෙ' මහින්ද ඇසළගේ ඔළුව අත ගාමින් කීවේය.
"ඔයාලගේ ගම්පෙරළිය වැඩසටහන අසාර්ථකයි නේද? මොනරාගල, බදුල්ලේ මිනිස්සු ඕකට හරියට බනිනවලු" මහින්ද මංගල දෙස බලමින් කීවේය.

"චෝදනා නම් තියෙනවා. අපි දැන් ඒවා හරිගස්සාගෙන යනවා" මංගල උත්තර දුන්නේය.
ඒ වනවිට දින පහක් පමණ නිදිවරා සිටි යෝෂිත මෝටර් රථයක අසුනක නිදාගෙන සිටියේය. ඒ බව දුටු එක් හිමිනමක් මහින්දට කීවේ "යෝෂිත පුතා මේ ටිකේම නිදි මරලා හින්දද කොහෙද හොඳටම නිදි" කියාය.

ඒකාබද්ධ විපක්ෂ පක්ෂ නායකයන්ගේ රැස්වීම පැවැත්වුණේ මහින්දගේ ප්‍රධානත්වයෙනි. නාමල් පක්ෂ නායකයන් හට ජනබලය කොළඹට උද්ඝෝෂණයේ සංවිධාන කටයුතු සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කළේය.

ජනබලය පැවැත්වෙන ස්ථානය සම්බන්ධයෙන්ද මෙහිදී දැනුවත් කෙරුණු නමුත් පක්ෂ නායකයන් තීන්දු කළේ නියමිත දිනය වනතුරු එය රහසක්ව තබාගැනීමටය.

"පසුගිය සතියේ එස්.බී. මන්ත්‍රිවරයා විශ්වවිද්‍යාල අරගල ගැන කියපු කතාව නම් අපිට ලොකු හානියක්" ඩලස් පැවැසීය.

"ඒක ඇත්ත. ඒ වගේ කතා කිව්වම මිනිස්සු අපි දිහාත් වැරැදියට බලනවා. අනෙක් එක 16 කණ්ඩායම ආවෙම ඒකාබද්ධ විපක්ෂය විනාශ කරන්න කියලා අපේ මිනිස්සු හිතාගෙන ඉන්නවා. මේ වගේ කතා කිව්වම වෙන්නේ ඒක තවත් තහවුරු වෙන එකයි. අපි කණ්ඩායමක් විදියට ඉන්නවා නම් ප්‍රකාශ නිකුත් කරන්නත් ඕනේ කණ්ඩායමේ මතයක් විදියටයි. එහෙම නැතුව තනියෙන් ප්‍රකාශ නිකුත් කරන්න ගියාම වෙන්නේ හානියක් විතරයි" ප්‍රසන්න ද පැවැසීය.

සුවපති පුත් ගත් රාජකීය මඟුල

සෞඛ්‍ය අමාත්‍ය ‍ෙදාස්තර රාජිතගේ වැඩිමහල් පුත් පාර්ලිමේන්තු මන්ත්‍රි චතුර සේනාරත්නගේ විවාහ මංගල්‍යය පසුගිය බ්‍රහස්පතින්දා අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. මන්ත්‍රිවරයාගේ අතිනත ගනු ලැබුවේ වෛද්‍ය ශිෂ්‍යාවක වන සරූපා මනතුංග මෙනවියයි. ඔවුන් දෙදෙනාගේ විවාහයට අස්සන් කිරීම මීට මසකට පෙර අනුරාධපුර රුවන්වැලි මහ සෑය අබියසදී සිදු කෙරිණි. සාක්‍ෂිකරුවන් ලෙස අස්සන් කරනු ලැබුවේ ජනපති මෛත්‍රි සහ රාජිතයි. අග්‍රාමාත්‍ය රනිල් දහවල් 11.30ට පමණ උත්සව ශාලාවට පැමිණෙන විට පිළිගනු ලැබුවේ සෞඛ්‍ය අමාත්‍යවරයා සහ බිරිය විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න විසිනි. ඔවුන් මේසයක වාඩි වී සුහද පිළිසඳරක යෙදුණි. ජනාධිපතිවරයා විදේශගත වී ඇති බැවින් දියණිය වන චතුරිකා සිරිසේන ඊට සහභාගි වූවාය.

විවාහ මංගල උත්සවයේ ආරාධිතයන් සඳහා රෝස මල් පෙති බහාලු වීදුරුවලින් සකස් කරන ලද අලංකාර ආරාධනා පත්‍රයක් සකස් කර තිබූ අතර 1,500 දෙනකුට එම ආරාධනා පත් ලබාදී තිබිණි. මල් පෙති පරවෙන නිසා විවාහයට පෙර දින ආරාධනා පත්‍ර බෙදා දීමද විශේෂත්වයකි. මංගල උත්සවයට පැමිණි සෑම පුද්ගලයකුටම කේක් කෑල්ලක් බහාලු අලංකාර මංජුසාවක් තෑගි දීමටද චතුර කටයුතු කර තිබිණි. එහි විශාල රෝස මලක් සවිකර තිබිණි. ඊට අමතරව මෙහි තිබූ කේක් ගෙඩිය ගැනද හැම දෙනෙක්ම කතාබහ කළහ. ඊට හේතුව එය අරලියගහ මන්දිරයේ ප්‍රධාන ශාලාවේ වහලයේ ගෑවෙන සේ නිර්මාණය කර තිබිණි. පෝරුවේ කැටයම්ද එවැනිම අයුරින් වහලයේ ගෑවෙන සේ නිර්මාණය කර තිබිණි. විවාහ මංගල්‍ය උත්සවයේ සියලු සැරසිලි රෝස මල්වලින් සරසා තිබීමද විශේෂයකි. එම මල් ගෙනැවිත් තිබුණේ හපුතලේ හල්දුම්මුල්ල ප්‍රදේශයේ ෆාම් එකකිනි.

අරලියගහ මන්දිරයට ලොරි 3කින් රෝස මල් ගෙනැවිත් තිබිණි. මෙහි ආහාරපාන ඇනවුම් කර තිබුණේ හිල්ටන් හෝටලයෙනි. එක් කෑම පිඟානක් රුපියල් 8,500ක් පමණ වටිනාකමකින් යුක්ත වී තිබීමද කාගේත් කතාබහට ලක් විය. ආරාධිතයන්ගේ වාහන හැසිරවීම සඳහා ගුවන් හමුදා භටයන් 10 දෙනකු යොදවා තිබිණි.

'මේ සියලු දේවල් කළේ මගේ යාළුවෝ' යැයි චතුර මංගල උත්සවය අවසානයේ යාළුවන්ට ස්තුතියක්ද කළේය.

රාජිත සේනාරත්න ඇමැතිවරයාට පසුගියදා සුවපති සම්මානය හිමිවිය. සුවපති වූ පුද්ගලයන් බොහෝ දෙනකු ජනපති වන බව එහි සිටි මහාචාර්ය කාලෝ කීවේය. ඇමැති රාජිත පොදු අපේක්‍ෂකයා ලෙස ඉදිරි ජනාධිපතිවරණයේ සිටින බවටද විවිධ කතා ඇති වෙමින් තිබේ. අරලියගහ මන්දිරයේ සැලකෙන්නේ අගමැති නිල නිවෙස හැටියටයි. එහෙත් පසුව ජනාධිපතිවරුද මෙය භාවිත කළේය. කෙසේ හෝ එම රජ ගෙදර ගත් පළමු මංගල්‍ය මෙය වීමද විශේෂයකි. රජ ගෙදරක මංගල උත්සව රජ විදියට තිබීම ගැනද කාගෙත් කතාබහට ලක්වීය.

රසූල් නගර් ජනයාගෙන් සජිත්ට දුක්ගැනවිලි

නිවාස 30කින් සමන්විත ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පුල්මුඩේ "රසූල් නගර්" ජනතා අයිතියට පත් කිරීම සඳහා ගිය සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා උණුසුම්ව පිළිගනු ලැබුවේ කවදත් ඔහුගේ නිවාස වැඩපිළිවෙළ සමඟ සිටින අබ්දුල්ල මහරූෆ්, ඉම්රාන් මහරූෆ් සහ එම්.එස්. තව්ෆීක් යන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් විසිනි. වෛද්‍ය අරුණ සිරිසේන සේරුවිල සංවිධායකවරයාද මෙම අවස්ථාවට එක්විය. ගම්මානයේ සමරු ඵලකය විවෘත කර අනතුරුව නිවෙසක් පාසා යමින් සිටියදී සජිත්ට ඇසුණේ ප්‍රදේශවාසීන්ගේ දුක්ගැනවිලි රැසකි. 'පසුගිය ආණ්ඩුව කාලේ දේශපාලන බලවත්තු කරපු අසාධාරණයක් හින්දා මෙහේ පවුල් සිය ගාණකට ඉන්න හිටින්න තැන් නෑ. දුප්පත් අපට අයිති කර ගන්න තිබ්බ ඉඩම් අක්කර 800කින් 500ක් සංචාරක හෝටල් හදන්න කියලා දුන්නා. තවත් අක්කර 300ක් අක්කර තිහේ කෑලිවලට කඩලා වවන්න කියලා හිතවතුන්ට දුන්නා' පිරිස එසේ කියද්දී සජිත් පුල්මුඩේ ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් විමසා සිටියේ එහි සත්‍යතාවයි. ඔහු ඒ කරුණු සත්‍ය බව පිළිගත්තේය. සජිත් කීවේ "ප්‍රාදේශීය ලේකම්තුමා, මේ අසරණ මිනිස්සු වෙනුවෙන් අපි අලුත් උදා ගම්මාන 10ක් හදන්න ඕනෑ. අපේ දිස්ත්‍රික් කළමනාකාරතුමා එක්ක එකතුවෙලා මේ වැඩේ කරන්න" කියායි. 'මම හෙටම වැඩේ පටන් ගන්නවා. සර්' ප්‍රාදේශීය ලේකම්වරයා කීවේය. සජිත් නිවාස අධිකාරියේ දිස්ත්‍රික් කළමනාකාරවරයාට කීවේ 'මේ වැඩේ ගැන සති 2ක් ඇතුළත මට වාර්තාවක් ඕනෑ' කියාය. 'අපි ඇති හැකි අයව තවදුරටත් සංවර්ධනය කරන ව්‍යාපෘති කරන්නේ නෑ. නැති බැරි අය නඟා සිටුවීමටයි අපේ ප්‍රමුඛතාව හිමිවෙන්නේ' සජිත් කීවේය.

පොලිස්පති හා කොමිසම අතරට කථානායක

වසර 33ක් පුරා අඳුරේ ගිලී තිබුණු ශ්‍රී ලංකාද්වීපයේ ඉදිකෙරුණු පළමු ස්තූපය වන ගිරිහඬුසෑය පසුගිය නිකිණි පෝදා යළි ඒකාලෝක වූයේ ත්‍රිකුණාමලය තිරියායේ නියඟයෙන් වියළී ගිය ගම්බිම්වලටද නව බලාපොරොත්තුවක් ගෙන එමිනි.
ඉතිහාසයේ මහා සශ්‍රීක පින්බිමක් ලෙස වැජඹුණු ගිරිහඬුසෑය පුදබිම යුද්ධයෙන් පසුව ජනතා අවධානයෙන් අෑත්ව වල් බිහි වෙමින් තිබුණේ මූලික යටිතල පහසුකම් නොමැතිවීම, වන අලි තර්ජනය සහ දැරිය නොහැකි තරම් දැඩි නියඟය හේතුවෙනි.

මෙම ඓතිහාසික පුදබිම යළි නඟා සිටුවීම සඳහා කථානායකවරයාගේ මූලිකත්වයෙන් ආරම්භ කළ ව්‍යාපෘතියේ පළමු පියවර වූයේ එම පුදබිමට සූර්යබල විදුලි පද්ධතියක් සහ ජල පිරිපහදු ඒකකයක් ලබාදීමය. පසුගිය නිකිණි පෝදා කරු ජයසූරිය මහතා සමඟ බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා, විදුලිබල රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා, පාර්ලිමේන්තු මන්ත්‍රි සන්දිත් සමරසිංහ යන මැති ඇමැතිවරු තිරියාය බලා ගියේ එම ව්‍යාපෘතිය අරඹමින් පැවැති විශේෂ පෝදා වැඩසටහනට එක්වීම සඳහාය.

මෙහිදී හැත්තෑව දශකයේ අග භාගයේදී ජේ.ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස, සිරිල් මැතිව් වැනි නායකයන් තිරියාය ගිරිහඬුසෑය පුදබිම සංවර්ධනයට දැක්වූ දායකත්වයද සිහිපත් කළ කථානායකවරයා නැවත "මෙම උතුම් පුදබිම නඟා සිටුවීම වෙනුවෙන් කැපවන සියල්ලන්ම මහත් ජාතික යුතුකමක කොටස්කරුවන් ලෙස" හැඳින්වීය.

මේ අතර, පළාත් සභා මැතිවරණයට අදාළ සිමා නීර්ණ වාර්තාව පාර්ලිමේන්තුවේ ප්‍රතික්ෂේප වීම හේතුවෙන් පළාත් සභා මැතිවරණය තවදුරටත් කල් යෑමට ඇති ඉඩකඩ පිළිබඳව දේශපාලන ලෝකයේ අනාවැකි පළ වෙමින් තිබියදී පාර්ලිමේන්තුව පැත්තෙන් පළාත් සභා මැතිවරණය නොපමාව පැවැත්වීමට අවශ්‍ය පියවර ගැනීමට කථානායකවරයා කටයුතු කරමින් සිටී.

මේ බව වඩාත් ප්‍රකට වූයේ උතුරු කොරියාවේ විදෙස් දූත මෙහෙවරකට නායකත්වය දෙමින් සිටියදී වුවද පළාත් සභා මැතිවරණයට අදාළව සීමා නීර්ණ ගැටලු සලකා බැලීම සඳහා පළාත් සභා මැතිවරණ පනතේ 4 (12) වගන්තිය අනුව පත්කළ යුතු පංච පුද්ගල කමිටුව පත්කිරීමට හෙතෙම කටයුතු කිරීමය. ආපසු දිවයිනට පැමිණීමට ගතවන දින කිහිපය හෝ ප්‍රමාද නොකර අගමැතිවරයාගේ සභාපතිත්වයෙන් යුතුව ආර්.එම්.ඒ.එල්. රත්නායක, පෙරියසාමි මුතුලිංගම්, මහාචාර්ය බාලසුන්දරම් පිල්ලේ, ආචාර්ය ඒ.එස්.එම්.නවුෆර් යන සාමාජිකයන් ඇතුළත්ව එම කමිටුව පත් කිරීමට කතානායකවරයා කටයුතු කළේය.
මේ අතර පොලිස් කොමිසමේ නියෝග සහ පොලිස්පතිවරයාගේ ක්‍රියාකලාපයන් අතර පැනනැඟී ඇතැයි වාර්තා වන පරස්පරතා පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපතිවරයා ලෙස වහාම සිය අවධානය යොමුකළ කථානායකවරයා එතෙර සිටම පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට උපදෙස් දුන්නේ එළැඹෙන සතියේ පැවැත්වීමට නියමිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීමට දෙපාර්ශ්වයම කැඳවීමට කටයුතු කරන ලෙසයි. කිසියම් හෝ ස්වාධීන කොමිෂන් සභාවක් පිළිබඳව ගැටලු සහගත තත්ත්වයක් පැනනැඟීම හෝ ජනතා විශ්වාසය පලුදු වීමට ඉඩ නොතැබිය යුතු බවට හෙතෙම අවධාරණය කළේය.

වයඹ පරිසර අධිකාරිය විසුරුවා හරින්නැයි ඉල්ලති

වයඹ පළාත අධීක්ෂණය කිරීමේ බලය මධ්‍යම පරිසර අධිකාරියට ලබාදී නීත්‍යනුකූල නොවන ලෙස පිහිටුවා ඇති වයඹ පළාත් පරිසර අධිකාරිය විසුරුවා හරින මෙන් ඉල්ලා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු ප්‍රමුඛ ආයතන කිහිපයකට වැසි වනාන්තර සුරකින්නන්ගේ සංවිධානය ලිපි යොමු කර තිබේ.

වැසි වනාන්තර සුරකින්නන්ගේ සංවිධානයේ මාධ්‍ය සම්බන්ධීකාරක පේෂල පසන් කරුණාරත්න විසින් යොමුකළ එම ලිපියේ මෙසේ ද දැක්වේ. පාර්ලිමේන්තුව හරහා නිසි ලෙස සම්මත නොවූවත්, 1990 අංක 12 දරන වයඹ පළාත් පරිසර ප්‍රඥප්තියට අනුව පිහිටුවා ගනු ලැබූ වයඹ පළාත් පරිසර අධිකාරිය ලංකාවේ එකම පළාත් පරිසර අධිකාරිය ලෙසින් අද දක්වා ක්‍රියාත්මක වෙමින් පවතී.

එවක මධ්‍යම පරිසර අධිකාරියේ තිබූ දුර්වලතා හේතුකොටගෙන 2006 වර්ෂයේ සිට වයඹ පළාත් පරිසර අධිකාරිය සියලු පරිසර වාර්තා බලපත්‍ර සහ අනුමැතීන් ලබාදීම තම ආයතනය වෙත පවරා ගන්නා ලදී.

මෙය පොදුවේ ගත් කල මධ්‍යම රජයේ බලය හෑල්ලු කිරීමක් මෙන්ම, අනෙකුත් පළාත් සභාවලට අසමානව සැලකීමක් ලෙස පෙනෙන ක්‍රියාවලියකි. සාධාරණ ලෙස සලකා බැලුවහොත් වයඹ පළාත් සභාවට පමණක් වෙනම පරිසර ප්‍රඥප්තියක් සම්මත කර ගැනීමත් පරිසර අධිකාරියක් පිහිටුවීමත් අනුමත කිරීමේ / බලපත්‍ර නිකුත් කිරීමේ අයිතිය ලැබීමත් ඉතා අසාධාරණ සිදුවීමකි. අතිවිශාල පරිසර අපරාධ විශාල ප්‍රමාණයකට නීතිමය තත්ත්වයක්, අනුමැතියක් සහ අවසරයක් ලබාදීමට පළාත් පරිසර අධිකාරිය කටයුතු කර ඇත.

එසේම එමගින් වයඹ පළාත පමණක් නොව වෙනත් පළාත්, අන්තර් පළාත් ගංඟා වලින් අසීමිත ලෙසත් ගංඟා පතුල් නොපෙනෙන තෙක් ඉතා හිතුවක්කාර ලෙස වැලිගොඩ දැමීම් නිසා ජල මූලාශ්‍ර සහ වාතය දූෂණය කිරීමට දායක වී ඇත. මෙම තත්ත්වය යටතේ වයඹ පළාත් පරිසර අධිකාරිය වහාම විසුරුවා හැරීම වහා කළයුත්තක් බවට පත්ව ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon