එන බදාදා...

  👤  3963 readers have read this article !
2018-09-03

සිරිසේන - වික්‍රමසිංහ හවුල් ආණ්ඩුවට එරෙහිව පොදුජන පෙරමුණ හා ඒකාබද්ධ විපක්ෂය එක්ව සංවිධානය කරන උද්ඝෝෂණය ලබන බදාදා එනම් අනිද්දා කොළඹ නගරයේදී පැවැත්වේ.

සංවිධායකවරුන් පවසන්නේ මේ උද්ඝෝෂණය මේ ආණ්ඩුව ගෙදර යැවීමේ පළමු වෙඩිමුරය බවය. පාක්ෂිකයන් විශාල පිරිසක් එදින කොළඹට රැස්වීමට නියමිත බවත්, ඔවුන්ගේ පැමිණීම වැළැක්වීම සඳහා ආණ්ඩුව සැලැසුම් සකස් කරමින් සිටින බවත් සංවිධායකවරු පවසති. කොළඹ වටලන බව පිරිසක් පවසද්දී තවත් පිරිසක් පවසන්නේ අරලියගහ මන්දිරය වටලන බවකි. එදින කොළඹට පැමිණෙන පාක්ෂිකයන් සමඟ පාර්ලිමේන්තුව වැටලීමේ සූදානමක් ඇති බව ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබිණි.
මේ සියලු කතාවලින් පෙනෙන්නේ අනිද්දාට කොළඹදී විශාල ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කෙරෙන බවකි.

ආණ්ඩු පක්ෂයේ ශ්‍රී ලනිප - එජාප දෙපිරිසම පවසන්නේ කොළඹට පාක්ෂිකයන් රැගෙන ආ පමණින් ආණ්ඩුව ගෙදර යෑමට සූදානම් නැති බවය. 2015 ජනවාරි 9දා සිට ආණ්ඩුව ගෙදර යවන බවට වහසි බස් දෙඩුවද උද්ඝෝෂණ, පාද යාත්‍රා, විරෝධතා, වැඩ වර්ජන පැවැත්වුවද, ආණ්ඩුව සෙලවීමට විපක්ෂයට නොහැකි වූ බව ඔවුහු පවසති.

මේ වසරේ පෙබරවාරියේ පැවැති පුංචි ඡන්දෙන් පොදුජන පෙරමුණ හිමිකරගත් ජයග්‍රහණයත්, ශ්‍රී ලනිප - එජාප හවුලට අත් වූ පරාජයත් නිසා ආණ්ඩු විරෝධීන් ශක්තිමත් වූ බව නොරහසකි. කවුරුන් කුමක් පැවැසුවද පුංචි ඡන්දෙන් පසු පවත්වන පළමුවැනි ආණ්ඩු විරෝධී උද්ඝෝෂණය නිසා මෙය විපක්ෂයට වගේම ආණ්ඩු පක්ෂයටත් අතිශය වැදගත් වේ.

පුංචි ඡන්දයෙන් පැහැදිලිව ඔප්පු වූයේ 2015 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ බලවේගය සමඟ සිටි ඡන්දදායක ජනතාව අවුරුදු තුනක් ගත වුවද ඔවුන් සමඟ සිටින බවය. එහෙත් ආණ්ඩුව සමඟ සිටි, විශේෂයෙන් එජාපය සමඟ සිටි ඡන්දදායක ජනතාව ඔවුන්ගෙන් අෑත් වී යමින් සිටින බවය. පුංචි ඡන්දයේදී ඡන්දය භාවිත නොකර නිවෙසේ රැඳී සිටි බහුතරය එජාප පාක්ෂිකයන් හෝ එජාප හිතවාදීන් හෝ නිර්පාක්ෂිකයන් බව පැහැදිලිය. රාජපක්ෂවරුන් උත්සාහ දරන්නේ මේ පිරිස ඔවුන් වෙත දිනාගැනීමටය. එමෙන්ම පුංචි ඡන්දයේදී ඡන්දය දුන් පිරිස රඳවා තබා ගැනීමටය. එජාපය මෙන්ම ශ්‍රී ලනිපය මේ බව නොදන්නවා නොවේ. ඒ නිසා ගම්පෙරළිය, එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැනි වැඩසටහන් හඳුන්වා දෙමින් කලකිරී සිටින ඡන්දදායක ජනතාව, අඩුම තරමේ එජාප පාක්ෂිකයන් හෝ දිනා ගැනීමට ආණ්ඩුවද උත්සාහ දරමින් සිටී.

පොළොවේ පය ගසා වැඩ කළ නොහැකි ඇමැතිවරුන් සමඟ එක්ව ආණ්ඩුව අස්සන් කළ සිංගප්පූරු - ශ්‍රී ලංකා වෙළෙඳ ගිවිසුම රටට හිතකර නැති බව පෙනේ. අඩුම ගණනේ ඒ ගැන සාධනීය සංවාදයක් ඇරැඹීමටවත් ආණ්ඩුවට වුවමනාවක් නැත. එහෙත් විපක්ෂ කණ්ඩායම් සිංගප්පූරු ගිවිසුම, බදු ඉහළ දැමීම ඇතුළු සකලවිධ ගැටලු උලුප්පා දක්වමින් රට පුරා ඉතා දක්ෂ ලෙස ආණ්ඩු විරෝධය ගොනු කරමින් සිටිති.

සිංගප්පූරු ගිවිසුම ගැන වහසිබස් කියනවා මිස විපක්ෂයේ චෝදනාවලට ඍජුව පිළිතුරු දීමට විෂය භාර ඇමැතිවරයා ඉදිරිපත් වන්නේ නැත. කැබිනට් ඇමැතිවරුන් පවා ගිවිසුම ගැන නොදන්නා බව පවසද්දී ජනාධිපතිවරයා ගිවිසුම ගැන සෙවීමට කමිටු පත් කිරීමෙන් තත්ත්වය තවත් ව්‍යාකූල වී ඇත.

හවුල් ආණ්ඩුවේ නායක දෙපළ අතර සීතල ගැටුමක් ඇති බව බැලූ බැල්මට පෙනේ. එය කිසිසේත් ආණ්ඩුවට හිතකර නැත. ඇත්ත වශයෙන්ම අනිද්දා පැවැත්වීමට නියමිත ආණ්ඩු විරෝධී උද්ඝෝෂණයට පිටිය සකස් කර දී ඇත්තේ ආණ්ඩුවමය. විපක්ෂය මොන බොරුව කිව්වත් එය විශ්වාස කරන තැනට රටේ සැලකිය යුතු පිරිසක් පත්ව සිටින්නේ ආණ්ඩුවේ වම් අත කරන දේ දකුණු අත නොදන්නා බව ඔවුන්ට තේරුම් ගොස් ඇති නිසාය.

උද්ඝෝෂණ පැවැත්වීම ජනතාවගේ අයිතියකි. ඊට හරස් කැපීමට ආණ්ඩුවට අයිතියක් නැත. ඔවුන්ගේ වගකීම වන්නේ අනිද්දාට කොළඹට එන පොදුජන පෙරමුණේ පාක්ෂිකයන්ට, ආධාරකරුවන්ට හා හිතවතුන්ට ආරක්ෂාව ලබාදීමය. එය රජය වෙනුවෙන් ආණ්ඩුව කළ යුතුය.

ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගගේ ආණ්ඩු සමයේ විරෝධතා පැවැත්වීමට කොළඹට පැමිණි එජාප පාක්‍ෂිකයන්ට වෙඩි තැබීමෙන් දෙදෙනෙක් මිය ගියහ. ආණ්ඩු විරෝධී උද්ඝෝෂණයට නොව සිය අයිතිවාසිකම් ඉල්ලූ උද්ඝෝෂණවලට වෙඩි තබා මිනිස් ඝාතන සිදුකළ අතීතය අමතකවී යා නොහැකිය. ඒ නිසා 'මිනිස් බිලි' රටට අවශ්‍ය නැත. ලේ ගලා ගියා හොඳටම ඇති යැයිද, යළි දේශපාලන හේතුන් මත මිනිසුන් මිය යා යුතු නැතැයිද අපි ආණ්ඩු පක්ෂයට මෙන්ම විපක්ෂයටද අවධාරණය කර සිටිමු.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon