අපි කුමක් කරමුද?

  👤  4645 readers have read this article !
2018-09-04

කොළඹ නගරයට හෙට සිවුදිගින් විශාල පිරිසක් පැමිණෙනු ඇත. ඒ පොදුජන පෙරමුණ සංවිධානය කරන ආණ්ඩු විරෝධී උද්ඝෝෂණයට සහභාගි වීමටය. සංවිධායකයන් පවසා තිබුණේ කොළඹට පැමිණෙන පාක්ෂිකයන්ට, ආධාරකරුවන්ට හා හිතවතුන්ට ප්‍රවාහන පහසුකම් සලසා ඇති බවය. ඇත්තටම එය අගය කළ යුත්තකි. නොඑසේ නම් උද්ඝෝෂණයට කොළඹ එන විපක්ෂයේ දේශපාලනඥයන්ට නොව සෙසු පිරිසට මහත් දුෂ්කරතා රැසකට මුහුණදීමට සිදුවනු ඇත. මෙරට පොදු ප්‍රවාහන සේවයට තවමත් මගී ජනතාවගේ ඉල්ලුමට සරිලන සැපයුමක් කළ නොහැකි වීම ඊට හේතුවය.

1956 බලයට පත්වූ බණ්ඩාරනායක ආණ්ඩුව පෞද්ගලික බස් ජනසතු කර ලංගමය නිර්මාණය කිරීමට ඉක්මන් වූවා වැඩි බවට විවේචනයක් තිබුණද 80 දශකයේ ආරම්භය වන තුරු ලංගමය සාර්ථකව ක්‍රියාත්මක වීමෙන් මගී ජනතාවට මහත් සෙතක් සැලසිණි. ලංගමයට කණකොකා හැඬුවේ 1977 බලයට පත්වූ එජාප ආණ්ඩුව පෞද්ගලික බස් සේවයක් ඇරැඹීමත් සමඟය. කිසිදු නීතියක් රීතියක් නොමැතිව දුවන්නන්වාලේ දිවූ පෞද්ගලික බස්වලට සාපේක්ෂව ලංගමයේ බස්වලට ලැබුණේ කුඩම්මාගේ සැලකිල්ලකි. ලංගමය අද මුහුණ දී සිටින අවාසනාවන්ත ඉරණමේ ප්‍රධාන වගඋත්තරකරුවා එජාප ආණ්ඩුවය. ඉන්පසු බලයට පැමිණි සියලු ආණ්ඩුද ඊට වගකිවයුතු බව කිව යුතුය.

1994 බලය ඉල්ලූ ශ්‍රීලනිපය ප්‍රමුඛ පොදුජන එක්සත් පෙරමුණ අලුයම හතරේ සිට මධ්‍යම රාත්‍රිය දක්වා ක්‍රියාත්මක බස් රථ සේවයත් සමඟ ලංගමය යළි පිහිටුවන බවට ඡන්ද දායක ජනතාවට පොරොන්දුවක් දුන්නේ ලංගමය එවැනි සේවාවක් අතීතයේ මගී ජනතාවට ලබා දුන් නිසාය. එහෙත් ඒ පොරොන්දු කල් නොයවා සුළඟේ ගසාගෙන ගියේය. ලංගමය තබා ඉංගී්‍රසි පාලකයන් රටට දායාද කළ දුම්රිය සේවය වුවද වඩා කාර්යක්ෂම සේවාවක් කිරීමට නිදහසින් පසු කිසිදු ආණ්ඩුවකට නොහැකි විය. දුම්රිය එන්ජින්, දුම්රිය පෙට්ටි ආනයනය කළත්, දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණය කළත්, අලුතෙන් මාර්ග ඉදි කළත් ඒ සියල්ලෙන්ම මුදල් වංචා කිරීමට, සොරා කෑමට දැක්වූ උනන්දුව දුම්රිය සේවය නැංවීමට තිබුණේ නැත.

කැනඩාව වැනි දියුණු රටක දුම්රිය සේවයට පෙර අපේ රටේ දුම්රිය සේවය ඇරැඹී තිබුණද අද ඒ රටේ දුම්රිය සේවය තිබෙන්නේ මෙරට දුම්රිය සේවයට ගව් ගණනක් ඉදිරියෙනි. ඉංගී්‍රසීන් නැවතූ තැනින් අප ඉදිරියට ගොස් ඇත්තේ ඉබි ගමනිනි. එහෙත් ලෝකයේ බොහෝ රටවල් හාවකු සේ වේගයෙන් ඉදිරියට ගොස් ඇත. වවුලන් සේ එල්ලී දුම්රියේ උදේ, සවස රැකියාවලට යෑමට කොළඹට හා තදාසන්න නගරවලට පැමිණෙන මගී ජනතාව විඳින දුක ගැන ඔවුන්ට පවා අවබෝධයක් නැත. ඔවුන්ගෙන් බොහෝ දෙනා අධිවේගී මාර්ග, ගුවන්තොටුපොළ, සුපිරි ක්‍රීඩාංගණ, සුපිරි ගොඩනැඟිලි ඉදිකිරීම ගැන සතුටු වෙති. ඒ ඉදිකිරීම්වලට වැය කළ මුදල්වලින් ටිකක් වියදම් කළා නම් දුම්රිය සේවය කෙතරම් දියුණු කළ හැකිව තිබුණාදැයි ඒ කිසිවකුට තේරෙන්නේ නැත. දිවයින පුරා ඇති දුම්රිය හරස් මාර්ගවලට ආරක්ෂිත ගේට්ටු හා සංඥා පුවරු සවි කිරීමට නොහැකි පාලකයන්ගේ නාස්තිකාර වියදම් හා ප්‍රමුඛතා හඳුනා නොගැනීම ගැන වගේ වගක් (මගී) ජනතාවටද නැත. ඉතින් කුමක් කරන්නද?

ආණ්ඩු හදා හෝ ආණ්ඩු පෙරළා සතුටු වී නින්දට යනවා හැර.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon