පළාත් සභාවලින් බස් දෙන්නෙ නැත්නම් මට කරන්න දෙයක් නෑ - අගමැති රනිල් වික්‍රමසිංහ

  👤  3392 readers have read this article !
2018-09-05

පළාත් සභාවලින් බස් දෙන්නෙ නැත්නම් මට කරන්න
දෙයක් නෑ - අගමැති රනිල් වික්‍රමසිංහ

"මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුව ලබාදී ඇති නිදහස නිසා ඕනෑම උද්ඝෝෂණයකට කොළඹට එන්නට හැකියාව උදාවී තිබෙනවා" යැයි අගමැති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී පැවැසීය.

ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රකාශයක් කරමින් පස්වැනිදා කොළඹ පැවැත්වීමට යන විරෝධතාව අත්හිටුවීමට විශේෂ ගමනාගමන අවස්ථාවන් මහජනතාවට ලබා නොදී ඇතැයි කළ චෝදනාවට පිළිතුරු දෙමින් අගමැතිවරයා එසේ පැවැසීය.

"පස්වැනිදා නිවාඩු දිනයක් නොවේ. කණ්ඩායම් නගරයට එනවා. රජයේ සේවකයන් එනවා. පාසල් ළමුන් එනවා. මහජනතාවට ගමනාගමනයට තිබෙන ඒ සියලු රාජ්‍ය පෞද්ගලික සේවය අඩපණ වෙන්නේ නෑ. සේවා අඩපණ වෙන්නේ නෑ. පාර්ලිමේන්තු බලතල වරප්‍රසාද යටතේ පොලිසියට ක්‍රියාකරන්න පුළුවන්. ආණ්ඩුවේ නිදහස තිබෙන නිසයි කොළඹට එන්න පුළුවන්. අද ප්‍රජාතන්ත්‍රවාදය තියෙන නිසා කාටත් නගරයට එන්න පුළුවන්."

"එක්නැලිගොඩට වුණ දේ අද වෙන්නේ නෑ. ලසන්තට වුණ දේ අද වෙන්නේ නෑ. දැන් සම්පූර්ණයෙන්ම නිදහස තිබෙනවා. කීත් නොයාර්ට වුණු දේ අද වෙන්නෙ නෑ. උපාලි තෙන්නකෝන්ට පහර දුන්න දේ අද වෙන්නේ නෑ. උද්ඝෝෂණ නවත්වන්න යන්නේ නෑ. අද ලබාදී ඇති නිදහස නිසා හෙට ඒකාබද්ධයට උද්ඝෝෂණය කරන්න පුළුවන්. තමුන්නාන්සේලා කරන්නේ මට බනින එකයි. සෙනඟ ආවේ නැත්නම් ඒත්මට බනින්න උත්සාහ කරනවා. මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්. මේ රටේ ජනතාවට අවහිරයක් නොවන ලෙස කටයුතු කරන්න තිබෙන්නේ.

"පෞද්ගලික බස් අයිති පළාත් සභාවලටයි. අපට අයිති එක ආයතනයයි. පළාත් සභාවලින් බස් දෙන්නේ නැත්නම් මට කරන්න දෙයක් නෑ."යැයි අගමැතිවරයා සඳහන් කළේය.

 

කැබිනට් තීරණයට පටහැනිව යමින් මුදල් අමාත්‍යාංශය සීනි කම්හලක්්් ඇතුළත් කර ගිවිසුමට අස්සන් කරලා

ජ.වි.පෙ. මන්ත්‍රි නලින්ද ජයතිස්සගේ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල පිළිගනී

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් අක්කර පන්සියයක් ඉන්දියානු සමාගමකට පැවරීමට ගෙන තිබූ කැබිනට් තීරණයට පටහැනිව යමින් මුදල් අමාත්‍යාංශය අදාළ ගිවිසුම සකස් කරද්දී, සීනි කර්මාන්ත ශාලාවද ඊට ඇතුළත් කර ගිවිසුම අස්සන් කර ඇතැයි රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන ඇමැති සභානායක
ලක්‍ෂ්මන් කිරිඇල්ල පාර්ලිමේන්තුවේදී ඊයේ පිළිගත්තේය.

මේ සම්බන්ධයෙන් සිංගප්පූරුවේ බේරුම් කරන අධිකරණය වෙත යෑම සඳහා නීතිපතිවරයාට යොමුකර ඇති බවද ඇමැතිවරයා සඳහන් කළේය.

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය නලින්ද ජයතිස්ස නඟන ලද වාචික පිළිතුරු අපේක්‍ෂා කරන ප්‍රශ්නයකට පිළිතුරු දුන් අවස්ථාවේ මන්ත්‍රිවරයා නඟන ලද අතුරු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැති ලක්‍ෂ්මන් කිරිඇල්ල මෙම තොරතුරු අනාවරණය කළේය.

මේ අතර සීනි කර්මාන්තශාලාව සඳහා තම අමාත්‍යාංශය ටෙන්ඩර් කැඳවූ බවත්, එම ටෙන්ඩරය ලබාගත් අයත් දැන් කර්මාන්තශාලාවට අයිතිවාසිකම් කියන බවත් සඳහන් කළ ඇමැතිවරයා ඉන්දියානු සමාගම සමඟ අස්සන් කළ ගිවිසුම බලද්දී එම කර්මාන්තශාලාවත් ගිවිසුමට ඇතුළත් කර ඇති බව හෙළි වූ බව සඳහන් කළේය.

"මේ සිද්ධිය නිසා දෙන්නෙක් හිරේ ගියා" යැයිද ඇමැතිවරයා පැවැසීය.

 

පොලිස් ඇමැති
සභාව නොමඟ යවනවා - මහින්දානන්ද අලුත්ගමගේ

"පොලිස් ඇමැති සභාව නොමඟ යවනවා. වැලිකඩ පොලිසියෙන් කොටුව උසාවියට ගිහින් අපේ පෙළපාළිය නවත්වන්න කියල උසාවි නියෝග ඉල්ලනවා. පොලිස් ඇමැති බුදි" යැයි පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයා පැවැසීය.

ජනබලය කොළඹට විරෝධතාවට හැකි හැම බාධාවක්ම දැමීමට ආණ්ඩුව කටයුතු කරනවා.

වැලිකඩ පොලිසියේ ඕ.අයි.සී. කොටුව උසාවියට ආවා. මම ඒ වෙලාවේ හිටියෙ උසාවියේ. උද්ඝෝෂණය නතර කරන්න කියල නියෝගයක් දෙන්න කියලා ඉල්ලුවා. උසාවිය එය ප්‍රතික්‍ෂේප කළා. මම ඇස් දෙකෙන් දැකපු දේ පොලිස් ඇමැති නෑ කියනවා. මම වගකීමෙන් කියන්නේ ඕ.අයි.සී. එනකොට මම උසාවියෙ හිටියා. කොහොමද ඒක බොරු වෙන්නේ. පොලිස් ඇමැති සභාව නොමඟ යවනවා.

 

ජනබලය විරෝධයට බිය වී ආණ්ඩුව
වියරු වී සිටිනවා - නාමල් රාජපක්‍ෂ

"අගමැතිතුමාගේ හිතේ තියෙන දේවල් පාර්ලිමේන්තුවේ කියා හරියන්නේ නැහැ. අපේ ප්‍රශ්නවලට උත්තර දෙන්න එතුමට බෑ. බස් දෙන්න එපා කියලා නියෝගයක් දුන්නද නැද්ද? එච්චරයි අපට ඕනේ" යැයි පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්‍ෂ පැවැසීය.

ජනබල විරෝධයට බිය වී ආණ්ඩුව වියරු වී සිටිනවා.
අපේ දිනේෂ් මන්ත්‍රිතුමා ප්‍රශ්නයක් ඇහුවා. අපේ විරෝධතාවට බස් රථ ගන්න බැරි විදිහට නියෝගයක් දැම්මද කියලා. අගමැතිතුමා වටේ යනවා. ප්‍රශ්නවලට උත්තර දෙන්නේ නෑ.

විෂය භාර ඇමැති කොහේද දන්නේ නෑ. ඒකට පැහැදිලි උත්තරයක් දෙන්න බැරි නම් කියන්න. එහෙම නැතුව වෙන වැල් වටාරම් කතා කරලා වැඩක් නැහැ. ඒකයි අපි අහන්නේ. අගමැතිතුමා අපි අහන ඒවට නෙමෙයි උත්තර දුන්නේ.

 

මිනිස්සු රැවටිලා කොළඹ එනවා
තේරුමක් නැති වැඩ කරන්න එපා - ඇමැති අකිල විරාජ් කාරියවසම්

"වැලිකඩ පොලිසියේ ඉල්ලීමට උසාවිය ඉඩ දීල නෑ කියල ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රිවරු අත්පොඩි ගැහුවා. ඒ කියන්නේ එතුමන්ලා අධිකරණය 'ස්වාධීනයි කියල පිළිගන්නවා' යැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පැවැසීය.

ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රිවරුන්ගේ විරෝධය හමුවේ නැඟී සිටිමින් හෙතෙම මේ බව කීවේය.

ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රිවරු කියනවා පොලිසිවල ඉල්ලීම් අධිකරණය ප්‍රතික්‍ෂේප කළා කියලා. එහෙනම් මොකටද විශේෂ අධිකරණවලට විරුද්ධව මිනිස්සු කොළඹ ගේන්නෙ. තේරුමක් නැති වැඩ කරන්න එපා. මිනිස්සු හෙට රැවටිලා කොළඹට එනවා. රස්තියාදු වෙලා ආපහු ගෙවල්වලට යන්න තමයි වෙන්නෙ. ජනතාව නොමඟ යවන්න එපා.

 

දිනේෂ් මන්ත්‍රිතුමා මොනවා කිව්වත්
අන්තිමේට යවන්නේ මගේ පිටින් - කථානායක කරු ජයසූරිය

"දිනේෂ් මන්ත්‍රිතුමා හැම එකකටම මාව අල්ල ගන්නවා. එතුමා මොකක් කිව්වත් අන්තිමේට යවන්නේ මගේ පිටින්. හැමදාම කථානායකගේ ඇඟට දානවා" යැයි කථානායක කරු ජයසූරිය පැවැසීය.

පාර්ලිමේන්තුවේ ආරක්‍ෂාවට යැයි පවසා ජනබලය විරෝධතාවට තහනම් නියෝගයක් ලබා ගන්නා ලෙස වැලිකඩ පොලිසියෙන් කථානායකවරයා ඉල්ලා ඇති බවට ඒකාබද්ධ විපක්‍ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කළ අවස්ථාවේ කථානායකවරයා මේ බව කීවේය.

ඔබතුමා හැම එකටම මාව අල්ලගන්නවා. මම කොහෙන්වත් අධිකරණ නියෝග ගන්න කියලා ඉල්ලලා නෑ. දිනේෂ් මන්ත්‍රිතුමා බොරු චෝදනා කරන්න එපා. හැමදාම ඔබතුමා මාවම අල්ලගන්නවා. මොකක් කිව්වත් කථානායකගේ ඇඟට තමයි දාන්නේ. ඔබතුමා ජේ‍යෂ්ඨ මන්ත්‍රිවරයෙක්. මම කනගාටු වෙනවා. මම. කිසිම කෙනෙක් හෝ එවැනි ඉල්ලීමක් කරලා නෑ.

 

මේක බස් නැති ප්‍රජාතන්ත්‍රවාදයක්
ලැජ්ජයි! ලැජ්ජයි!! - ඒකාබද්ධ විපක්ෂයේ නායක
දිනේෂ් ගුණවර්ධන

"ප්‍රජාතන්ත්‍රවාදය නමට විතරයි. මේක බස් නැති ප්‍රජාතන්ත්‍රවාදයක්. ලැජ්ජයි! ලැජ්ජයි!! ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන පැවසීය.
ජනබලය කොළඹට විරෝධතාවට එන ජනතාවට බස් රථ ලබාගැනීමට තිබූ අයිතියද ආණ්ඩුව උල්ලංඝනය කරලා.

ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආණ්ඩුව උල්ලංඝනය කරලා. බස් රථ දෙන්න එපා කියලා ප්‍රවාහන අධිකාරිවලට නියෝගයක් දීල තියෙනවා. වැලිකඩ පොලිසියෙන් කථානායකතුමා ඉල්ලලා තියෙනවා උසාවි නියෝගයක් ගන්න කියලා. අපේ මන්ත්‍රිවරු කොළඹ බුක් කරපු ඔක්කොම ස්ථාන අවලංගු කරන්න නියෝගයක් දීලා. මේ හදන්නේ ජනබලය කොළඹට අපේ ආණ්ඩු විරෝධී ගමන නතර කරන්න. ලැජ්ජයි.

 

ආණ්ඩුව හොඳටම බය වෙලා
කොහෙද යන්නෙ මල්ලෙ පොල් උත්තර දෙන්නෙ - නිමල් ලාන්සා

"මීගමුවේ ජනතාව මාතර පල්ලියේ දේව මෙහෙයකට යන්න බස් වෙන් කරගන්න ගියා. ගියාම කියනවලු බස් දෙන්න එපා කියල නියෝගයක් ඇවිල්ල තියෙනවා කියලා. ආණ්ඩුව හොඳටම බයවෙලා" යැයි පාර්ලිමේන්තු මන්ත්‍රි නිමල් ලාන්සා ඊයේ (4දා) පාර්ලිමේන්තුවේදී පැවැසීය.

බස්නාහිර මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය විසින් මෙවැනි නියෝගයක් ලබාදී ඇති බවද මන්ත්‍රිවරයා කීවේය.

ආණ්ඩුව හොඳටම බය වෙලා. වන්දනාවකට යන්නත් බස් එකක් බුක් කරගන්න බැරි තරමට ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරලා.
මේකද ප්‍රජාතන්ත්‍රවාදය. මේකද නිදහස කියල අපි අහනවා. අඩුම තරමේ අපි අහන ප්‍රශ්නයකටවත් උත්තරයක් දෙන්න ආණ්ඩුවට බෑ. කොහෙද යන්නෙ මල්ලෙ පොල් උත්තර දෙන්නේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon