පාන් සහ වකුගඩු

  👤  3677 readers have read this article !
2018-09-05

පාන් පිටි කිලෝවක මිල රුපියල් පහකින් ඉහළ යෑම නිසා පාන් භාගයක හා පරිප්පු දීසියක මිල රුපියල් පහකින් ඉහළ දමා ඇත. ඒ අනුව පාරිභෝගිකයාට ඊට දැරීමට සිදුව ඇති මිල රුපියල් 85කි. ප්‍රීමා සමාගම පිට හෝ ආණ්ඩුව පිට හෝ දමා මෙසේ මිල වැඩි කළ ආපනශාලා හිමියන්ගේ සංගමයෙන් ඇසිය යුතු කාරණය වන්නේ පිටි කිලෝව රුපියල් පහකින් වැඩි වූ විට පරිප්පු දීසියක් සමඟ පාන් භාගයක මිල රුපියල් පහකින් වැඩි වේ නම් පාන් ගෙඩියකට පිටි කොපමණ තිබේද පරිප්පු උයන්නත් පාන් පිටි අවශ්‍යද යන්නයි.

මතක ඇති කාලෙක සිට පාන් මිල ඉහළ ගියා මිස පහළ වැටුණේ නැත. 1994 බලය ඉල්ලූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ප්‍රමුඛ පොදුජන එක්සත් පෙරමුණ කියා සිටියේ බලය දුන්නොත් පාන් ගෙඩියක මිල රුපියල් 3.50 දක්වා පහත දමන බවය. මහ මැතිවරණයෙන් ජය ලබාගත් පොදු පෙරමුණ පොරොන්දු වූ පරිදිම පාන් ගෙඩියක මිල රුපියල් 3.50 දක්වා අඩු කළේය. එහෙත් වැඩිකල් ගියේ නැත. ඇඟටපතට නොදැනී පාන් ගෙඩියේ මිල ක්‍රම ක්‍රමයෙන් ඉහළ ගියේය. රුපියල් 3.50ට පාන් කෑම අද සිහිනයක් පමණි.

පානුයි පරිප්පුයි කන එකත් අද වන විට ලෙහෙසි නැත. එහෙත් අපි අපිම පෝස්ටර් ගසා රණ්ඩු වෙවී ලේ හලා දිවි පුදා එදා මෙදාතුර බලයට පත්කරගත් හැම ආණ්ඩුවක් නිසාම පොදු ජනතාවට සිදුවූයේ 'පරිප්පු' කෑමටය. එහි ප්‍රතිඵලය වී ඇත්තේ බෝ නොවන හා බෝවන ලෙඩ රෝග, ජීවන බර, අනාරක්ෂාව, ලිංගික හිංසනය, පරිසර දූෂණය ඇතුළු දහසකුත් එකක් ප්‍රශ්නවලින් පිරුණු ජීවිතයක් මේ රටේ බහුතර ජනතාවගේ උරුමය වී තිබීමය.

වකුගඩු රෝගය ඉන් දැවෙන ප්‍රශ්නයක් වී ඇත.

ඊයේ දිනපතා 'මව්බිම' පළ කළ වාර්තාවක සඳහන් වූයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් පන්දහසකින් සියයට දහයක් බරපතළ වකුගඩු ආබාධවලට ගොදුරුව ඇති බවය. වයස අවුරුදු 12 සිට 17 අතර සිසු සිසුවියන් ඒ අතර වෙයි.

මේ බව අනාවරණය වී ඇත්තේ රජරට සරසවියේ කණ්ඩායමක් කළ පරීක්ෂණයකදීය.

වකුගඩු රෝගය වැලඳුණු රෝගීන් 35,000ක් මේ වන විට අනුරාධපුර දිස්ත්‍රික්කයේ සිටින අතර දිනකට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රෝගීන් 650ක් රෝහල් වෙත පැමිණෙන බව වාර්තා වී ඇත. පාසල් වයසේ දරුවන්ද මීට ගොදුරු වෙමින් සිටිනවා නම් තත්ත්වය තවත් භයානකය. වහාම පිරිසුදු පානීය ජලය ලබාදීමටත් ජල පරිපහදු යන්ත්‍ර ගමින් ගම සවිකිරීමටත් පියවර ගැනීම අත්‍යවශ්‍යය.

රජය විදේශ ආධාරයෙන් වකුගඩු රෝගීන් සඳහා වෙන් වූ රෝහලක් ඉදිකරමින් සිටී. එහෙත් ඒ වනතුරු බලා සිටිය නොහැකිය. වහා උතුරු මැද රෝහල්වලටත් මේ රෝගය පැතිර ඇති සෙසු පළාත්වල රෝහල්වලටත් අවශ්‍ය පහසුකම් ලබා දිය යුතුය. මුදල් නොමැතිනම් මැති - ඇමැතිවරුන්ගේ වරප්‍රසාද කපා දමා හෝ මේ සඳහා මුදල් සොයා ගැනීම අවශ්‍යය. පාකිස්තානයේ අගමැති ඉම්රාන් ඛාන් එවැනි ආදර්ශයක් දී ඇත. වරප්‍රසාද නොමැතිව වැඩ කළ නොහැකි නම් දේශපාලනඥයන් සුදුසු රැකියාවක් සොයා ගත යුතුය. දේශපාලනඥයන්ගේ වරප්‍රසාද කපන විට නිලධාරීන්ගෙන් ඒ ගැන අමුතුවෙන් ඇසිය යුතු නැත.

කෙසේ හෝ රජරට 'වකුගඩු' රෝගය මර්දනයට නිසි ප්‍රතිකර්මයක් ලබා නොදුන්නොත් රජරට අනාගතයට පමණක් නොව රටේම අනාගතයට එය අහිතකර ලෙස බලපානු ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon