තැපැල් කාර්යාල ආඥාපනත යටතේ ව්‍යවස්ථාව පිළිබඳ විවාදයේදී ආණ්ඩු පක්‍ෂයේ හා විපක්‍ෂයේ මැති ඇමැතිවරු දැක්වූ අදහස්

  👤  3069 readers have read this article !
2018-09-06

දූෂණය නාස්තිය පැත්තෙන් බලනකොට විකුණන්න ඕනෑ ජනාධිපති ධුරයයි කැබිනට් මණ්ඩලයයි පාර්ලිමේන්තුවයි - බිමල් රත්නායක

'මොරගහකන්ද ජලාශය විවෘත කරන්න හතර වරක් ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් ජාතික උත්සව පවත්වා තිබෙනවා' යැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක පැවැසීය.

'මොරගහකන්ද ජලාශයට මුල්ගල තියන්න, නිදන් වස්තු තැන්පත් කරන්න, ජලය පුරවන්න, ජලය මුදාහරින්න ජාතික උත්සව පැවැත්වුවා. ලබන අවුරුද්දේ ජලාශය වතුර හිඳුනම ඒකටත් උත්සවයක් තියාවි.'

මේ සඳහා කොපමණ මුදලක් වියදම් කළාද? කොපමණ මුදලක් නාස්ති කරනවාද? ප්‍රශ්න කරන්න විදියක් නැහැ. මේ මුදල්වලින් පළාතක් දියුණු කරන්න පුළුවන්.
දූෂණය නාස්තිය පැත්තෙන් බැලුවොත් විකුණන්න ඕන ජනාධිපති ධුරයයි, කැබිනට් මණ්ඩලයයි, පාර්ලිමේන්තුවයි.

තැපැල් දෙපාර්තමේන්තුවේ දූෂණ එහි අකාර්යක්‍ෂමතාවට හේතුවී තිබෙනවා. තැපැල් දෙපාර්තමේන්තුව විකුණන්නද හදන්නේ? මේ අවිනිශ්චිතභාවය නිසා අද තැපෑල අරාජික වී තිබෙනවා. තැපෑල පෞද්ගලීකරණය කරන්නේ නැතිව හදන්න.

 

වියදම් අධික නිසා තැපැල් ගාස්තු වැඩි කිරීමට සිදුවී තිබෙනවා - වැඩ බලන තැපැල් ඇමැති කබීර් හෂීම්

කාලීන අවශ්‍යතාව මත මෙහෙයුම් කටයුතු සඳහා යන වියදම් අධික නිසා තැපැල් ගාස්තු වැඩි කිරීමට සිදුවී තිබෙනවා යැයි මහාමාර්ග හා මාර්ග සංවර්ධන ඇමැති සහ වැඩබලන තැපැල් ඇමැති කබීර් හෂීම් පැවැසීය.

ග්‍රෑම් විස්සක් බර ලිපියක් බෙදාහැරීම සඳහා 2010 වන විට යන වියදම රුපියල් 18ක් වෙනවා. අද වනවිට ඒ සඳහා වැඩි මුදලක් අය කිරීමට සිදුව තිබෙනවා. සාමාන්‍ය තැපෑල සහ වාණිජ තැපෑල යන දෙකෙන් සාමාන්‍ය ලිපියක් සඳහා රුපියල් 10ක්ව තිබූ තැපැල් ගාස්තුව රුපියල් 15ක් දක්වා වැඩිකර තිබෙනවා.

වාණිජ තැපැල් ගාස්තුවේ වැඩි කිරීමක් සිදු වන්නේ නැහැ. පාර්සල් තැපෑල විශාල වශයෙන් සිදු වන්නක් බැවින් ඒ සඳහා ගාස්තු වැඩි කිරීමක් සිදු කෙරෙන්නේ නැහැ.
පාසල් දරුවන් සඳහා ලබාදෙන තැපැල් හැඳුනුම්පත් සඳහා අය කරන මුදලද වැඩි කෙරෙන්නේ නැහැ. තැපැල් කුරියර් සේවාව සඳහා අය කරන මුදල වැඩි කර තිබෙනවා.

 

ඒකාබද්ධ විපක්ෂය නැතිව අද පාර්ලිමේන්තුව පාළු වෙලා - හෙක්ටර් අප්පුහාමි

"ඒකාබද්ධ විපක්ෂය නැතිව අද පාර්ලිමේන්තුව පාළුවෙලා" යැයි, එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි හෙක්ටර් අප්පුහාමි පැවැසීය.

"අතීතයේ සිට තැපැල් සේවයට විශාල ගෞරවයක් තිබුණා. ග්‍රාමීය ප්‍රදේශවල බැංකු පහසුකම් නොමැති නිසා, තැපැල් කාර්යාලවලින් විශාල සේවාවක් සිදු කෙරෙනවා."
"ග්‍රාමීය ප්‍රදේශවල පණිවුඩ හුවමාරුව පිළිබඳව තවදුරටත් සොයා බැලීමක් කළ යුතුව තිබෙනවා. ග්‍රාමීය තැපැල් කාර්යාලවලට තිබෙන පහසුකම් ප්‍රමාණවත් නැහැ. එම තැපැල් කාර්යාල සඳහා අවශ්‍ය පහසුකම් සලසා දිය යුතුයි."

"අද ඒකාබද්ධ විපක්ෂයට අමුතු චූන් එකක් ඇවිල්ලා. ඔය චූන් එක අපිටත් කාලයක් තිබුණා අපි ලබාදුන්න ප්‍රජාතන්ත්‍රවාදය අද මේ ගොල්ල වැරදි විදියට පාවිච්චි කරනවා. අද කොළඹට ආපු බස් ගේන්න වියදම් කළ මුදල් ආපු විදිය සොයන්න ඕනෑ."

 

කොළඹ ජනාධිපති මැඳුර ළඟ තැපැල් දෙපාර්තමේන්තුවේ පැරණි ගොඩනැඟිල්ල හෝටලයකට විකිණීමට යනවා - ඊපීඩීපී නායක ඩග්ලස් දේවානන්දා

"කොළඹ ජනාධිපති මන්දිරය අසල තිබෙන තැපැල් දෙපාර්තමේන්තුවට අයත් ඉපැරණි ගොඩනැඟිල්ල, හෝටලයකට විකිණීමට යනවා" යැයි ඊපීඩීපී නායක ඩග්ලස් දේවානන්දා පැවැසීය.

"උතුරේ තැපැල් කාර්යාල හදන්න මුදල් පහසුකම් නැහැ. ඇමැතිතුමා මේ ගැන අවධානය යොමුකරන්න ඕන."

"තැපැල් වර්ජනය නිසා, රුපියල් මිලියන 500ක පාඩුවක් සිදුවන බව, තැපැල් ලේකම් කිව්වා. මුලතිව් තැපැල් කාර්යාලය සඳහා ගොඩනැඟිල්ලක් ඉදිකරන්න. මූනමලේ උපතැපැල් කාර්යාලය අද ක්‍රියාත්මක වන්නේ නැහැ."

"අලුතින් උප තැපැල් කාර්යාල ඇති කළ යුතුව තිබෙනවා. උතුරු ප්‍රදේශයේ විරැකියාවෙන් සිටින තරුණ තරුණියන් විශාල පිරිසක් ඉන්නවා. මොවුන්ට උතුරු ප්‍රදේශයේ තිබෙන තැපැල් කාර්යාලවල රැකියා ලබාදෙන ලෙස ඉල්ලනවා."

 

භූගත ජලයට අපද්‍රව්‍ය එකතු කරන කම්හල්වලට ලක්ෂයක දඩයක් හා සිර දඬුවමක් නියම කිරීමට
නීති සම්පාදනය කර තිබෙනවා - අගමැති රනිල් වික්‍රමසිංහ

ප්ලාස්ටික් ගන අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රියකරණය කිරීමේදී එහි අපද්‍රව්‍ය භූගත ජලයට එකතු වන ආකාරයට කටයුතු කරන කර්මාන්තශාලා සඳහා රුපියල් ලක්ෂයක දඩයක් හා වසර දෙකක සිරදඬුවමක් නියම කිරීමට නීති සම්පාදනය කර ඇති බව අගමැති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී ඊයේ (05දා) පැවැසුවේය.

අගමැතිවරයාගෙන් සෘජුව ප්‍රශ්න විමසීමට මන්ත්‍රිවරුන්ට දීඇති අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රි හේෂා විතානගේ ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැතිවරයා මෙසේද කීය.

"ප්ලාස්ටික් ගන අපද්‍රව්‍ය එක්රැස් කර ගබඩා කිරීමේ ක්‍රියාවලිය පරිසරය දූෂණය කරනු ලබන කර්මාන්තයක් ලෙස ජාතික පාරිසරික පනත යටතේ හඳුන්වාදී නැහැ. ඒ නිසා ඒ සඳහා පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලබා ගැනීම අවශ්‍ය වන්නේ නැහැ. ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු කර ගබඩා කිරීම සඳහා ස්ථානයක් තෝරා ගැනීමේදී මධ්‍යම පරිසර අධිකාරියේ නිර්දේශය ලබාගැනීම අවශ්‍ය වන්නේත් නැහැ. නමුත් වෙළෙඳ බලපත්‍රයක් ලබාගත යුතු වෙනවා.

නමුත් ගන අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රියකරණය කරනු ලබන කර්මාන්ත ජාතික පාරිසරික පනත යටතේ පරිසර ආරක්ෂණ බලපත්‍ර ලබාගැනීම අවශ්‍ය වෙනවා.

බලපත්‍රයක් නොමැතිව ප්ලාස්ටික් ගන අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රියකරණය කරනු ලබන කර්මාන්ත පවත්වාගෙන යනවා නම් ඒ සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරිය විසින් නීතිමය පියවර ගන්නවා ඇත. මෙම කර්මාන්ත ශාලාවලින් පිටකරනු ලබන අපජලය යම්ප්‍රමාණයක් භූගත ජලයට මුසු කරන්න යමකු කටයුතු කරන්නේ නම් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්න පුළුවන්.

එහිදී උපරිම වසර 2ක සිර දඬුවමක් හෝ රුපියල් 10,000කට නොවැඩි දඩ මුදලක් හෝ මේ දඬුවම් දෙකම එකවර ලබාදිය හැකියි. ප්ලාස්ටික් ගන අපද්‍රව්‍ය සම්බන්ධයෙන් පවතින නීති රීති තවදුරටත් ශක්තිමත් කිරීමට පියවර ගැනීම කාලීන අවශ්‍යතාවක් නිසා ඒ පිළිබඳ මධ්‍යම පරිසර අධිකාරියේ අවධානය යොමු කිරීමට කැමැතියි."

 

ජනතාවට බත් පැකට් බෙදලා සෙනඟ ගෙනැල්ලා මහින්දට යළි බලයට පත්වෙන්න බැහැ- නියෝජ්‍ය ඇමැති ජේ.සී. අලවතුවල

"ජනතාව විසින් පරාජය කළ මහින්දට බත් පැකට් බෙදල සෙනඟ ගෙනැල්ල යළි බලයට පත්වෙන්න බැහැ"යි, ස්වදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති ජේ.සී. අලවතුවල පැවැසීය.

රජයේ මුදල් අවභාවිතය ගැන හිටපු පාලකයන්ට චෝදනා තිබෙනවා. මහින්ද හැම පෝයටම සිහින දකිනවා. බලය ලබාගන්න කොළඹට සෙනඟ ගෙන එන්නේ බලපෑම් කරලයි."

"විපක්ෂයේ ඉන්න මේ ගොල්ලන්ගේ දූෂණ, වංචා මේ රටේ ජනතාවට අමතක නැහැ. ඒක අමතක කරන්න එපා."

"යහපාලන ආණ්ඩුව ජයග්‍රහණ රැසක් ලබාගෙන තිබෙනවා. අද කොළඹට කොයිතරම් සෙනඟ ගෙන ආවත්, අපි බියවන්නේ නැහැ. මීට වඩා සෙනඟක් අපට ගේන්න පුළුවන්."

 

මඩකළපුවේ තැපැල් කාර්යාලවලින් ෆොටෝ කොපියක් ගන්නවත් පහසුකම් නෑ - එස්. ජයලේන්ද්‍රන්

මඩකළපුව දිස්ත්‍රික්කයේ තැපැල් කාර්යාලවලින් ෆොටෝ කොපියක් ලබා ගැනීමට තරම්වත් පහසුකම් සලසා නැතැයි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එස්. ජයලේන්ද්‍රන් පැවැසීය.

උතුර - නැඟෙනහිර පළාත්වල තැපැල් සේවය වැඩිදියුණු කිරීම තැපැල් කටයුතු භාර ඇමැතිවරයා විසින් ඉටුකළ යුතුව තිබෙනවා.

තැපැල් කාර්යාලවල වැසිකිළි පහසුකම් විශේෂයෙන් පිරිමි අයට එම පහසුකම් සලසා නැහැ. තැපැල් සේවකයන්ට විවේක ගැනීමට අවශ්‍ය පහසුකම් තැපැල් කාර්යාලවල සලසා නැහැ.

මඩකළපුව දිස්ත්‍රික්කයටම තිබෙන්නේ තැපැල් වාහන දෙකයි. තැපැල් කාර්යාලවල තිබෙන පරිගණක යන්ත්‍ර අබලන් වී තිබෙනවා.
ඒ දිස්ත්‍රික්කයේ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීමට පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ට පවා වාහන නොමැති තත්ත්වයක් පවතිනවා.
තැපැල් සේවාව යහපත් තත්ත්වයකින් පවත්වාගෙන යා යුතුයි.

රටේ ජනතාවට සේවාවක් සපයන තැපැල් අමාත්‍යාංශයට සම්බන්ධ යෝජනාවක් සාකච්ඡා කරන අවස්ථාවේ තැපැල් ඇමැතිතුමාවත්, නියෝජ්‍ය ඇමැතිතුමාවත් මේ සභාවේ නැහැ. මේක ඉතාමත් කනගාටුදායක තත්ත්වයක්.
යුද්ධය අවසන් වී අවුරුදු දහයක් ගත වෙලත් මුහමලේ තැපැල් කාර්යාලය කලින් තිබූ ස්ථානයට තවම ගෙනැවිත් නැහැ.

 

ජනතාව තැපැල් කාර්යාල වෙත ගියත් ජනතාවට අවශ්‍ය සේවාව තැපෑලෙන් ලැබෙනවාද යන්න ගැටලුවක් - අරවින්ද කුමාර්

'තාක්‍ෂණය කොයිතරම් දියුණු වුවත් තවමත් ජනතාව තැපැල් කාර්යාල වෙත යනවා' යැයි එක්සත් ජාතික පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ඒ. අරවින්ද කුමාර් පැවැසීය.
රාජ්‍ය දෙපාර්තමේන්තු තම සේවාවන් ලබා ගැනීම සඳහා තවමත් තැපැල් දෙපාර්තමේන්තුවේ සහයෝගය ලබා ගන්නවා. නමුත් ජනතාවට අවශ්‍ය සේවාව තැපෑලෙන් ලැබෙනවාද යන්න ගැටලුවක්.

කඳුකර ප්‍රදේශවල තැපැල් කාර්යාල උප තැපැල් කාර්යාල තිබෙනවා. මේ ප්‍රදේශවල දහස් ගණන් ජනතාව ජීවත් වෙනවා. ඔවුන්ට නිසි අධ්‍යාපනයක් ලැබෙන්නේ නැහැ. මේ නිසා ඔවුන්ට තාක්‍ෂණය පිළිබඳ දැනුමකුත් නැහැ.

අද කඳුකර ප්‍රදේශවල නියෝජිත තැපැල් කාර්යාල වහලා. රැකියාවලට ඉල්ලුම් කරන තරුණ තරුණියන්ට සම්මුඛ පරීක්‍ෂණ සඳහා වන කැඳවීම් ලිපි නිසි වේලාවට ලැබෙන්නේ නැහැ. එම කැඳවීම් ලිපි ලැබෙන්නේ සම්මුඛ පරීක්‍ෂණ අවසන් වූවාට පසුවයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon