වැරැදිකරුවන්ට දඬුවම්දීම කඩිනම් කිරීම

  👤  3358 readers have read this article !
2018-09-07

රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවේ සම්මාන ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණේ රාජ්‍ය ආයතනවල සිදුවී ඇති දූෂණ, වංචා, අක්‍රමිකතා පිළිබඳ සොයා බැලීමට කොමිෂන් හා කමිටු කොතරම් පත්කළද අදාළ නිර්දේශ ක්‍රියාත්මක කර වැරැදිකරුවන්ට නීතියෙන් දඬුවම් දීමේ ක්‍රියාවලිය කඩිනම් නොවන්නේ නම්, ජනතාවගේ විශ්වාසය බිඳීයනු ඇති බවය.

කාරණාව ඇත්තය.
මෛත්‍රි - රනිල් හවුල බලය ඉල්ලා ගන්නා විට, විශේෂයෙන් පොදු අපේක්ෂකයාගේ සුවිශේෂීම පොරොන්දුවක් වූයේ දූෂණයට දඬුවම් දීමට කඩිනමින් කටයුතු කරන බවය. එහෙත් අවුරුදු තුනකට වැඩි කාලයක් ගතවී තිබුණද ඉකුත් පාලන සමයේ සිදුවීම් අතරින් පරීක්ෂණ පවත්වා නඩු පවරා, නඩු අසා තීන්දුවක් ලබාදී ඇත්තේ 'සිද්ධින්' දෙකකට පමණි. ඒ, සුදු රෙදි සිද්ධියට හා භාරත ලක්ෂ්මන් ඝාතන සිද්ධියට අදාළවය. 2015 ජනවාරියෙන් පසු සිදුවූ ගලගොඩඅත්තේ ඥානසාර සිද්ධියට නීතියෙන් දඬුවම් හිමි වූ බවද කිව යුතුය.

විශේෂ අධිකරණ පිහිටු වූයේද ඊයේ පෙරේදාය. කල් නොයවා මේ අධිකරණ පිහිටුවීමට කටයුතු කළා නම් සෑහෙන සිද්ධින් ගණනක චූදිතයන්ට දඬුවම් ලබාදීමට ඉඩ තිබිණි. ඇතැම් කොමිෂන් වාර්තා, කමිටු වාර්තා කඩිනමින් නිකුත් වුවද ඊට, වගකිවයුතු අංශ දැක්වූයේ ඇල්මැරුණු උනන්දුවකි. අල්ලස් හෝ දූෂණ කොමිසම, ජ්ඛ්ධ්ච්ය ඉතා කාර්යක්ෂමව කටයුතු කළද ඇතැම් අවස්ථාවල ඒ ආයතනවලට චෝදනා එල්ල විය. අල්ලස් කොමිසමේ සභාපතිනිය ඉල්ලා අස්වූ අතර විශේෂ ජනාධිපති කොමිසමේ සභාපතිව ඉවත් කෙරිණි.

නීතිමය පියවර පමා වීම නිසා ජනාධිපතිවරයා අවධාරණය කර ඇති පරිදිම චූදිතයන් හා සාක්ෂිකරුවන් අතුරුදන් වීම, අදාළ නිලධාරීන් මාරු වී යෑම පමණක් නොව ආණ්ඩුවද මාරුවිය හැකිය. විශේෂ අධිකරණ පිහිටුවීම ගැන සතුටු විය හැක්කේ ඒ නිසාය. ජනාධිපතිවරයා සිටින්නේද මේ වාර්තාවලට අනුව චූදිතයන්ට නඩු පවරා කඩිනමින් තීන්දු ලබාදිය යුතුය යන ස්ථාවරයේ නම් කිසිවකු කිසිදු බියක් සැකක් ඇති කරගත යුතු නැත. විධායක ජනාධිපතිගේ බලතල අඩු වී ඇතත් රාජ්‍ය නායකයා මෙන්ම ආණ්ඩුවේ නායකයාද ඔහුය. සැලකිය යුතු බලයක් ජනාධිපතිවරයා සතුය. එනිසා ජනාධිපතිවරයාගේ මේ සංඥාව තේරුම් ගනිමින් අදාළ නිලධාරීන් වඩා කාර්යක්ෂමව හා වේගවත්ව වැඩ කළ යුතුය.

දැනට නිකුත්වී ඇති රතුපස්වල සිද්ධිය පිළිබඳ කමිටු වාර්තාව, රොෂේන් චානක ඝාතන කමිටු වාර්තාව, වැලිකඩ සිරකරු ඝාතන කමිටු වාර්තාව, එයාර් ලංකා කමිටු වාර්තාව ඇතුළු වාර්තා රැසක් තිබෙන්නේ ජනාධිපති හා අගමැති අතේය. ඒ වාර්තා පිළිබඳව සෑහීිමකට පත්විය නොහැකි නම් අලුතෙන් කමිටු පිහිටුවා හෝ කඩිනමින් නිර්දේශ ලබාගත යුතුය. මහ බැංකු බැඳුම්කර වංචා චෝදනාව සම්බන්ධ නඩුව විශේෂ අධිකරණයේ විභාගයට ගත යුත්තේ, ඒ සිද්ධිය මේ ආණ්ඩුවට අදාළ නිසාය: ජනතාවගේ විශ්වාසය වඩාත් තහවුරු කිරීම සඳහාය.

ජනාධිපතිවරයා මේ පිළිබඳව දැඩි ලෙස අවධානය යොමු කර ඇත්නම්, එතුමාගේ මෙන්ම හවුල් ආණ්ඩුවේ ස්ථාවරයත් එයම නම්, වංචා දූෂණ අපරාධවල චූදිතයන්ට එරෙහිව වහා ක්‍රියාත්මක වීම වගකිවයුත්තන්ගේ වගකීමය. යුතුකමය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon