වසර 72ක් පැරැණි ඩී.එස්.ගේ තියරිය

  👤  4146 readers have read this article !
2018-09-07

'වැඩ කරන වැඩ කරපු' එක්සත් ජාතික පක්ෂයට ඊයේට එනම් 6 දාට හරියටම අවුරුදු 72කි. 1946 සැප්තැම්බර් මස 6 සිකුරාදා සවස 5ට ඇල්බට් කේ‍රසන්ට්හි 'ෆාම්කෝට්' මන්දිරයේදී ඇරැඹුණු එක්සත් ජාතික පක්ෂයේ, 72 වැනි සංවත්සරය වෙනුවෙන් පළ කළ දැන්වීමේ යෙදුණක් දැක්වීම වටී. ඒ 'වැඩ කරන වැඩ යනු, දීර්ඝකාලීන ප්‍රතිඵල දෙන ඵලදායී වැඩයි. වැඩකට ඇති වැඩයි. අදටත්, මතුවටත්, ජනතාව වැඩ ගන්න වැඩයි. එදා මෙදා තුර වැඩ කරන වැඩ කරපු එක්සත් ජාතික පක්ෂය' කියලාය.

තනි පක්ෂයක් වශයෙන් එක්සත් ජාතික පක්ෂය අභියෝග රාශියකට මුහුණදී මේ වන විට එම පක්ෂයේ තීරණාත්මක කාලවකවානුව පසුකරමින් සිටී. එක්සත් ජාතික පක්ෂයට මේ සමය තීරණාත්මක වන්නේ, එළැඹෙන කාලය වැදගත් වන්නේ, කුමන කාරණාවක් නිසාද යන්න එම පක්ෂයට හද බැඳගත් ජනතාව දන්නා දෙයකි.

'අපිට ඕනෑ අපේම ජනාධිපතිවරයෙක්. එක්සත් ජාතික පක්ෂයේ නායකයෙක්' යන්න එජාප ඡන්ද දායකයන්ට කාටත් වඩා තදින් ඕනෑ වී තිබෙන්නේය. පාක්ෂිකයන්ට පමණක් නොව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන්ටත් සියලු ක්‍රියාධරයන්ටත් දැන් ජනාධිපති තනතුරට පක්ෂයේම කෙනෙක් ඕනෑය.

'මහින්ද සෙනඟ ගෙනැල්ලා පාර පුරා හිස් ගොඩක් පෙන්නුවත් ඒ අයත් දෙකට බෙදිලා. ශ්‍රී ලනිපය නම් දෙකට තුනටත් බෙදිලා. මේ බෙදීම මැද්දෙ වේගයෙන් ඉදිරියට ඇවිල්ලා එජාපයට ජනාධිපති කෙනකු පත් කර ගන්න බැරි ඇයි?' යන්න පක්ෂය තුළ දැන් දැඩිව කතාවට ලක්වන්නේය. පක්ෂයට ජනාධිපතිවරයකු ඕනෑ වී ඇත්තේ පක්ෂයටත් පාක්ෂිකයාටත් නම් එය හිතට ගත යුතු අවස්ථාවක්ය.

'මොන විදියෙ අර්බුද තිබුණත් ඒ හැම අර්බුදයක්ම මැඬගෙන, ජයගෙන එක්සත් ජාතික පක්ෂය ඉදිරියට ඇවිත් තියෙනවා. සුළු ජනතාවගේ වැඩිම කැමැත්ත තියෙන්නෙත් එජාපයටයි. ඒ නිසා මේ අදහස අත්අරින්න බෑ.'

සුළු ජන පදනමක් ඇති පක්ෂ කිහිපයක මතයද එයයි. එක්සත් ජාතික පක්ෂය බිහිවීමද එහි පදනමද සියලු ජාතීන් එකමුතුවක් උදෙසා වූවකි. ඒ නිසා ජාතිවාදී හංවඩුව නැති, ජාතිවාදී උන්මත්තකයන් නැති පොදු ජනතාව එකට එකතු කරන පක්ෂයක් වශයෙන් ඇරැඹි එජාපය එය පිහිටුවද්දී තිබුණු අදහස් මෙසේය.

'මෙම පක්ෂය ජාති භේදයෙන් හා ආගම් භේදයෙන් තොරය. පක්ෂයේ නාමය සිංහලෙන් 'එක්සත් ජාතික පක්ෂය' දෙමළ භෂාවෙන් 'අයිකිය දේශීය කච්චි' යන්නයි ඉංග්‍රීසියෙන් 'යුනයිටඩ් නැෂනල් පාටි' යන්නය.

එජාප ප්‍රථම ව්‍යවස්ථාව
ධ්ධ් ඡේදය

එක්සත්ව එක්සිත්ව නැඟී සිටින සියලු ජාතීන්ට සෙවණ දෙන මහා වෘක්ෂයක් බඳු මෙම පක්ෂය ඇරැඹුණේද එවන් දැවැන්තයන් අතිනි. ඩී.එස්. සේනානායකයන්ගේ යෝජනාව සභාවට ඉදිරිපත් කෙරුණේ මෙසේය.

'රටේ ජීවත්වන සියලු ජාතිකයන් අතර සමඟිය ඉතාම අත්‍යවශ්‍ය දෙයක්. ඒක මේ මොහොතේ දැඩි අපේක්ෂාවක්. අවශ්‍යතාවක්. හොඳ හිතත් අනේ‍යාන්‍ය විශ්වාසයත් ඕනෑම දෙයක්. ඒ නිසා මේ රට ඒ පදනම මත ශක්තිමත් විදියට ගොඩනඟන්න ඉතා ශක්තිමත් එක්සත් දේශපාලන බලවේගයක් ඕනෑමයි. ඒ නිසා 'එක්සත් ජාතික පක්ෂය' නමින් පක්ෂයක් පිහිටුවිය යුතුයි.

ඩී.එස්. සේනානායක
(1946 සැප්තැම්බර් 6දා ෆාම්කෝට් මන්දිරයේදී)

මේ යෝජනාව ද්‍රවිඩ ජාතික, රාජ්‍ය මන්ත්‍රි එස්. නඩේසන් විසින් යෝජනාවක් ලෙස සභාවට ඉදිරිපත් කරද්දී එය ස්ථීර කෙළේ මුස්ලිම් ජාතිකයකු වූ රාජ්‍ය මන්ත්‍රි ටී.බී. ජයා විසිනි. ඒ නිසා මෙරට සිංහල ඩී.එස්. ගේ අදහස මෙරට සුළු ජන බලවේග අතරින් බවුතීස්ම ලැබ සම්මත වීම වෙනත් කිසිදු දේශපාලන පක්ෂයක සිදු නොවූවකි.

එවක බණ්ඩාරනායක මහතාද එජාපය පිහිටුවන්නට ප්‍රමුඛයකු විය. බණ්ඩාරනායක මහතා තාවකාලිකව මුලසුන භාරගෙන ඩී.එස්. සේනානායක මහතාගේ නම පක්ෂයේ සභාපති ධුරය සඳහා යෝජනා කළේය. එය ජෝර්ජ් ඊ. ද සිල්වා මහතා ස්ථීර කෙළේය. ඩී.එස්. ඒකච්ඡන්දයෙන් එජාප ප්‍රථම සභාපති වූයේය. ඩී.එස්.ගේ යෝජනාවක් අනුව එජාප ප්‍රථම උප සභාපතිවරු වූයේ සිංහල බණ්ඩාරනායකත්, කොතලාවලත්, ජෝර්ජ් ඊ. ද සිල්වාත්, දෙමළ ඒ. මහාදේවත්, මුස්ලිම් ටී.බී. ජයාත්ය. මේ මුල්ම පදනම ඉතාමත් ශක්තිමත් එකකි. භාණ්ඩාගාරික තනතුරද සම සමව ඒ ආර්.ඒ. රාසික්ට හා ජේ.ආර්. ජයවර්ධනයන්ට හිමිවිය.

මේ මහා පක්ෂයේ මුල්ම සාමාජිකයන් වූ ප්‍රමුඛයන්ද ජාතීන් අතර සමඟිය සංකේතවත් කරන්නක් විය. ඒ අනුව මුල්ම සාමාජිකයා වන්නේ බද්දේගම 'රාජගිරිය'හි විසූ රාජමන්ත්‍රි සයිමන් අබේවික්‍රමය. දෙවැන්නා වැල්ලවත්ත ස්ටේෂන් ඇවනියුහි සිටි නගර සභා මන්ත්‍රි කේ. ආදමාලිය. තෙවැන්නා යාපනය, මහාවීදියේ විසූ ශේ‍ර්ෂ්ඨාධිකරණ නීතිඥ එස්.එම්. අබුබක්කර්ය. ඒ අනුව ආරම්භයේ පටන්ම එජාපය ශක්තිමත් කළේ මේ කියන වාර්ගික භේදයකින් තොර සියලු ජාතීන්ය. එජාපයේ තීරණාත්මක මත ජයග්‍රහණ කිහිපයකදීම ජය ගන්නට අන්තිම මොහොතදීත් උපකාරි වූයේ මේ කියන බලවේගයමය.

එදා ඩී.එස්.ගේ නායකත්වයෙන් 'නිදහස 5ක අපේක්ෂාවක්' එක්සත් ජාතික පක්ෂයට තිබිණි. ඒ වෙනුවෙන් කැපකිරීම් කරන්නට එල්ලයක් තිබිණි. බොහෝ අයට මේ අතීතය දැන් අමතකය.

එජාපයේ අතීතය දන්නා අයද අඩුය. එහෙත් එජාප ඉතිහාසය පරිශීලනය කරන, පර්යේෂණාත්මකව සෙවුම් බැලුම් කරන අපට නම් මෙය මකා දමන්නට ඉඩ දෙන්නට බැරිය. බොහෝ දෙනා එජාපය ධනවාදී පක්ෂයක් ලෙස හංවඩු ගැසුවත් එජාපයටද ප්‍රගතිශීලීන් යැයි කියා ගන්නවුනට තරම් ජනප්‍රිය සටන් පාඨ නොවූවත් එල්ලයක් තිබිණි. ඔවුන් එදා ඉදිරිපත් කළ 'නිදහස් 5' මෙසේය. විදේශීය පාලනයෙන් මිදීම, අගහිඟකම්වලින් මිදීම, රැකීරක්ෂා හිඟකමින් මිදීම, නොදත්කමින් මිදීම, ලෙඩ රෝගවලින් මිදීම යන පංච විධ ප්‍රතිපත්තිය.

එජාපය මෙරට ප්‍රථම මහ මැතිවරණයද ජයගත්, ආණ්ඩුවක් පිහිටුවා පෙන්වූ දැවැන්ත පක්ෂයකි. එහිදී අන් අයට වඩා සුළු ජන පදනම ඇති පළාත්වලින් ජය ලැබුවේ එක්සත් බව පෙරදැරි කරගත්් පක්ෂයක් වූ බැවිනි. ඊට උදාහරණ කිහිපයකි. ඒ අනුව 1947 ජූලි 23 සිට සැප්තැම්බර් 20 දක්වා පැවැති මහ මැතිවරණයේදී මුත්තූර් ආසනය ඡන්ද 3,480ක් දිනා ගනිමින්, එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රාහකයා වූයේ ඒ.ආර්. ඒ. එම්. අබුබකර්ය, මඩකළපුව අසුන නියෝජනය කරමින් එජාප ජයග්‍රාහකයා වූයේ ඡන්ද 4,760ක් ලබාගත් ඒ.ඇල්. සින්නලෙබ්බේය. කල්මුණේ ආසනය නියෝජනය කරමින් එජාප ජයග්‍රාහකයා වූයේ ඡන්ද 6,886ක් ලබාගත්
ඇම්.ඇස්. කාරියප්පර්ය.

මේ ජන පදනම එජාපය හා මුල්ම අවධියේ සිට පෙළ ගැසෙන්නේ පාරම්පරිකව හද බැඳ ගත් පරපුරක ආශීර්වාදය මතින්ය. එය තවමත් නොබිඳී පැවැතීම එජාපයේ සුවිශේෂයයි. මෙය නොදැන එජාපයේ 72 වැනි සංවත්සරය සැමරීම නොකළ යුතු වූවකි.

එහෙත් මේ මොහොතේ එජාපය සිය පක්ෂයේ යෝධ පිම්මක් පැනිය යුතු දුෂ්කර මොහොතකට පැමිණ තිබීම නිසාම මේ අතීතය යළි සිහිපත් කර දිය යුතුය. සිංහල ජන පදනම එජාපය තුළ ස්ථාපිත වී ඇති ආකාරයේ යම් වෙනස්වීමක් පසුගිය කාලය තුළ වරින් වර ඇති වී තිබුණු අතර එය දැඩි ලෙස සැලකිල්ලට ගත යුතුව තිබිණි. එජාපයෙන් ගැලවී ගිය සිංහල බෞද්ධ ඡන්ද ආකර්ෂණය කර ගන්නටත්, ඒ හා සමානවම එජාපයට ආවේණික එජාපය හා බැඳී සිට ඉවත්ව ගිය දෙමළ හා මුස්ලිම් ඡන්ද දායකයන්ද යළි එජාපයට කැඳවාගෙන ඒමට සිංහල නායකයන් මෙන්ම අවංක මුස්ලිම් නායකයන්ද කැපවිය යුතුව ඇත. වාසනාවකට සිංහලෙන් කතා කර සිංහල ජනතාවගේ හදවතට කතා කළ හැකි මුස්ලිම්, දෙමළ නායකයන් එජාපයේ සිටීම වාසනාවකි. එහෙත් සිංහලෙන් හිතන සිංහලෙන් කතා කරන එජාපයේ ඇතැම් නායකයන්ට දෙමළ ජනතාව අතරට ගොස් අවශ්‍යම දේ හෝ ඔවුන්ට හුරු බසින් කතා කළ හැකි නම් අගනේය. එහෙත් වසර 72ක් සපිරෙන එජාපයට තවමත් එය බැරි වීම කනගාටුවට කරුණක්ය.

අන් සියලු දෙනාටමත් වඩා අන් සියලු පක්ෂවලටත් වඩා එජාපයේ පදනම සියලු ජාතීන් එකරැස් කරන එක්සත් ජාතික පක්ෂයක් වීම නිසා මෙය හදාගත යුතු දෙයකි. ඔවුන්ගේ සිතුම් පැතුම් හොඳින් දන්නා එජාපයට මෙය කළ හැක්කකි.

එබැවින් පළාත් සභා කෙසේ වෙතත් ජනාධිපතිවරණයකදී නම් එජාපයට තම පක්ෂයේ ජීවී ගුණය පුබුදුවාගෙන යම් ප්‍රාතිහාර්යයක් පා ජයග්‍රහණයක් ලබාගත හැකියාව ඇත. උතුරු නැඟෙනහිර ප්‍රදේශවල සිටින දෙමළ බහුතරයත් රට පුරාම සිටින දෙමළ හා මුස්ලිම් බහුතරයත් තවදුරටත් එජාපය වෙත රඳවා තබාගෙන ජයග්‍රහණයක් ලබාගත හැකියාව ඇත. නමුත් ඊට ප්‍රවේශ වන ප්‍රචාරක බළඇණියක් ක්‍රියාත්මක බළඇණියක්, තවමත් සක්‍රිය නැති බව පෙනෙන දෙයකි.

රනිල්ට මේ මොහොතේ එජාපය දෙපයින් සිටුවිය හැක්කේ නම් එය ප්‍රාතිහාර්යයක් නොවේ. කළ හැකිව දෙයකි. රනිල් ඉල්ලූ 2005 ජනාධිපතිවරණයේදී ප්‍රභාකරන්ගේ බලපෑම නිසා උතුරේ දෙමළ ජනතාවට ඡන්දය ලබාදෙන්නට නොහැකි විය. ප්‍රභාකරන්ගේ තර්ජනය නොවූයේ නම් දෙමළ ජනතාවට තිබුණු විකල්පය මහින්ද රාජපක්ෂ නොව රනිල් වික්‍රමසිංහය. රනිල්ට උතුරේ දෙමළ ඡන්ද ටික වැටුණේ නම් ජනාධිපති වන්නේ රනිල්ය.

තවමත් මේ සාධකය අවලංගු නැත. එජාපයේ සුළු ජන පදනමත්, තමන් වෙත ආකර්ෂණය කරගන්නා සෙසු සුළු ජාතික ඡන්ද ප්‍රමාණයත්, සිංහල බෞද්ධ ඡන්ද ප්‍රමාණයේ යම් වර්ධනයකුත් සමඟ එජාපයට ජයග්‍රහණයක් ලබන්නට බැරි නැත. එබැවින් එජාපයේ 72 වසරේ සැමරුමට වඩා වැදගත් වන්නේ ජයග්‍රහණය සඳහා අතීත පදනම සිහි කරගෙන අනාගතයට යහපත් ජයග්‍රාහී සැලැස්මක් හදාගැනීමය.

සරලි

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon