ධාරානිපාත වර්ෂා ඇදවැටී බිහිවූ අඟහරු පොළොවේ ගැඹුරු නිම්න ජාලය මෙන්න

  👤  3314 readers have read this article !
2018-09-09

 

ධාරානිපාත වැසිවලින් අඟහරු පොළොව මත නිර්මාණය වූ ගැඹුරු නිම්න ජාලයක් අදත් එහි දක්නට ලැබේ යැයි විශේෂඥයෝ ප්‍රකාශ කරති. පෘථිවියේ ගංගාවලට සමානව අඟහරු පොළොව මත දිවෙන එම කඳුරැළි හා විවර රටා එහි නිර්මාණය වී ඇත්තේ වසර කෝටි ගණකට ඉහතදී බවද එම විශේෂඥයෝ සඳහන් කරති. ඒවා කෙසේ නිර්මාණය වූයේද යන්න බොහෝ කාලයක් තිස්සේ අදාළ විශේෂඥයන්ගේ වාද විවාදවලට මාතෘකා වී තිබුණු නමුත්, දැඩි වියළි පෘෂ්ඨයකින් යුත් අඟහරු පොළොව මත වැටුණු මහ වැහි එම කඳුරැලි හා නිම්න නිර්මාණය වීමට හේතු වී ඇතැයි දැන් ඔවුහු විශ්වාස කරති. පැවැත්වුණු නව අධ්‍යයනයකින් ඒ බව තහවුරු වන බවද ඔවුහු සඳහන් කරති.

අඟහරු පොළොවෙහි එසේ කලකට ඉහත තිබුණු ගංගා, ශාඛාවලට බෙදී යෑමෙන් නිර්මාණය වූ ජාල රටා, පෘථිවියේ ශුෂ්ක කලාපවල ජල මං බෙදී යෑමෙන් සෑදී තිබෙන ජාල රටාවලට බොහෝ සෙයින් සමාන යැයි සූරීච්හි 'ස්විස් තාක්ෂණ ආයතනයේ' විශේෂඥයෝ ප්‍රකාශ කළහ. අඟහරු පෘෂ්ඨයේ ප්‍රධාන ජල මංවලින් බෙදී ගිය ශාඛාත් ප්‍රධාන ජල මාර්ගයත් නිර්මාණය වී තිබෙන කෝණ ඇරිසෝනා ප්‍රාන්තයේ ජල මං ශාඛාවලට බෙදී යෑමෙන් නිර්මාණය වී තිබෙන කෝණවලට ඉතාම සමීප යැයිද ඔවුහු පැවැසූහ. ඒ සමානත්වය නිසාම ඇමෙරිකා අජටාකාශගාමීහු අනාගත අඟහරු තරණය සඳහා සූදානම් වීමක් වශයෙන් ඇරිසෝනා ප්‍රාන්තයෙහි මේ වනවිට පුහුණුවීම්වල යෙදී සිටිති.

සිතියම්ගත කරන ලද අඟහරු රටා ජලය උපයෝගී කරගෙන ගැඹුරු අධ්‍යයනයක යෙදුණු පර්යේෂක කණ්ඩායම අඟහරු ලෝකය මත ඇද හැළුණු වැසි ජලය ගලා යෑමෙන් එම රටා නිමාණය වී තිබේ යැයි නිගමනය කළේය. අඟහරු මත තිබේ යැයි කලින් අදහස් කෙරුණට වඩා බෙහෙවින් විශාල ජලස්කන්ධයක් තිබී ඇතැයි සූරීච් තාක්ෂණ ආයතනයේ භෞතික විද්‍යාඥ හැන්ස්ජෝග් සීබෝල්ඩ් ප්‍රකාශ කරයි. එම ජල ප්‍රමාණයෙන් ඉතා විශාල කොටසක් වාෂ්ප වී අභ්‍යවකාශයට ඇදී යන්නට ඇති බවත් ඒ පිළිබඳ සලකුණු අඟහරු පොළොව මත දැනුදු දක්නට ලැබෙන බවත් සඳහන් කරන හැන්ස්ජෝග් එසේ වුවද එය අනාගත අඟහරු ගගනගාමීනට යොමු වන ප්‍රශ්නයක් යැයිද පැවැසීය.

අඟහරු පෘෂ්ඨය මත ජලය පිළිබඳ සාධක දැක ගන්නට ලැබුණේ 1971දී 'මැරිනර් _ 9' චන්ද්‍රිකාව අඟහරුට ළං වූ අවස්ථාවේදීය. ගං දෑලවල ජල ඛාදන හා අඟහරු පොළොව මත කඳුරැලිද එම චන්ද්‍රිකාවෙන් අනාවරණය විය. එපමණක් නොව අඟහරු ලෝකයේ සීත වායු කලාපයක් හා උණුසුම් වායු කලාපයක් මෙන්ම ඒ කලාප දෙක වෙන් කරන පැහැදිලි සීමාවක්ද මැරිනර් _ 9 යානයෙන් අනාවරණය කෙරිණි. එහෙත් අඟහරු පොළොව මත ජල දහරා වේගයෙන් ගලා යෑමෙන් නිර්මාණය වූ ගැඹුරු නිම්න වයිකිං යානයෙන් දැක්වුණු විට, තමන් තුළ එතෙක් පැවැති මත මහත් විපර්යාසයකට ලක් වී යැයි පර්යේෂකයෝ කියති. අඟහරු දැන් හිම යුගයක මැද සමයෙහි පවත්නා අතර එහි මිදුණු දිය මිස ගලා යන ජලය තිබිය හැකි නොවේ යැයි මේ නව අධ්‍යයනයට කලින් විද්‍යාඥයෝ විශ්වාස කළහ.

බීමට පවා සුදුසු පවිත්‍ර ජලය එක් කලකදී අඟහරු පොළොව මත ගලා ගොස් ඇති බව සනාථ කරන ප්‍රබල සාධක 2013 ජුනියේදී 'ක්‍යුරියෝසිටි' චන්ද්‍රිකාවට ග්‍රහණය කරගත හැකිවිය. උත්තර සාගරයේ ජලස්කන්ධයටද වඩා විශාල ජල කඳක් අඟහරු මත තිබුණු බවත් වසර බිලියන එක හමාරකට වැඩි කාලයක් එය එම ග්‍රහයා මත රැඳී තිබුණු බවත් සනාථ කරන හොඳම සාධක 2017දී සපයා ගැනීමට විද්‍යාඥයෝ සමත් වූහ. ජීවීන්ගේ පැවැත්ම සඳහා අවශ්‍ය තරම් කාලය හා ජලය රතු ග්‍රහයා මත තිබුණු නමුත් වසර කෝටි තුන්සිය හැත්තෑවකට ඉහතදී එම ජලයෙන් සියයට අසූ හතක් පමණ සිඳී යෑමෙන් අඟහරු පොළොව මුඩු බිමක් බවට පත් වී ඇති බව අධ්‍යයනයේ ප්‍රතිඵල අනුව පෙනී ගොස් ඇතැයි පැවැසුණු නමුත් එහි පැවැති ජල මං ශාඛාවලට බෙදුණු තැන්වල කෝණ සංසන්දනාත්මක වශයෙන් කුඩා හෙයින් අඟහරු පොළොව මත වූ ජලය කාන්දු වීමට ඉඩ තිබිණැයි යන්න පර්යේෂකයෝ බැහැර කරති.

භූගත ජලය යළි යළිත් උද්ගත වීම ගංගා ජාල නිර්මාණය වීම කෙරෙහි බලපාන හෙයින් අතු ගංගා බෙදී යෑමේදී වඩා ලොකු කෝණ නිර්මාණය වන බවට ෆ්ලෝරිඩා ප්‍රාන්තයෙහි දක්නට ලැබෙන තත්ත්වය උදාහරණයකි. ශුෂ්ක ප්‍රදේශවල ජලමං අතර එවැනි තත්ත්වයක් දක්නට නොලැබේ. පෘථිවියේ ශුෂ්ක ප්‍රදේශවල අද පවත්නා ඒ තත්ත්වය අඟහරු පොළොවෙහි තිබෙන්නට ඇත්තේ සාපේක්ෂ වශයෙන් අවුරුදු තුන්සිය හැට කෝටියත් තුන්සිය අසූ කෝටියත් අතර ඉතා කෙටි කාලයක් තුළ පමණකි. ඒ කාලය තුළ අඟහරු වායු ගෝලය අද තිබෙනවාට වඩා බෙහෙවින් ගනවද තිබෙන්නට ඇත.

ඒ යුගයේදී අඟහරුගේ උතුරු කොටසෙන් තුනෙන් එකක් සාගරයකින් වැසී තිබෙන්නට ඇතැයි එක කල්පිතයකින් දැක්වෙන අතර පසුව එම ජලය වාෂ්ප වී සාගරයට දකුණු දෙසින් වූ උස්බිම් වටා ඝනීභවනට පත්ව පසුව එහි ධාරානිපාත වැසි හටගෙන ඇති බවත් එහි ප්‍රතිඵලයක් වශයෙන් අඟහරු පොළොව මත ගලා ගිය ජලමං නිසා නිර්මාණය වුණු සලකුණු අදත් දක්නට ලැබෙන බවත් ඉන් ප්‍රකාශ විය. මෙම අධ්‍යයනයෙන් සොයා ගන්නා ලද සියලු කරුණු 'සයන්ස් ඇඩ්වාන්සස් (ඉජඪඥදජඥ ඒඤමචදජඥඵ) සඟරාවෙහි පළ විය.

අඟහරු ලෝකයෙහි ජීවය පවතින්නේද?

අඟහරු ග්‍රහයා මත ජීවය පවතින්නට ඇති බව අඟවන අපේක්ෂා සහගත සලකුණු අවුරුදු බොහෝ ගණනක් තිස්සේ විද්‍යාඥයන්ට හමු වී ඇති අතර ජලය රසායනික ප්‍රතික්‍රියා සහ අඟහරු පෘෂ්ඨයට යටින් ව්‍යාප්ත වන හිම විල් යන සාධකද ඊට ඇතුළත්ය. විකිරණ, සූර්ය කුණාටු හා සීතාධික දේශගුණත් නිසා අඟහරු පෘෂ්ඨයෙහි ජීවය මැනවින් පැවැතීමට පුළුවන් තත්ත්වයක් තිබිය හැකි නොවුණත් අඟහරු පෘෂ්ඨයට යටින් ජීවේන්ද්‍රිය තිබෙන්නට ඇතැයි විද්‍යාඥයෝ විශ්වාස කරති.

අඟහරු ග්‍රහයා මත ජීවය පැවැතිණැයි නිගමනය කළ හැකි වන්නේ තමන්ගේ ගවේෂණයට ලක් වූ අඟහරු පෘෂ්ඨයේ වියළි ස්වභාවය හා විකිරණතාව පවත්නා පෙදෙසට බොහෝ යටින් ජීවයේ පැවැත්මට අවශ්‍ය ජලය හා අනෙක් සාධකද සහිත කුඩා ආවාට තිබේදැයි සොයා ගත හැකි වුවහොත් යැයි ස්ටර්ලිං විශ්වවිද්‍යාලයේ පරිසර විද්‍යාව හා ග්‍රහලෝක ගවේෂණ පිළිබඳ කථිකාචාර්ය ආචාර්ය ක්‍රිස්ටියන් ස්කේ‍රා්චර් 2016 නොවැම්බරයේදී ප්‍රකාශ කළේය. අඟහරු පෘෂ්ඨයට යටින් වූ ජලය පිළිබඳ අධ්‍යයනයෙන්ද ඒ මතයට අනුබල ලැබිණි.

මඩ වියළීමෙන් සෑදුණු ගල් හා අවසාදිතයෙන් නිර්මිත වැටිද අඟහරු මත දැක ගන්නට හැකි වී ඇති අතර වසර දහස් ගණනකට ඉහතදී අඟහරු මත ජලය තිබුණු බවට එයද සාධකයකැයි ඔවුහු ප්‍රකාශ කරති. අඟහරු පෘෂ්ඨයට යටින් අතිවිශාල හිම සාගර තිබෙන බවද අනාවරණය වී ඇත. එහි ජලය පැවැති බව එයින් සනාථ වන හෙයින් අඩුම වශයෙන් ක්ෂුද්‍ර ජීවීන් හෝ එහි සිටින්නට ඇති බවක් කිසියම් ආකාරයක හෝ ජීවීන් දැනුදු සිටිය හැකි බවත් පර්යේෂකයෝ විශ්වාස කරති.

ඔවුන් තවදුරටත් සඳහන් කරන පරිදි අඟහරුගේ වායු ගෝලය අහෝසි වන්නට කලින් එහි ජීවීන් බිහි වන්නට ඇතැයි දැන ගන්නට ලැබීම ප්‍රබෝධජනකය. දැනුදු ජලය තිබෙන බවට සාධක දක්නට ලැබෙන ගැඹුරු ස්ථරවල ක්ෂුද්‍ර ජීවීන් සිටිය හැකිය. අඟහරු පෘෂ්ඨය සමීපයේම ඊට යටින් ජලය තිබෙන බව තහවුරු වීමෙන් පෙනී යන්නේ අඟහරු මත මිනිස් ජනපද ඇති කළ හැකි බව පමණක් නොව ඔවුනට එහි සාර්ථක ලෙස විසීමටද හැකි වන බවත්ය. එපමණක් නොව මිනිසුන් සහිත අභ්‍යවකාශ යානාවලට අවශ්‍ය ඉන්ධනද එහි නිපදවා ගත හැකි බවද ඉන් තහවුරු වෙයි. අඟහරු පොළොවෙහි 'බෝරෝන්' නමැති මූල ද්‍රව්‍ය තිබෙන බව 2017දී නාසා ආයතනය යැවූ 'ක්‍යුරියෝසිටි' අජටාකාශ යානයෙන් අනාවරණය විය. බෝරෝන් යනු ජීවය ඇති වීම සඳහා අත්‍යවශ්‍ය ප්‍රධාන මූලද්‍රව්‍යයක් වන හෙයින් අඟහරු පෘෂ්ඨයෙහි එය සොයා ගත හැකි වීම ජීවීන් සෙවීමේ ප්‍රයත්නය අතින් විද්‍යාඥයන් ලත් විශිෂ්ට ජයග්‍රහණයකි.

බෝරෝන් මූල ද්‍රව්‍යය වසර තුන්සිය අසූ කෝටියකට ඉහතදී 'ගේල් කේටර්' නමැති ආවාටයෙන් සොයා ගනු ලැබීය. පොළොවෙහි ජීවය බිහිවන්නට බොහෝ කාලයකට පෙර අඟහරු ලෝකයෙහි ජීවය නිර්මාණය වීමට අවශ්‍ය පාරිසරික තත්ත්වය තිබුණු බව ඉන් පෙනීයතැයි පර්යේෂකයෝ අදහස් කරති. 1984දී දක්ෂිණ ධ්‍රැවයේ 'ඇලන් හිල්ස්' හිම තලාවෙන් සොයා ගනු ලැබූ 'ඒ.එල්.එච්. _ 84001' යනුවෙන් නම් කෙරුණු වසර හාරසිය පනස් කෝටියක් පැරැණි උල්කාෂ්මය සම්බන්ධයෙන් 2001දී පැවැත්වුණු මතභේදකාරී අධ්‍යයනයෙන් නිශ්චිතවම තහවුරු වූයේ අඟහරු මත ජීවය පවත්නා බවය.

ඒ.එල්.එච්. 84001 නමැති උල්කාෂ්මය අඟහරු පෘෂ්ඨයෙන් වසර දස ලක්ෂ 15කට ඉහතදී ගැලවී ගොස් ඇත්තේ ධූමකේතුවක් හෝ ක්ෂුද්‍ර ග්‍රහයකු හෝ අඟහරු මත බවත් අඟහරු ග්‍රහයා මත පිහිටි නොගැඹුරු විල්වල පත්ලෙහි මකුණන් වැනි ක්ෂුද්‍ර ප්‍රාණීන් ඉතා බහුලව ගැවසුණු යුගයක් තිබුණු බව සනාථ කරන සාක්ෂි එම උල්කාෂ්මය පිළිබඳ අධ්‍යයනයේදී ලැබුණු බවත් නාසා ආයතනයේ පර්යේෂකයෝ කීහ. ප්‍රභාසංස්ලේෂණය සහිත ශාක පද්ධතියක්ද අඟහරු මත තිබෙන්නට ඇතැයිද ඔවුහු විශ්වාස කරති.

කෙසේ වුවද අධ්‍යයනවලින් ලැබී තිබෙන සාක්ෂි කොතරම් ප්‍රබෝධජනක වන නමුත් ඒවා ඉතා ගැඹුරින් අධ්‍යයනය නොකර හෝ ජීව විද්‍යාත්මක නොවන රසායනික නිරීක්ෂණවලට භාජන නොකර හෝ නිශ්චිත නිගමනයකට එළැඹිය හැකි නොවේ යැයි බි්‍රතාන්‍ය විශේෂඥයෝ ප්‍රකාශ කරති.

පරිවර්තනය
ප්‍රේමචන්ද්‍ර අල්විස්

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon