තෙරුවන් ගුණ වැඩීමේදී දෙවියන් ජීවමානව දර්ශනය වූ අයුරු

  👤  3746 readers have read this article !
2018-09-09

 

සිත වහා පරිවර්තනයට ලක්වෙයි. ඉතා සුළු නිමේෂයක් තුළ සිතතුළ ඉතා විශාල සිතුවිලි දහරාවක් පැනනඟී.

මෙසේ හීලෑ නැති හිත හීලෑ කරගෙන ධර්මය වැඩිම ඉතා අසීරු කාරියකි. දුවන හිතේ අරමුණු අඩු වූ කල එය ක්‍රමයෙන් සංවර වේ. තැම්පත් වේ. සිත වඩාත් කැමති කෙලෙස් අරමුණුවලටය. ඊට එරෙහිව යෑමට ඇති ආයුධය අරමුණුය. භාවනා වැඩීම මෙහිලා එක් අරමුණකි. ඒ සමඟම ගොඩනැඟෙන අරමුණ කුසල් අරමුණයි. මේ අරමුණුවලින් සිත පිරෙද්දී කෙලෙස් අරමුණු සිතින් පලායයි.

අති පූජනීය නාඋයනේ අරියධම්ම අප මා හිමිපාණන් වහන්සේ මේ සඳහා පුරුදු පුහුණු වීම ආරම්භ කළේ පැවිදි දිවියට පත්වීමට පෙර ඉතා කුඩා අවධියේ සිටමය.
සංසාර පුරුද්දක් නිසාදෝ බාල අවධියේ සිටම උන්වහන්සේ ඒ සඳහා මහත් ඇල්මක් දැක්වූහ.

නවගුණවැල ගණන් කරමින් "ඉතිපිසෝ..." ගාථාව කියමින් කල් ගෙවීම එකල සිටම උන්වහන්සේ සිරිතක් කොට ගත්හ.

මේ දහම් ප්‍රගුණ කිරීම සහ සිත එක අරමුණක තබා ගැනීම යන උතුම් ගුණාංග තුළින් උන්වහන්සේගේ සිතේ සන්සුන් බවක් ඇතිවන බව දැනෙන්නට විය. ශ්‍රද්ධාව වර්ධනය වූයේ ඒ ඔස්සේය. ධර්මය කෙරෙහි අවබෝධය පුළුල් වන්නට වන්නට ඕනෑම කමටහනක් පහසුවෙන් වැඩීමේ ශක්තිය උන්වහන්සේගෙන් විද්‍යමාන වන්නට විය.

නොසිතූ ලෙස තමන් ප්‍රගුණ නොකළ ධර්ම කරුණු පවා ඉතා පැහැදිලිව, නිරවුල්ව ගලා ඒමට ගත්තේ මේ සිත හසුරුවා ගැනීම තුළිනි.

පසු කාලීනව "ඉතිපිසෝ.... ගාථාව මෙනෙහි කරන වාර ගණන සටහන් කර තබා ගැනීම පුරුද්දක් කොටගත් උන්වහන්සේ අවසන් වරට එසේ සටහන් කර තබා ඇත්තේ 2002 වසරේදීය.

ඒ වනවිට එම ගාථාව වැඩූ වාර ගණන හත්කෝටි තිස්පන් ලක්ෂයක් පමණ විය. ළමාවියේ කිරිඅම්මාගෙන් ලද ආභාෂයෙන් වැඩීමට පටන්ගත් දින සිට සටහන් කිරීම ආරම්භ කළ 2002 වසර දක්වාද එතැන් සිට සටහන් නොකළ කාලයන් දක්වාද "ඉතිපිසෝ... ගාථාව වැඩූ ප්‍රමාණය ගතහොත් එය මෙම වාර ගණන දෙගුණ තෙගුණ කරවනු ඇත.
බුදුගුණ මෙන්ම, දම් සහ සඟ ගුණ වැඩීමද මේ ආකාරයටම කළ අප මාහිමිපාණන් වහන්සේ ඉන් ලැබූ අත්දැකීම් ද විස්මිතය.

මේ තෙරුවන් ගුණ වැඩීමේදී දෙවියන් ජීවමානව දර්ශනය වූ අවස්ථාවන් ද නොසිතූ විරූ ලෙස ක්‍ෂණික ධර්ම කාරණා මතකයට ආ අවස්ථාවන් ද උන්වහන්සේගේ ජීවිතය පුරා ලැබූ අත්දැකීම් අතර වේ.

එම තෙරුවන් ගුණ වැඩීම උන්වහන්සේ කෙතරම් ප්‍රගුණ කළේ ද යත් දැඩි සේ ගිලන්ව රෝහල්ගත වූ අවස්ථාවලදී පවා නවගුණ වැලෙන ගණන් කරන ආකාරයෙන් උන්වහන්සේගේ ඇඟිලි ක්‍රියාත්මක වන අයුරු උපස්ථායක ස්වාමීන් වහන්සේලාට නිතර දැක පුරුදු සුලභ දසුන් බවට පත්ව තිබිණි.

අප මාහිමිපාණන් වහන්සේගේ දෛනික කාලසටහන සකස් වී තිබුණේද සතිය දියුණුවන ආකාරයටය. ත්‍රිපිටකය පාඩම් කළ සමයේ පැයක කාලයක් පාඩම් කරන උන්වහන්සේ පාඩම් දීමේදී පැය කිහිපයක් පාඩම් දෙන්නේ සතිය දියුණු කර ගැනීම තුළින් ලැබූ අධි ධාරණ ශක්තිය නිසාය. "සතිය පුරුදු කිරීමෙන් තමයි කෙටි කාලයක් තුළ වැඩි ප්‍රමාණයක් පාඩම් හිටින්නේ." උන්වහන්සේ සතිය දියුණු කර ගැනීමේ ඵලය පිළිබඳව සිය ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා දැනුවත් කරද්දී එසේ වදාළහ.

අප මාහිමිපාණන් වහන්සේට ඉතා ළාබාල අවධියේ සිට සියලුම සිදුවීම් පාහේ ඉතා නිවැරදිව කාල වකවානු දින සහිතව මතකයේ තිබිණි. "මගේ ජීවිතයේ ගෙවුණු කාලය මට අද වගේ මතකයි. ඒ සියල්ල ඉතා නිවැරදිව ආවර්ජනා කරන්න මට පුළුවන්" වරෙක උන්වහන්සේ එසේ පැවසූයේ හීලෑ කරගෙන කෙලෙස් පලවා හැරීම තම සිත සතියෙන් පුරවාගත් ආකාරයන් පිළිබඳව දැනුවත් කරද්දීය.

උන්වහන්සේ ගත කළ එම සතිමත් ජීවිතය අප කා හටත් මහත් වූ පූර්වාදර්ශයන් සපයයි. සතිය උපදවාගත්, පිහිටුවාගත්, දියුණු කරගත් භාවිත කරගත් සිත ඒකාන්තයෙන්ම නිවන් මඟ තුළම ගමන් කරන බව උන්වහන්සේ පසක් කළ සේක.

පැවිදි දිවියට පමණක් නොව ගිහි දිවියටද සිදුවන අකුසල් දැකීමට, දැක එම අකුසල් අඩුකර ගැනීමට, කුසලය හඳුනාගෙන එය වැඩීමට මෙම සතිධර්මතාව අතිශයින්ම ප්‍රයෝජනවත්ය.

"විශ්වය නිර්මාණය වීමේදී ඒ තුළ ඇති සියලු දේ තුළ දෘශ්‍යමාන සහ ආදෘශ්‍යමාන නැතිනම් ජීවී අජීවී යන කොටස් දෙකක් තියෙනවා. ඉර, හඳ, තාරකා ඒවා දෘශ්‍යමාන විශාල වස්තු. නමුත් ඒවා පවතින්නේ අදෘශ්‍යමාන ශක්තියකුත් එක්කයි. මේ මහ පොළොව නැතිනම් පෘථිවියත් ඒ වාඟේ දෘශ්‍යමාන වස්තුවක්. එය භ්‍රමණය වෙමින් ආලෝක ශක්තියක් එක්කයි තියෙන්නේ. එහෙම නැතිව කිසිවකට පවතින්න බැහැ.

මනුෂ්‍ය ජීවිත වුණත් එහෙමයි.

සත්ත්ව ජීවිත වුණත් එහෙමයි. මේ සියල්ලේ පැවැත්ම තීරණය කරන්නේ මේ දෘශ්‍යමාන - අදෘශ්‍යමාන

(ජීවී - අජීවී) කියන කොටස් දෙකත් එක්කයි. මේ ගුණාංගවලට යම් අලුත් ශක්තියක් එක්වුණාම යම්

පරිවර්තනයක් වෙනවා.

හිතක් ගැන බැලුවත් එහෙමයි. හිතකට ශක්තියක් ආවාම ඒ හිත තුළත් පරිවර්තනයක් වෙනවා. මේ තමයි හේතු. ශරීරයට ආහාරයක් අවශ්‍ය වෙලාවට ආහාරයක් දුන්නම වෙන පරිවර්තනය තමයි ශරීරයට අවශ්‍ය ශක්තිය ලැබීම. ආහාරයක් අවශ්‍ය වෙලාවට එය නොලැබුණොත් ශරීරය දුර්වල වෙනවා.

ඒ වාගෙම හිතත් ශක්තියක් ලැබුණාම ශක්තිමත් වෙනවා. ශක්තිය අඩු වුණාම දුබල වෙනවා. මෙයයි හේතුඵල ධර්මය.

මේ අදෘශ්‍යමාන හා දෘශ්‍යමාන යන දෙකටම යම් හේතුවක් මත ශක්තිමත් භාවයක් හෝ දුබල භාවයක් ඇතිවෙනවා. එය සම්මුති වශයෙන් හා පරමාර්ථ වශයෙන් අවබෝධ කර ගැනීමට ගන්නා උත්සාහය තමයි හේතුඵල දහම හෙවත් පටිච්ච සමුප්පාදය."

අප මාහිමිපාණන් වහන්සේ ලැබූ එම උතුම් ධර්මාවබෝධය අන් අයට අවබෝධ කරදුන්නේ ඉහත සඳහන් ආකාරයට ඉතා සරලවය. නිරවුල්ය. මෙම සරල, නිරවුල් බවින් යුතු අතිවිශාල ධර්මස්කන්ධයක් නිර්ලෝභීව, නිස්සරණාධ්‍යාසයන් සමාජගත කළ උන්වහන්සේ ධර්මාවබෝධයෙන් පිරිපුන් සඟ පරපුරක් සහ ගිහි පරපුරක් බිහිකරලීම සඳහා කරන ලද කැපවීම් අදත් වත්මන් භික්‍ෂූන් වහන්සේලා සහ දායක කාරකාදීන් සිහිපත් කරන්නේ නමස්කාර පූර්වක ගෞරවයකිනි.

- සුනිල් පොරමඬල

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon