කෘතිය මිස අපට ලේඛකයා වැදගත් නෑ රාජ්‍ය සාහිත්‍ය උපදේශක මණ්ඩලයේ සභාපති මහාචාර්ය සමන්ත හේරත්

  👤  3004 readers have read this article !
2018-09-09

 

මෙවර රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය සැප්තැම්බර් මස 11 වැනි අඟහරුවාදා ප.ව. 3.00ට ජනාධිපති ප්‍රධානත්වයෙන් අමාත්‍ය විජයදාස රාජපක්‍ෂගේ සහභාගිත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ. මේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවයේදී 2017 වර්ෂය තුළ සිංහල, දෙමළ හා ඉංගී්‍රසි යන භාෂාත්‍රයෙන්ම ප්‍රකාශිත විශිෂ්ටතම නිර්මාණාත්මක ග්‍රන්ථ හා ශ්‍රාස්ත්‍රීය ග්‍රන්ථ රචනා කළ ලේඛක ලේඛිකාවෝ රාජ්‍ය සම්මානයෙන් බුහුමන් ලබති.

සාහිත්‍ය ක්‍ෂේත්‍රය වෙනුවෙන් කළ දීර්ඝකාලීන සේවා දායකත්වය උදෙසා පිදෙන උසස්තම රාජ්‍ය සම්මානය වන සාහිත්‍යරත්න අභිධානය ද සිංහල, දෙමළ, ඉංගී්‍රසි යන ක්‍ෂේත්‍ර සඳහා ජේ‍යෂ්ඨ සාහිත්‍යවේදීන් තිදෙනකුට ප්‍රදානය කෙරේ.

මෙම සම්මාන ප්‍රදානෝත්සවය මෙවර පැවැත්වෙන්නේ හැටඑක්වැනි වරටය. රාජ්‍ය සාහිත්‍ය උපදේශක මණ්ඩලය, ශ්‍රී ලංකා කලා මණ්ඩලය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය එක්ව මෙම රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය සංවිධානය කරයි.

එය නිමිති කර ගනිමින් රාජ්‍ය සාහිත්‍ය උපදේශක මණ්ඩලයේ සභාපති මහාචාර්ය සමන්ත හේරත් සමඟ අප කළ සංලාපයකි මේ.

සෙසු සාහිත්‍ය සම්මාන අතර රාජ්‍ය සාහිත්‍ය සම්මාන සුවිශේෂ වන්නේ කෙසේද?

පසුගිය කාලේ සම්මාන උත්සව ගණනාවක් බිහි වුණා. මේ වන විට රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානයට අමතරව තවත් එවැනි සම්මාන උත්සව කිහිපයක්ම තියෙනවා. මම පෞද්ගලිකව හිතන විදියට සම්මාන උත්සව වැඩි වීම සාහිත්‍ය ක්‍ෂේත්‍රයේ අභිවර්ධනයට හේතුවක් කර ගත හැකියි. අපි ඒක සුබවාදීව දකින්න ඕන. එක පැත්තකින් රාජ්‍ය මට්ටමෙන් ඇගයීමක් කෙරෙනවා. ඒ වගේම අනෙක් ආයතනවලටත් එහෙම ඇගයීමක් කිරීමේ හැකියාවක් තියෙනවා. ඒකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. පසුගිය කාලය තුළ ඇතැම් සම්මාන හරහා සාහිත්‍ය කෘතීන්වලට විශාල වෙළෙඳ වටිනාකමක් ආරෝපණය වුණා. ඒ එක් එක් සම්මාන ප්‍රදානය කරන ආයතනවල විවිධ අභිමතාර්ථ තියෙනවා. කෘතීන් පාඨකයා අතරට ගෙන යෑම, ඒවා වැඩි වැඩියෙන් අලෙවි කිරීම, ඒ කෘතීන් වැඩි වැඩියෙන් ජනතාව අතරට රැගෙන යෑම වැනි විවිධ අරමුණු ඒ අතර තියෙනවා. එහෙත් අපට එවැනි අරමුණු නැහැ.

පොත් අලෙවිය කියන එක අපේ අරමුණක් නොවෙයි. සංස්කෘතික දෙපාර්තමේන්තුවේ රාජ්‍ය සාහිත්‍ය උපදේශක මණ්ඩලයවත් පොත් අලෙවිය ගැන හිතන්නේ නැහැ. පොත් අලෙවි කරන එක අපේ වැඩක් නොවෙයි. රාජ්‍ය සාහිත්‍ය සම්මානයක් ලැබීම නිසා කිසියම් කෘතියක් වැඩි වැඩියෙන් පාඨකයා අතරට යනවා නම් ඒක වෙනම කාරණයක්. කිසියම් කෘතියක් අලෙවි කිරීම අපේ අභිප්‍රාය නොවෙයි. කෘතීන් සම්භාරයක ආදායම් වාර්තා හෝ ඒ පොත් කොපමණ ප්‍රමාණයක් අලෙවි වුණාද කියන එක අපට අදාළ නැහැ.

පසුගිය කාලය තුළ වර්ධනය වූ ප්‍රවණතාවක් වුණේ තරගකාරි ලෙස කෘතීන් වර්ග කිරීම නිසා මෙන්න අහවල් වටයේ තෝරාගත් පොත් කියලා ඒවාට මාධ්‍ය ප්‍රචාරයක් ලබාදීමයි. සමාජ මාධ්‍යවලිනුත් මේවා විශාල ලෙස ප්‍රචලිත කරනවා. ඒ ඔස්සේ කෘති අලෙවි වීමෙන් ලේඛකයන්ට සහ ප්‍රකාශකයන්ට යම් සෙතක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ සෙත හැරුණු කොට සමස්ත වශයෙන් ගත්තාම සාහිත්‍යයේ ගුණාත්මක වර්ධනයට ඒක හේතුවක් වෙලා නැහැ. දැන් අවුරුද්දකට පොත් දෙදහසක් පමණ නිකුත් වෙනවා. නමුත් ඒ ඒ ක්‍ෂේත්‍රවලින් හැළෙන පොත් සංඛ්‍යාව කොතරම් ද කියලා බලන්න. අගය කිරීමට ගිහිල්ලා වැඩක් නැහැ කියලා විසි කරන පොත් කොපමණ තියෙනවාද? ඇයි පොතක් එහෙම විසි වෙන්නේ? ඇයි පොතක් ඉවත් වෙන්නේ? ඒවා වැඩක් නැහැ කියලනේ. වැඩක් නැහැ කියලා කියන්නේ සාපේක්‍ෂ අගය කිරීමකදී ඒක තියෙන තත්ත්වය අනුවයි. පසුගිය කාලයේ අපේ ලේඛක සමාජය තුළ වුණත් වර්ෂයකට වරක් පොතක් පළ කරන්න යම් නැඹුරුවක් ඇති වුණා.

එහෙම තත්ත්වයක් අද සමාජයේ තියෙනවා. ඒක එතරම් හොඳ දෙයක් නොවෙයි. වඩා වැදගත් වන්නේ පොතක් පළ කිරීම නොවෙයි. ඒ පොත කොතෙක් දුරට අන්තර්ගතය, ඉදිරිපත් කිරීම සහ භාෂාව කියන මේ හැම අංශයකින්ම විශිෂ්ට ගණයේ කෘතියක් පාඨකයා අතරට යනවාද කියලයි අපි බලන්න ඕන. පසුගිය කාල වකවානුව තුළ විශාල වශයෙන් පොත් පළ වුණා. මේ සමහර පොත්වල පිටු හාරසීයක් පන්සීයක් තරම් විශාල ප්‍රමාණයක් තිබුණා. මේ නිර්මාණ සාහිත්‍ය කෘති බොහෝමයක් පළ වුණේ සංස්කරණය නොකරන ලද ප්‍රකාශන හැටියටයි. මේ කෘතිවලට පිටපත් සංස්කාරකයන් හිටියේ නැහැ. ලියන ලියන කොළය මුද්‍රණාලයට භාර දුන්න බවක් පෙනෙන්න තිබුණා. පිටු පන්සියයක් පමණ ලියලා, පිටකවරයක් දාලා මුද්‍රණය කළ පමණින් ඒක පොතක් බවට පත්වෙන්නේ නැහැ. එයින් නිර්මාණ සාහිත්‍ය දියුණු වෙන්නෙත් නැහැ. ලේඛක සමාජය තුළ වුණත් කිසියම් විදියක වෙළෙඳ වටිනාකමක් ආරෝපණය වීම නිසා පොතක් පළ කිරීම කියන කාරණයට මුල් තැන දෙන තත්ත්වයක් පසුගිය කාලේ වර්ධනය වුණා. ඒකෙන් එක්තරා විදියකට ලේඛකයකුට හෝ ලේඛිකාවකට කීර්තිනාමයක්, ප්‍රසිද්ධියක් සහ මූල්‍යමය ප්‍රතිලාභ ලැබෙනවා. වෙන්න පුළුවන්. හැබැයි ඒක නෙවෙයිනේ මූලික අරමුණ විය යුත්තේ.

මූලික අරමුණ විය යුත්තේ වර්ෂයේ විශිෂ්ටතම කෘති තෝරා ගැනීම සහ අගය කිරීමයි. රාජ්‍ය සාහිත්‍ය සම්මාන ඔස්සේ අපි කටයුතු කරන්නේ ඒ සඳහායි.

එහෙත් රාජ්‍ය සම්මාන ලබන කෘති වඩාත් ප්‍රචලිත කිරීමට වැඩපිළිවෙළක් තිබිය යුතුයි නේද?

අදහසක් හැටියට මම සියයට සියයක්ම එයට එකඟයි. ඒ ගැන කිසිම ගැටලුවක් නැහැ. අපි සම්මාන ප්‍රදානය කරන කෘතීන් ගැන සංවාදයක් ඇති වෙන්න ඕන කියන එක මම පිළිගන්නවා. ඒවා මිනිස්සු අතරට මීට වඩා විධිමත්ව යමින්, විචාරක අවධානයට සහ විශ්ලේෂණයට භාජන වෙන්න ඕන කියන එක ඇත්ත. ඒත් ඒ සඳහා විශාල කාලයක් සහ ශ්‍රමයක් අවශ්‍ය වෙනවා. වර්ෂයේ ජනවාරි සිට අගෝස්තු දක්වා කාලය පුරා කෘතීන් තේරීම සඳහා දීර්ඝ කාලයක් සහ ශ්‍රමයක් වැය කරන අතරම සාහිත්‍යය පිළිබඳව කිසියම් උදේ‍යාගයක්, උනන්දුවක් ජනිත කරන්න මාසික සාහිත්‍ය සංකථන සහ ද්විමාසික සාහිත්‍ය සංකථන වැඩසටහන් යනාදියත් අපි ක්‍රියාත්මක කරනවා. මේ සියල්ලටම අපට තියෙන ශක්තිය සහ වැය කරන්න පුළුවන් ප්‍රමාණය තීරණය වෙන්නේ ඒ සඳහා අපට ඉන්න පිරිස අනුවයි. අවුරුද්දෙන් හතරෙන් තුනක්ම පොත් තේරීම සඳහා වැය කරන අතරම හැකි පමණින් සාහිත්‍ය ප්‍රවර්ධන කටයුතු ක්‍රියාත්මක කරන්නත් අපි උත්සාහ දරනවා. පසුගිය කාලය තුළ එහෙම කරපු අවස්ථා තියෙනවා. පසුගිය කාලය තුළ හොඳම සාහිත්‍ය කෘතීන් පිළිබඳ ඇගයීම් කිරීමේ සම්මන්ත්‍රණ පවත්වන්න අපි කටයුතු කළා. කෘතියක් සම්මානයට පාත්‍ර වුණාම ඒ පිළිබඳව කතා කරන එක විතරක් නොවෙයි. නිසි විචාරයකට ලක් කිරීමත් වැදගත්. කෘතියක් සම්මානයට පාත්‍රවීමත් සමඟම ඒ කෘතිය පිළිබඳ කතාබහක් නිර්මාණය වෙනවා. ඒ හරහා එයට වෙළෙඳ වටිනාකමකුත් ආරෝපණය වෙනවා. එයට අමතර වශයෙන් කෘතිය පිළිබඳ මැදිහත් විචාරයක් ඉදිරිපත් වීමත් වැදගත් සාහිත්‍ය කියන එක වැඩෙන්න ඕන ඒ හා සමගාමීව යන හොඳ විචාර සම්ප්‍රදායක් එක්කයි. ඒත් අද එහෙම එකක් සිද්ධ වෙන්නේ නැහැ. මාධ්‍යවලින් වුණත් ඇත්තටම හුඟක් වෙලාවට ලේඛකයෝ අපේක්‍ෂා කරන්නේ තමන්ගේ කෘතියට රසික අවධානය කේන්ද්‍ර ගත කර ගැනීමයි. ඒක එක්තරා විදියකට විචාරයකට වඩා ළං වෙන්නේ ප්‍රචාරයකටයි.

සමාජයකට සාහිත්‍ය සම්මාන වැදගත් වන්නේ කුමන ආකාරයටද?

තමන්ගේ කෘතියට අගය කිරීමක් ලැබෙනවා කියන එක සහ ඒකට රසික අවධානය කේන්ද්‍රගත වීම සහ මූල්‍යමය වටිනාකමක් ආරෝපණය වීම කියන දේවල් ලේඛකයකුට හෝ ලේඛිකාවකට වැදගත්. ඒ වගේ දේවල් පැත්තකම තිබ්බත් සම්මානයක් ලැබීමෙන් ලේඛකයන්ට දිරි ගැන්වීමක් ලැබෙනවා. හැබැයි සම්මාන ප්‍රදානයක් තිබූ පමණින් හෝ අපි වර්ෂයකට සැරයක් මේ කෘතීන් තෝරලා සම්මාන දුන් පමණින් අපි අද මේ අත්දකින සමාජ ඛේදවාචකයෙන් ගොඩ එන්න ඒක ප්‍රමාණවත් නැහැ. හොඳ කෘතීන් තෝරාගෙන සම්මාන ප්‍රදානය කළ පමණින් සාහිත්‍ය ක්‍ෂේත්‍රයේ උද්ගත වෙලා තියෙන සකල විධ ප්‍රශ්නවලට, දැවෙන ප්‍රශ්නවලට විසඳුම් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අද වන විට සමාජය ඇමතීම සඳහා වෙනත් විදියක ප්‍රවේශයන් සොයා යා යුතුව තිබෙනවා.

සංලාපය - අජිත් නිශාන්ත

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon