කෙල්ලන් පිස්සු වට්ටා අසරණ කළ හින්දි සිනමාවේ මුල් යුගයේ සිහින කුමරු දේව් ආනන්ද් පිළිබඳ හද බැඳි කතා

  👤  2785 readers have read this article !
2018-09-09

 

හින්දි සිනමාවේ මුල් යුගයේ අතීත තොරතුරු පෙළගස්වද්දී අමතක නොවෙන කඩවසම් නළුවකු වන්නේ 'දේව් ආනන්ද්'ය. දේව් සිනමාවට පිවිසෙන්නේම ඔහුට වයස අවුරුදු 23දීය. ඒ 1946 දීය. දේව් ආනන්ද් උපන්නේ එකල බි්‍රතාන්‍ය අණසකට යටත්ව තිබුණු, වත්මන් පන්ජාබ් ප්‍රදේශයට අයත් ශාකර්ග්‍රාත්හිදීය.

ගුජරාටි දිස්ත්‍රික් උසාවියේ නීතිඥයකු වූ ඔහුගේ පියා හැදීගෙන එන තම පුතුන් හතරදෙනා අතරින් තුන්වැන්නා කෙදිනක හෝ රටම මන්මත් කරවන නළුවකු වේයැයි නොසිතුවේය. එහෙත් දේව් ඉගෙනීමටද දක්ෂයකු වූ අතර ඉංගී්‍රසි සාහිත්‍ය පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය සමත් වන තරමට දීප්තිමත් සිසුවකු වන්නේය.

සිත් ඇද ගන්නා තරුණ පෙනුම දේව්ගේ සිත සිනමාවට යොමු කළාදෝයි සිතන තරමට ඉතා අඩු වයසකින් චිත්‍රපට රඟපෑමට යොමු කරන්නේය. උපාධිය සමත් වීමෙන් පසු උපන් ගමෙන් බොම්බායට එන දේව් සිය ජීවන ගමන් මඟ සකස් කර ගන්නේ අපූරු අහඹු සිදුවීම් කිහිපයක් හා බැඳීගෙනය. හමුදාවේ ඉතා වැදගත් කාර්යාලයක මාසික වැටුප වූ රු. 165ක් ලබමින් වෘත්තීය ජීවිතය අරඹන ඔහු අනතුරුව ලිපිකරුවකු වශයෙන් චිත්‍රපට සමාගමක සේවයට යන්නේය. එහි වැටුප රු. 85කි. රු. 165 වැටුප අත්හැර ඊට අඩු වැටුපක් ලබන ලිපිකරු රැකියාව ඔහු තෝරා ගන්නේ හිත් කොනක තිබුණු සිනමා රසය නිසා යැයි පසු කලෙක විචාරකයන් ඔහුගේ සිතැඟි පළ කරමින් දක්වා තිබුණේය. යම් හිතේ වැඩෙන ආශාවත් සමඟ දේව් තම වැඩිමල් සොයුරු 'චේතන්' ද සමඟ ඉන්දීය ජනතා නාට්‍ය සංගමයට බැඳෙන්නේ පියවරක් ඉදිරියට තබමිනි.

ඔහු පසු කලෙක තමන්ගේ චිත්‍රපට ජීවිතයේ මුල්ම පියවර ගැන කියූවක් මෙසේය.
"ප්‍රභාත් චිත්‍රාගාරයේ සෙනඟ අතරින් කෙනෙක් මා දිහා බලාන උන්නා. ඒ බාබු රාඕ පායි මහත්තයා. ඔහු කෙනකු අතේ මාව ඔහු ළඟට කැඳව්වා. ඔහු කීවා. මම මොහොතකට නැවතී බැලුවා ඔබගේ හිනාව, ලස්සන දීප්තිමත් ඇස් දිහා කියලා. ඔහුට මාව හිතට අල්ලා තිබුණා. ඒ තමයි මගේ ඇරඹුම. ඔහු මට හින්දු තරුණයකුගේ චරිතය පිරිනැමුවා. ඒ 1946 මගේ ප්‍රථම චිත්‍රපටය වූ 'හම් ඒක් හේන්'.

ඉතා ඉක්මනින් ඔහුගේ සිනමා දිවිය ගොඩනැඟෙන්නේ එලෙසය. 1940 ඇරඹි ඔහුගේ සිනමා ජීවිතයේ ආදරණීය චරිත කිහිපයක්ම ලැබෙන්නේ එවක ජනප්‍රිය ගායිකාවක හා නිළියක වූ සුරෙයියා සමඟ රඟපාන්නටය. එහි ප්‍රතිඵලය වන්නේ දේව් සුරෙයියා හා පෙමින් වෙළීමය. සුරෙයියා සමඟ එක දිගට චිත්‍රපට 7ක් රඟන්නට ලැබෙන්නේය. ඒ... 'විද්යා' (1948), 'ජීට්' (1949), 'අෆ්සාර්' (1950), 'නිලි' (1950), 'දෝ සිතාරේ' (1950), 'සානම්' (1951) ය. මේ සියල්ලම බොක්ස් ඔෆිස් වාර්තා පිහිටුවූයේය. සුරෙයියා එකල දේව්ට වඩා ඉහළින් ජනප්‍රියව සිටි අතර දේව් - සුරෙයියා යුවළගේ ප්‍රේමය ප්‍රකාශ වන්නේද 'විද්යා' චිත්‍රපටයේ 'කිනාරේ කිනාරේ චලේ ජායෙන්ගේ' නම් ගීතය රූපගත කරන අතරතුරය.

'අස්ෆර්' රූපගත කරන අතරතුර දේව් සුරෙයියාට එකල ඉන්දීය රු. 3000ක් වටිනා දියමන්ති මුද්දක් පැලඳවීය. එහෙත් මේ ප්‍රේමය ශෝකයෙන් කෙළවර වන්නේය. සුරෙයියාගේ මිත්තණිය මීට තදින්ම එරෙහි වන්නේ ඔවුන් මුස්ලිම්වරුන් හා දේව් හින්දු වූ බැවිනි. ඔහුත් ඇයත් හා බැඳුණු චිත්‍රපටද නැවතිණි. ප්‍රේමය බිඳ වැටිණි. සුරෙයියා ගතින් දේව්ගෙන් සමුගත්තේය. මියෙන තුරාවටම අවිවාහකව දිවි ගෙවන්නට තීරණය කරන්නේය.

දේව් පසුව 1954දී කල්පනා කාර්තික් සමඟ විවාහ වුවද සුරෙයියා පිළිබඳව ඔහු හද තබන හැඟීම් විටින් විට පළ කළේය. ඉබභප ච්භඵබ (1970) ඉබචප } ඉබරතඥ (1980) සඟරාවලට පසු කලෙකත් ඒ මතකය අවදි කළේය. සුරෙයියා අවිවාහකවම දිවි ගෙවමින් සිට 2004 ජනවාරි 31 දිවියෙන්ද සමුගත්තාය. දේව් ඒ ප්‍රේමයේ විරහව දරාගෙනම නැඟී සිටියේය. ඔහු 'සිද්ධි' චිත්‍රපටයේ සාර්ථකත්වයත් සමඟ චිත්‍රපට නිෂ්පාදනය කළ යුතු යැයි තීරණය කළේය. කිශෝර් කුමාර් - ලතා යුවළ ප්‍රථම යුග ගී ගායනය බිහිවන්නේද දේව්ගේ උත්සාහයෙනි. ඉන්පසු යුග දෙකක්ම කිශෝර් - ලතා සුසංයෝගය අත්‍යවශ්‍ය වූවක්ම විය.

'නව්කේතන් ෆිල්ම්ස්' දේව් සහ වැඩිමල් සොයුරා ඇරැඹි චිත්‍රපට සමාගමය. එය බෙහෙවින් සාර්ථක විය. 2011 වන විට එමඟින් චිත්‍රපට 35ක් නිමවා තිබිණි. දේව් 1951 නිමැවූ 'බාසි' තුළින් හොලිවුඩ් සිනමාවේ අපරාධ තේමා මුල්කරගත් කතා රසය ඉස්මතු කරන්නට ප්‍රමුඛ වූයේය. දේව්, ගීතා බාලි, කල්පනා කාර්තික් ත්‍රිත්වය ඒ ඇරැඹුමට එක් වූහ. කල්පනා කාර්තික් දේව්ට හමුවන්නේ මේ ප්‍රවේශයේදීය. කල්පනා කාර්තික් - දේව් ආනන්ද් සුසංයෝගයද ජනප්‍රිය විය. එක දිගට චිත්‍රපට ගලා එන්නට විය. 'අන්දියාන්' (1952), ටැක්සි ඩ්‍රයිවර් (1954), 'හවුස් නම්බර් 44' (1955).

'නාවු දෝ ජියාරා' (1957) අතිසාර්ථක විය. දේව් කල්පනා විවාහය සිදුවිය. ඔවුන් දෙදෙනාට 'සුනෙල්' හා 'දේවිනා' නම් පුතකු හා දුවකු ලැබිණ.

කල්පනාගේ සිනමා දිවිය 'නාවුදෝ ජියාරා' චිත්‍රපටයෙන්ම නැවතිණි. වියපත් වන තුරුම වයසට වඩා තරුණ පෙනුමකින් රඟපාන්නට කැමැත්තක් දැක්වූ දේව් මුල් යුගයේ කෙල්ලන් පිස්සු වට්ටන නළුවකු විය. හොඳ අනර්ඝ, වටිනා, ඇඳුම් පැලඳුම්වලට ප්‍රිය කළ හේ හොඳින් කාබී ඇඳ පැලඳ වැහැරුණත් ඒ බව පිටතට නොපෙන්වා ජීවත් වූයේය.

නූටාන් සමඟ ඔහු රඟපෑ 'තෙරේගර්කෙ සාම්නේ', මීනා කුමාරි හා රඟපෑ 'කින්නාරේ කින්නාරේ', මාලා සිං සමඟ රඟපෑ 'අසිලි - නක්ලි' සධානා සිව්දාසනී සමඟ රඟපෑ 'ජබ් ප්‍ර්‍යාර් කිසීසේ හෝතා හේ., ආශා පරේක් සමඟ රඟපෑ 'මනාල්' ඉතා සාර්ථක, අදටත් ජනප්‍රිය ආදරණීය චිත්‍රපටය. ඔහු රඟපෑ ප්‍රථම වර්ණ චිත්‍රපටය 'ගයිඩ්'ය. වහීඩා රෙහ්මන් සමඟ රඟපෑ එම චිත්‍රපටය ආර්.කේ. නාරායන්ගේ නවකතාවක් පසුබිම් වූ ජනප්‍රිය චිත්‍රපටයක් විය. ඔහු චිත්‍රපට රැසක් නිපදවා අධ්‍යක්ෂණය කළේ සිය අත්දැකීම්වලින් උපරිම ප්‍රයෝජන ගනිමිනි. ඒ වෙනුවෙන් සම්මාන රැසක් දිනාගත්තේය. තවමත් කතාවෙන, තවමත් රසවත් චිත්‍රපට ගොන්නක් රසිකයන්ට දායාද කළ මේ නළුවා 2011 දෙසැම්බර් 3දා ලන්ඩනයේදී දිවියෙන් සමුගත්තේය. දේව් ආනන්ද්ට හද බැඳි ඔබට, හින්දි සිනමාවට කැමැති ඔබට දේව් රඟපෑ චිත්‍රපට සොයා නැරඹුවහොත් එහි රස දැනේවි. (ඔබේ අදහස් රටක් වටී)

සජිත් රෝහිත ලියනගේ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon