මැදියම් රැයක ගන අඳුරේ පිරමීඩයකට රිංගපු අපූරු මිනිසෙක්

  👤  2727 readers have read this article !
2018-09-09

 

යාන්තමින් ඇඳිරි වැටීගෙන එන විට පවා සුසාන භූමියක් අසලින් ගමන් කිරීමට වර්තමානයේ ජීවත් වන මිනිසුන් වුවද බිය වන බව නොරහසකි. ඊජිප්තුවේ පිරමීඩ සැලකෙන්නේ පුරාණ ඊජිප්තු වැසියන්ගේ මළසිරුරු තැන්පත් කොට ඇති විශාල සොහොන් ගෙවල් ලෙසය. මෙම පිරමීඩ ආශි්‍රතව විශාල ලෙස පරීක්‍ෂණ සිදුවුවද ඒවා තුළ රැයක් ගත කිරීම තහනම්ය. එසේම පිරමීඩයක රැයක් ගත කිරීමට තරම් ධෛර්යයක් සහිත කෙනකුද සොයා ගැනීම අපහසුය. මීට බොහෝ කාලයකට ඉහතදී නැපෝලියන් බොනපාට් නමැති යුද වීරයා පිරමීඩයක් තුළ රැයක් ගත කළ බව අතීත මූලාශ්‍රවල සඳහන් වී ඇත. ඉන්පසුව පිරමීඩයක රැයක් ගත කිරීමට ඉදිරිපත්ව ඇත්තේ රප්හිල් හර්ට්ස් නමින් උපත ලබා පසුව පෝල් බ්‍රන්ටන් නමින් ප්‍රසිද්ධියට පත් වූ බි්‍රතාන්‍ය ජාතිකයෙකි. වර්ෂ 1898 ඔක්තෝබර් මස බි්‍රතාන්‍යයේ ලන්ඩන් නුවරදී උපත ලද බ්‍රන්ටන් තරුණ වියට එළැඹි පසු පෙරදිග සංස්කෘතිය ගැන සිය අවධානය යොමු කර ඇත. ජීවිතයේ ආධ්‍යාත්මික පක්‍ෂයට වැඩි අවධානයක් යොමු කළ බ්‍රන්ටන් ඒ පිළිබඳ ගවේෂණය කිරීමට ඉන්දියාව බලා ගියේය. එහිදී එකල ඉන්දියාවේ වාසය කළ උග්‍ර තපස් දම් රැකි රමණ මහරිෂි වැනි සෘෂිවරුන් හමුවීමේ භාග්‍ය උදාකර ගත්තේය.

ඉන්දියාවේ ගත කළ කාලය තුළ ඔහු භාවනා ක්‍රම පිළිබඳවද හැදෑරීය. ඉන්දියාවේදී ලබාගත් අත්දැකීම් පදනම් කර ගනිමින් ඔහු පොත් කිහිපයක්ද රචනා කර ඇත.

මේ අතර කාලයේදී ඔහුගේ අවධානය ඊජිප්තු පිරමීඩ වෙත යොමු විය. ඊජිප්තු පිරමීඩ තුළ රාත්‍රි කාලය තුළ සිදුවන්නේ මොනවා දැයි විමසා බැලීමට සිත් පහළ වූ බ්‍රන්ටන් ඒ පිළිබ¼දව ඊජිප්තු බලධාරීන්ට දැන්වීය. නමුත් පස්වරු 6න් පසු පිරමීඩ තුළට කිසිවකුටත් ඇතුළු වීම තහනම් කොට පනවා තිබූ නීතිය හේතුවෙන් ඊට බලධාරීන්ගේ අවසරය ලබා ගැනීම ඉතා අසීරු විය. කෙසේ නමුත් ඔහුගේ දැඩි ඉල්ලීම නිසාම එක් රාත්‍රියක් පමණක් පිරමීඩයක් තුළ ගත කිරීමේ අවසරය ඔහුට අවසානයේ ලැබිණි. රාත්‍රිය ගත කිරීම සඳහා ඔහු තෝරාගෙන තිබුණේ මහා පිරමීඩය හෙවත් ගීසා පිරමීඩයයි. යොදාගත් දින රාත්‍රියේ පිරමීඩය තුළට පිවිසි බ්‍රන්ටන් පැරණි පාරාවෝ රජවරුන්ගේ මළ සිරුරු හෙවත් මමී තැන්පත් කර තිබූ කුටියේ ගල් ලෑල්ලක් මත භාවනානුයෝගීව වාඩිවී රැය ගත කිරීම ආරම්භ කළ බව සඳහන් වේ. ඉතා හොඳ සිහියෙන් භාවනා වඩමින් කළුවරේම රැය ගත කරමින් සිටි ඔහුට මධ්‍යම රාත්‍රිය ආසන්න වෙත්ම අසාමාන්‍ය සිදුවීම්වලට මුහුණ දීමට සිදුවිය.

පිරමීඩයේ තැන්පත් කර තිබූ මමීවලට අරක් ගත් අඳුරු බලවේග ඔහු ඉදිරියට පැමිණ ඔහුව බිය ගැන්වීමට උත්සාහ කළහ. කළු පැහැ අඳුරු සෙවණැලි ලෙස දිස් වූ මේ බලවේග ඉදිරියේ නොසැලී සිටීමට තම ආධ්‍යාත්මික ශක්තිය උපකාර වූ බව බ්‍රන්ටන් පවසා ඇත. බ්‍රන්ටන්ව බිය ගැන්වීමට බොහෝ වේලාවක් උත්සාහ කර ඇති අඳුරු බලවේග අවසානයේ ඔහු අතැර ගොස් ඇත. වඩා වැදගත් සිදුවීම වී ඇත්තේ ඉන් පසුවය.

එකවරම පිරමීඩය පුරාම ඒකාලෝක කරමින් ශරීරයෙන් රැස් විහිදාගත් ආත්ම දෙකක් පිරමීඩයේ ප්‍රධාන ‍ෙදාරටුවෙන් ඇතුළු වී ඔහු කරා පැමිණ තිබේ. ප්‍රතාපවත් පෙනුමක් තිබූ ඔවුන් දෙදෙනා අඩි 7කට වඩා උස බවත් සුදු පැහැති රාජකීය වස්ත්‍රාභරණයෙන් සැරසී සිටි බවත් බ්‍රන්ටන් පවසා ඇත. ඔවුන්ගේ පැමිණීමත් සමඟ පරිසරය සෞම්‍ය වූ බව හැඟී ගිය බවක් ද ප්‍රකාශ කර ඇති බ්‍රන්ටන් අඳුරේ සිටි තමාට මේ තරම් පැහැදිලිව ඔවුන් දිස්වූයේ ඔවුන්ගේ ශරීරයෙන් නිකුත් වූ සෞම්‍ය ආලෝකය නිසා බව වැඩිදුරටත් ස¼දහන් කර තිබේ. මෙම ආත්ම දෙක වෙන් වෙන්ව පැමිණ බ්‍රන්ටන් සමඟ අදහස් හුවමාරු කරගෙන ඇත. පිරමීඩ තුළ සැඟවුණු රහස් අනාවරණය කර ගැනීම තමාගේ අභිප්‍රාය බව බ්‍රන්ටන් ඔවුන්ට සන්නිවේදනය කර ඇත. අත්භූත ආත්ම දෙක තමාගෙන් ඉවත්ව ගිය පසු තමාට මනෝ කයින් ගමන් කිරීමේ හැකියාව ලැබුණු බව පවසන බ්‍රන්ටන් තමා අහසේ පාව ගිය බවත් තම සිරුර ගල් තට්ටුව මත වැතිර තිබූ බවත් එය රිදී හුයකින් තමන්ට සම්බන්ධව තිබූ බවත් පවසා සිටී. මනෝකයින් විශ්වය හරහා ගමන් කළ බ්‍රන්ටන් උදෑසන වෙද්දී නැවත සිරුරට ඇතුළු වී තිබේ.

තමාගේ මෙම අත්දැකීම් ඇතුළත් කර බ්‍රන්ටන් පොතක් ප්‍රකාශයට පත් කර තිබේ. ඔහු විසින් රචනා කළ . 'ඵඥචපජඩ ඪද ඵඥජපඥබ ඡ්ඨඨනබ' නම් ග්‍රන්ථය ප්‍රකාශයට පත් වීමත් සමඟ මෙය සැබෑවක් දැයි බොහෝ දෙනා ප්‍රශ්න කළහ. කෙසේ නමුත් ඊජිප්තු බලධාරීන් තහවුරු කර ඇත්තේ ඉතා දැඩි නීති රීති හමුවේ එක් රැයක් පිරමීඩය තුළ ගත කිරීමට මේ පර්යේෂකයාට අවස්ථාව දුන් බවයි. ඒ අනුව පෝල් බ්‍රන්ටන් නිසැකවම එක් අත්භූතජනක රාත්‍රියක් පිරමීඩය තුළ ගත කර ඇති බව තහවුරු වේ. බ්‍රන්ටන් පවසන්නේ පිරමීඩ යනු දැනුම් සම්භාරයක් කැටි කොට ගත් මහා වස්තු බවයි. ඒ මඟින් විශ්වය සමඟ සම්බන්ධ වීමටත් විශ්වයේ ඇති බලවේග සමඟ සම්බන්ධ වීමටත් හැකි බව ඔහු පවසා ඇත. කෙසේ නමුත් බ්‍රන්ටන්ගෙන් පසුව තවම කිසිවෙක් පිරමීඩයක් තුළ රැයක් ගත කිරීමට ඉදිරිපත් වී නොමැත.

එල්. ජයසේකර

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon