විසිල් සහ බල්ටි

  👤  2961 readers have read this article !
2018-09-09

'විසිල් විතරයි බල්ටි නෑ' එ.ජා.ප. මන්ත්‍රිවරයකු මෙසේ පවසා තිබුණේ ඒකාබද්ධ විපක්‍ෂය පසුගියදා සංවිධානය කර තිබූ ජන බලය කොළඹට ආණ්ඩුව පලවා හැරීමේ විරෝධතා ව්‍යාපාරය සම්බන්ධයෙනි. අපේ රටේ පාලකයන් මෙන්ම ආණ්ඩුද හැමදාමත් විසිල් ගැසුවා මිස කවදාවත් බල්ටි ගසා පෙන්නුවේ නැත. එසේ කළා නම් ලංකාව මේ වන විට සකලවිධ ප්‍රශ්නවලින් තොර කේතුමතී රාජධානියකි. ඒ අනුව බලන කල මන්ත්‍රිවරයාගේ කතාව එ.ජා.ප.යට මෙන්ම මේ රටේ සියලුම දේශපාලන පක්‍ෂවලටත් නිදහසින් පසු බිහිවූ සියලුම ආණ්ඩුවලටත් අදාළය. ඔවුන් විසිල් ගසනවා මිස වැඩ පෙන්වා නැත. ජනතාව හැමදාමත් විසිල් පාරට රැවටී බල්ටි නොදැක ගෙදර යති.

ලංකාව මුහුණ දෙන සෑම ප්‍රශ්නයකටමත් රටේ සිදුවූ සෑම විනාශයකටමත් මුල ජනාධිපති ජයවර්ධනගේ 78 ව්‍යවස්ථාව බව කියමින් ඊට තඩිබාන දේශපාලකයෝ බලයට පැමිණි පසු 78 ව්‍යවස්ථාව කිරි දරුවකු මෙන් ආදරයෙන් රැක බලාගනිති. ආරක්‍ෂා කරති. සකලවිධ විපත්තිවලට මුල ජේ.ආර්.ගේ විවෘත ආර්ථික ප්‍රතිපත්ති බව ප්‍රකාශ කරමින් ජේ.ආර්. ජයවර්ධන පට්ට ගසන ඔවුහු අවුරුදු 40ක් තිස්සේම විවෘත ආර්ථික ප්‍රතිපත්ති මත රට ඉදිරියට ගෙනයති. 'මෙන්න රට විකුණනවෝ' කියා කෑමොර දෙමින් බලයට එන ඔවුහු ආණ්ඩු බලය ලැබුණු පසු විකුණන්නට පුළුවන් හැම දෙයක්ම විකුණති. බදු දෙන්නට පුළුවන් හැම දෙයක්ම බදු දෙති. ජනතාව හැමදාමත් විසිල් පාරවලට රැවටෙති.

විසිල්කාරයන් මාතෘ භූමියට සිදුකළ ලොකුම විනාශය මත්ද්‍රව්‍ය වසංගතයට රට ගොදුරු කිරීමය. ඔවුන්ට පින් සිදු වෙන්නට දැන් ලංකාවේ ඕනෑම නියම්ගමකදී හෙරොයින් පැකැට්ටුවක් මිලදී ගැනීමේ හැකියාව තිබේ. ඒ අනුව නම් ලංකාව සමෘද්ධිමත් රටක් බව කීමේ වරදක් නැත. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ ලක්‍ෂ ගණනක් තරුණ ජනයා ජාතිය අගාධය කරා ගෙනයමින් සිටිති. මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධක බළකා, මත්ද්‍රව්‍ය වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථානය ආදී මත්ද්‍රව්‍ය විරෝධී රාජ්‍ය සංවිධාන හැටහුටහමාරක් තිබේ. ඒවාට රිංගා ගෙන සිටින උත්තමයන් නඩත්තු වන්නේද ජනතාවගේ බදු මුදලිනි. එහෙත් මත්ද්‍රව්‍ය ප්‍රවර්ධනය වසරින් වසර අපූරුවට සිදුවේ. ජනපති යෝජනා කර ඇති පරිදි එල්ලා මරනවා නම් මැරිය යුත්තේ මත්ද්‍රව්‍ය ජාවාරම පිටුපස සිටින දේශපාලකයන්ය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා බලයට පැමිණි පසු එක්සත් ජාතීන්ගේ ජිනීවා මහ සමුළුවට සහභාගි වෙමින් අපූරු යෝජනාවක් කළේය. එනම් එක්සත් ජාතීන්ට අයත් සියලුම රාජ්‍යයන් එකාවන්ව මැදිහත්ව මත්ද්‍රව්‍ය උවදුර ලෝකයෙන් මැඬලීම සඳහා අන්තර්ජාතික ප්‍රතිපත්තියක් සකස් කළ යුතු බවය. එතුමා එසේ ප්‍රකාශ කරද්දී ලෝක රාජ්‍ය නායකයෝ තුෂ්ණිම්භූතව බලා සිටියහ. ඊට හේතු වූයේ එක්සත් ජාතීන් 1992, 2013දී එවැනි මත්ද්‍රව්‍ය විරෝධී ප්‍රඥප්ති සම්මත කොට ක්‍රියාත්මක කරමින් තිබීමය. ලංකාවද එම ප්‍රඥප්තීන්ට අස්සන් තබා තිබේ. එහෙත් මත්ද්‍රව්‍ය ජාවාරම් මැඬලීම පිණිස එම ප්‍රඥප්තීන්ට ඇතුළත් පියවරයන් කිසිවක් ක්‍රියාත්මක නොකරන, මත්ද්‍රව්‍ය ජාවාරම්වලට උඩගෙඩි දෙන රටවල් දෙකක් තිබේ. එකක් කොළොම්බියාවය. අනෙක් රට ලංකාවය. ලංකාවේ මත්ද්‍රව්‍ය විරෝධී ව්‍යාපාරය ඊට සම්බන්ධව සිටින බොරු පණ්ඩිතයන්ගේ හිතලු මත සකස් වූ තවත් සෝබන විසිල් පාරක් පමණි.

මහජන දේපොළ වංචා කරන දූෂිතයන්ට විරුද්ධවද මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා දෙන ලෙස ජනාධිපතිවරයා පසුගියදා ඉල්ලීමක් කළේය. මරණ දඬුවම පැමිණවීම කෙසේ වෙතත් මිලියන, බිලියන ගණනින් මහජන මුදල් වංචා කරන දූෂිතයන් සිටින ලංකාවේ අඩු තරමින් එවැනි අපරාධකාරයකු සිරගෙට යැවූ එකම අවස්ථාවක් හෝ තිබේදැයි අපි නොදනිමු. අවශ්‍ය තරම් නීති අපේ රටේ නීති පොතේ තිබේ. නැත්තේ සමාජයේ බලපුළුවන්කාරයන්, සොරුන් නීතිය ඉදිරියට ගෙනඑන යාන්ත්‍රණයක්ය. එය සකස් නොකොට කරන ප්‍රකාශ ජනතාව සලකන්නේ හුදු විසිල් පාරවල් ලෙසය. ජනතාව කැමැත්තෙන් සිටින්නේ රට වැටී ඇති නරා වළෙන් ගොඩගන්නා බල්ටි පාරවල් දකින්නටය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon