එජාපය බැසිල් වන්දනාවේ

  👤  4070 readers have read this article !
2018-09-09

රුචිර දිලාන් මධුසංඛ

උපන් දිනය සමරා මෛත්‍රි ජනපති මැඳුරට අටවිසි බෝධීන් වහන්සේ වැඩම කරති

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පසුගිය බදාදා පෙරවරුවේම පාර්ලිමේන්තුවට ගියේය. ඒ රාජ්‍ය ගිණුම්කාරක සභාව විසින් සංවිධානය කළ උත්සවයකට එක්වීම සඳහාය. රාජ්‍ය ගිණුම් කාරක සභාව අධීක්ෂණය කළ ආයතන 835ක් අතර වඩා සාර්ථකව ගිණුම් ප්‍රකාශ ඉදිරිපත් කළ ආයතනවලට සම්මාන ප්‍රදානය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් එහිදී සිදුවිය. අගමැතිවරයා, කථානායකවරයා සහ රාජ්‍ය ගිණුම්කාරක සභාවේ සභාපති ලසන්ත අලගියවන්න ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියහ.

එහිදී ජනාධිපතිවරයා මරණ දඬුවම ගැන තවත් අපූරු කතාවක් කීවේය.

"මම අවස්ථා ගණනාවකදීම මේ ගැන කියලා තියෙනවා. කොමිෂන් සභා දාලා ඒවායේ වාර්තා පිටවුණාම නීතිය ක්‍රියාත්මක වෙන්නේ මන්දගාමීව. මේ රටේ රාජ්‍ය දේපළ විනාශ කරපු, රටේ මුදල් අවභාවිත කරපු, වංචා දූෂණය කරපු අයටත් මරණ දඬුවම ගේන්න ඕන. පාර්ලිමේන්තුවේ ඉන්න ඔක්කොම එකතු වෙලා මේවට නීති ගේන්න ඕන. එහෙම වුණොත් ඒ වංචාවලට, දූෂණවලට සම්බන්ධ අය එක්කෙනෙක් දෙන්නෙක්ට මම යන්න කලින්ම මට අස්සන් කරලා යන්න පුළුවන්" ජනාධිපතිවරයා කීවේය.

එය අවසන් කළ මෛත්‍රි පාර්ලිමේන්තුවේ ජනාධිපති කාර්යාලයට ගියේය. එහිදී අතුරුදන්වූවන්ගේ කාර්යාලයේ නියෝජිතයන් පිරිසක් හමුවිය. මැති ඇමැතිවරු කිහිපදෙනෙක්ම මෛත්‍රි සමඟ කතාබහ කිරීමට කාර්යාලයට පැමිණ සිටියහ. ඒ අතර නිමල් සිරිපාල, ලසන්න අලගියවන්න, වීරකුමාර දිසානායක ඇතුළු පිරිසක්ද වූහ. ඔවුන් සමඟ ආගිය තොරතුරු කතාබහ කළ ජනාධිපතිවරයා

"අපි එහෙනම් කෑම ටිකක් කන්න යමු" යැයි මෛත්‍රි මැති ඇමැතිවරුන්ට කීවේය. පසුව සියලු දෙනා මන්ත්‍රි භෝජනාගාරයට ගොස් දිවා ආහාරය ගත්හ. දිවා ආහාරයෙන් අනතුරුව මන්ත්‍රිවරුන් සමඟ පාර්ලිමේන්තුවේ කාර්යාලයට යන අතරතුර ඇති මන්ත්‍රි පුස්තකාලයට ඇතුළු වූ මෛත්‍රි එහි තිබූ දෛනික පුවත්පත් රාක්කය වෙත ගොස් කියවූයේ ඉතා සැහැල්ලුවෙනි.

ලසන්ත, ආශු මාරසිංහ ඇතුළු පිරිසක් මෛත්‍රි පුවත්පත් කියවා එනතුරු පුස්තකාලයේ ලොබියේ අසුන්ගෙන සිටියහ.

ඒ අතරවාරයේ අනුර දිසානායක, විජිත හේරත් සහ නලින්ද ජයතිස්ස පුස්තකාලයට පැමිණියහ. පුස්තකාල සේවකයකු අනුරට අතින් සංඥා කරමින් පෙන්නුවේ පුවත්පත් බලමින් සිටි ජනාධිපතිවරයාය. පසුව ජවිපෙ මන්ත්‍රිවරුන්ගේ අවධානය ඒ දෙසට යොමු විය. පසුව අනුර මෛත්‍රි සමඟ එදින පැවැත්වූ ඒකාබද්ධයේ රැලිය ගැන කතාබහ කළේය.
හෙට වෙනකල් ඉන්නවා කිව්වට රෑ වෙන්න කලින්ම කට්ටිය යනවා. මම දන්නවනේ එයාලගේ වැඩ" මෛත්‍රි සිනාසෙමින් කීවේය.

අනතුරුව යළිත් කාර්යාලයට ගිය මෛත්‍රි පාර්ලිමේන්තුවෙන් පිටත් වී කෙළින්ම ගියේ බත්තරමුල්ලේ පිහිටි පරිසර අමාත්‍යාංශයටය. ඒ යන විටත් නියෝජ්‍ය ඇමැති අජිත් මාන්නප්පෙරුම මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ පිරිසක් සමඟ ඔවුන්ගේ ගැටලු ගැන සාකච්ඡා කරමින් සිටියහ. කලින් නොදන්වා ගිය නිසා මාන්නප්පෙරුමද කලබලයට පත්විය.
"සර්....පාර්ලිමේන්තුවට ආවා කියල නම් ආරංචි වුණා" මාන්නපෙරුම කීවේය.
"ඔව්...ඔව්.... වැඩ වගයක් තිබුණා. නිකන් මම මේ පැත්තටත් ගොඩවෙලා යන්න ආවා" මෛත්‍රි කීවේය.

"ආපු එක හොඳයි. මම මේ අයගේ ගැටලු ගැන කතාබහ කර කර හිටියේ" මාන්නප්පෙරුම එසේ කියමින් තමන් සිටි අසුන ජනාධිපතිවරයාට දී ඒ අසල තවත් අසුනකට ගියේය. මඳ වෙලාවක් එම පිරිසගේ ගැටලු ගැන මෛත්‍රි කතාබහ කළේය.

"එහෙම නම් ඇමැතිතුමා ඔයා මේ අයගේ ගැටලු ටික ලිඛිතව ඉල්ලා ගන්න. අපි ඒවට කරන්න පුළුවන් මොනවද කියලා බලමු" මෛත්‍රි එසේ කියමින් යන්නට ගියේ මහගම සේකර පිහිටි නිල නිවෙසේ තවත් රැස්වීමකට සහභාගි වීම සඳහාය.

ජනාධිපති මෛත්‍රිගේ උපන් දිනය පසුගිය සෙනසුරාදාට යෙදී තිබිණි. හිමිදිරි පාන්දරම කැලණිය රජමහ විහාරයට ගිය මෛත්‍රි එහි ආශීර්වාද ලබා ගැනීමෙන් පසුව කොටුව ජනාධිපති මන්දිරයට පැමිණියේය.

ඒ කොටුව මන්දිරයේ රෝපණය කර ඇති බෝධීන් වහන්සේ වටා ඉදිකළ අභිනව රන් වැට විවෘත කිරීම සඳහාය. ජනාධිපතිවරයාගේ පෞද්ගලික මුදලින් මෙම රන් වැට ඉදිකර තිබීම විශේෂයකි. අනතුරුව එම බෝධිය වටා අටවිසි බුදුන් වහන්සේගේ පිළිම තැන්පත් කිරීම සිදුවිය. ඊට අමතරව එම අටවිසි බුදුන් වහන්සේට බුදුවීමට පිට දුන් අටවිසි බෝධීන් වහන්සේ රෝපණය කිරීමද සිදුවිය.

එදින පස්වරුවේ මෛත්‍රි කතරගම කිරි වෙහෙර බලා පිටත්ව ගියේ ආශීර්වාද ලබාගැනීම සඳහාය.

මහාචාර්ය රංජිත් බණ්ඩාරගේ මාමන්ඩියගේ අවමඟුලට සහභාගි වීමට උදය ගම්මන්පිල ඔහුගේ නිවෙසට ඇතුළු වන විට එහි සිටි රංජිත් සමඟ පිටතට පැමිණෙමින් සිටියේ ජනාධිපති සිරිසේනයි. උදය දුටු විට සිනා සෙමින් "කොහොමද මන්ත්‍රිතුමා" යැයි ජනාධිපති විමසීමය.ඒ ප්‍රශ්නයට බොහෝ අය පිළිතුරු බඳින්නේ "හොඳින් ඉන්නවා" යනුවෙනි. නමුත් ඊට ඇත්තටම පිළිතුරු දුන් උදය පැවසුවේ "හොඳටම නිදි මතයි ජනපතිතුමනි. ඊයේ තිබුණු උද්ඝෝෂණය නිසා පසුගිය දිනවල ඇති වෙන්න නිදි මැරුවා" ලෙසයි.

"ඇයි ඔහොම නිදි මරන්නේ. හොඳට නිදා ගන්න ඕනෑ. නැත්නම් ලෙඩ වේවි" ජනාධිපති පැවසුවේ අවවාදයක ස්වරූපයෙනි. ඊට සිනා සෙමින් පිළිතුරු දුන් උදය පැවසුවේ "ඔබතුමාට වගේ දහයට නිදා ගන්න අපි පිං කරල නෑ. මිනිස්සු ප්‍රශ්න අරගෙන අපි ගාවට ආවම ඒවා සම්බන්ධයෙන් කතා කරන්න, උද්ඝෝෂණ කරන්න, නඩු දාන්න අපට සිද්ධ වෙනවා. අපි විපක්ෂයේ භූමිකාව කරන්න එපායැ"

"අපි හමුවෙමු එහෙනම්" කියමින් ජනපති උදයට සමු දුන්නේ සිනා සෙමිනි.

පොහොට්ටුවේ විරෝධතාව ගැන කියන්න අගමැතිට දුරකථන ඇමතුම් දෙකක්

එක්සත් ජාතික පක්ෂයේ 72 වැනි සංවත්සරය සිරිකොත පක්‍ෂ මූලස්ථානයේදී අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. නියෝජ්‍ය නායක සජිත්, උප නායක රවි ඇතුළු මැති ඇමැතිවරුන් රැසක් හා පළාත් සභා මන්ත්‍රිවරුන් ඇතුළු පාක්‍ෂිකයන් විශාල පිරිසක්ද එක්ව සිටියහ. පක්‍ෂය වෙනුවෙන් අපරිමිත මෙහෙයක් ඉටුකළ දිවියෙන් සමුගත් නායකයන්ගේ පිළිරූවලට මල්දම් පැලඳීම අගමැතිවරයා ඇතුළු පක්‍ෂයේ වත්මන් නායකයන් අතින් සිදුවූහ. අනතුරුව අකිල විරාජ් කාරියවසම් පක්‍ෂයේ මහ ලේකම්වරයා සංවත්සර උළෙල ඇමැතීය.

"එක්සත් ජාතික පක්‍ෂය කියන්නේ හැමදාම වැඩ කරපු පක්‍ෂයක්. මේ රටේ යෝධ සංවර්ධනයක් කරපු එකම පක්‍ෂය තමයි අපේ පක්‍ෂය. ඒ නිසා ජනතාව අපිව විශ්වාස කරන බව අපි දන්නවා. 2020 වෙනකොට අපේ පක්‍ෂයේ කෙනෙක් රාජ්‍ය නායකයා බවට පත්කිරීමේ ගමන අප පටන් ගන්නවා කියලා අද මම කියනවා යැයි අකිල කීවේ රැස්ව සිටි පිරිසගේ අත්පොළසන් නද මධ්‍යයේය.

අනතුරුව අගමැති රනිල් සංවත්සර උළෙල ආමන්ත්‍රණය කළේය.

"පසුගිය දිනවල මට දුරකථන ඇමතුම් දෙක තුනක්ම ලැබුණා. පොහොට්ටුවෙන් බලය අල්ලන්න එන නිසා සංවත්සර උත්සවය කල් දමමු දැයි එම හිතවතුන් ඇසුවා. පොහොට්ටුව බලය අල්ලන බව කියනවා. පොහොට්ටුව බලවත් බව මාධ්‍යත් කියනවා. සිසුන්ට හානි ඇතිවිය හැකි යැයි කියමින් මිනිසුන් බය කරනවා යැයි දුරකථන ඇමතුම් දුන් අය මට කිව්වා.

අපේ වැඩේ කරමු යැයි මා එහිදී පැවසුවා. ඒ අයට ඔවුන්ගේ වැඩේ කරගන්න ඉඩ දෙන ලෙසත් මා කිව්වා. එදින සිදුවූ ඓතිහාසික වැඩකටයුත්ත වන අලුතින් ගම්මාන 130ක් ඇරඹීම පිළිබඳ තිබුණේ මොන මාධ්‍යයේද? මාධ්‍යයට එක්සත් ජාතික පක්ෂය නැති කරන්න බැහැ උද්ඝෝෂණයක් කරගන්න බැරි අය රටක් කරන්නේ කෙහොමද?" අගමැතිවරයා කීවේය.

සම්මේලනයට යෑමට පෙර අගමැතිවරයා මැති ඇමැතිවරුන් සමඟ සිරිකොත කාර්යාලයේදී කතාබහක යෙදුණේය.

"ආණ්ඩු පෙරළන්න ආපු පොහොට්ටුවේ අය හොඳටම බීලා එයාලා පෙරළුණා මිසක් ආණ්ඩුව පෙරළන්න බැරි වුණා." සභා නායක ලක්‍ෂ්මන් කිරිඇල්ල කීවේ කාගෙත් සිනා මැදය.

"පොහොට්ටුවට පළාත් පාලන ඡන්දයේදී යම් හයියක් ආවේ අපේ අඩුපාඩු හා ඇතුළේ ඉන්න පිරිසක් ආණ්ඩුව විවේචනය කිරීම නිසයි. පළාත් පාලනවලට පත්වූ පොහොට්ටුවේ හු¼ග දෙනෙක් මේ වන විට අනාගෙන. උද්ඝෝෂණේ අසාර්ථක වුණේ ඒකයි. මහින්දට ඡන්ද තිබුණට නව වැඩපිළිවෙළක් හෝ සංවිධානයක් නෑ." සජිත් ප්‍රේමදාස කීය.
"බැසිල් නැතිව එයාලට රැස්වීමක් තියාගන්න බැරි තරම්. සමෘද්ධි අය දැන් එජාපයෙන් මෙහෙයවීම නිසා එයාලට ලොකු පාඩුවක් වුණා." නවීන් දිසානායක කීය.

"පොහොට්ටුව ඇතුළේ ප්‍රශ්නය ගිනියම් බව ඔප්පු වුණා. බැසිල්ගේ පිල විරෝධතාවට කකුල් මාට්ටු දැම්මා. ඊළඟට බැසිල් රැලියක් කරන වෙලාවට අනිත් කණ්ඩායම කකුලෙන් අදීවි. බෙදීම ඒ තරමට තියුණුයි මහින්දට දැන් අමාරු තීන්දුවක් ගන්න තියෙන්නේ." අගමැති විග්‍රහ කළේය.

"විරෝධතාවයේදී පරණ පුස්කාපු හැමදාම පතුරු ගහන සටන් පාඨ මිසක් හරියට රැස්වීමක්වත් තියාගන්න බැරි වුණා. පාරවල්වල රස්තියාදු නොවී මම වගේ උදාගම් 130ක් හා පාලම් 4කට මුල්ගල තියන්නැයි සජිත් පොහොට්ටුවට කළ අභියෝගය නැඟලා ගියා." ගයන්ත කරුණාතිලක කීය.

"ජනාධිපති අගමැති රටින් පැනගන්න ඇමැතිවරු නැව්වලට ගිහින් හැංගෙන්න. රෝහල් ඇම්බියුලන්ස් සූදානම් කරන්න කියලා රුපියල් දස ලක්ෂ හැත්තෑ දෙකක වංචා නඩුවක් තියෙන ගම්මන්පිල වහසි බස් කිව්වා. ආණ්ඩුව අරන් මිසක් ගෙදර යන්නේ නෑ කියලා පවිත්‍රායි 7-8 දෙනෙක් මැරේවි කියලා වාසු කිව්වා. දවල් හීන මෙයා දැකලා තිබුණේ." චමින්ද විජේසිරි මතක් කොට දුන්නේය.

"සිංගප්පූරු ගිවිසුම, රණවිරු දඩයම .රට බෙදීම, විකිණීම, බදු ගැසීම අහලම ජනතාවට පොහොට්ටුවේ පටු සීමාව තේරුම් ගිහින්. ආර්ථික ප්‍රශ්න, ණය බර අපි නිවැරැදි කරගෙන යන බව ජනතාව දන්නවා. ඒ නිසා ඡන්දයෙන් මිසක් අරගලවලින් ආණ්ඩු පෙරළන්න බැරි බව ජනතාව දන්නවා. ඊයේ කොළඹ ආවේ ජනතාව නෙවෙයි. පටු මහින්දවාදීන් විතරයි." අගමැති කීවේය.

"ගෝල්ෆේස් එක ගිය පාර පිරෙව්වා. මේ පාරත් එතැනට යන්න ඇවිත් තියෙන්නේ. සෙනඟ අඩු නිසා ලිප්ටන් එකයි ධර්මපාල මාවතක් මඟඇරලා පුංචිම පුංචි ලේක්හවුප් වට රවුම තෝරාගැනීම තුළම එයාල තම බංකොළොත් බව පිළිගත්තා වෙනවා." වජිර අබේවර්ධන කීය.

"ඊජිප්තුවේ ජනතා අරගලය හා තායිලන්තේ රතු කමිස විප්ලවය වගේ ලංකාවෙත් කරන්නයි රෑ නවතින්න බැලුවේ. ඒත් රෑ 11 වෙනකොට ඔක්කොම ගියා. ඒ රටවල සිවිල් සංවිධාන හා මිනිස්සු මිසක් දේශපාලකයෝ ඒවට නායකත්වය දුන්නේ නෑ. අනික දූෂිත හා ප්‍රජාතන්ත්‍රවාදය වැනසූ රජයක් පලවා හරින්නයි ඒ රටවල් දෙකේ මිනිස්සු රෑ වීදිවල හිටියේ. ලංකාවේ එහෙම ප්‍රශ්නයක් නෑ. නිදහස් ප්‍රජාතන්ත්‍රවාදය මාධ්‍ය නිදහස ඕන තරම් ලංකාවේ දැන් තියෙනවා. ආර්ථික ප්‍රශ්න ටිකක් විතරයි දැන් මේ රටේ තියෙන්නේ. ඒක අපි සමනය කරන බව ජනතාව දන්නවා. දූෂිත නඩයක් යළි ගේන්නයි ලංකාවේ මේ උද්ඝෝෂණය තිබුණේ වීදිබැසීම අසාර්ථක වුණේ ඒකයි." සජිත් ප්‍රේමදාස කළ විග්‍රහයට කාගෙත් එකඟත්වය පළ විය.

"ශ්‍රී ලනිපය පැත්තෙන් මේ උද්ඝෝෂණයට වක්‍ර සහායක් ලැබුණා කියලත් ආරංචි යනවා. ඒ වගේම ජනතාව බ්ලොක් කරන්නත් ශ්‍රී ලනිප පැත්තෙන් නොයෙක් දේවල් කරපු බවත් කියනවා. මහින්ද මහත්තයා ඊයේ අසනීපෙන් ඉඳල කියලත් ආරංචියි. ඇත්ත මොකක්ද දන්නේ නෑ." චමින්ද විජේසිරි කීවේ ඔහුට ලැබුණු ආරංචි පදනම් කරගනිමිනි.

"ජනාධිපතිතුමා රවිට හොඳ පණිවිඩයක් දීලා තියෙනවා කියලා ඊයේ එජාප දේශපාලන මණ්ඩලයේදී හෙළි වුණා. එජාපය ඒක එනකල් මඟ බලාගෙන හිටියේ." අගමැතිවරයා කීවේ රවි දෙස බලා සතුටින් සිනාසෙමිනි.

"මොකක්ද ඒ පණිවිඩය" කිරිඇල්ල, සජිත්, නවීන් ඇතුළු සියලුදෙනා රවිගෙන් විමසුවේ එකවරය.

"බදාදා උදේ මම පාර්ලිමේන්තු ගියාම ජනාධිපතිතුමාත් පාර්ලිමේන්තු ඇවිත් හිටියා. මම ගිහින් හමුවුණා. පොහොට්ටුවේ උද්ඝෝෂණයයි අරවා මේවා කතා කළා. මගේ ඇමැතිකම ගැනත් අපි සාකච්ඡා කළා. ජනාධිපතිතුමා ඉතා අවබෝධයෙන් ඉතා සාධාරණ තැනක ඉන්නේ. මට ඇමැතිකම අහිමි කිරීම නුසුදුසු බවට මම දැක්වූ කරුණු එතුමා පිළිගත්තා. මගේ විරෝධයක් නැහැ. රවි ඔයා අගමැති එක්ක කතා කරලා ප්‍රශ්නය බේර ගන්නැයි එතුමා මට උපදෙස් දුන්නා." රවි කරුණානායක සිද්ධිය විස්තර කළේය.

"බදාදා හවස එජාප දේශපාලන කමිටුව රැස්වුණාම රවි ඇමැතිතුමා ඔය සිද්ධිය මුලින්ම අගමැතිතුමා ඇතුළු අපි කාටත් විස්තර කළා. එතන කබීර්, නවීන්, හරීන්, මද්දුම බණ්ඩාර, රුවන්, අජිත් අලවතුවල ඇතුළු සියලු දෙනාම ඒකට එකඟ වුණා. අගමැතිතුමා සතුටින් රවිට සුබ පැතුවා." අකිල විරාජ් කාරියවසම් කීවේය.

"මොනරාගල තිබුණු එන්ටප්‍රයිස් ලංකා වැඩපිළිවෙළ ඉතා සාර්ථකයි. අපේ ගම් පළාතට ඒක දීපු එක ගැන අගමැතිතුමා, මංගල ඇමැතිතුමා වගේම කිරිඇල්ල ඇමැතිතුමා වගේම ආණ්ඩුවටත් ඒ පැත්තේ අය ප්‍රසංශා කරනවා" රංජිත් මද්දුම බණ්ඩාර කීය.

"මොනරාගලදී දින 03ට 2500කට ණය දීලා තියෙනවා. මේ රටේ බැංකු අධික ලාභ ලැබුවත් ණය දෙන්නේ ලොකු ඇප තියෙන අයටයි. ණය ඉල්ලන ව්‍යාපෘතියේ වැදගත්කම එයාලා හිතුවේම නෑ. බැංකු මට භාර වුණාම මම බැංකුවලට මේ ගැන දැඩිව පැහැදිලි කළා. චන්ද්‍රිකාලා, මහින්දලා නොකළාට බැංකු ගමට ගෙනිච්චෙ අපි. සියලු බැංකුවල එන්ටප්‍රයිස් ලංකා කවුන්ටර් ඇරල ඒක අධීක්‍ෂණය කරන්නැයි මම එජාප සංවිධායකයන්ට බලය පවරන ලියුමකුත් යැව්වා. බොරු දේශප්‍රේමීන් නොකළ දේ අපි කරලා රටට අලුත් ව්‍යාපාර පැලැන්තියක් බිහි කරනවා." ලක්‍ෂමන් කිරිඇල්ල කී විට අගමැති ඇතුළු කාගෙත් ප්‍රශංසාව ඊට පළවිය.

දෙවැනි පෙළට ඉඩ දෙන්න
අගමැති කිව්ව කතාව

සංවත්සර උත්සවයේදී අගමැති රනිල් කියූ කතාවක් ගැන දේශපාලන ක්ෂේත්‍රයේ බොහෝ කතාබහට ලක්ව ඇත. විපක්ෂයේ ඇතැම් දේශපාලනඥයන්ද ඒ ගැන වේදිකාවල කතාබහ කරමින් සිටී. මෙහිදී අගමැතිවරයා කීවේ 2025 වනතුරු පක්ෂයේ ඉදිරි කටයුතු තමා බලාගන්නා බවත් පක්ෂය භාර ගැනීමට 2030 දෙවැනි පෙළ නායකයන්ට සූදානම් වන ලෙසය. සංවත්සර උළෙලට පැමිණ සිටි පිරිස් අතරද මේ ගැන කසුකුසුවක් ඇති විය.
'නායකතුමාට 80 වෙනකොට තමයි අපිට පක්ෂයේ තැනක් එන්නෙ' එහි සිටි තරුණ මන්ත්‍රිවරයකු කීවේය. නමුත් එම ස්ථානයේදී කිසිවකු ඊට පිළිතුරු නොදීමට වගබලා ගත්හ.
මේ අතර ඒකාබද්ධ විපක්‍ෂයේ විරෝධතාවන් ගැන කතා බහ කරන පිරිස අතර මෙන්ම ආණ්ඩු පක්‍ෂයේ දේශපාලනඥයන් අතරද මේ දිනවල වැඩි කතාබහට ලක්වන චරිතයක් සිටී. ඒ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂය. එක්සත් ජාතික පක්‍ෂ 72 සංවත්සර උළෙලේදීද බැසිල් ගැන බොහෝ දෙනකු කතා බහ කළෝය. ඒ ගැන වැඩිපුරම කතා කළේ අමාත්‍ය නවීන් දිසානායකය. නවීන්ගේ පියා වන ගාමිණී දිසානායකගේ කුලුපග මිතුරෙක් ලෙස බැසිල් රාජපක්‍ෂ එවකට සිටි බව නොරහසකි.

මෙම ගතවූ වසර 72 තුළ අපි නායකයෝ හත්දෙනෙක් බිහි කරලා තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය බිහිකර තියෙන්නේ නායකයෝ හතර දෙනයි. රහස් ඡන්දයකින් පක්‍ෂ නායකත්වයට තෝරලා තියෙන්නේ. අපි එහෙමයි පක්‍ෂයේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කළේ. පසුගිය මැතිවරණයේදී පොඩි පසුබෑමක් ලැබුවත් ශක්තිමත්ව පක්‍ෂය ඉදිරියට ගෙන යන බව කිව යුතුයි. පසුගිය පෙබරවාරි 10 වැනිදා ඉන් පසුව අපි පාඩමක් ඉගෙන ගෙන තිබෙනවා. ඒකාබද්ධ විපක්‍ෂය පත්තු කළේ පුස් වෙඩිල්ලක්. නාමල් බේබිට බැරිවුණා ජනතාව කොළඹට ගෙන්නන්න. මොකද එතැන බැසිල් බාප්පා නෑ. බාප්පට කලින් පුතාව උඩින් දාන්න ගියා. අපි එහෙම නෙවෙයි. අපි පහළ සිට ඉහළට නායකයෝ හදන පක්‍ෂයක් යැයි නවීන් මෙහිදී කීවේය.

ඇමැති වජිරද බැසිල් ගැන පසුගියදා පැවැති උත්සවයකදී අදහස් දක්වා තිබේ. ඒකාබද්ධ විපක්ෂය දැන් බැසිල්ගේ නියෝග ක්‍රියාත්මක නොකරන තැනට පත්ව ඇති නිසා ඔහු ඒ ගැන අමනාප වී විදේශගතව සිටින බවද ඇමැතිවරයා පවසා තිබේ. මේ අතර සිකුරාදා පාර්ලිමේන්තුවේද ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන් බොහෝදෙනකු පාර්ලිමේන්තු ලොබියේදීද ඒකාබද්ධ විරෝධතාවට බැසිල් නොමැති වීම ගැන කසුකුසු ගාන්නට වූහ.

ඒකාබද්ධයේ විරෝධතා සැලසුම

ඒකාබද්ධ විපක්ෂය සංවිධාන කළ ජනබලය කොළඹට උද්ඝෝෂණය සම්බන්ධයෙන් සාකච්ඡාවක් අඟහරුවාදා උදෑසන පැවැත්වුණේ ටොරින්ටන්හි පිහිටි නාමල්ගේ කාර්යාලයේදීය. ඩලස්, ප්‍රසන්න, නාමල්, මහින්දානන්ද, ෂෙහාන් ඇතුළු මන්ත්‍රිවරු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. එතැනදී සාකච්ඡා කෙරුණේ උද්ඝෝෂණය පවත්වන තැන ගැනය.

'ලේක්හවුස් වටරවුම, ගෝල්ෆේස් එක, අරලියගහ මන්දිරය කියන තැන් තුන දැනට යෝජනා වෙලා තියෙනවා. අපි මේ ස්ථාන තුනෙන් එකක් ගැන තීන්දුවක් ගමු. හැබැයි තියෙන තැන කියන්න ඕනේ බදාදා දවල්ටයි. එහෙම නොවුණොත් ආණ්ඩුව මේ වැඩේ බ්ලොක් කරයි' නාමල් පැවැසීය.

අනතුරුව මන්ත්‍රිවරුන් කතා කළේ උද්ඝෝෂණයට පැමිණෙන පෙළපාළි සම්බන්ධයෙනි. ගම්පහ දිස්ත්‍රික්කයේ පෙළපාළිය ආරම්භ කිරීමට නියමිතව තිබුණේ පංචිකාවත්තෙනි. අනෙක් දිස්ත්‍රික්කවල පෙළපාළිද කොළඹට ඇතුළු වන සියලු මාර්ග ආවරණය කරමින් ආරම්භ කිරීමට සැලසුම් කෙරිණි. ඒ අනුව ප්‍රධාන මාර්ග පහක් ආවරණය වන පරිදි පෙළපාළි ආරම්භ කිරීම පිළිබඳ සැලසුම් ඉදිරිපත් කළේ නාමල්ය.

උද්ඝෝෂණය වඩාත් සාර්ථක කර ගැනීම සඳහා සංවිධාන කටයුතු එක් එක් මන්ත්‍රිවරුන්ට බෙදා දෙනු ලැබිණි. මහින්දානන්දට සහ ෂෙහාන්ට භාර වූයේ මාධ්‍ය සම්බන්ධීකරණය. ප්‍රසන්නට ඇතුළු ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රිවරුන්ට උද්ඝෝෂණයට පැමිණෙන ජනතාවට ආහාර ඇතුළු පහසුකම් සැපයීම භාර විය. තොරතුරු ලබාගැනීම සහ තොරතුරු ලබාදීම පැවැරුණේ ඩලස් ඇතුළු පිරිසටය.

'අපි මේ උද්ඝෝෂණය කරන්න ඕනේ සාමකාමීවයි. මත්පැන්වලින් තොරව කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි' ඩලස් යෝජනා කළේය.

'ඒක නම් ගොඩක් හොඳ යෝජනාවක්. මට දැනගන්න ලැබුණා ආණ්ඩුව බීමත් පිරිස් අපේ පෙළපාළියට එවලා වැඩේ කඩාකප්පල් කරන්න යනවා කියලා. අපි ඒවට ඉඩ තියන්න හොඳ නැහැ' ප්‍රසන්න පැවැසීය.

'අපිටත් තොරතුරු ලැබුණා ආණ්ඩුව මේ වැඩේ කඩාකප්පල් කරන්න යනවා කියලා. ඒ ගැනත් අවධානය යොමු කරලා තමයි අපි සැලසුම් හදන්න ඕනේ' නාමල් කීවේය.
'ඒකාබද්ධ විපක්ෂයේ ශක්තිය තමයි සමඟිය. ඒක මේ උද්ඝෝෂණය සංවිධාන කරන කොට ආයේ වතාවක් තහවුරු වුණා. අපි ඒ සමඟිය ආරක්ෂා කරගන්න ඕනේ' ඩලස් පැවැසීය.

'අපි මේ අවුරුදු තුනේදී කරපු දේවල් සේරම අතිශයින් සාර්ථක වුණා. එදා අපි ආණ්ඩු කරද්දී විපක්ෂයේ හිටපු එක්සත් ජාතික පක්ෂය කරපු එකම දේ මාධ්‍ය සාකච්ඡා තියන එක විතරයි. හැබැයි අපි පාගමන්, පෙළපාළි, උද්ඝෝෂණ, ජන රැලි වගේ කරන්න පුළුවන් හැමදෙයක්ම කළා' ප්‍රසන්න පැවැසීය.

'ඒක ඇත්ත. අපේ ශක්තිය ආණ්ඩුවත් හොඳට දන්නවා. ඒ නිසයි ආණ්ඩුව බයවෙලා ඉන්නේ. ආණ්ඩුවට අපේ වැඩපිළිවෙළ කඩාකප්පල් කරන්න පොඩි ඉඩක්වත් තියන්න හොඳ නැහැ' මහින්දානන්ද කීවේය.

'අද රටේ ජනමතය තියෙන්නේ අපිටයි. ඒක අපි මේ උද්ඝෝෂණයෙන් තවත් තහවුරු කරන්න ඕනේ. රටේ විතරක් නෙවෙයි ලෝකෙම අවධානය යොමු වෙන විදියට වැඩේ කරමු' නාමල් කීය.

'අපි තරුණ මන්ත්‍රිවරුන්ට භාර දෙනවා උද්ඝෝෂණය තියෙන තැන තීන්දු කරන්න. ඒක තීන්දු කරලා අපිට කියන්න. අපි ඉතුරු වැඩ ටික කරන්නම්' ඩලස් පැවැසීය.

'අපි එදා රෑ සත්‍යග්‍රහයක් කරමු. මොකද මහින්ද රාජපක්ෂ මහත්තයා අපිට උපදෙස් දීලා තියෙන්නේ පුළුවන් තරම් සාමකාමී විදියට මේක කරන්න කියලා. ඒ හින්දා සත්‍යග්‍රහයක් කරමු' නාමල් කළ යෝජනාවට සියලු දෙනාගේ අනුමැතිය හිමි විය.

ඊට අමතරව එදින රාත්‍රිය පුරා කළ යුතු දේ සම්බන්ධයෙන්ද සාකච්ඡා කෙරිණි. තොවිල්, වීදි, නාට්‍ය, හිටිවන කවි, විරිදු යනාදිය සංවිධාන කිරීම ප්‍රසන්නට සහ ගාල්ලේ ක්‍රිෂාන්ත පුෂ්පකුමාරට පැවැරිණි.

එසේම උද්ඝෝෂණය දහවල් 12ට ආරම්භ කර රාත්‍රි 12ට අවසන් කිරීමටත් තීන්දු කෙරිණි. පැය 12ක උද්ඝෝෂණයක් පැවැත්වීම වඩාත් සුදුසු බව එහිදී මන්ත්‍රිවරු තීරණය කළහ.
එදින පාර්ලිමේන්තු දිනයක් වූ අතර ප්‍රසන්න ඒකාබද්ධයේ සියලු මන්ත්‍රිවරුන්ට ලිපි යවා තිබුණේ එදින 11.30ට පාර්ලිමේන්තුවේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බැවින් ඊට නොවැරැදීම සහභාගි වන ලෙසටය. ඒ අනුව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු දිනේෂ්ගේ ප්‍රධානත්වයෙන් රැස්වූහ. එතැනදී ද උද්ඝෝෂණය සම්බන්ධයෙන් සාකච්ඡා කෙරිණි.

'ආණ්ඩුව හදන්නේ බස් ටික නවත්තලා අපේ වැඩේ කඩාකප්පල් කරන්නයි. බස් එකක් අනුමැතියක් නැතුව විශේෂ චාරිකා ගියොත් දඩයක් ගහන්න පුළුවන්. මම බස්නාහිර පළාත් ප්‍රවාහන ඇමැතිවරයා විදියට ඉන්නකොට තමයි ඔය ප්‍රඥප්තිය ගෙනාවේ. ඒකේ තියෙන්නේ රුපියල් දාහක දඩයක් ගහන්න පුළුවන් කියලා විතරයි. බලපත්‍රය අහෝසි කරන්න අයිතියක් නැහැ. ආණ්ඩුව හදන්නේ බස් අයිතිකාරයෝ ටික බය කරන්නයි. මට ආරංචි වුණා බස් අයිතිකාරයන්ට පොලිසිය ලවා තර්ජනය කරලා තියෙනවයි කියලා' ප්‍රසන්න පැවැසීය.

'අපි ඕක ගැන කථානායකතුමාගෙන් ප්‍රශ්න කරමු' දිනේෂ් යෝජනා කළේය.

'ජා - ඇළ ආසනයේ ඉන්න මගේ පාක්ෂිකයෝ පිරිසක් මාතර වන්දනා චාරිකාවක යන්න ඉල්ලපු බස් එකත් දීලා නැහැ. මේක ආගමික නිදහස උල්ලංඝනය කිරීමක්. මිනිහකුට වන්දනා ගමනක්වත් යන්න මේ ආණ්ඩුව යටතේ නිදහසක් නැහැ' ප්‍රසන්න යළි කීවේය. ඒ අනුව පාර්ලිමේන්තුව තුළදී ප්‍රසන්න කථානායකවරයාගෙන් මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කළේය.

පාර්ලිමේන්තුව නිමවා පිටතට ආ ප්‍රසන්නට රංජිත් මද්දුමබණ්ඩාර ඇමැතිවරයා මුණගැසුණේය. 'ඔයා තමයි මේ හැම ගේමක්ම පස්සෙන් ඉන්නේ නේද?' මද්දුම බණ්ඩාර එසේ ඇසුවේ පාර්ලිමේන්තුවේදී ප්‍රසන්න නැඟූ විරෝධතාව නිසාය.

'ඇමැතිතුමා දන්නවානේ අපේ ගේම් ගැන. මේවා දිනන ගේම් මිසක් පරදින ගේම් නෙවෙයි. අපි මේ ගේම් ඉවර කරන්නේ තමුන්නාසේලාගේ ආණ්ඩුව ගෙදර යවලම තමයි' ප්‍රසන්න පැවැසීය.

පාර්ලිමේන්තුවේදී බන්දුල ගුණවර්ධන හා ඩී.වී. චානක එකට එනවිට ෂෙහාන්, පියල් ඇතුළු පිරිසට මුණගැසුණේය.

'ආ ඩී.වී. දැන් මාමත් එක්කම තමයි ගමන නේද? අපිට ආරංචියි දැන් අඳින්නේ, හැසිරෙන්නෙත් මාම කියන විදියට කියලා' ෂෙහාන් විහිළු කළේ බන්දුල පෙන්වමිනි.

'දැන් ඉතින් අරලියගහ මන්දිරෙත් ඕනේ කෙනකුට වෙඩින් ගන්න වෙන් කරන්න පුළුවන්නේ. ඒකෙත් වාසිය මෙයාටම තමයි' පියල් පැවැසීය.

'ඉස්සර යූඑන්පීය මැරෙන්න හැදුවා අරලියගහ මන්දිරයේ දන්සල් දෙනවා කියලා. දැන් එයාලම ඒකේ මඟුල් නටනවා' ෂෙහාන් කීවේය.

එදින සවස ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ හමුව විජේරාම පෙදෙසේ පිහිටි නිල නිවෙසේදී පැවැත්වුණේ මහින්දගේ ප්‍රධානත්වයෙනි. එතැනට පැමිණි නාමල් පක්ෂ නායකයන් හමුවේ ජනබලය කොළඹට උද්ඝෝෂණය සම්බන්ධයෙන් විශේෂ පැහැදිලි කිරීමක් කළේය.

'අපි මේ උද්ඝෝෂණය පුළුවන් තරම් සාමකාමීව කරන්න ඕනේ. ඒ වගේම කිසිම කෙනකුට හානියක් වෙන්න බැහැ. ආණ්ඩුව මේ උද්ඝෝෂණය කඩාකප්පල් කරන්න නොයෙක් දේවල් කරයි. ඒවා ගැනත් අවධානයෙන් ඉන්න ඕනේ. තරුණ මන්ත්‍රිවරුන්ට මේවා හොඳ අත්දැකීම්. මමත් තරුණ කාලේ ඉඳලම මේ වගේ වීදි සටන් කරපු කෙනෙක්. ඒවා අපිට ගොඩක් උදවු වුණා මේ තැන්වලට එන්න. කිසි කෙනෙක්ගෙන් දෝෂයක් අහන්න බැරි වෙන්න මේක සංවිධානය කරන්න' මහින්ද උපදෙස් දුන්නේය.

අනතුරුව මහින්දගේ ප්‍රධානත්වයෙන් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම රැස්විය. එතැනදී ද නාමල් උද්ඝෝෂණය සම්බන්ධයෙන් මන්ත්‍රිවරුන්ට කරුණු පැහැදිලි කළේය. එසේම එක් එක් දිස්ත්‍රික්ක නියෝජනය කරන මන්ත්‍රිවරුන්ට පෙළපාළි ආරම්භ වන ස්ථාන, ගමන් මාර්ග ඇතුළත් ලිපිගොනු නාමල් බෙදා දුන්නේය.

සෙනඟට තෙරපී සුදර්ශනීට ක්ලාන්තය හැදෙයි

බදාදා අලුයම සිටම දිවයිනේ නන් දෙසින් විරෝධතා රැලියට සහභාගි වීම සඳහා බස් රථ කොළඹට පිටත් විය. පෙරවරු 11.30 පමණ වනවිට මාලිගාවත්ත ක්‍රීඩාංගණය වෙත ගම්පහ දිස්ත්‍රික්කයේ බස් රථ පැමිණියේය. ගාල්ල, මාතර, හම්බන්තොට බස් රථ අධිවේගී මාර්ගය හරහා විහාරමහා දේවී උද්‍යානය අසලට ළඟා විය. මීගමුව, වත්තල, මිනුවන්ගොඩ, ජා - ඇළ ආසනවලින් බස් රථ 72ක් පැමිණ තිබිණි. එහි වැඩි බරක් කරට ගෙන තිබුණේ නිමල් ලන්සාය.

එදින උදෑසන 10 වන විට ප්‍රසන්න උඩුගම්පොළ නිවෙසට ආවේ මිනුවන්ගොඩ ආසනයේ ජනතාව සමඟ පෙළපාළියට යන්නටය. එතැනදී ප්‍රසන්නට දැනගන්නට ලැබුණේ මිනුවන්ගොඩ බල්ලපාන ප්‍රදේශයේදී පොලිසිය විසින් උද්ඝෝෂණයට පැමිණෙන ජනතාව රැගත් බස් රථ පරීක්ෂා කරන බවය. බස් රථවල සිටින්නන් බිමට බස්සවා මේ පරීක්ෂා කිරීම් කරන බව දැනගත් වහාම ප්‍රසන්න එතැනට ගියේය.

'මොකක්ද මේ තමුන්නාන්සේලා කරන්නේ?' ප්‍රසන්න ඇසුවේය.

'කරන්න දෙයක් නෑ සර්. ඉහළින් ආපු ඕඩරයක්' පොලිස් නිලධාරීහු කීහ.

'කාගේ ඕඩරයක් වුණත් කරන වැඩේ වැරැදියිනේ මේ මිනිස්සු කොටි ත්‍රස්තවාදියෝ නෙවෙයි. මෙයාලා යන්නේ සාමකාමී උද්ඝෝෂණයකට. යුද්ධ කාලේ වගේ මේ මිනිස්සු බස්සලා පරීක්ෂා කරන්න ඕනේ නැහැ. යුද්ධය ඉවර කළෙත් අපේ ජනාධිපතිතුමයි. තමුන්නාසේලාට වුණත් නිදහසේ ඉන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ එතුමා යුද්ධය නිමා කරපු නිසයි. මේ වගේ බලු වැඩ කරන්න එපා. බලපත්‍ර බලන්න ඕනේ නම් බලන්න. හැබැයි මිනිස්සු බස්සන්න එපා' ප්‍රසන්න දෝෂාරෝපණය කළේය.

පෙළපාළියත් සමඟ ඉදිරියට යන විට ප්‍රසන්නට පණිවුඩයක් ආවේ මහින්ද පිටකොටුව බෝධිය අසලට එන බවය.

වහාම ප්‍රසන්න එතැනට ගියේය. ඒ වනවිටත් ජනගඟක් ගලමින් තිබූ අතර මහින්දට රියෙන් බැසීමට පැය භාගයක පමණ කාලයක් ගියේය. එතැන තිබුණු තදබදය කෙතරම්ද යත් කිහිපදෙනකුට ක්ලාන්තය සෑදිනි. ඒ අතර සුදර්ශනී ද වූවාය. ඇගේ ආධාරකරුවෝ වහාම ඇය එතැනින් පිටතට රැගෙන ගියහ.

ආගමික වතාවත්වල නිරත වීමෙන් අනතුරුව මහින්ද පා ගමනින් යන්නට උත්සාහ කළද ආරක්ෂකයන් මෙන්ම මන්ත්‍රිවරුන්ද ඊට කැමැති වුණේ නැත. සෙනඟද කෑගසමින් කීවේ මහින්දට වාහනයට නඟින ලෙසය. අනතුරුව වහලය විවෘත කළ හැකි රියක නැඟී මහින්ද කොටුව දෙසට ආවේය.

රාත්‍රි 7ට සත්‍යග්‍රහය ආරම්භ කරමින් මහින්ද පළමුවෙන් පාරෙහි හිඳ ගත්තේය. අනතුරුව සියලු දෙනා බිම ඉඳගෙන පැයක පමණ කාලයක් සත්‍යග්‍රහයේ නිරත වූහ. එදින රාත්‍රියේ ශබ්දවාහිනී සහ වේදිකා සපයා තිබුණේ ‍ෙදාම්පේ සහ බියගම ආසනවලිනි. ඒ ප්‍රසන්නගේ උපදෙස් පරිදිය. කතා කරගත් පරිදිම තොවිලය, පන්දම් පාලිය, විරිදු, හිටිවන කවි ආදියෙන් පිරිස රස ගැන්විණි.

ඒ අතර මන්ත්‍රිවරුන් කතාබහ කරමින් සිටියේ උද්ඝෝෂණයේ සාර්ථකත්වය ගැනය. බොහෝ දෙනා කීවේ හිතුවාටත් වඩා සාර්ථක උද්ඝෝෂණයක් පැවැත්වීමට හැකි වූ බවය. ඒ සම්බන්ධයෙන් තරුණ මන්ත්‍රිවරුන්ට ප්‍රශංසා කෙරිණි.

මන්ත්‍රිවරුන් අතර පැමිණි ආධාරකරුවකු පිරිසට කඩල දුන්නේය. ඒ වනවිට පවිත්‍රා සිටියේ චුයින්ගමයක් හපමිනි. පවිත්‍රාට එක හක්කකට චුයින්ගම් තබාගෙන අනෙක් හක්කෙන් කඩල කන හැටි කියා දුන්නේ බන්දුලය. බන්දුල පවිත්‍රාගේ චුයින්ගමයක් ඉල්ලාගෙන එය ප්‍රායෝගිකව කර පෙන්වූයේ පිරිස සිනාගන්වමිනි.

'ආණ්ඩුව හෙල්ලිලා ගියේ මේ වැඩෙන්. ජනාධිපතිවරයටයි අගමැතිවරයටයි අද නම් නින්ද යන එකකුත් නැහැ' ප්‍රසන්න පැවැසීය.

'වසර 516කට පස්සේ තමයි මේ වගේ දීර්ඝ උද්ඝෝෂණයක් පැවැත්විලා තියෙන්නේ. වැඩිම සෙනඟක් ආපු, වැඩිම කාලයක් තිබ්බ, ආණ්ඩුව වැඩියෙන්ම බය වෙච්ච උද්ඝෝෂණය තමයි මේක' ඩලස් පැවැසීය.

රාත්‍රි 12ට උද්ඝෝෂණය නිමා වූ අතර උද්ඝෝෂණයට සම්බන්ධ වූ පිරිස්ම අවට ප්‍රදේශ අතු ගා පිරිසුදු කළේ කාටත් ආදර්ශයක් දෙමිනි. මන්ත්‍රිවරුන්ද ඊට දායක වූයේ 'මේවා අපේ ගෝඨාභය මහත්තයා කැපවීමෙන් හදපු දේවල්. අපි ඒවා ආරක්ෂා කරන්න ඕනේ' කියමිනි.

'ජනබලය කොළඹට' විරෝධතාවට සම්බන්ධ වී අධික වෙහෙසට පත්ව සිටියද හිටපු ජනපති මහින්දට බ්‍රහස්පතින්දා දිනය අතිශය කාර්ය බහුල දිනයක් විය. ඒ එදින විශේෂ සාකච්ඡා කිහිපයක් තිබීම නිසා විවාහ මංගල උත්සව තුනකට සහභාගිවීමට තිබීමය. එයින් උදෑසනම පැවැත්වුණේ තහරා සේනානායක සහ මියුරු රාජපක්ෂ යුවළගේ විවාහ මංගල උත්සවයයි. එය පැවැත්වුණේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදීය. මනාලිය වූයේ ඒ.අයි.ඒ. ඉන්ෂුවරන්ස් සමාගමේ අධ්‍යක්ෂවරයකු වන කැලුම් සේනානානයකගේ දියණියයි. මනාලයා වූයේ පියදාස රාජපක්ෂ යුවළගේ පුතණුවන්ය. හිටපු ජනාධිපතිවරයා සමඟ මෙහි සාක්ෂියට අස්සන් කළේ අමාත්‍ය අර්ජුන රණතුංගය. අර්ජුන හා කැලුම් කුඩා කල පටන්ම කොළඹ ආනන්දයේ එක පන්තියේ උගත් මිතුරන්ය. සාක්ෂියට අස්සන් කිරීමෙන් පසු මහින්ද සහ අර්ජුන මිනිත්තු 15ක පමණ කාලයක් එකම මේසයේ සිට සුහද කතාබහක නිරත වීම ගැන කාගේත් අවධානයට ලක්විය.

ඉන් අනතුරුව මහින්ද මාතර බලා පිටත්ව ගියේ තවත් විවාහ මංගල උත්සවයකට සහභාගි වීම සඳහාය. ඒ මාතර නගරාධිපති රංජිත් යසරත්නගේ දියණියගේ විවාහ මංගල උත්සවයටයි. යළිත් කොළඹ පැමිණි මහින්ද මේජර් ජෙනරාල් කමල් ගුණරත්න විසින් රචිත 'කඩොල් ඇත්තු' ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවය සඳහාද එක්විය. කොළඹ බිෂොප් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී එම උත්සවය පැවැත්විය. ඉන් අනතුරුව මහින්දට තවත් මංගල උත්සවයකට යෑමට සිදුවිය. ඒ බස්නාහිර පළාත් සභා මන්ත්‍රි මෙරිල් පෙරේරාගේ පුතණුවන් වන ටිෂාන් පෙරේරාගේය. ඔහුගේ අතගත්තේ දෙවිනුවර ඩික්සන් සිල්වාගේ මිනිබිරියක් වන හංසි පින්නදුවයි. මෙම විවාහයේ සාක්ෂිකරුවන් වූයේ හිටපු ජනපති මහින්ද සහ ජනපති මෛත්‍රි වීම විශේෂත්වයකි. මෙරිල්ගේ පාර්ශ්වයෙන් මහින්ද අස්සන් කළ අතර ඊට මෛත්‍රි සහභාගි වන බවක් මහින්ද දැන සිටියේ නැත. සාක්ෂියට අස්සන් කිරීමෙන් පසුව මෛත්‍රි සහ මහින්ද එකම මේසයක අසුන්ගෙන කතාබහ කළ අතර එම මේසයේම රංජිත් සියඹලාපිටිය, ප්‍රසන්න රණතුංග සහ ඉසුර දේවප්‍රියද අසුන් ගත්හ.

ඉසුර ප්‍රසන්නට කිව්ව කතාව

"කොහොමද මහන්සිත් ඇති නේද?" මෛත්‍රි ඇසුවේය.

"ටිකක් මහන්සියි ඒත් අපිට නම් ඕවා හොඳට පුරුදුයි. මෙයාලා නම් ඉවර වෙනකම්ම එතැන හිටියා" මහින්ද පිළිතුරු දුන්නේ ප්‍රසන්නව පෙන්වමිනි.

"හැමතැනම කුණු එහෙම දාලා තිබ්බා නේද?" ප්‍රසන්න වහා කීවේය.

"සුද්ද කරලා තිබ්බේ නැහැ. මම උදේ 10ට මඟුල් ගේක යනකොටත් කුණු තිබ්බා. නගර සභාවත් කිව්වේ සුද්ද කරලා නැහැ කියලායි" මෛත්‍රි පැවැසීය.

"ඒක නම් වෙන්න බැහැ. අපේ ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන් ටික කුණු සේරම සුද්ද කරලා පාරත් අතුගාලයි ගියේ. සමහරවිට අපි ගියාට පස්සේ වෙන කවුරු හරි අපිව අල්ලන්න ගෙනැත් දැම්මාද දන්නේ නැහැ" ප්‍රසන්න කීවේය.

"මං හිතන්නේ නගර සභාවේ අය නැඟිටිනවා ඇත්තේ උදේ 10ට වෙන්න ඇති. ඒකයි වෙන්න ඇත්තේ" මහින්ද ඇඟටපතට නොදැනී පිළිතුරු දුන්නේය.

අනතුරුව මහින්ද එතැනින් පිටත්ව ගිය අතර තවත් සුළු මොහොතකින් මෛත්‍රිද පිටව ගියේය. ඒ යනු දුටු ඉසුර දේවප්‍රිය "දැක්කද ඊයේ පෙළපාළි ගියාට අද දෙන්නම යන්නේ එකට. ඕක තමයි කවදා හරි වෙන්නේ. දෙන්නා එකතු වෙනවා" යැයි කීවේය.

ගණ පූරණයට නැති එජාප මන්ත්‍රිවරුන් සිරිකොතේ සිට දියවන්නා භෝජනාගාරයට

බ්‍රහස්පතින්දා දින පාර්ලිමේන්තුව පැවැත්වුණේ මිනිත්තු 10ක කාලයකි. එදින මූලාසනය දැරුවේ නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරිය. මහජන පෙත්සම් ඉදිරිපත්කිරීම අවසන් වනවාත් සමඟම මන්ත්‍රි බන්දුල නැඟීසිටියේය.

'ගරු නියෝජ්‍ය කථානායකතුමනි. සභාවේ ගණ පූර්ණය නැහැ. මන්ත්‍රිවරු කැඳවන සීනුව නාද කර සභාවේ කටයුතු ආරම්භ කරනවා නම් හොඳයි' බන්දුල කීවේය.

අනතුරුව නියෝජ්‍ය කථානායකවරයා ගණ පූර්ණ සීනුව නාද කළේය. විනාඩි 5ක් තිස්සේ මන්ත්‍රිවරු කැඳවීමේ සීනුව නාද කිරීමෙන් පසු සභාවේ ගණ පූර්ණය බැලූ මහ ලේකම්වරයා මන්ත්‍රිවරු 16ක් යැයි නියෝජ්‍ය කථානායකවරයාට කීවේය.

'නියෝජ්‍ය කථානායකතුමනි, බන්දුල මන්ත්‍රිතුමාගේ කැමැත්ත ලබාගෙන අපි ගණ පූරණය නොසලකා සභාවේ කටයුතු කරගෙන යමු. පාර්ලිමේන්තු රැස්වීම පවත්වන්න ඕන. මේක මහ අපරාධයක්. විශාල මුදලක් වැය කරල මෙහෙම කල් දාන්න හොඳ නෑ' සභානායක කිරිඇල්ල ඇමැතිවරයා කීවේය.

'පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව ගණ පූරණය නැතිව මට සභාවේ කටයුතු කරගෙන යන්න බෑ' කියමින් නියෝජ්‍ය කථානායකවරයා පාර්ලිමේන්තුව සිකුරාදා පෙරවරුව දක්වා කල් දැම්මේය.

සභාවේ ගණ පූරණය පවත්වාගැනීමේ සම්පූර්ණ වගකීම ඇත්තේ ආණ්ඩු පක්ෂයටය. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඇමැති ගයන්තට අමතරව ඔහුගේ සහායට තවත් මැති ඇමැතිවරුන් සිවු දෙනකු පත්කර තිබේ. ඔවුන් කිසිවකුත් එදින සභාවේ නොසිටීම විශේෂත්වයකි. එජාප 72 වැනි පක්ෂ සම්මේලනය වෙනුවෙන් ආණ්ඩු පක්ෂයේ බහුතර මන්ත්‍රිවරුන් පිරිසක් සහභාගි වූ අතර ඉන් කිහිප දෙනකු සභාවේ කටයුතු සඳහා එවන ලෙස සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල ඇමැතිවරයා අගමැතිවරයාට පවසා තිබුණද ඉන් පලක් සිදුවූයේ නැත. එහෙත් පුදුමය වූයේ සම්මේලනය අවසන් වූ පසු ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන් බොහෝ දෙනකු පාර්ලිමේන්තුවට පැමිණියහ. මාධ්‍යවේදීන් මෙන්ම බොහෝ දෙනකු විපරම් කළේ කල් දැමූ පාර්ලිමේන්තුවට ඔවුන් පැමිණෙන්නේ හදිසි කාරණාවකටද යන්නය. ඔවුන් විදුලි සෝපානයට ගොඩ වී බහින්නේ පළමු මහලෙන්ය. පළමු මහලේ ඇති මන්ත්‍රි භෝජනාගාරය වෙත ඔවුන් කිසිම හැල හොල්මනක් නොමැතිව ගොස් ආපසු ගම්බිම් බලා යෑමද දැකගත හැකිවිය. විනාඩි 10කට රැස්වුවද එදින පාර්ලිමේන්තුව සඳහා රුපියල් ලක්ෂ 46ක මුදලක් වැය වී තිබීමද විශේෂත්වයකි.

හේෂාට අභියෝගයක්

113 වැනි උදා ගම්මානය ලෙස ජනතා අයිතියට පත්කළ රත්නපුර දිස්ත්‍රික්කයේ වැලිගෙපොළ, ලීකෙළිගලයායේ "සෙනෙහසගම" පිහිටා තිබුණේ රක්වාන මැතිවරණ කොට්ඨාසයේ ඉතා සුන්දර හා සෞම්‍ය පරිසරයකය. මෙය රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතා අයතියට පත්කළ පළමු උදා ගම්මානයයි. මාර්ගය මඳක් දුෂ්කර වුවත් සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා උදෑසනින්ම ගම්මානයට පැමිණ හේෂා විතානගේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයාද සමඟ එහි නිවාස 42ටම යෑමට අමතක කළේ නැත. "ඔන්න රත්නපුර දිස්ත්‍රික්කයේ පළමුවැනි උදා ගම්මානය ඔයාට" සජිත් කියද්දී හේෂා කීවේ "බොහොම ස්තූතියි සර්" කියාය. මඳ නිහැ¾ඩියාවකින් පසුව සජිත් ඇසුවේ "ඔයා දක්ෂයෙක්. හැකියාවක්, ජවයක් තියෙන තරුණයෙක්. මම ඔයාට අභියෝගයක් දෙන්න භාරගන්නවද?" කියාය. හේෂා විමතියෙන් ඇසුවේ "මොකක්ද සර් අභියෝගය" කියාය. "රක්වාන මැතිවරණ කොට්ඨාසයේ වැලිගෙපොල, ගොඩකවෙල, ඕපනායක, රක්වාන කියන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතරේ ඔයා දැනට උදා ගම්මාන කීයක් හදාගෙන යනවද "සජිත් අසද්දී හේෂා කීවේ "11ක්" කියාය. "ඔය ගාණට තව 39ක් එකතු කරලා ගම්මාන 50ක් කරමු. ඔයාට අවශ්‍ය ප්‍රතිපාදන අඩුවක් නැතිව මම දෙන්නම්. මොකද කියන්නේ අභියෝගය භාර ගන්නවද" ස ත් අසද්දී හේෂාට කියවුණේ "රක්වානට උදා ගම්මාන 50ක්? හරි සර් මම අභියෝගය භාර ගන්නවා" කියාය. "ඔව්. එහෙම වුණොත් රත්නපුර දිස්ත්‍රික්කයේ වැඩිම උදා ගම්මාන හදපු මැතිවරණ කොට්ඨාසය බවට රක්වාන පත් වෙනවා. එතකොට කාටද ආඩම්බර" සජිත් ඇසුවේ හේෂාගේ පිටට තට්ටුවක්ද දමමිනි. පොලිස්පතිගේ වද වීම

පසුගිය බදාදා පෙරවරුවේම අමාත්‍ය මද්දුම බණ්ඩාර මහතා සිය අමාත්‍යාංශයට ගියේ එදින කොළඹ නගරයේ පවත්වන්නට නියමිත ඒකාබද්ධයේ උද්ඝෝෂණය හේතුවෙන් ජන ජීවිතය කඩාකප්පල් නොවීමට ගත යුතු පියවර පිළිබඳ සාකච්ඡා කිරීමටයි. මේ සඳහා අමාත්‍යාංශ ලේකම් සහ පොලිස්පතිවරයා ද සහභාගි වූහ.

"පොලිස්පතිතුමා, අද මුළු රටම බලාගෙන ඉන්නේ අපි දිහා. මොකද අපේ ආණ්ඩුව ඒකාබද්දෙ උද්ඝෝෂණයට කොහොම ප්‍රතිචාර දක්වයිද කියල. කොයිම විදියකින්වත් උද්ඝෝෂකයන්ට උද්ඝෝෂණය කරන්න තියෙන අයිතිය අහුරන්න එපා. හැබැයි එහෙම කියල සාමාන්‍ය ජනතාවගේ ජීවිතවලට පොදු දේපළවලට හානියක් කරනවා නම් නීතිය ක්‍රියාත්මක නොකර ඉන්නත් එපා. ඔයගොල්ල අතින් පොඩි හරි වැරැද්දක් වුණොත් ඒකෙ වැරැද්ද මුලින්ම වැටෙන්නෙ අපේ ආණ්ඩුවෙ එකවුන්ට් එකට, ඊළඟට වැටෙන්නෙ මගේ එකවුන්ට් එකට. ඒ නිසා ඔයා පෞද්ගලිකවම මේ කටයුත්ත අධීක්ෂණය කරන්න. හැම මොහොතකම අලුත් වෙන තොරතුරු මට කියන්න. විශේෂයෙන් කොළඹ වැදගත් ස්ථානවල ආරක්ෂාව තහවුරු කරන්න උපරිම පිරිස් බලයක් යොදවන්න" ඇමැති රංජිත් කීවේය.
"සර් වද වෙන්න එපා, ඒ ඔක්කොම මම බලා ගන්නම්" පොලිස්පතිවරයා මුහුණ රැලි කරමින් කීවේය.

"වද නොවී බෑ පූජිත, මේ අයට වුවමනා මිනිස් බිල්ලක් අපි ලව්ව ගන්න එක. ඒ නිසා හැම දේ ගැනම විමසිල්ලෙන් ඉන්න. පොඩි හරි අතපසුවීමක් වෙන්න දෙන්න එපා" ඇමැතිවරයා දැඩිව කීවේය.

20 පාර්ලිමේන්තුවට

මෙම මස මුල් සතියේ පාර්ලිමේන්තු සභාවාරයක් පැවැත්වීමට නියමිතව තිබූ අතර ජවිපෙ 20 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා න්‍යාය පුස්තකයට ඇතුළත් වී ඇතිද යන්න සොයා බැලුවේ සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රිවරයාය. එය පස් වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් වීමට නියමිතව තිබූ අතර එය කළ යුතුව තිබුණේ විජිත හේරත් මන්ත්‍රිවරයාගේ පෞද්ගලික මන්ත්‍රි යෝජනාවක් ලෙසය. කෙසේ වෙතත් මන්ත්‍රිවරයා කොරියාවේ සිටි බැවින් සුනිල් හඳුන්නෙත්ති දුරකථනයෙන් ඔහු දැනුවත් කළ අතර විජිත හේරත් කියා සිටියේ තමන් 04 වැනිදා අලුයම දිවයිනට පැමිණෙන බවයි. විජිත හේරත් විසින් සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ යෝජනාව සිදු කළ අතර පක්ෂ නායක අනුර දිසානායක එය ස්ථිර කළේය. සභානායකවරයාගේ ඉල්ලීමක් අනුව 20 සංශෝධනය ගැන විජිත හේරත් විසින් කෙටි හැඳින්වීමක්ද ඉදිරිපත් කරන ලදී. පසුව ජවිපෙ මන්ත්‍රි කණ්ඩායම සභාගැබෙන් පිටතට පැමිණි අතර සිය පළමු කඩඉම ජයග්‍රහණය පිළිබඳව සතුට බෙදා ගත්හ. පසුව විජිත හේරත් පාර්ලිමේන්තුවේ පනත් අංශයට ගොස් කාර්ය මණ්ඩලයට සිය පක්ෂයේ ගෞරවනීය ස්තූතිය පුදකරන බව කියා සිටියේය. "මන්ත්‍රිතුමා අපිට ස්තුති කළාට ඔබතුමාට ස්තුතියි. මොකද අපේ කාර්ය භාරය මේ විදියට පැසසුමට ලක්වුණේ පළමුවැනි වතාවට. ඔබතුමාලගේ උත්සාහයට අපි සුබ පතනවා." පනත් අංශයේ නිලධාරියෙක් කියා සිටියේය.

බස්නාහිර පළාත් සභාවේ පුදුම ‍ෙදාරක්... වියදම කෝටිය පනී.

පසුගිය කාලයේ බස්නාහිර පළාත් සභාව දේශපාලන වේදිකාවේ හොඳම මාතෘකාවක් විය. ඒ ලක්ෂ හයහමාරක පුටු 125ක් හේතුවෙනි. ඒ සම්බන්ධයෙන් කතාබහක් ඇතිවුණේ ජවිපෙ මන්ත්‍රි ලක්ෂ්මන් නිපුණආරච්චිගේ හෙළිදරව්වක් සමඟිනි. මේ සම්බන්ධයෙන් අවධානයෙන් සිටි මන්ත්‍රිවරයාට තවත් කරුණු ගණනාවක් පිළිබඳව තොරතුරු වාර්තා විය. පුටු සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක් බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාට ලැබුණු බව සැලවුණු මන්ත්‍රිවරයා ඔහුට දුරකථන ඇමතුමක් ලබාදුන්නේ කරුණු විමසා බැලීමටය. "ආණ්ඩුකාරතුමා මට ආරංචියක් ලැබුණා පුටු ගැන විමර්ශන වාර්තාවක් ඔබතුමාට ලැබුණා කියලා. මට ඒකෙන් කොපියක් ගන්න පුළුවන්ද?" ලක්ෂ්මන් නිපුණආරච්චි විමසීය. "මන්ත්‍රිතුමා ඒක රහස්‍ය වාර්තාවක්නේ. ඒක ගැන තව කරුණු හොයන්න ඕනෑ. මම මාධ්‍ය සාකච්ඡාවක් තියන්න තමයි හිතාගෙන ඉන්නේ." ආණ්ඩුකාරවරයාගේ පිළිතුර විය. කෙසේ වෙතත් පුටු පිළිබඳ ටෙන්ඩරය සම්බන්ධයෙන් විමර්ශනයට පත්කළ කමිටුවේ බස්නාහිර පළාත් ලේකම්වරයා ප්‍රධානියා වන අතර ඔහු ටෙන්ඩර් මණ්ඩලයේද සාමාජිකයෙකි. රහස් ඇත්තේ එතැන බව මන්ත්‍රිවරයාට දැනගන්නට ලැබිණි. එමෙන් තවත් වංචා දූෂණ ගණනාවක් ගැනද මන්ත්‍රිවරයාට දැනගන්නට ලැබී තිබේ. ඒ පළාත් සභා ගොඩනැඟිල්ලේ පුදුමාකාර ‍ෙදාරක් පිළිබඳය. එම ‍ෙදාර සඳහා කෝටියකට අධික මුදලක් වියදම් කර ඇති බව නිල නොවන ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබී ඇත. කෙසේ වෙතත් මේ පිළිබඳව මන්ත්‍රිවරයා පළාත් සභාවෙන් ප්‍රශ්නයක් විමසා ඇති අතර පිළිතුරු අපේක්ෂාවෙන් සිටියි. කෙසේ වෙතත් ලක්ෂ හයමාරේ පුටුවල අසුන් ගැනීමට බලාපොරොත්තුවෙන් සිටි මන්ත්‍රිවරුන් ලක්ෂ්මන් නිපුණආරච්චි සමඟ ප්‍රකාශ නොකළ හැකි කෝපයෙන් පසුවන බවද දැනගන්නට තිබේ.

සරණ නිදහස්

හොරගොල්ලේ ඉදිකරගෙන යන නිවාස සංකීර්ණයකට පහරදී අලාභහානි කිරීම සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට සහ තවත් දාහත් දෙනකුට එරෙහිව පවරා තිබූ නඩුවෙන් ඔවුන් නිදහස් කිරීමට අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණය පසුගියදා නියෝග කළේය. වත්මන් ආණ්ඩුව බලයට පත්වී දින කිහිපයක් ගතවෙද්දී පසුගිය ආණ්ඩුවේ දේශපානඥයන් අතරින් පළමුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ සරණය. දීර්ඝ කාලයක් තිස්සේ පැවැති මෙම නඩු විභාගයේදී පැමිණිලි පාර්ශ්වයේ උනන්දුවක් නොමැති වීම හේතුවෙන් සරණ ඇතුළු පිරිස නිදහස් වූහ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon