රුපියල් 2,500යේ සොච්චම නැතිවුණාට මක් වෙනවද?

  👤  3326 readers have read this article !
2018-09-10

ඉකුත් සතියේ බ්‍රහස්පතින්දා නියමිත පරිදි පාර්ලිමේන්තු රැස්වීම ආරම්භ වුවද ගණපූරණය නැති වීම නිසා රැස්වීම විනාඩි 10කින් අවසන් කිරීමට නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරිට සිදු විය.

මන්ත්‍රිවරුන් කැඳවීමේ සීනුව නාද කිරීමෙන් පසුවද සභා ගැබේ සිට ඇත්තේ 16 දෙනකු පමණි. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව ගණපූරණය සම්පූර්ණ වීමට අවම වශයෙන් මන්ත්‍රිවරුන් 16 දෙනකු සිටිය යුතුය. විපක්ෂ මන්ත්‍රි බන්දුල ගුණවර්ධන සභාවේ ගණපූරණය නොමැති බව පෙන්වා දීමෙන් අනතුරුව සභානායක ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල යෝජනා කර තිබුණේ දිනක රැස්වීමක් වෙනුවෙන් විශාල වියදමක් දරන හෙයින් දෙපැත්තම එකඟ වී ගණපූරණය නොමැති වුවද සභාවේ කටයුතු පවත්වාගෙන යෑමටය. එහෙත් ඊට නියෝජ්‍ය කථානායකවරයා එකඟ වූයේ නැත.

කනගාටුදායකය.

පාර්ලිමේන්තුවේ කලක සිට වැඩකටයුතු සිදුවෙමින් පවතින ආකාරය අනුව ස්ථාවර නියෝග, සම්ප්‍රදායයන් දෙපාර්ශ්වයේම පිරිස් විසින් නොසලකා හරින බව පෙනේ.
මුලසුන හැර පක්ෂ විපක්ෂ මන්ත්‍රිවරුන් 224 දෙනකු සිටින අතර ඉන් 208 දෙනකුම පාර්ලිමේන්තු රැස්වීමට නොපැමිණීමෙන් ඔවුන්ට කිසිදු වගකීමක් නැති බව ඉතා පැහැදිලිය. එදින න්‍යාය පත්‍රයට අනුව සභාව කල්තැබීමේ යෝජනාව ලෙස නියමිතව තිබී ඇත්තේ මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය නාමයෙන් දෙමළ ජනතාවගේ පාරම්පරික ඉඩම් ආණ්ඩුව කොල්ල කන බවට දෙමළ ජාතික සන්ධානය විසින් ඉදිරිපත් කර තිබූ යෝජනාව පිළිබඳ විවාදය පාර්ලිමේන්තු රැස්වීම කල්තැබීම නිසා අදාළ විවාදයද පැවැත්වීමට හැකිවූයේ නැත.

ඉකුත් බ්‍රහස්පතින්දා පක්ෂ-විපක්ෂ මන්ත්‍රිවරු පාර්ලිමේන්තුවට නොපැමිණියේ ඇයි? විපක්ෂ මන්ත්‍රිවරු පිරිසක් පෙරදින එනම්, බදාදා පැවැති පොදුජන පෙරමුණේ උද්ඝෝෂණයට සහභාගිවීමත්, ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරු පිරිසක් එදින පැවැත්වෙන එජාප සංවත්සර සමිති රැස්වීමට සහභාගිවීමත් මේ මන්ත්‍රිවරු හිඟයට එකම හේතුවය.

සභානායකවරයා ප්‍රකාශ කර තිබුණු ආකාරයට දෙපාර්ශ්වය එකඟ වී ස්ථාවර නියෝගවලට පටහැනිව සභාව පවත්වාගෙන යෑම නොව කළ යුතුව තිබුණේ පාර්ලිමේන්තුව රැස්වන දිනට ඊට සති දෙකකට පමණ පෙරාතුව පක්ෂ නායකයන් රැස්වී තීරණය කිරීමේදී බාහිර කටයුතු පිළිබඳ අවධානය යොමුකර පාර්ලිමේන්තුව පවත්වන දින සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීමය. ස්ථාවර නියෝගවලට අනුව පාර්ලිමේන්තු සතිය තුළ එක් දිනක්වත් කුමන හේතුවක් නිසා හෝ පාර්ලිමේන්තු රැස්වීම අවලංගු කළ නොහැකි අතර, පාර්ලිමේන්තුව රැස්වී වෙනත් දිනකට කල්තැබීම පමණක් කළ හැකිය. ඒ කිසිදු පියවරක් නොගත් සභානායකවරයා මාධ්‍යට කියා තිබුණේ ගණපූරණය නොමැතිවීමට වගකිවයුත්තේ විපක්ෂයේ මන්ත්‍රිවරු බවය. එහෙත් ඇඟිල්ල විපක්ෂයට දිගුකරන විට ඇඟිලි හතරක් ආණ්ඩු පක්ෂය වෙත එල්ල වී ඇති බව ඇමැති කිරිඇල්ලට තේරෙන්නේ නැත.

එදින නියමිත වෙලාවට සභාවට පැමිණ සිටි ඇමැතිවරුන් වන්නේ ලක්ෂ්මන් කිරිඇල්ල, ගයන්ත කරුණාතිලක, කරුණාරත්න පරණවිතාන, රංජිත් අලුවිහාරේ, ශි්‍රයානි විජේවික්‍රම, එරාන් වික්‍රමරත්න. මයන්ත දිසානායක, බන්දුල ගුණවර්ධන, එස්.සී. මුතුකුමාරණ, බිමල් රත්නායක, නිහාල් ගලප්පත්ති, නලින්ද ජයතිස්ස, ඩග්ලස් දේවානන්දා, සුනිල් හඳුන්නෙත්ති, ඥානමුත්තු ශ්‍රී හේෂන් සහ කවින්දරන් මන්ත්‍රිවරු පැමිණ සිට ඇත. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, විපක්ෂ නායක පැමිණ සිට නැත. ජවිපෙ මන්ත්‍රිවරුන් හයදෙනාගෙන් සිවුදෙනකුම පැමිණ සිටීමද විශේෂත්වයකි. මේ ලැයිස්තුවේ මෙහි දැක්වූයේ එහිදී ඔවුන් වගකිවයුතු මහජන නියෝජිතයන් ලෙස කටයුතු කර ඇති නිසාය.

මෙවර පාර්ලිමේන්තු සැසිය ආරම්භ කළ ඉකුත් සතියේ අඟහරුවාදා විපක්ෂයේ එක්සත් ජනතා නිදහස් සන්ධාන 'ඒකාබද්ධ' පිලේ මන්ත්‍රිවරුන් සභා ගැබ තුළ උද්ඝෝෂණ කිරීම හේතුවෙන් පාර්ලිමේන්තුවට රැස්වී පැය දෙකකට පමණ පසු කල්තැබීමට සිදුවිය. පොදුජන පෙරමුණ හා ඒකාබද්ධ පිල එක්ව සංවිධාන කළ ජනබල උද්ඝෝෂණය පැවැත්වූ ඉකුත් බදාදා පාර්ලිමේන්තුව පස්වරු 5.00ට පමණ අවසන් විය. ඉකුත් 6 වැනිදා සභාව විනාඩි 10කට සීමා කිරීමට සිදුවූයේ එජාප 72 වැනි සංවත්සර උළෙල හේතුවෙන් ආණ්ඩුවේ මන්ත්‍රිවරු නොපැමිණීමෙන් පෙරදා ජනබලයට ගිය විපක්ෂ මන්ත්‍රිවරු බහුතරය නියමිත වෙලාවට නොපැමිණීමත්ය. මේ ආකාරයට 'වැඩ' සිද්ධ වේ යැයි ආණ්ඩු පක්ෂය හා විපක්ෂය නොදන්නවා නොවේ.

එහෙත් 'පාර්ලිමේන්තුව' ගැන ඔවුන්ට වගේ වගක් නැත. පාර්ලිමේන්තු රැස්වීමක් සඳහා දිනක ජනතාවගේ බදු මුදලින් රුපියල් ලක්ෂ 43ක් වැය වුණද ප්‍රශ්නයක් නැත. කලට වේලාවට වැටුප්, දීමනා, වාහන බලපත්‍ර ඇතුළු වරප්‍රසාද ටික මන්ත්‍රිවරුන්ට ලැබෙයි. අවසානයේ විශ්‍රාම වැටුපකුත් ලැබෙයි. පාර්ලිමේන්තුවට නොපැමිණියා කියා මන්ත්‍රිවරුන්ට අහිමි වෙන්නේ පැමිණීමේ දීමනාව පමණි. ඒ රුපියල් 2,500 සොච්චම නැති වුණාට මක් වෙනවද?

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon