දැල් පන්දු ජයෙන් ගත යුතු පාඩම්

  👤  3063 readers have read this article !
2018-09-11

 

ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම ආසියානු ශූරතාව හිමිකරගනිමින් විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කර තිබේ. වසර 9කට ආසන්න කාලයකට පසු දැල්පන්දු ක්‍රීඩිකාවන් ලබාදුන් ජයග්‍රහණය මෙරට ක්‍රීඩා ලෝලීන්ගේ මහත් අමන්දානන්දයට හේතුවී තිබේ. දස්කම් දැක්වූ දැල්පන්දු ක්‍රීඩිකාවන්ට අපිදු අපගේ උණුසුම් සුබ පැතුම් පළ කරමු.

මෙම ජයග්‍රහණයත් සමඟ ලබන වසරේ එංගලන්තයේ ලිවර්පූල්හි පැවැත්වෙන ලෝක දැල්පන්දු කුසලාන තරගාවලියටද ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලබා තිබේ. එය ජයග්‍රාහී දැල්පන්දු ක්‍රීඩිකාවන් හමුවේ ඇති අභියෝගාත්මක ඉලක්කය බව අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ.

ක්‍රිකට් හැරුණු විට අනෙක් සෑම ක්‍රීඩාවකින්ම ලංකාව මේ වන විට සිටින්නේ සතුටුදායක තැනක නොවේ. ඉන්දුනීසියාවේ ජකර්තාහි පසුගියදා අවසන් වූ ආසියානු ක්‍රීඩා උළෙලේදී ජාතික ඔලිම්පික් කමිටුව සහභාගි කරවූ ක්‍රීඩික ක්‍රීඩිකාවන් 175 දෙනකුම ආපසු පැමිණියේ කිසිදු ජයග්‍රහණයක් වාර්තා කිරීමෙන් තොරවය. ආසියානු රටවල් 12ක් සමඟ තරග වදිමින් අපරාජිත කණ්ඩායමක් ලෙස ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම ලද ජයග්‍රහණය සුවිශේෂී වන්නේද ඒ පසුබිම තුළය. ජාතික වොලිබෝල් කණ්ඩායම මේ වන විට දකුණු ආසියාවේ හෝ කිසියම් ස්ථානයක් හිමිකර ගැනීමට අපොහොසත්ව සිටින බවද මෙහිලා සඳහන් කළ යුතුය. ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම මේ ජයග්‍රහණය රටට අත්කර දුන්නේ විවිධ මතභේද හා වියවුල් මැද ලංකාවේ ක්‍රීඩාව පසුබෑමට ලක්ව තිබෙන අවස්ථාවක බවද අමතක නොකළ යුතුය. ලංකාව ක්‍රිකට් ලෝක කුසලානය දිනාගත්තේ 1996 වසරේය. එදා 26 දෙනකුට සීමා වී තිබූ ක්‍රිකට් පාලක මණ්ඩලය තුළ දැන් 300කට වැඩි සංඛ්‍යාවක් සිටිති. ජයග්‍රහණයත් සමඟ ඒ වටා රොක්වන විවිධාකාර අපත චරිත ලංකාවේ ඕනෑ තරම් ඇත. ප්‍රශ්නය වන්නේ ඉදිරියේදී දැල්පන්දු සම්මේලනය එවැනි පිරිස්වලින් බේරා ගැනීමය.

ජයග්‍රහණයට බොහෝ පියවරුන් සිටින බවටත් පරාජයට වගකිවයුත්තන් නැති අතර එය අවජාතක බවටත් ප්‍රකට කියමනක් තිබේ. දැල්පන්දු ජයග්‍රහණයටද එවැනි පියවරුන් සිටින බව මේ දිනවල මාධ්‍යවල ඇදබාන පුරසාරම් කතාවලින් පෙනේ.

දැල්පන්දු ක්‍රීඩාව 2009න් පසු වසර 9ක් එක තැන පල්වූයේ කුමක් නිසාද යන්නත් දැන් බොහෝ දෙනාට අමතකය. එදා ජයග්‍රහණ හිමිකර දුන් පුහුණුකාරිනිය වූ තිලකා ජිනදාස පලවාහැර මවක් පුහුණුකාරිනිය වෙමින් දියණිය දැල්පන්දු කණ්ඩායමේ නායිකාව බවට පත්කොට සිදුකළ ජුගුප්සාජනක නාටකය කවුරු අමතක කළත් අපට අමතක නොවේ. තිලකා බෘෘනායිවල සිට නැවත ගෙන්වා දැල්පන්දු පුහුණුකාරිනිය නොකරන්නට මෙවරත් අපේ කණ්ඩායමට සිංගප්පූරුවේ විනෝද චාරිකාවකට සහභාගි වී හිස් අතින් ආපසු එන්නට ඉඩ තිබිණි.

ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමට සම්පතක් වූ අඩි 6 අඟල් 10ක් උසැති තර්ජිනී සිවලිංගම් දැක්වූ දස්කම්ද අමතක කළ නොහැකිය. කණ්ඩායම තුළ පැවති හෘදයාංගම සහෝදරත්වයද ජයග්‍රහණය අභිමුඛයේ ජාතික සංහිඳියාව නම් මේ යැයි ද රටට පෙන්වා දී තිබේ.

ජයග්‍රහණය පහසු ව්‍යායාමයකි. අපහසු වන්නේ දිනාගත් ජයග්‍රහණය අඛණ්ඩව පවත්වා ගැනීමය. ඒ සඳහා මානව සම්පත් කළමනාකරණය හා පුහුණුවද අඛණ්ඩව පවත්වා ගැනීමට සිදුවේ. ලැබූ ජයග්‍රහණය කිසිවකුට අලෙවි කරන්නට අවස්ථාව නොදී
ක්‍ෂේත්‍රයේ දියුණුව ආරක්ෂා කරගන්නට දැල්පන්දු සම්මේලනය සමත් වුවහොත් ලෝක දැල්පන්දු ශූරියන් වීමේ සිහිනය සැබෑ කර ගන්නට අපේ ක්‍රීඩිකාවන්ට හැකිවනු ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon