පුත්තලම සභාපති, මහරගම සභාපති හා වනාතවිල්ලුව මන්ත්‍රි

  👤  2693 readers have read this article !
2018-09-12

පාර්ලිමේන්තුවේ සහ පළාත් සභාවේ මැති-ඇමැතිවරුන්ගේ මඟ යමින් පළාත් පාලන මන්ත්‍රිවරුන් එනම්, පුංචි ආණ්ඩුවල සභිකයන්ගේ නීතියට පිටුපා වැඩ කිරීම අද ඊයේක සිට සිදුවන්නක් නොවේ. විශේෂයෙන් ගෙවුණු අවුරුදු පහළොව විස්ස තුළ පුංචි ආණ්ඩුවල බලැත්තන්ගේ කල්ක්‍රියාව ඉතාම පහත් මට්ටකට ඇද වැටිණි.


කාන්තාවන් සියයක් සමඟ රති සුව විඳීමේ පී්‍රති සාද පැවැත්වූ, විදේශ සංචාරකයකුට පහරදී ඝාතනය කර ඔහුගේ පෙම්වතිය සමූහ දූෂණයකට ලක් කළ, වෙනත් ප්‍රාදේශීය සභාවක සභාපතිවරයාගෙන් අල්ලස් ලබාගත් ප්‍රාදේශීය සභාවල සභාපතිවරුන් ගැන ඕනෑ තරම් කතා එකල අසන්නට ලැබිණි. අලුත් මැතිවරණ ක්‍රමයට තැබූ ඡන්දයෙන් තෝරා පත් කරගත් එජාප, පො.එ.පෙ. හා ශ්‍රීල.නි.ප. මන්ත්‍රිවරුන්ගේ හැසිරීමද ඔවුන්ට දෙවැනි නැත.


පුත්තලම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඉකුත් 10 වැනිදා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගත්තේ අධිකරණ නියෝග නොතකා මෙරටින් පිටවීමට ගත් උත්සාහයකදීය. 2010 වසරේ ජනවාරියේ පුත්තලම, මදුරන්කුලිය ප්‍රදේශයේදී පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සභාපතිවරයාට විරුද්ධව පුත්තලම මහාධිකරණයේ නඩුවක් විභාග වේ. එම නඩුවේ තීන්දුව ලබන 16දා ලබාදීමට නියමිතව ඇති අතර එතෙක් මොහුට රටින් පිටවීම තහනම් කර තිබිණි. අදාළ තහනම් නියෝගය නොතකා ප්‍රාදේශීය සභා සභාපතිවරුන්ගේ සංචාරයකට එක්වීම සඳහා ඔහු සිංගප්පූරුව බලා පිටත්ව යෑමට ගුවන්තොටුපොළට පැමිණ සිටියේය.


ප්‍රාදේශීය සභාවක සභාපතිවරයකු යනු වගකිව යුතු පුද්ගලයෙකි. ඔහු නීතිය නොදන්නකු විය නොහැකිය. අනෙක රටේ නීතියට අවනත නොවන්නකු ප්‍රාදේශීය සභාවක් වැනි වැදගත් ආයතනයක මුල් පුටුව හෙබවීමට සුදුසු වන්නේ නැත.


මහරගම නගර සභාවේ සභාපතිවරයා එහි සේවකයන් කිහිපදෙනකුට පහර දී දණ ගැස්සූ බවට චෝදනාවක් එල්ල වී ඇත. එහෙත් සභාපතිවරයා පවසන්නේ අවවාද කළා මිස පහරදීමක් හෝ දණගැස්වීමක් සිදු නොවූ බවය. ගින්නක් නොමැතිව දුමක් නඟින්නේ නැත. සභාපතිවරයා අත්තනෝමතිකව හැසිරී ඇති බව පෙනේ. එලෙස සිතීමටද කරුණු ඇත. ආයතනයේ සියලු දෙනා තමන්ට 'සර්' කියා ආමන්ත්‍රණය කළ යුතු යැයි 'බෝඩ්' ලෑල්ලක් කාර්යාලය ඉදිරිපිට එල්ලුවේද මේ සභාපතිවරයාමය.


දෙයක් වේ නම් සුදුස්සාටම අයිති විය යුතුය. එහි කිසිදු ප්‍රශ්නයක් නැත. එහෙත් මේ වැදගත් ආයතනවල විශේෂයෙන්ම මහරගම වැනි මධ්‍ය පාන්තිකයන් බහුල නගරයක මුල් නගර වැසියා මෙවැන්නකු වීම ගැන ඇසිය යුතුද නොඑසේ නම් සිතිය යුතුද යන්න ප්‍රශ්නයකි. මන්ද මේ කට්ටියව ඡන්දයෙන් පත් කරන ලද්දේ මහරගම බහුතර ජනතාව විසින් නිසාය. ඇහින්දාස් ස්වාධීන කණ්ඩායමකට කිසිදු සෙවිල්ලක් බැලිල්ලක් නැතිව ඡන්දය දී බලය ලබාදුන්නවුන් අතර සභාපතිගේ නියෝගයෙන් දණ ගසාගෙන සිටීමට සිදුවූ සේවකයන්ද සිටීමට බොහෝ දුරට ඉඩ ඇත.


වනාතවිල්ලුව අරුවක්කාරුව ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින කසළ අංගණයකට කඩා වැදී එහි ප්‍රධාන ව්‍යාපෘති කාර්යාලයට අලාභහානි සිදු කිරීමේ සිද්ධියක් ඉකුත් 11 වැනිදා මාධ්‍ය වාර්තා කර තිබිණි. මේ සිද්ධියට අත්අඩංගුවට ගත් දෙදෙනා අතර වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරයෙක් සිටී. මෑතකදී ඒ පක්ෂයේම ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයකු කසිප්පු පෙරමින් සිටියදී අත්අඩංගුවට ගනු ලැබීය. තවත් මන්ත්‍රිවරයකු අත්අඩංගුවට ගෙන තිබුණේ පිරිසක් සමඟ පැමිණ වනජීවී නිලධාරීන්ට පහරදී අත්අඩංගුවේ සිටි ධීවරයකු රැගෙන යෑම නිසාය.


පක්ෂය කුමක්ද, ස්වාධීන කණ්ඩායමකද, කියා විශේෂයෙන් සොයා බැලීමේ පලක් නැත. පුංචි ආණ්ඩුවල සභාපතිවරුන්, නගර සභාපතිවරුන්, මන්ත්‍රිවරුන් රැසක් මේ වන විට විවිධ 'වැරැදි' නිසා අත්අඩංගුවට ගෙන ඇත. ඉකුත් පෙබරවාරියේ පැවැති මැතිවරණයෙන් පසු ගෙවුණු මාස හතේ ප්‍රගති වාර්තාව එබඳු නම් නියමිත කාලය අවසන් වන විට තත්ත්වය කුමනාකාර වේදැයි සිතාගත හැකිය. කාගෙත් අවධානය යොමුවිය යුතු කාරණය එය නොවේ. මේ සියලු දෙනා මන්ත්‍රිවරුන් කර ඇත්තේ ඡන්දදායක ජනතාව විසින් බවත්, ඔවුන්ට තනතුරු ලබාදී ඇත්තේ රට, ජාතිය, ආගම ගැන රෑ දවල් දෙකේම කතා කරන දේශපාලන පක්ෂවලින් බවත්ය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon