බිලි පූජා

  👤  2754 readers have read this article !
2018-09-13

'බිලි පූජා' ආගමික ඇදහිලි සමඟ ගැට ගැසුනකි. අනාදිමත් කාලයක සිට ඇදහිලිවන්තයන් අතර ජනප්‍රිය පූජා ක්‍රමයක් ලෙස 'බිලි පූජා' පැවැතී ඇත. සතුන් පමණක් නොව මනුෂ්‍යයන් පවා බිලි දීමට තරම් මේ පූජා විධි බලවත් වී තිබිණි.

මනුෂ්‍යයා ශිෂ්ට වන්නට වන්නට දෙවියන් හෝ වෙනත් ඇදහිලි වෙනුවෙන් මනුෂ්‍යයන් බිලි දීමේ චාරිත්‍රය අභාවයට ගියේය. බොහෝ රටවල එවැනි ආගමික චාරිත්‍ර තහනම් කරනු ලැබීය. එහෙත් සතුන් මරා බිලි පූජා පැවැත්වීම අඛණ්ඩව පැවැතිණි. ලංකාවේද හින්දු ආගමික චාරිත්‍රානුකූලව එළුවන් වැනි සතුන් ගෙල සිඳ මරා පූජා පැවැත්වීම සිදුවිය. හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් හින්දු කෝවිල්වල හෝ එවැනි සත්ත්ව බිලි පූජා සිදුකරන ස්ථාන භාරකරුවන්ට හා පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නීති පැනවීමට නියමිතය.

මේ 'බිලි පූජා' හින්දු ආගමට ආවේනික ප්‍රශ්නයක් පමණක් නොවේ. එහෙත් මේ රටේ පවතින ආගම් අතුරින් සත්ත්ව බිලි පූජා පවත්වන්නේ හින්දු ආගමිකයන් පමණි. ඔවුන්ගේ ආගමික අර්ථයෙන් එය සතුන්ට කරන හිංසාවක් නොව දෙවියන් වෙනුවෙන් කරන පූජාවකි. ඇදහිල්ල එබඳුය. එය තර්කයට හසුවන්නේ නැත. බෞද්ධ ආගමික පෙරහරවල ධාතු කරඬුව වැඩම කරවීමට ඇතුන් යොදා ගනී.

පෙරහර වර්ණවත් කිරීමට අලි හා අලි පැටව්ද සහභාගි කර ගනී. දම්වැල්වලින් බැඳ පයින් ඇවිද්දවීම සත්ත්ව හිංසාවකි. එහෙත් ආගමික ඇදහිලිවන්තයකුට එසේ නොසිතේ. දෙවිනුවර දේවාලයේ අලියකුට නිසි පරිදි උවැටැන් නොකර තබාගැනීමේ චෝදනාවක් එහි පාලනාධිකාරියට එල්ල වූයේ මෑතකදීය. ඒ අලියා දේවාලයට පූජා කර ඇත්තේ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස විසිනි. උෟට කුඩම්මාගේ සැලකිලි දක්වනවාට වඩා කැලයට යැවීම හොඳ නැද්ද? එහෙත් බොහෝ දෙනෙක් එසේ නොසිතති. සතුන්ට හැඟීම් දැනීම් ඇති බව ඔවුහු අමතක කර දමති.

විශ්වාසය ඇදහිල්ලක් වූ විට යථාර්ථය පිළිබඳ අවබෝධයක් තබා සත්‍ය පිළිබඳ හැඟීමක් මිනිස් සිතේ නූපදී. දෙවියන් හෝ යක්ෂයන් වෙනුවෙන් මනුෂ්‍යයන් බිලිදීමට පවා මනුෂ්‍යයන් පෙලඹුණේ ඒනිසාය. සතුන් බිලිදීමද ඊට දෙවැනි නැත. ගෞතම බුදුන් වහන්සේට අනුව ලෝකය සියලු සත්ත්වයන්ට අයිතිය. කිසිවකුගේ ජීවිතයක් බිලි ගැනීමේ අයිතිය තවකෙකුට නැත. මනුෂ්‍යයාගේ සතුට වෙනුවෙන් සත්ත්වයන්ට හිංසා කිරීම බුදු වදනට පිටුපෑමකි.

අනෙකාට ඇඟිල්ල දිගු කරන්නන් තමන් දෙසට ඇඟිලි හතරක් හැරී ඇති බව නොසිතයි. අනෙක් පැත්තෙන් සත්ත්වයන්ගේ හිංසාව ගැන වේදනාවෙන් කතා කරන සමහරුන් මනුෂ්‍යයන් දුකට හෙළීමට කටයුතු කරන්නන්ය. සතුන්ට ඇති අනුකම්පාව මනුෂ්‍යයා ගැන ඔවුන්ට නැත.

ආගමේ නාමයෙන් සතුන්ගේ බෙලි කැපීම ගැන කම්පා වන සමහරුන් මිනිසුන්ගේ බෙලි කපා රිටිවල ගසා ප්‍රදර්ශනය කළ උතුරේ හා දකුණේ භීෂණය ගැන වුවමනාවෙන් අමතක කරයි. බෙලි කැපීම ගැන නොව ඔළු ගෙඩි ටික රැකගැනීමේ සද් චේතනාවෙන් යුතුව අපි ලෝක සත්ත්වයා වෙනුවෙන් බැති සිත් උපදවා ගත යුතුය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon