ඝාතන කුමන්ත්‍රණය ගැන අහන්න ජනපති පොලිස් ප්‍රධානීන් කැඳවයි

  👤  5446 readers have read this article !
2018-09-16

මාධ්‍යට වසන් කළ විශේෂ කැබිනට් හමුව

සතියේ කැබිනට් හමුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අඟහරුවාදා පෙරවරුවේ පැවැත්විණි. මෙහිදී වැඩි අවධානය යොමු වූයේ ආගමික ස්ථානවල බිලි පූජා තහනම් කිරීම ගැනය.

එය සම්පූර්ණයෙන් තහනම් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළේය. පාර්ලිමේන්තු සතියක් නොවුණු නිසා සිය ගම්බිම්වල යොදාගත් වැඩකටයුතු නිසා බොහෝ ඇමැතිවරුන් සිය ගම්බිම් බලා පිටත්ව ගියහ. බදාදා පස්වරුව වන විට ඔවුන්ට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පණිවිඩ ලැබුණේ බ්‍රහස්පතින්දා දහවල් 12.00ට හදිසි කැබිනට් හමුවක් යෙදී තිබෙන නිසා ඊට සහභාගි වීම අනිවාර්ය කර ඇති බවය. ඇමැතිවරුන්ට සිදුවූයේ ගම්බිම්වල පැවැති උත්සව අවලංගු කර යළි කොළඹ පැමිණීමටය. දහවල් 12.00 වන විට කැබිනට් හමුව ආරම්භ වූ අතර පැය දෙකකට ආසන්න කාලයක් හමුව පැවැත්විණි. මේ සඳහා කැබිනට් ඇමැතිවරු 16 දෙනකුගේ පමණ අඩුවීමක් දක්නට ලැබූ අතර ඔවුන් විදේශ ගත වී තිබීම ඊට හේතුව වී ඇති බවද වාර්තා වේ. ඒ වෙනුවට අදාළ අමාත්‍යාංශවල වැඩබලන අමාත්‍යවරුන් ලෙස රාජ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් කැබිනට් හමුව නියෝජනය කිරීමද විශේෂයකි.

තවත් විශේෂත්වයක් වූයේ නීතිය හා සාමය ඇමැතිවරයා වන රංජිත් මද්දුම බණ්ඩාර විදේශ ගත වී සිටි අතර වැඩ බලන ඇමැතිවරයා වන නියෝජ්‍ය ඇමැති නලින් බණ්ඩාර ද හදිසියේම විදේශගත වීම හේතුවෙන් විශේෂ කැබිනට් හමුවට සහභාගි නොවීම විශේෂත්වයකි.

මෙම කැබිනට් හමුවේදී උණුසුම් මත ගැටුම් ඇති වී ඇති අතර අවස්ථා දෙකකදීම ජනපති මෛත්‍රි කැබිනට් හමුවෙන් නැඟිට යෑමට ගොස් තිබේ. මෙම කැබිනට් හමුවේදී විශේෂ අවධානය යොමුවී ඇත්තේ ත්‍රිවිධ හමුදා නිලධාරීන් ප්‍රකාශ ලබා ගැනීම සඳහා පොලිස් අත්අඩංගුවට ගැනීම ගැනය. සෘජු චෝදනා නොමැතිව ඔවුන් අත්අඩංගුවට ගෙන ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් ඔවුන් අපහසුතාවට පත්වන අතර එවැනි ක්‍රියා මින් ඉදිරියට සිදු නොවිය යුතු බව ජනාධිපතිවරයා මෙහිදී දැඩිව අවධාරණය කර තිබේ.

"දැන් බලන්න. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අත්අඩංගුවට ගන්න ගියා. ආරක්ෂක ඇමැති හැටියට මම දන්නෙ නෑ. කවුද මේවා කරන්න නියෝග දෙන්නෙ" මෛත්‍රි තදින් කීවේය.

"එතුමට නඩුවක සාක්ෂි ගන්න තියෙනවා නේද ජනාධිපතිතුමනි" ඇමැතිවරයෙක් කීවේය.

"නෑ නෑ මම කියන්නෙ උසාවි නියෝග ගැන නෙවෙයි. නිශ්චිත චෝදනාවක් තියෙනව නම් කෙළින්ම නඩු දාන්න. එහෙම නැතිව ප්‍රකාශ සටහන් කර ගන්න කිය කියා ඒ නිලධාරීන් අපහසුතාවට පත්වෙන්න ඉඩ තියන්න එපා" මෛත්‍රි කීවේය.

"ඒක ඇත්ත ජනාධිපතිතුමනි. එතුමා අපේ රට වෙනුවෙන් විශාල වැඩකොටසක් කරපු කෙනෙක්. රජය වෙනුවෙන් වැඩ කටයුතු කරපු කෙනෙක්. හම්බන්තොට වරාය විරෝධය වෙලාවේ එතුමට මාධ්‍යවේදියෙකුට ගහන්න උනෙත් අපි හින්දා ඇමැති චම්පික කීවේය.

ඇමැති රාජිතද මෙහිදී අදහස් දැක්වීය. අනතුරුව මෙම හමුව අවසන් කිරීමට පෙර ජනාධිපතිවරයා ඇමැතිවරුන්ට උපදෙස් දුන්නේය.

"දැන් එළියට ගිහිල්ල මේවා මාධ්‍යට දෙන්න එපා. එහෙම වුණොත් ඒ ගැනත් හොයා ගන්න පුළුවන්" ජනපති මෛත්‍රි කීවේය.

මේ අතර එහිදී ඇමැති සරත් ෆොන්සේකා ගැනද ජනාධිපතිවරයා කතා කළේය.

"ෆොන්සේකා ඇමැතිතුමා මේ ටිකේ ආමි කමාන්ඩර් එක්ක අනවශ්‍ය ගැටුමක් දාගෙන. වගකිය යුතු කැබිනට් ඇමැති කෙනෙක්. ෆීල්ඩ් මාෂල්වරයා මෙහෙම ගියොත් මේ අයගේ තනතුරු ගැළපෙනවද කියලා බලන්න වෙනවා. මේ තනතුරුවලට මේ වගේ හැසිරෙන එක සුදුසු නෑ" ජනාධිපතිවරයා කීවේය.

ඒ අවස්ථාවේ ෆොන්සේකා ඇමැතිවරයා කැබිනට් හමුවේ නොසිටීමද විශේෂයකි.

ජනපති මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවෙයි

ජනපති මෛත්‍රිගේ ප්‍රධානත්වයෙන් සිකුරාදා පෙරවරුවේ පුවත්පත් කතුවරුන්ගේ සහ විද්‍යුත් මාධ්‍ය ප්‍රධානීන්ගේ හමුවක් කොටුව ජනාධිපති මන්දිරයේදී පැවැත්විණි. එහිදී වත්මන් දේශපාලන කරුණු කාරණා ගැනද ආණ්ඩුවේ ඉදිරි වැඩපිළිවෙළ ගැනද ජනාධිපතිවරයා අදහස් දක්වා තිබේ. මෙහිදී වැඩි වේලාවක් කාලය ගෙන ඇත්තේ රණවිරුවන් පිළිබඳව මේ දිනවල පවතින දැඩි කතාබහ සම්බන්ධයෙනි.

'ලසන්ත වික්‍රමතුංග ඝාතනය, කීත් නොයාර්ට පහරදීම, ළමයින් 11 දෙනකු පැහැර ගෙන ගොස් ඝාතනය කිරීම, එක්නැළිගොඩ අතුරුදන් වීම වැනි සිද්ධීන්වලට අදාළව විවිධ පුද්ගලයන්ට චෝදනා එල්ල වෙනවා. ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගෙනුත් මේවට ඛ්ධ්ච්ය ප්‍රශ්න කරනවා. මේ කිසි කෙනකුට නඩු දාලා නෑ. මම පසුගිය දවසක මේ ආරක්ෂක ප්‍රධානීන් ගෙන්නුවා. මම ඒ අයට කිව්වා මෙහෙම නිකරුණේ මේ නිලධාරීන්ට හිරිහැර කරන්න එපා කියලා.

දැන් බලන්න යුද හමුදාවේ දෙවැනියා හැටියට හිටපු මේජර් ජෙනරාල් අමල් කරුණසේකර මාස 5ක් හිරේ හිටියා. නාවික හමුදාවේ ජේෂ්ඨ නිලධාරියෙක් වන ඩී.කේ.පී. දසනායකත් මාස ගානක් හිරේ හිටියා. අඩු තරමේ මේ අයට විරුද්ධව චෝදනා පත්‍රයක් භාරදීලා නෑ. මේ නිසා තමයි ආණ්ඩුවට චෝදනා එන්නෙ රණවිරුවන්ගෙන් පළි ගන්නවා රණවිරුවන් දඩයම් කරනවා කියලා. අද වෙනතුරු, මේ කිසි කෙනකුට නඩු දාලා නෑ. සිද්ධියකට ඍජුවම සම්බන්ධ අයට නඩු දාන්න. තරා තිරම බලන්න එපා. වැරැදිකරුවන්ට ඉහළම දඬුවම් දෙන්න. හැබැයි එහෙම නැතිව නිකරුණේ මේ නිලධාරීන්ට හිරිහැර කරන්න එපා කියලයි මම මේ කියන්නෙ' ජනාධිපතිවරයා දීර්ඝ පැහැදිලි කිරීමක් කළේය. ජනාධිපතිතුමනි ඔබතුමා ඝාතන කුමන්ත්‍රණයක් ගැන කියැවෙනවා. නියෝජ්‍ය පොලිස්පති කෙනකුට එරෙහිව බරපතළ චෝදනාවක් එල්ල වෙනවා. මොකක්ද ඒ පරීක්ෂණවල තත්ත්වය' මාධ්‍ය ආයතන ප්‍රධානියකු විමසීය.

'මම උදේ එනකොටත් පොලිස්පතිතුමත් එක්ක මේ ගැන කතා කර කර ආවේ. පොලිස් විශේෂ විමර්ශන ඒකකයෙන් ඒ ගැන පරීක්ෂණ කෙරෙනවා' ජනපති මෛත්‍රි කීවේය.

'විශේෂ විමර්ශන ඒකකයෙන් පරීක්ෂණ කරන්නෙ පොලිස් නිලධාරීන් සම්බන්ධ ඒවා විතරනෙ' ඇයි සී.අයි.ඩී.යට මේක පවරන්න බැරි' මාධ්‍ය ප්‍රධානියකු විමසීය.

'විශේෂ විමර්ශන ඒකකයේ වාර්තා ලැබුණම මම ඒ ගැන බලලා රහස් පොලිසියට දෙනවා. මම අද ජේ‍යෂ්ඨ පොලිස් නිලධාරීන් හමුවෙලා මේ ගැන කතා කරනවා' මෛත්‍රි කීවේය.

අනතුරුව රණවිරුවන් විශ්‍රාම ගිය පසු යුද්ධය ගැන පොත් ලිවීම ගැනද යම් කතාබහක් ඇති විය.

'අවුරුදු 30ක යුද්ධය සම්බන්ධව පොත් ලියනවා. එක එක නිලධාරියා විශ්‍රාම ගියාම. හැබැයි ඒ පොත් කියපුවහම ලියපු කෙනා තමයි වීරයා. එහෙම වෙන්න බෑ. ඒ නිසා සත්‍ය තොරතුරු ඇතුළත් කරලා ඉතිහාසය ගැන ගවේෂණය කරලා යුද්ධය ගැන ග්‍රන්ථයක් සම්පාදනය කරන්න මම උපදෙස් දීල තියෙනවා. එම ඒකට වෙනම යුනිට් එකක් ඇති කළා. හැබැයි ටිකක් කල් යයි. නමුත් එය සිදුවිය යුතුයි.' ජනාධිපතිවරයා කීවේය.

අනතුරුව මාධ්‍ය ආයතන ප්‍රධානියකු විමසා සිටියේ තෙල් මිල සූත්‍රයෙහි බරපතළ ගැටලු පවතින බවය.

'මේ මිල සූත්‍රයෙන් වෙන්නෙ මිල ඉහළ යන එක විතරයි. පහළ යන්නෙ නෑ. ජනතාවගෙන් ලොකු විරෝධයක් තියෙනවා. ඒ නිසා මෙවර අය - වැයේදී මිල සූත්‍රය වඩා ජනතාවට සුබවාදී වන විදියට සකසන්න මම කටයුතු කරනවා' මෛත්‍රි කීවේය.
උතුරේ සිංහල ජනතාව පදිංචි කිරීමට ආණ්ඩුව කටයුතු කරන බවට ඇතිවූ විරෝධයක් පිළිබඳවද කතාබහක් ඇති විය.

'ආණ්ඩුව එවැනි ක්‍රියාවක් කළේ නෑ. රටේ ඕනෑම තැනක ඕනෑම පුරවැසියකුට ජීවත්වීමට අයිතිය තියෙනවා. නමුත් ඔය කියන චෝදනාව නම් ආණ්ඩුව ප්‍රතික්ෂේප කරනවා' ජනාධිපතිවරයා කීවේය.
අනතුරුව සිංගප්පූරු ගිවිසුමෙන් බරපතළ ගැටලු රැසකට මුහුණදීමට මෙරටට සිදුවන බවද මෙහිදී ප්‍රශ්නයක් මතුවිය.

'ඔය කියන නරකම බරපතළ අහිතකර තත්ත්වයක් පේන්න නෑ. කොහොම වුණත් මම ඒ ගැන හොයන්න කමිටුවක් පත්කරලා තියෙනවා. අහිතකර යෝජනා තිබුණෙත් ඒවා ඉවත් කරනවා. ඒ විතරක් නෙවේ බරපතළ තත්ත්වයක් වුණොත් අපි එය අවලංගු කරනවා. මම වගකීමෙන් කියන්නෙ. මෛත්‍රි කීවේය.

ලාඕසයේ අගමැති ශ්‍රී ලංකාව ගැන රනිල්ට කිව්ව කතාව

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පසුගිය ඉරිදා රාත්‍රියේ වියට්නාමය බලා පිටත්ව ගියේය. ඒ වියට්නාමයේ හැනොයි නුවර පැවැති 'ආසියාන්' ලෝක ආර්ථික සමුළුවට සහභාගිවීම සඳහාය. මේ අවස්ථාවට ඇමැති මලික් සමරවික්‍රම, අකිල විරාජ් කාරියවසම්, අගමැති ලේකම් සමන් ඒකනායක අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

එම සමුළුවට ලෝකයේ රටවල් බොහෝමයක් නියෝජනය කරමින් රාජ්‍ය නායකයන් විශාල පිරිසක් එක්ව සිටි අතර අගමැතිවරයා දකුණු කොරියාව, ලාඕසය, කාම්බෝජය සහ වියට්නාමය ඇතුළු රටවල රාජ්‍ය නායකයන් හමුවී ද්විපාර්ශික සාකච්ඡා පැවැත්වීය. ඊට අමතරව අගමැති රනිල් ආසියාන් සංවිධානයේ මහ ලේකම් ජොක් හොයි ලිම් හමු වී සාකච්ඡා පැවැත්වීමද විශේෂත්වයකි. මෙහිදී ථෙරවාදී බුදු දහම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කෙරිණි.

ආසියාන් සංවිධානයේ රටවල් ගණනාවකම ප්‍රචලිත වෙලා තියෙන්නේ ථෙරවාදී බුදුදහම, ථෙරවාද බුදු දහම ප්‍රචලිතව ඇති ආසියාන් සංවිධානයට අයත් නොවන එකම රට ශ්‍රී ලංකාව මේ ආගමික සම්බන්ධතාව මත ආසියාන් රටවල් සමඟ සමීපව කටයුතු කිරීමේ පොදු පදනමක් අපේ රටට තියෙනවා' අගමැති රනිල් මෙහිදී කීවේය.

අනතුරුව බදාදා පස්වරුවේ හැනොයි නුවර මැරියට් හෝටලයේදී අගමැතිවරයා සහ දකුණු කොරියානු විදේශ අ
ැමැතිනි කං ක්‍යුං වා හමු වී සාකච්ඡා පැවැත්වීය. ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු කර්මාන්ත කලාපයක් පිහිටුවීම සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානය යොමු විය.

'මේ වගේ කර්මාන්ත කලාපයක් ලංකාවේ ඇති කළාම අපේ රටවල් දෙකටම එයින් ප්‍රතිලාභ ලැබෙනවා. නව උපාය මාර්ග රැසක් ඒ මඟින් බිහිවෙනවා. ඔබතුමියට බොහොම ස්තුතියි. මේ යෝජනාවට' ඇමැති මලික් දකුණු කොරියානු විදේශ ඇමැතිවරියට කීවේය. අනතුරුව දෙරටේ කෑම ජාතිවලින් සමන්විත භෝජන සංග්‍රහයක්ද පැවැත්වීම විශේෂත්වයකි.

අනතුරුව අගමැති රනිල් සහ ලාඕසයේ අගමැති නොංල්‍යුන් සිප්‍යුනිල් අතර විශේෂ හමුවක් 'ආසියන්' සමුළුව අතරතුර පැවැත්විණි. ශ්‍රී ලංකිකයන්ට ලාඕසයේ වීසා රෙගුලාසි ලිහිල් කරලීම සම්බන්ධයෙන් අගමැති රනිල් ලාඕසයේ අගමැතිවරයාට සිය ස්තුතිය පළ කළේය.

'මම නියෝජ්‍ය අගමැතිවරයා ලෙස ඉන්නකොට ඔබේ රටට ඇවිල්ල තියෙනවා. ඒ සංචාරය මට ජීවිතේ කවදාවත් අමතක වෙන්නෙ නෑ. ඔබේ රටෙන් එදා මට ලැබුණු පිළිගැනීම ඉමහත්. එය අද වගේ මට මතකයි.' යැයි ලාඕසයේ අගමැතිවරයා මෙහිදී කීවේය.

අනතුරුව ලාඕසයේ සංචාරයක් සඳහා පැමිණෙන අගමැති රනිල්ට ආරාධනා කිරීමටද විශේෂත්වයකි.

බ්‍රහස්පතින්දා පෙරවරුවේ 'ආසියාන්' සමුළුව අතරවාරයේ අගමැතිවරයා සහ කාම්භෝජ අග්‍රාමාත්‍ය හුන් සෙන් අතර විශේෂ හමුවක් පැවැත්විණි. දෙරට අතර නව ව්‍යාපාරික කටයුතු ආරම්භ කිරීම කෙරෙහි අගමැතිවරු දෙදෙනා මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා පැවැත්වූහ.

ඊට අමතරව දෙරට අතර වීසා රෙගුලාසි ලිහිල් කිරීමේ මූලික පියවරක් ලෙස රාජ්‍ය තාන්ත්‍රික රාජකාරි ගමන් බලපත්‍ර වීසාවලින් නිදහස් කරලීමටද අගමැතිවරු එකඟතාවකට පැමිණියහ.

අනතුරුව බ්‍රහස්පතින්දා පස්වරුවේ 'ආසියන්' සමුළුවට සමගාමීව 'ආසියානු භූ දේශපාලනික ස්වරූපය' මැයෙන් පැවැති සාකච්ඡා මණ්ඩපයට අගමැතිවරයා එක්විය.

'ආසියානු ආර්ථිකයේ අනාගතය ර¼දා පවතින්නේ ඉන්දු ශාන්තිකර සාගර නිදහස් නාවික ගමනාගමනය මත ඒ නිසා කලාපීය බලවතුන්, සාගරය භාවිත කරන්නවුන්, කලාපීය සමුද්‍රාසන්න රටවල් හා සියලු පාර්ශ්වයන් එක්ව පිළිගත් සම්මතයන්ට අනුකූල නිදහස් සාගර ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම වැදගත්' යැයි අගමැතිවරයා ලෝක බලවතුන් හමුවේ පැවැසීය.

මන්මෝහන් සිං මහින්දගෙන් ගෝඨා ගැන ඇසූ කතාව
ඉන්දීය රජයේ ආරාධනාවකට අනුව තෙදින නිල සංචාරයක් සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පසුගිය සඳුදා ඉන්දියාව බලා පිටත්ව ගියේය. නාමල් රාජපක්ෂ, ලොහාන් රත්වත්ත සහ හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්ද මේ සඳහා සහභාගි වූහ. ඉන්දියාවට ගිය මහින්ද පිළිගනු ලැබුවේ ප්‍රකට දේශපාලකයෙකු හා ඉන්දීය රජයේ උපදේශකයෙකු වන සුබ්‍රමනියම් ස්වාමි විසිනි. මෙම සංචාරය පිළිබඳව විදෙස් මාධ්‍ය සේම මෙරට දේශපාලන ක්‍ෂේත්‍රයේද වැඩි කතාබහක් ඇති විය.

බදාදා පස්වරුවේ නවදිල්ලි නුවර රාශ්ටපතිභවන්හිදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හමුවිය. මේ අවස්ථාවට නාමල්, ජී.එල්. ද එක්ව සිටියහ. රාජ්‍ය තාන්ත්‍රිකයකුට ලැබෙන සැලකුම්වලින් මහින්දව පිළිගැනීමට මෝදි කටයුතු කර තිබීමද විශේෂත්වයකි. පැයකට ආසන්න කාලයක් තිස්සේ පැවැති එම සාකච්ඡාවෙන් අනතුරුව මහින්ද සහ මෝදි අතර විනාඩි 45 පෞද්ගලික කතාබහක් ද පැවැත්විණි.

මුලින්ම ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා මහින්දගේ සහෝදරයකු වූ චන්ද්‍රා රාජපක්ෂගේ මරණය ගැන ශෝකය ප්‍රකාශ කළේය.

"බලයේ සිටියත් නැතත් යාළුවෝ යාළුවෝ මයි. අපේ යාළු මිත්‍රකම් එහෙම කියලා වෙනස් වෙන්නෙ නෑ."
මහින්ද සමඟ සාකච්ඡාව අරඹමින් මෝදි අගමැතිවරයා කීවේය.

මහින්දගේ සංචාරයේ තවත් වැදගත් සිදුවීමක් වූයේ මහින්ද සහ ඉන්දියාවේ හිටපු අගමැති අචාමන්මෝහන් සිං අතර පැවැති සාකච්ඡාවය. දීර්ඝ කාලයක පටන් දැන හඳුනන මහින්ද මන්මෝහන් ඉතා උණුසුම් අන්දමින් පිළිගත්තේය. එම සාකච්ඡාවේදී මහින්ද යුද්ධය අවසන් කිරීමට දැක්වූ දායකත්වය සම්බන්ධයෙන් මන්මෝහන්ට ස්තුති කළේය.

'ඉන්දියාව අපේ පැරැණිම මිතුරෙක්. ඒ වගේම අපේ ළඟම අසල්වැසියා වෙන්නෙත් ඉන්දියාවයි. ඒ මිත්‍රකම් අපි සැමදා පවත්වා ගන්න ඕනේ' මහින්ද පැවැසීය.'
'කොහොමද ගෝඨාභය' මන්මෝහන් මහින්ද දෙස බලමින් විමසීය.

'ඉන්නවා... ඉන්නවා මේ ටිකේ අධිකරණවල තමයි එයාට ඉන්න වෙලා තියෙන්නේ.' මහින්ද කීවේ සිනාසෙමිනි.'

'ඔබතුමාගේ නායකත්වය යටතේ ගෝඨාභයත් යුද්ධය නැති කරන්න විශාල දායකත්වයක් ඔබට දුන්නු බව අපි දන්නවා. රටක් විදියට අපටත් එය සතුටට කරුණක්.' මන්මෝහන් කීවේය.'

අනතුරුව මහින්ද සහ නාමල් මනේකා ගාන්ධි සමඟද සුහද කතාබහක නිරත විය. ඇය සත්ත්ව හිංසනයට එරෙහිව පෙනී සිටින කාන්තාවකි. මෙම හමුවේදී වැඩි අවධානයක් ඒ සඳහා යොමු වීමද විශේෂත්වයකි.

'කොහොමද බන්දුල' පව් එයාට දම්වැල් දාල තියෙන්නෙ. දැන් වයස අවුරුදු 62ක්. ඒක ලෙහලා එයාට නිදහසේ ඉන්න දෙන්න' මන්තා ගාන්ධි මහින්දට කීවේ දැඩි සංවේගයෙනි. ඇය මෙසේ බන්දුල යැයි පවසා තිබුණේ දෙහිවල සත්තුවත්තේ සිටින අලියකු පිළිබඳවය.

අනතුරුව මහින්ද නවදිල්ලි නුවරදී එරට පක්ෂ විපක්ෂ දේශපාලන ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන් මෙන්ම විද්වත්හු විශාල පිරිසක් එක්ව සිටියහ. මෙම දේශනය පැවැත්වීමට පෙර එම ශාලාවේදී මහින්දට ලැබුණේ උණුසුම් පිළිගැනීමකි. එහිදී මහින්දට විශාල මල් මාලාවක් පැලඳවීමට සංවිධායකයෝ කටයුතු කළහ.

'මේක ඔබතුමාට දාන්නම ඕන. මේක තමයි අපේ ඉහළම ගෞරවයක් ලබාදීම සඳහා සිදුකරන සම්ප්‍රදාය.' භාරතීය ජනතා පක්ෂයේ නියෝජිතයෝ කියූහ.
අනතුරුව තමිල්නාඩු දේශපාලනඥයන් රැසක් මහින්දට එම ප්‍රාන්තයටද පැමිණෙන්නැයි ආරාධනා කළහ.

'හොඳයි.. හොඳයි.. මම ආපසු ආපුවඵංහම එන්නම්' මහින්ද ඔවුන් අස්වසමින් කීවේය. එම දේශනය පවත්වමින් යුද්ධය ජයගත් පසුව රට සංවර්ධනය කළ ආකාරය පිළිබඳව අදහස් දැක්වීය.

'ත්‍රස්තවාදයට එරෙහිව ක්‍රියාත්මක කළ හමුදාමය කාර්යය පළමුවැනි විසඳුම නොවේ. එය අවසාන විසඳුමයි. ත්‍රස්තවාදීන් සමඟ සාකච්ඡා පවත්වා සාමකාමී විසඳුමක් ඇතිකර ගැනීමට කටයුතු කළත් එය අසාර්ථක වුණා. ඒ වගේම මගේ දර්ශනයේ ඉතාම වැදගත් ලක්ෂණය වශයෙන් පවතින්නේ ඉන්දියාව සමඟ සමීප මිත්‍රත්වය පවත්වා ගැනීමයි. ඔබේ මිත්‍රත්වය අපේ ඉදිරි අනාගතයට බෙහෙවින් වැදගත් වේවි' මහින්ද කීවේය.

මේ අතර ද හින්දු පුවත්පත එහිදී සාකච්ඡාවක් පවත්වා තිබිණි. එම සාකච්ඡාවට දෙස් විදෙස් මාධ්‍යවලින් ලැබුණේ දැඩි ප්‍රසිද්ධියකි. එහිදී මහින්ද ඉදිරි ජනාධිපතිවරණය ගැන කතා කර තිබිණි.

'ඉදිරි ජනාධිපතිවරණයට අනිවාර්යයෙන් මගේ සහෝදරයකු ඉදිරිපත්වීමට පුළුවන්.' මහින්ද එහිදී කියා තිබිණි. එහෙත් ඒ පැමිණෙන්නේ ඔහුගේ සහෝදරයන් වන චමල්, බැසිල් සහ ගෝඨා යන අයගෙන් කවුරුන්දැයි නොකීමට ඔහු පරිස්සම් වීමද විශේෂත්වයකි.

වෙල්ගම කණපිට පෙරළෙන්න යයි

හිටපු ජනපති මහින්ද ඉන්දියාවේ ද හින්දු පුවත්පතට සිදුකළ ප්‍රකාශයක් ගැන මේ දිනවල දේශපාලන ක්‍ෂේත්‍රයේ දැඩි කතාබහක් ඇතිවී තිබේ. මහින්ද එම පුවත්පතට කියා තිබුණේ ඉදිරි ජනාධිපතිවරණය සඳහා තම සහෝදරයකු ස්ථිර වශයෙන්ම ඉදිරිපත්වන බවයි. මෙය පසු දිනම විදෙස් මාධ්‍යවල මෙන්ම මෙරට පුවත්පත් සහ විද්‍යුත් මාධ්‍යයන්හිද පළවිය. ආණ්ඩු පක්ෂයේ ඇතැම් මන්ත්‍රිවරුන් මේ ගැන දේශපාලන වේදිකාවල අදහස් දැක්වීය. විශේෂත්වය වන්නේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රි කුමාර වෙල්ගමද මේ ගැන කතා කිරීමයි. ගුවන් විදුලි නාළිකාවක සංවාදයකට එක් වෙමින් වෙල්ගම මේ බව කීවේය.

මේ පවුල්වාදය නිසා තමයි හිටපු ජනාධිපතිතුමා ගිය පාර පැරදුණේ. මොකද පවුලේ සාමාජිකයන්ට තමයි මුල්තැන දීලා තිබුණේ. ඒකට ඇමැතිවරු සියල්ලන්ම තරහ වුණා. කෙළින් වැඩ කරපු අයත් යටින් එතුමාට විරුද්ධව වැඩ කළා. මේක පවුලට විතරක් සීමා කරනවාට මම නම් කැමැතිම නැහැ. පක්ෂයක් වුණාම කාටත් අයිතියි. ඒ පවුලේ නොවන ජේ‍යෂ්ඨයෝ ගොඩක් ඉන්නවා. එතුමා මතක තියාගන්න ඕනේ ජේ.ආර්.ගෙන් ප්‍රේමදාස මහත්තයා කැමැත්තෙන් ගත්තේ නැහැ. චන්ද්‍රිකා කුමාරතුංග නෝනා මහින්ද රාජපක්ෂ මහත්තයට කැමැත්තෙන් දුන්නේ නැහැ. මෛත්‍රිපාල සිරිසේන මහත්තයා ගියේ එතුමාට හිමි තැන දුන්නෙ නැති නිසා. එතකොට තවත් සිරිසේන කෙනෙක් හදන්නද මේ සූදානම් වෙන්නේ. යැයි වෙල්ගම කීවේය.

කිරි පැකට් නිසා ඒකාබද්ධය උගත් පාඩම

මහින්ද ඉන්දියාවේ සංචාරයක් සඳහා පිටත්ව යෑමට පෙර ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයන් පිරිසක් විජේරාම පෙදෙසේ නිවස වෙත පැමිණ සිටියහ. ඒ අතර දිනේෂ්, ඩලස්, විමල්, මහින්දානන්ද, ප්‍රසන්න ඇතුළු පිරිසක් සිටියහ. පිරිසගේ විශේෂ අවධානයක් යොමු කෙරුණේ 05 වැනිදා පැවැති ජනබලය කොළඹට උද්ඝෝෂණය සම්බන්ධයෙනි.

"ජනබලය කොළඹට උද්ඝෝෂණයෙන් ආණ්ඩුවටත් ආණ්ඩුව රැකගන්න කැපවෙලා ඉන්න ඇතැම් රටවලට ලොකු පණිවුඩයක් දුන්නා. ඒ තමයි මේ ආණ්ඩුව එක්ක ජනතාව නැහැ කියන පණිවුඩය. අද රටේ ජනතාව ඉන්නේ කොතැනද කියන එක මේකෙන් පැහැදිලි වුණා" මහින්ද පැවසීය.

"ආණ්ඩුව හිතාගෙන හිටියේ අපේ උද්ඝෝෂණය අසාර්ථක වෙයි කියලා. එදා කොළඹට ආපු සෙනඟ දැක්කම තමයි ආණ්ඩුවට උණ ගැනුණේ" රෝහිත පැවසීය.
"ඒක තමයි විස යොදපු කිරි පැකට් බෙදනවා වගේ බාල වැඩ කරන්න ආණ්ඩුව පෙලඹුණේ. අපේ රටේ සතෙකුටවත් ඒ වගේ වසක් විසක් කවන සිරිතක් නැහැ. ඒ අතින් බලන කොට මේ ආණ්ඩුවේ ඉන්නේ මිනිස්සු නෙමේ සත්තු" ප්‍රසන්න කීවේය.

මේ කිරි පැකට් බෙදලා තියෙන්නෙත් ලොතරැයි මණ්ඩලයේ වාහනයකින්. ලොතරැයි මණ්ඩලය අයිති මංගලට. අපිට දැන ගන්න ලැබුණා මේ වාහනය නිදහස් කරලා තියෙන්නේ ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයාට කියලා" උදය කීවේය.

"කොහොම වුණත් අපිටත් මේ සිද්ධිය ලොකු පාඩමක්. අපි මීට පස්සේ මේ වගේ කාරණා ගැන වැඩි උනන්දුවකින් කටයුතු කරන්න ඕනේ. අපේ බලවේගය පරාජය කරන්න ඕනෙම ජරා වැඩක් කරන තැනට ආණ්ඩුව පත්වෙලා ඉවරයි. ඒ නිසා අපිත් එක්ක එන මිනිස්සු ආරක්ෂා කරන එක අපි කාගේත් යුතුකම" ප්‍රසන්න කියන විට මහින්ද ද එය අනුමත කළේය.

"හැබැයි අපි මේ සිද්ධිය මෙතැනින් ඉවර කරන්න හොඳ නැහැ. මේ බලු වැඩේට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නම ඕනේ. මේ වගේ ජරා වැඩ ආයේ නොකරන්න පාඩමක් උගන්වන්න ඕනේ" මහින්දානන්ද කීවේය.
"උද්ඝෝෂණය සාර්ථක වුණා කියන එක වහගන්න ආණ්ඩුව රාජ්‍ය මාධ්‍ය යොදාගෙන මඩ ගහනවා. රජයේ සමහර නාළිකාවල පෙන්වන්නේ පරණ රූපරාමු. මට ආරංචි වුණා උද්ඝෝෂණයට පහුවදාම ලේක්හවුස් එකේ ඡායාරූප ශිල්පීන්ට කුණු ගොඩවල්වල පින්තූර ගන්න කිව්ව කියලා. කොහොම හරි ඒ අය යන කොට එක කුණු ගොඩක්වත් හම්බ වෙලා නැහැ." ප්‍රසන්න පැවසීය.
"ඒක ඇත්ත. අපි ඒ ගැන අවධානය යොමු කරන්න ඕනේ" ඩලස් කීවේය.
"අර මොකක්ද සිරිසේන ජනාධිපතිවරයා හොඳ අගමැතිවරයෙක් ගැන කියන්නේ? රෝහිත ඇසුවේය.

"ඒ කියන්නේ ඉතින් දැන් ඉන්න අගමැති හොඳ නැහැ කියලනේ. හැබැයි වැඩේ කියන්නේ අපි ඕක කිව්වේ 2015 ඉඳලයි. ජනාධිපතිවරයට දැන් තමයි ඒක තේරිලත් තියෙන්නේ" විමල් පැවසීය.
"සමහර විට ජනාධිපතිවරයා මේ ටිකේ පත්තර එහෙම බැලුවද දන්නෙත් නැහැ" ප්‍රසන්න කීවේ සැවොම සිනහාගන්වමිනි.

"නින්දෙන් නැඟිට්ටා වගේ ප්‍රකාශ කරන එක එතුමාගේ පුරුද්දක්නේ. හැබැයි අද කියන දේ හෙට මතක නැහැ. මුලින් කිව්වා මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට විරුද්ධව මරණ දඬුවම ක්‍රියාත්මක කරනවා කියලා. ඒ ගැන දැන් කතාවක්වත් නැහැ. පස්සේ කියනවා පොදු දේපළ හොරකම් කරන අයට විරුද්ධව මරණ දඬුවම ක්‍රියාත්මක කරනවා කියලා. කටින් බතල කොළ තමයි" රෝහිත කීවේය.
" තමන්ට බලය හම්බ වුණ වෙලාවේ කම්බා හොරෙක් අගමැති කරලා ජනාධිපතිවරයා දැන් අපිට බණ කියන්න එනවා. ඒ අගමැතිකමත් දුන්නේ ව්‍යවස්ථාවටත් පයින් ගහලයි. හිටපු අගමැතිවරයා ඉවත් කරන්නෙවත් නැතුව පාර්ලිමේන්තුවේ සුළුතරයක් හිටපු කෙනාට අගමැතිකම දීලා රටම විනාශ කළා" ඩලස් පැවසීය.

"ඒ කතාව නම් හරියටම හරි. බලය වැරැදියට භාවිත කරලා රටම නැති කරපු ජනාධිපතිවරයා අනාගත අගමැති ගැන කියන්න ඒක තරම් විහිළුවක් තවත් නැහැ" මහින්දානන්ද පැවසීය.

"ඊළඟ අගමැති ගැන තීන්දුව ගන්නේ ඒකාබද්ධ විපක්ෂයෙන් කියන එක ජනාධිපතිවරයාට අමතක වෙලා වගෙයි." විමල් කීවේය.

"ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ගැන වධ වෙවී හිටිය එක්සත් ජාතික පක්ෂයට දැන් මුහුණ දෙන්න වෙලා තියෙන්නේ ලොකු අර්බුදයකට. අපිට ආරංචි වෙලා තියෙන විදියට රාජිතලා, පාඨලීලා, සජිත්ලා, රනිල්ලා පොදු අපේක්ෂකකම ගන්න පොරකනවලු" ප්‍රසන්න හෙළි කළේය.

"කවුරු ආවත් ඉතින් දිනන්න නම් හම්බ වෙන්නේ නැහැ. මේ පාර දිනන්නේ මහින්ද මහත්තයා නම් කරන අපේක්ෂකයා මිසක් වෙන කවුරුත් නෙමෙයි" මහින්දානන්ද පැවසීය.

සඳුදා උදෑසන මහින්ද අලුත්කඩේ උසාවි සංකීර්ණය වෙත ආවේ අලුතෙන් පිහිටුවන ලද විශේෂ මහාධිකරණයේ පෙනී සිටීමට ගෝඨාභය පැමිණීමට නියමිතව තිබුණු නිසාය. මහින්ද එහි එන විටත් ඒකාබද්ධ විපක්ෂයේ බොහෝ මන්ත්‍රිවරු එහි පැමිණ සිටියහ. එතැනදී මහින්ද මන්ත්‍රිවරුන්ට කීවේ නීතිය ඉස්සරහට දමා පළිගැනීම හැර වෙනත් කිසිදු වැඩක් කරන්නට වර්තමාන ආණ්ඩුවට පුළුවන්කමක් නැති බවය.

පක්ෂ නායකයන්ගේ
ඉන්දීය ගමන

ඉන්දියානු පාර්ලිමේන්තුවෙන් (ලෝක් සභාවෙන්) කෙරුණු විශේෂ ඇරැයුමක් පරිදි කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පාර්ලිමේන්තුවේ පක්ෂ නායකවරුන්ද ඇතුළත් නියෝජිත පිරිස නවදිල්ලිය බලා පිටත්ව ගියේ පසුගිය සඳුදාය.

ඔවුන් නවාතැන් ගත්තේ දිල්ලියේ අශොක් හෝටලයේය.

කථානායක ප්‍රමුඛ දූත පිරිසට විපක්ෂ නායක ආර්. සම්පන්දන්, අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා. රවුෆ් හකීම්, ගයන්ත කරුණාතිලක, මනෝ ගනේෂන් සහ ඩග්ලස් දේවානන්දා, විජිත හේරත් යන මන්ත්‍රිවරුන්ද, පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායකද එක් වූ අතර, සඳුදා පෙරවරුවෙහි පිරිස ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා හමුවූහ. එය ඉතා සුහද හමුවක් ලෙසින්, සංවිධානය කිරීමට ඉන්දීය අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිලධාරීන් කටයුතු සම්පාදනය කර තිබූ අතර, ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් වන කරුණු ගණනාවක් පිළිබඳ අවධානය යොමු කරමින් එම සාකච්ඡාව පැවැත්විණි.

ඉන්දියාවේ පවතින ඛනජ තෙල් මිල අර්බුදය කෙරෙහි රජයේ පුළුල් අවධානයක් යොමුව තිබියදී ශ්‍රී ලංකාවේ දූත පිරිස වෙනුවෙන් හෝරාවකට ආසන්න කාලයක් වෙන් කරමින් අගමැති නරේන්ද්‍ර මෝදි සාකච්ඡාවට එක්වීම ඉන්දීය මාධ්‍යයන්හි පුළුල් අවධානයට ලක්ව තිබිණි. දේශපාලන පක්ෂ ගණනාවක් නියෝජනය කළද ශ්‍රී ලාංකික නියෝජිත පිරිස මෙරටට පොදු වැදගත් කාරණා සම්බන්ධව එකම මතයක සිට අදහස් දැක්වීම ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ පැසසුමට ලක්වීමද විශේෂත්වයකි. පිරිස වෙනුවෙන් ඉන්දීය ජනාධිපති රාම්නාත් කොවින්ද් විශේෂ හමුවක් සඳහා කටයුතු යොදා තිබූ අතර, පිරිස ඉතා සුහදව පිළිගත් ඉන්දීය ජනාධිපති ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පවතින ඉතා සමීප ඓතිහාසික සබඳතා තවදුරටත් තහවුරු කරමින් ශ්‍රී ලංකාවට අවශ්‍ය වන සෑම අංශයකින්ම සහාය දීමට ඉන්දියාව කිසි විටෙක හෝ පසුබට නොවනු ඇති බවද අවධාරණය කළේය. ලෝක පාර්ලිමේන්තු සංගමයේත්, ලෝක කථානායක සමුළුවේත්, ජේ‍යෂ්ඨයකු වන ශ්‍රී ලංකාවේ කථානායක කරු ජයසූරිය වෙනුවෙන් ඉන්දීය කථානායිකා සුමිත්‍රා මහාජන් මහත්මියද ඉහළ පිළිගැනීමක් ලබාදුන් අතර, ඇය ශ්‍රී ලංකා නියෝජිත පිරිස වෙනුවෙන් විශේෂ රාත්‍රි භෝජන සංග්‍රහයක්ද පිරිනැමුවාය.

මේ සඳහා ඉන්දීය කැබිනට් මණ්ඩලයේ ප්‍රමුඛතම අමාත්‍යවරු අට දෙනකු මෙන්ම මන්ත්‍රිවරු ගණනාවක්ද එක් වූ අතර, ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ වත්මන් කථානායකවරයාගේ පුරෝගාමීත්වයෙන් අන්තර් පාර්ලිමේන්තු රාජ්‍යතාන්ත්‍රික සබඳතා සඳහා මූලික වීම ඊට එක්වූ සියලුම ජේ‍යෂ්ඨ ඉන්දීය දේශපාලන නායකයන්ගේ ඇගැයීමට ලක් විය.

නාමල්ගෙන් චානකට උපන්දින කේක් ගෙඩියක්

පාර්ලිමේන්තු මන්ත්‍රි ඩී.වී. චානකගේ 31 වැනි උපන්දිනය පසුගිය අඟහරුවාදාට යෙදී තිබිණි. ඔහුට නොදන්වා උපන්දිනය වෙනුවෙන් කේක් ගෙඩියක් කැපීමට නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයා කටයුතු කළේය.

"මල්ලි.. උඹ කොහෙද ඉන්නෙ. මම දැන් උසාවියෙ ඉඳල එන ගමන් මගෙ ඔෆිස් එක පැත්තෙ. පොඩි දෙයක් කතා කරන්න තියෙනවා" නාමල් උපන්දිනයට සුබ පතන්නේවත් නොමැතිව චානකට කීවේය.

චානක ඒ වන විටත් සිටියේ මාදිවෙල මන්ත්‍රි නිවාසයේය. විගස ඇඟපත සෝදාගත් චානක නාමල්ගේ නාරාහේන්පිට පිහිටි කාර්යාලය වෙත ගියේය. ඒ යන විටත් නාමල් කාර්යාලයට පැමිණ සිටියේය.

"වරෙන්... වරෙන්..." නාමල් චානකව සිය කාර්යාලයේ පුටුවක ඉන්දවා ආගිය තොරතුරු කතාබහ කරන්නට පටන් ගත්තේය. මඳ වේලාවකින් කාර්යාලයේ සේවකයකු චොකලට් ඇතිරූ අලංකාර කේක් ගෙඩියක් නාමල් මන්ත්‍රිවරයාගේ කාර්යාලයේ මේසය මත තැබුවේ චානක පුදුම කරමිනි.

"අයියෝ... මොකක්ද මන්ත්‍රිතුමා මේ කරලා තියෙන්නෙ. මට ඒත් නිකමට හිතුණා මෙහෙම ගේමක් දෙන්න වෙන්න ඇති එන්න කිව්වෙ කියලා" චානක සිනාසෙමින් කීවේය. අනතුරුව සියලු දෙනාගේ සුබපැතුම් මධ්‍යයේ චානක කේක් ගෙඩිය කපා නාමල්ට කෑල්ලක් කැව්වේය.

"දැන් ඉතින් වයසත් යනවනේ පෙළවහක් කර ගත්තොත් නේද මන්ත්‍රිතුමා හොඳ යැයිද" කාර්යාලයේ සේවකයකු කීවේය.

"ඔව්... ඔව්.. මට කලින් ඔයාලගේ සර්ව බන්දලා දෙන්න. ඊට පස්සෙ මම බඳින්නම්" චානකද සිනාසෙමින් කීවේය.

සජිත්ට ගගනගාමියෙක් හමුවෙයි

වවුනියාවේ "විමන්කල්ලු ග්‍රාමම්" සහ "සිවානගර්" 116 වැනි 117 වැනි උදා ගම්මාන ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට ගිය සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා පිළිගැනීම සඳහා සූදානමින් පෙළගැසී සිටියේ මෙරට හොඳම පාසල් තූර්යවාදක කණ්ඩායම යැයි කිව හැකි තරමේ දක්ෂ හා අලංකාර බෑන්ඩ් කණ්ඩායමකි. සජිත් මේ බෑන්ඩ් කණ්ඩායමට කොතරම් වශීකෘත වීද යත් එම කණ්ඩායම අයත් පාසලේ යම් අඩුපාඩු ඇද්ද කියා විමසද්දී ගුරුවරුන් දෙදෙනකු පැමිණ අඩුපාඩු වැලක්ම ඉදිරිපත් කළහ.

එදා ප්‍රේමදාස අගමැතිවරයා එම ප්‍රදේශය නියෝජනය කළ මන්ත්‍රිවරයා සමඟ ඉදිකළ උදා ගම්මානයේ යුද්ධයෙන් විනාශ වූ නටබුන් අතර ඉදිවුණු "සිවානගර්" උදා ගම්මානයේ ගෙයින් ගෙට යද්දී සජිත් කම්පනයට පත්වූයේ පැරැණි උදා ගම්මානයේ සමරු ඵලකයයි. වෙඩි උණ්ඩ රැසකින් පලුදු වුණු ඒ පැරැණි සමරු ඵලකය දරු - දැරියන්ට සහ ජනතාවට පෙන්වමින් සජිත් කීවේ "එදා ලැබුණු වෙඩි උණ්ඩ වෙනුවට අද ලැබෙන්නේ සංවර්ධනයේ ප්‍රතිලාභ... විනාශයට කවුරුත් අකැමැතියිනේ. ඒ වෙනුවට අපි දැන් ජනතාව සවිබල ගන්වනවා" කියාය. අනතුරුව සජිත් ප්‍රාදේශීය ලේකම්වරයා අමතා කීවේ "ගෙවල් නැති අයට දෙන්න තවත් ගම්මානයක් හදන්න මට ඉඩම් වෙන්කරලා දෙන්න" කියාය. ත්‍රිකුණාමල යොවුන් පුරයට සමගාමීව වැඩ අරඹා දිස්ත්‍රික්කයේ ජනතා අයිතියට පත්කළ "සහජීවනපුර" මුළු නිවාස 25න් 9ක දමිළ පවුල් ද, 8ක සිංහල පවුල් හා 8ක මුස්ලිම් පවුල්ද ප්‍රතිලාභීත්වය ලබා ඇත. ගම්මානයේ නිවෙසින් නිවෙසට ඇවිද යද්දී සජිත්ට හමුවූයේ ඉංගී්‍රසි බස ඉතා හොඳින් කතා කළ හැකි පාසල් දරුවෙකි. සජිත් ඔහුගෙන් ඇසුවේ අනාගතයේ කෙබඳු රැකියාවක නිරත වීමට කැමැතිද කියාය. "ඇස්ට්‍රනෝට් කෙනෙක් (ගගනගාමියෙක්)" ළමයා එක එල්ලේම පිළිතුරු දුන්නේය. තවදුරටත් කතා බහ කරද්දී ළමයා මෙසේ කීය. "නාසා ආයතනයට බැඳිලා ගගනගාමියෙක් වෙන්න පුහුණුව ලබන්නයි මගේ එකම බලාපොරොත්තුව" සජිත් ඔහුට උණුසුම් සුබපැතුම් පළ කළේය.

තිස්ස අලුත් වැඩේ
පටන් ගනී

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක අලුතින් පක්ෂයක් පිහිටුවීමට කටයුතු කරමින් සිටී. තිස්ස දීර්ඝ කාලයක් එජාපයේ මහ ලේකම්වරයා ලෙස විවිධ හැලහැප්පීම් මැද කටයුතු කළ කෙනෙකි. පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට එරෙහිව පක්ෂය තුළම ඇති කළ කුමන්ත්‍රණය හමුවේ තිස්ස පෙනී සිටියේ රනිල් වෙනුවෙනි. පසුව වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව කූට ලේඛන සැකසූ චෝදනාවකට ඔහුට සිර බත් කෑමට සිදුවිය.

ඔහුගේ නඩුව වෙනුවෙන් අගමැති රනිල් හෝ ජනපති මෛත්‍රි උසාවිය හමුවේ පෙනී නොසිටීමද විශේෂත්වයකි. කෙසේ වෙතත් තිස්ස මේ දිනවල සිය පක්ෂය ගොඩනැඟීමේ කටයුතු සිදුකරමින් සිටී. ඒ වටා රොක් වී ඇත්තේ එජාප විරෝධී පිරිසකි. මේ වන විට තිස්ස පක්ෂයේ ක්‍රියාකාරීව සිට දැනට ඉන් ඉවත්ව සිටින රුක්මන් සේනානායක, සිරිසේන කුරේ වැනි දැවැන්තයන් සමඟද සිය ප ක්ෂයේ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කර ඇත. ඔවුන්ගෙන්ද තිස්සට ලැබී ඇත්තේ යහපත් ප්‍රතිචාරයකි. ඒ අනුව ඉදිරියේ පැවැත්වෙන මැතිවරණවලට පෙර තිස්ස නව පක්ෂය ආරම්භ කිරීමට නියමිතය.

ජවිපෙ, පක්ෂ සහ සිවිල් සංවිධාන සමඟ සාකච්ඡා

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා ගෙනා ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් නැවත කතාබහක් මතුවූයේ එය පසුගිය 05 වනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය. මේ සම්බන්ධයෙන් පසුගිය සතියේ පැවැති ජවිපෙ දේශපාලන මණ්ඩල රැස්වීමේදීද සාකච්ඡාවට බඳුන්විය. "මේ වෙනකොට පෙත්සම් කිහිපයක් 20ට එරෙහිව ඉදිරිපත් කරල තියෙනවා. ඒ පෙත්සම්වල හරය ගත්තාම තියෙන්නේ පාර්ලිමේන්තුවෙ 2/3න් සම්මත කර ගන්න ඕන කියන එකයි. ජනමත විචාරණයයි. ඒව අමුතු දේවල් නෙවෙයි. අපි බලාපොරොත්තුවෙන් හිටපු දෙයක්" ටිල්වින් සිල්වා කියා සිටියේය.

"මේක ජනතාවට බලපාන ව්‍යවස්ථා සංශෝධනයක්. ඒ නිසා ජනතාවගේ මැදිහත්වීමෙන් මේ සංශෝධනය සම්මත කර ගැනීම තමයි ඉතාම වැදගත් වෙන්නේ. ඇත්තටම පාර්ලිමේන්තුවේ ඔළුගෙඩිවලින් මේක සම්මත කරගන්නවට වඩා ජනතාවගේ සක්‍රිය මැදිහත්වීමෙන් සම්මත කරගන්න තියෙනව නම් හොඳයි. මොකද මේකට ජනතාවට ඉතාම කැමැතියි. ජනතාව අවස්ථා පහකදී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ඡන්දය දීලා තියෙනවා" බිමල් රත්නායක කීවේය. "ඇතැම් ජාතිවාදී කණ්ඩායම් මෙම ව්‍යවස්ථා සංශෝධනය ගැනත් ජාතිවාදී බිල්ලෝ මවනවා. ඒක පරාජය කරන්න ඕනෑ. ජනතාව දැනුවත් කිරීමේ ක්‍රියාමාර්ග කිහිපයක් ආරම්භ කරමු."

අනුර දිසානායක කීවේය. "ඒ වගේම අපි දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන සමඟත් සාකච්ඡාවක් කරමු. ඒ විතරක් නෙවෙයි මල්වතු නාහිමියන්, කාදිනල්තුමන් ඇතුළු ආගමික නායකයන් හමුවෙලා මේ ගැන සාකච්ඡාවක් කරන එක තමයි වැදගත් වෙන්නේ. මොකද අපි මේක හංගලා කරන දෙයක් නෙවෙයි. ඕනෑම දෙයක් විවෘතව කතා කරන්නයි අපිට ඕනෑ. එතකොට කොයි වෙලාවෙත් කොරහේ කිඹුල්ලු දකින කුමන්ත්‍රණවලින් විතරක් ඔළුව පුරවගෙන ඉන්න කණ්ඩායම්වලට උත්තර ලැබෙයි" ලාල්කාන්ත කියා සිටියේය. මේ වනවිට ජවිපෙ ප්‍රධාන ලේකම්වරයා විසින් කොමියුනිස්ට් පක්ෂය ඇතුළු පකෂ කිහිපයකටත් සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයටත් සාකච්ඡාවක් සඳහා ලිඛිතව ආරාධනා කොට තිබේ.

20 පිළිබඳ පෙත්සම් විභාගය ඇරඹෙයි...

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත්ගේ පෞද්ගලික මන්ත්‍රි යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පෙත්සම් කිහිපයක් අධිකරණයට ඉදිරිපත් වී තිබේ. උදය ගම්මන්පිල මන්ත්‍රිවරයා සහ තවත් සිවිල් සංවිධාන කිහිපයක් විසින් 20 වැනි සංශෝධනයට එරෙහිව පෙත්සම් 11ක් ඉදිරිපත් කර තිබේ.

මේ සම්බන්ධයෙන් ශේ‍ර්ෂ්ඨාධිකරණය පෙත්සම් විභාගය පසුගිය 12 වැනිදා ආරම්භ කළේය. අගවිනිසුරුවරයා විදේශ සංචාරයක නිරත වී සිටින බැවින් එම පෙත්සම් විභාගය වැඩබලන අගවිනිසුරු සිසිර ද ආබෘෘ මහතා ඉදිරියේ සිදුවේ. මෙම පෙත්සම් විභාගයේදී විජිත හේරත් මන්ත්‍රිවරයා වෙනුවෙන් ඉදිරිපත් වන්නේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති, ජනාධිපති නීතිඥ ජෙෆ්රි අලගරත්නම්ය. නීතිඥ සුනිල් වටගල විසින් නීති කටයුතු සම්බන්ධීකරණය සිදුකරයි. මෙම පෙත්සම් විභාගය සම්බන්ධයෙන් නීතිඥයන් තුළ දක්නට ලැබෙන්නේ විශාල උනන්දුවකි.

"මෙම ව්‍යවස්ථා සංශෝධනය විජිත හේරත් මන්ත්‍රිවරයාගේ පෞද්ගලික යෝජනාවක් නිසා මෙම පෙත්සම් විභාගය මන්ත්‍රිවරයාට දැනුම් දී සිදුකළ යුතුව තිබෙනවා" නීතිඥයන් විසින් පෙත්සම් විභාග විය යුතු ආකරය පිළිබඳව කරුණු ඉදිරිපත් කරන ලදී. "යර්ස් මිස්ටර් වටගල, ඔබ විජිත හේරත් වෙනුවෙන් මෙම දැනුම්දීම භාර ගන්නවාද?" විනිසුරු මඩුල්ල විමසා සිටියහ. "ඔව් මම භාරගන්නවා. ඒක ප්‍රශ්නයක් නැහැ" නීතිඥ සුනිල් වටගල කියා සිටියේය. මුලින්ම සිදුවන්නේ පෙත්සම්කරුවන්ගේ පාර්ශ්වයෙන් කරුණු ඉදිරිපත් කිරීම්ය.

මෙහිදී මූලික වශයෙන් 20 වැනි සංශෝධනයේ නීතිමය අඩුපාඩු ඇතැයි පෙත්සම්කරුවෝ කියා සිටියහ. ඔවුන්ගේ මූලික ඉල්ලීම වන්නේ මෙම සංශෝධනය පාර්ලිමේන්තුවේ 2/3න් සහ ජනමත විචාරණයකින් සම්මත කරගත යුතු බවය. පෙත්සම් විභාගයට විජිත හේරත් මන්ත්‍රිවරයාගේ පාර්ශ්වයෙන් කරුණු දැක්වීම ඉදිරියේදී සිදුවීමට නියමිතය. "පෙත්සම්කරුවෝ පැහැදිලි කිරීම්වලදී විකෘති අදහස් තමයි ඉදිරිපත් කරන්නේ. අපිට නීතිමය පැහැදිලි කිරීම්වලින් ඒ විකෘතිය නැති කරන්න පුළුවන්. ජාතිවාදී පදනමින් තමයි ඒ අය මේක විස්තර කරන්නේ. ජනතාව මුළා කරන්නයි මේ විදියට හැසිරෙන්නේ" සුනිල් වටගල ඇතුළු නීතිඥ කණ්ඩායම පෙත්සම් විභාගයෙන් පසුව සාකච්ඡාවක නිරත වූහ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon